පිටවීම..

මාධව වේගයෙන් දොර ඇරගෙන කාර්යාලයට ඇතුළු වුනෙත් , කාර්යාලය ඇතුලේ හිටපු සේවකයෝ සියල්ලම පුටුවලින් නැගිට්ටෙත් එකම වෙලාවට. මාධව කාර්යාලය පුරාම ඇස් යවලා බැලුවත් ඔහු හොයපු කෙනා ඒ පිරිස අතර හිටියේ නැහැ.

” කෝ ශෙරිල් ? ” 

මාධව ඇහුවෙ මහා සද්දෙට. එකිනෙකා මූණෙන් මූණ බල බල ඉන්නකොට මාධවගේ කෝපය තවත් වැඩිවුනා. 

” මං ඇහුවේ කෝ ශෙරිල් ? ” 

මාධව ආයෙමත් ඇහුවා. එතකොටම ශෙරිල් දොර ඇරගෙන කාර්යාලයට ඇතුළු වෙලා පුදුමයෙන් වගේ හැමෝම දිහා බැලුවා. මාධවගේ රකුසු ඇස් ශෙරිල් දිහාට හැරෙන කොට අනිත් අය හිටියේ ඊළඟ මොහොතේ මොනවා සිද්ධ වෙයිද කියලා හිතා ගන්න බැරුව.

” තමුන් කොහේ ඉඳලද මේ එන්නේ? ? “

මාධව ඇහුවේ නොසන්සිඳුන කෝපයෙන් 

” මම බ්‍රෙක්ෆස්ට් වලට ගියා සර් ” 

ශෙරිල්ගේ හඬේ තිබුනේ බොහොම සන්සුන් බවක්.මොන තත්වයකදි උනත් ශෙරිල් ඒ විදියට සන්සුන්ව කතා කරන එක හැමෝටම සාමාන්‍ය දෙයක් වුනා. 

” දැන් වෙලාව 8.45 යි. තමුන්ට වැඩ පටන් ගන්න තියෙන්නේ 8.30 ටනේ ? කලින් ඇවිල්ලා බ්‍රෙක්ෆස්ට් ගන්න දන්නැද්ද? ” 

” මං ඔෆිස් ආවේ 7 ට සර්. හවසට දෙන්න තියෙන ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල් එක ඉවර කරලා තමයි මම බ්‍රෙක්ෆස්ට් වලට ගියේ ” 

ශෙරිල් දීපු උත්තරේට මාධව මොහොතකට නිහඬ වුණා

” තමුන් ඊයෙ දීපු ප්‍රපෝසල් එක ක්ලයන්ට් රිජෙක්ට් කලා කියලා දන්නවද ? ” 

මාධවගේ හඬ තවත් උස් වුනා 

” ඒ ඇයි සර් ? ” 

” ඇයි සර් ? තමුන් හරියට වැඩේ කරලා නැති නිසා තමයි ” 

” ඒක ඕකේ කලේ මිස්ටර් ඇඹුල්දෙණිය. අනික එයා ඒකේ එයාගේ අයිඩියාස් ටිකකුත් ඇඩ් කරලා වෙනස් කරලා තමයි යවනවා කිව්වේ. මම හදපු ප්‍රපෝසල් එකේ කොපි එකක් ඕන නම් මම සර්ට ගෙනත් දෙන්නම් ” 

ඇඹුල්දෙණිය කියන්නේ මාධවගේ තාත්තා වගේම ආයතන ප්‍රධානියා නිසා ඒ වෙලාවේ නිහඬ වෙන්න මාධවට සිද්ධ උනා. ඔහු තමන්ගේ කාර්යාල කාමරය පැත්තට යනකොට සමහර අයගේ මුහුණුවල තිබුණේ සමච්චල් සහගත හිනාවක්.ශෙරිල් කිසිම දෙයක් නොවුන ගානට තමන්ගේ ආසනයට ඇවිල්ලා ආයෙමත් වැඩ පටන් ගත්තා. තමන්ගේ තනතුරට ගැලපෙන්න ඕනෑවටත් වඩා හැකියාව සහ දැනුම තියෙන තරුණියක් උන ශෙරිල් රැකියාවේදි එන අභියෝග වලට මූණ දෙන විදිය  කාගෙත් ප්‍රශංසාවට ලක් වුනා

” කොහොමද සද්දේ දාගෙන ආව විදිය ? ” 

” එයාගේ තාත්තා නිසා මෙතන ලොක්කා උනා මිසක් කිසිම කොලිටි එකක් තියෙන මනුස්සයෙක් නෙමෙයිනේ මාධව කියන්නේ. මිස්ටර් ඇඹුලදෙණිය නම් ඔහොම නැහැ ” 

හැමෝම ඒ විදිහට කතා උනත් ශෙරිල් නිහඬවම laptop තිරය දිහා බලාගෙන තමන්ගේ වැඩේ කරගෙන ගියා. 

” ශෙරිල් මිස් , ඔයාට මාධව සර් එන්න කිව්වා ” 

කාර්යාලයේ පියන් විදිහට වැඩ කරන සුමනසිරි ඇවිල්ල ඒ පණිවිඩය දෙනකොට දවල් 2 පහු උනා විතරයි. ශෙරිල් පණිවිඩය ලැබුණු සැනින් මාධවගේ කාර්යාල කාමරයට ගියා. 

” මට එන්න කිව්වද සර් ? ” 

මාධව හිටියේ උදේ තමන් භාර දුන්න ෆයිල් එක දිග ඇරගෙන බව ශෙරිල් දැක්කේ එතකොට. ඊළඟට සිද්ධ වෙන්න යන දෙය ගැන යමක් ඉවෙන් වගේ ශෙරිල්ට දැනුනා.

” මොනවද මේ ලියලා තියෙන හෑලි ? මේවා ක්ලයන්ට් කෙනෙක් කියවයි කියල හිතනවද ? ” 

මාධව ආයෙමත් ෆයිල් එක එහෙ මෙහෙ පෙරළුවා 

” මේවා සරලව , තේරුම් ගන්න පුළුවන් විදියට ලියන්න ඕන ඒව මිසක් මෙහෙම පිටු ගනන් ඇදගෙන යන්න ඕන ඒවා නෙමෙයි නේ හලෝ ? ” 

ශෙරිල් වචනයක්වත් නොකියා මාධව තවත් මොනවා හරි කියනකන් බලාගෙන ඉන්නකොට කාර්යාල කාමරයේ දොර ඇරුනා. දොරෙන් ඇතුළු වුණේ ආයතනයේ ඉහළම ප්‍රධානියා වුණ මාධවගේ තාත්තා.

” ගුඩ් ආෆ්ටර්නූන් මිස්ටර් ඇඹුල්දෙණිය ” 

ශෙරිල් බොහොම හොඳට හිනා වෙලා ඇඹුල්දෙණියව පිළිගන්නකොට මාධව පුටුවෙන් නැගිට්ටා

” මොකක් හරි ප්‍රශ්නයක්ද මාධව ” 

මාධව ඉන්නේ කෝපයෙන් කියලා ඔහුගේ මුහුණ දකිනකොටම තේරුම් ගන්න ඇඹුල්දෙණිය ට අපහසු වුණේ නැහැ.

” නෑ මේ බලන්නකෝ තාත්තා මේ ෆයිල් එක ? මේවා මෙහෙම හැදුවම ක්ලයන්ට්ලා කැමති වෙන්නෙ නෑනෙ ? ” 

මාධව කියන්නේ චෝදනාත්මක ස්වරූපයෙන්. ඔහු ඇඹුල්දෙණියට ප්‍රධාන අසුන දීලා අනිත් අසුනකින් වාඩි වුණා.ඇඹුල්දෙණිය බොහොම සන්සුන් විදියට මාධව දීපු ෆයිල් එක පෙරලලා මුහුණට හිනාවක් නගා ගත්තා.

” ශෙරිල් මම කියපු විදියටම වැඩේ කරලා තියෙනවා. Excellent . දැන් යන්න ” 

ශෙරිල් බොහොම සැහැල්ලුවෙන් කාර්යාල කාමරයෙන් එළියට යනකොට මාධව හිටියේ පුදුමයෙන් බලාගෙන.

” මොකක්ද තාත්තා ඒ කළේ? ” 

මාධව ඇඹුල්දෙණිය දිහාවට හැරුනා 

” මේ ක්ලයන්ට් එක්ක මීට කලින් ශෙරිල් බොහොම හොඳට වැඩ කරලා තියෙනවා වගේම ඒවා ගොඩක් සාර්ථක වෙලත් තියෙනවා. එයාලාට වැඩේ ඕන කරන විදිහ ශෙරිල් තරම් දන්න කෙනෙක් මේ ඔෆිස් එකේ නෑ මාධව. අනික මේ වැඩේ එයාට මේ විදියට කරන්න කිව්වෙත් මම ” 

මාධව නිහඬ උනා.

” මම මේ ඔෆිස් එකේ හැමෝටම සලකන්නේ මගේ දරුවන්ට වගේ. එහෙම එකේ ඔයා මේ හැම එකටම කෑ ගහන්න තියා ගත්තම මගේ තත්වෙට මොකද වෙන්නේ? ශෙරිල් මේක ඇතුලේ ඔයාගෙන් බැනුම් අහනවා කියලා මට ආරංචි උනේ ඔෆිස් එකට ඇතුල් වෙනකොටමයි “

” මං.. බැන්නේ නෑ තාත්තා “

මාධව මූණ බිමට හරවා ගත්තා 

” ශෙරිල් කියන්නේ බොහොම දක්ෂ ළමයෙක්. එයා කාගෙවත් ඕපදූප හොයන්නේ නැතුව තමන්ගේ වැඩේ හරියටම කරනවා. අනික එයාගේ වයසට වඩා ලොකු දක්ෂකමක් එයාට තියෙනවා.  එයා ඔයාටත් වඩා උගත් ළමයෙක් ” 

ඇඹුල්දෙණිය එහෙම කිව්වත් ශෙරිල් ගැන මොකද්දෝ නපුරු හැඟීමක් හැම වෙලාවෙම මාධවගේ හිතේ තිබුණා. ශෙරිල් කරපු හැම වැඩකම කොහෙන් හරි වැරැද්දක් හොයන්න මාධව උත්සාහ කළා. ඒ හැම අවස්ථාවකදීම උපේක්ෂාවෙන් ඒවට මුහුණ දෙන්න ශෙරිල් කටයුතු කළත් කවුරුත්ම හිතපු නැති දවසක් අවසානයේදී උදා උනා.

වෙනදා වගේම සැහැල්ලුවෙන් කාර්යාලයට ආව ශෙරිල් තමන්ගේ ලැප්ටොප් එක දිහාවට දෑස් යොමාගෙන හිටියා. ටික වෙලාවකට පස්සේ ඇඹුල්දෙණිය මහත්මයා එක්ක මාධව කාර්යාල කාමරයට යන හැටිත් ඒ එක්කම ශෙරිල් ඒ කාර්යාලයට ඇතුල් වෙන හැටිත් හැමෝම බලාගෙනයි හිටියේ. 

” ශෙරිල් මේ වගේ තීරණයක් ගනියි කියලා මම හිතුවේ නැහැ ” 

ශෙරිල් දීපු ලියුම දිග ඇරල බලපු ඇඹුල්දෙණිය කිව්වේ කනස්සල්ලෙන් වගේ. 

” මම වැඩ කරන විදිහ මෙතැනට ගැලපෙන්නෙ නැත්නම් මගේ සේවය තවත් මෙතනට අවශ්‍ය නෑ කියලා මම හිතනවා මිස්ටර් ඇඹුල්දෙණිය. ඔයාලත් එක්ක මේ කාලේ වැඩ කරන්න ලැබුන එක ඇත්තටම මට ලොකු සතුටක්. මගේ තිබුන අඩුපාඩුත් මම හදාගත්තේ ඒ නිසා. දැන් ඉතින් මිස්ටර් මාධවට පුළුවන් මට වඩා හොඳ කොලිෆයිඩ් කෙනෙක්ව මගේ තැනට ගන්න ” 

ශෙරිල්ගේ මුහුණේ තියෙන පුරුදු හිනාවම ඒ වෙලාවෙත් දකින්න ලැබෙනකොට මාධව හිටියේ ඒක දරාගන්න බැරි තත්ත්වයක.

” ශෙරිල් කියන්නේ කොහේ ගියත් හරි ලස්සනට පැලවෙන්න පුලුවන් පැලයක් ” 

ඇඹුල්දෙණිය කිව්වේ ශෙරිල් කාර්යාල කාමරයෙන් පිටවෙලා යනකොට. 

” ශෙරිල් රිසයින් වෙලා ” 

ඒ පණිවිඩය කාර්යාලය ඇතුලේ පැතිරෙන්න තවත් පැයක් දෙකක් විතර ගියා. 

” අහල තියෙනවද කතාවක් ? කොහේදි උනත් හරි වෙලාවට පිටවෙලා යන්න ඕනේ කියලා. ශෙරිල් කලේ ඒක. එයාට හරි වටිනාකමක් ලැබෙන තැනකට දැන් එයා යයි ” 

කාර්යාල කාමරයෙන් එලියට ආපු ඇඹුල්දෙණිය කිව්වේ හැමෝටම ඇහෙන්න.

More Stories

Don't Miss


Latest Articles