ප්‍රේමයේ මන්දහාසිනි 02

0
6758

අගනුවර  ප්‍රමුඛ පෙලේ අවන්හලක සූපවේදිනියක වීම පහසු අත්දැකීමක් නොවන වග ඔබ දන්නවා ඇතැයි සිතමි.  පැය විසි හතරම ආහාර පාන පිරී ඇති අවන්හලක කෝපි සහ  පේස්ට්‍රි  අංශය  තුළ සේවය කරන අප දොලොස් දෙනෙකි. ඒ සූපවේදීන් ලෙස ඉදිරි මුලුතැන්ගෙයෙහිය. 

සේවා මුර ක්‍රමයට එක් මුරයක අප හය දෙනෙක් වන සේ සක්‍රීය සේවයේ සිටින්නෙමු. සුදු පැහැ කමිසය, කළු පැහැ කලිසමට යට කර, නිල් පැහැ ඒප්‍රනයක් සහ නිල් පැහැ හිස් වැසුමක් අපගේ ජාතික ඇඳුමය.

වසර පහක් තිස්සේ ඇසට හුරු ඇඳුම එයය. අර කී බලාපොරොත්තුවේ ප්‍රස්තූතය මේ ඇඳුමට සම්බන්ධ වන්නේ කෙලෙසදැයි ඔබ දැන් සිතනවා විය යුතුය. 

අවසානයේ එය සිදුව ඇත.  ඔහු මේ සියල්ලේ හිමිකරු වී මෙහි පැමිණ ඇත. අප නොදන්න බොස් ,  මහේල අරන්දර, මේ සියල්ල බාරගැනීමට මෙහි පැමිණ ඇත. 

තවම ඔහු ලංකාවට ගොඩ බැස්සා පමණක් විය යුතුය. මා දන්නේ ඔහු නිවෙසට පැමිණෙන මඟ කියා පමණි. ඔහු දකින්නට වෙන්නේ අදද හෙටද අනිද්දා ද කියා අදහසක් නැත. එහෙත්, ඔහු කව්දා හෝ මෙහි  එන බව දැන ගැනීමෙන් පසු මා ඉන්නේ මෙහෙමය. 

මෙහෙමය කියන්නේ උඩ පැන නට නටා අඬන්නට හිතෙන එකටය. එන බව දැන ගැනීමෙන් මා මෙතරම් උත්කර්ෂයක නම්, අර විසල් ගේට්ටු පලු දෙක අතරින් කොයි මොහොතේ හෝ මතු වන ලෑන්ඩ් රෝවර් වර්ගයේ රියකින් මහේල අරන්දර බැස ගන්නා මොහොත ගැන ඔබට සිතා ගැනීමට හැකි විය යුතුය. 

 සැබැවින්ම එහෙම මොහොතක මගේ සිත තුළ නලියන උත්කර්ෂය ගැන ඔබට සිතාගැනීමට නොහැකිද ? 

මහේල අරන්දර  ස්විට්සර්ලන්තයේ සිට  පෙරළා ලංකාවට පැමිණෙන්නේ වසර හයකට පසුවය. ලංකාව හැර යන විට  විසි හය වැනි වියේ උන් ඒ යෞවනයා දැන් දෙතිස් විය පන්නමිනි. 

වසර හයකට පසු ඔහු කිනම් රුවකින් මා ඉදිරියට ඒවිදැයි මට සිතාගන්නට නොහැක. මට සිතා ගත  නොහැකි දේ   ඔබට කෙලෙසකවත් සිතා ගත නොහැකි නිසා ඉඟි දෙන්නට මට හැක. 

ඇතැම් විට  කැරළි ගැසී තිබූ , අපිළිවෙල කොණ්ඩය කපා දමා විය හැක.  කනට කරාබුවක් දමා, ඇහි බැම  තීරු කපා දමා සිටිනවාද විය හැක. මනාව සකසා තිබූ බාහු කෘශව ගොස් ඇතිද ? එසේ නැතිනම් මාංශයෙන් පුරා දමා ඇතිද ? 

කොහේ හෝ තැනක ,  දෙතැනක පච්චා සලකුණු ඇතිව මතු විය හැක. සැහැල්ලු කලිසමකට, කමිසයක් ඇඳ ඒවිද ? බරසාර කාර්‍යාල ඇඳුමකින් සැරසී ඒවිද ? මා ආසා කල ලෙස සරමකින්  සහ කමිසයකින් සැරසී ඒවිද? කිසිවක් සිතා ගන්නට නොහැක. ඔහුගේ චිත්ත  විපරීත බවෙහි අන්තයක් සිතා ගන්නට මට කෙලෙසකවත් නොහැක 

වසර හයක් යනු මිනිසෙකුට වෙනස් වන්නට අතිශය ප්‍රමාණවත් කාලයකි. විසි හයෙන් පසු තිස් දෙක තෙක් ගෙවෙන කාලය පිරිමියෙකු ස්ථාවර ලෝකයක් තනා ගන්නා කාලයට අදාලය. ඒ කාලය තුළ සිතුවිලි ද, පෙනුමද, බැඳීම්ද, හැසිරීම්ද වෙනස් වනවාට සැක නැත. ඉතින් , මා දැන උන් , ප්‍රාණ සමව දැන උන් මහේල මේ අවන්හල් දොරටුවෙන් මතු වන දෙස බලා හිඳීම මනස්ගාතයකි. 

” මහේල සර් හෙට එනවලු.. හෙට හැමෝම ශිෆ්ට් නැතුව උදේ ලෑස්ති වෙන්න. සර්ට වෙල්කම් එකක් රෙඩි කරලා තියෙන්නේ එච් ආර් එකෙන්.. හැමෝම ඒකට සහභාගි වෙන්න ඕනි…”

නිමවූ ඇණවුමකට පසු වෙහෙස නිවෙන්නට කුඩා අසුනට බර වෙද්දීම එලෙස ඇසුණි. ඒ හඬ අප බාරව සිටින  ප්‍රධාන වේටර්වරයා ගෙනි.  එබී බලන්නට නොයුතු නිසා මම එලෙසින් අසා උන්නෙමි.

” මහේල සර් හැමෝම ගැන හොයලා බලලා මේ ෆෙස්ටිවල් එකට ලොකු බෝනස් එකක් ඇපෲ කරලා තියෙන්නේ… ඒ නිසා හැමෝම එන්න ….” 

මහේල අරන්දර, එසේනම් ඔබ යළි පැමිණෙන්නේය. 

අතීතයට අප්‍රමාණව ප්‍රේම කල මිනිසුන් වර්තමානය සහ අනාගතය ගැන බියෙන් පසුවන්නේ නම්, එකී බිය සැදූ අයෙකු කොහේ හෝ අතීතයේ තැනක සිටින්නේය. 

මහේල අරන්දර ගේ  වර්තමානය සහ අනාගතය තුළ  අතීතයේ පෙම් සටහන් වලට ඉඩ නැති වග වටහා ගැනීම මා අතින් ඉතා ඉක්මනින් සැපිරිය යුතුය. 

 එවිට වර්තමානයේ මගේ ජීවිතය පහසුවනවාට සැක නැත. එසේ නොවන්නට ඔහු දකින දකින තත්පරයක් පාසා ඇවිලෙමින් සිටින්නට සිදු වනු ඇත. ඔහුගේ රුව තනිව දරාගනිමින් නිවෙන්නට සිදු වනු ඇත.

අතීතයට එබෙන්නට අපි කල් ගනිමු. අතීතය දිග හැරීමෙන් මා චපල ගැහැණියක වනු ඇත. ඒ නිසා වර්තමානයේ සිටින ධෛර්යමත් , සුන්දර,ආදරණීය අසේකා පණ්ඩිතරත්න වැලඳගන්නට මම ඔබට ආරාධනා කරමි. ඒ වැළඳගැනීම මට වැදගත් වන්නේ හෙට දිනය සඳහා ශක්තිමත් වන්නටය.

 දැන් ඔබ දන්නේය; හෙට මහේල අරන්දර මෙහි එන්නේය. වසර හයකට පසු එක්වරම ඔහු මේ අවන්හල හිමිකරගෙනම පැමිණෙන්නේය. 

එහෙත්, ඔහු දකින්නට මට සුව සුවඳ පිළි දවටාගෙන සැරසී දිව යන්නට ඉඩ නැත. එසේ දිව ගියාට ඔහු මා දයාර්ද ව වැලඳගන්නේද නැත. 

ඉතින්  එනිසාම මේ නිළ ඇඳුම හැර අන් යමකින් සැරසෙන්නට මට අවශ්‍යද නැත.  මෙය දැන් උරුමය වී අවසන් ය, ජීවිතය රැකෙන්නට සකසා ගත් උරුමය වී අවසන් ය.

එයට මක් වනවාද ? ඔහු එන්නේය. අනේ මහේ මහේල එන්නේය.

.

.

.

උදෑසන හයවන විට මම උන්නේ “චෙෆ් කෝනර්” හී කෝපි සැකසුම්  මුළුතැන්ගෙය තුළය. මහේල අරන්දර වෙනුවෙන් සැකසෙන චායි තේ  කෝප්පයට මගේ නමට ඈඳෙන මොනවාම හෝ වත් කරන්නට මට අවැසිය. 

ඒ කිනම් විකාරරූපී සිතුවිල්ලක්දැයි ඔබ අසනවා නම්, මේ කතාව මින් ඔබ්බට කියවන්නට මම ඔබට යළි යළි ආරාධනා කරමි.

 රැක ගන්නට උත්සාහ නොකල  යමක් ගිලිහී ගිය පසු එහි වටිනාකම දැනීමේ වේදනාව අර කී තේ  කෝප්පයට යමක්  වත් කිරීමෙන් පිරිමැහෙන්නේ නැත. 

එහෙත්; හිත හදා ගැනීමට එහෙව් අංශුමාත්‍රික තැන් පවා වටින බව මම විශ්වාස කරමි. 

“අසේකා… එන්න… අද ඔයාගේ ටී එක හදන්න…..සර් ඇවිල්ලා…”

අත් ආවරණ පළඳිමින් උන් මට ඇසුණේ එලෙසය. කැඩුණු සිංහලෙන් එලෙස කිව්වේ අප සමඟ සේවය කල ඉන්දීය යුවතිය බව මට සිතුණි. ඇය එලෙස පැවසුවාදැයි බලන්නට මම ඇය උන් දෙස බැලුවෙමි. සැබැවින්ම ඇය පවසා තිබුණේ එයය.

ඕ මා දෙස බලා උන්නේ ධෛර්යමත් කරන බැල්මකිනි.

| අපේක්ෂා ගුණරත්න |

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here