කවීන්ගේ කෝල් එකෙන් පස්සේ මුළු රෑම ආකර්ෂාට ඇහැ පියාගන්න පුළුවන්කමක් ලැබුණෙ නැතිම තරං. අනික තාත්තත් ගෙදර නැතුව ආකර්ශා පුදුමාකාර බයෙන් වගේ තමයි මේ දවස් දෙක තුන ගෙදෙට්ට වෙලා උන්නේ. මහ ලොකුවට කවීන්ට සද්ද බද්ද දාලා ආවට මොකෝ රෑ වෙද්දි නං කෙල්ල එළියෙන් ඇහෙන පොඩි පොඩි සද්ද බද්ද වලට පවා කලිසමේ චූ යන ලෙවල් එකෙන් බය වෙලා උන්නේ.
ඇයියනේ මොක උනත් කෙල්ලෙක්නෙ. බය වෙන එක සාධාරණයිනෙ! අනික බයට වඩා මෙදා රෑ නම් කෙල්ල උන්නෙ මල පැනලා.
පින්සල එතන දාලා ආපු එකට වඩා කෙල්ලට මල පැන්නේ අඩි පහක්වත් නැති පිස්සු කෙල්ල කියලා ඒ කණ්ණාඩි පොළඟා තමන්ට කියපු කතාවට. අන්න ඒ හන්දම තමයි පහුවදා උදේ අට වෙද්දීම ආකර්ෂා වික්‍රමසිංහ කන්ස්ට්‍රක්ෂන්ස් එකේ ලොබිය මැද නිකන් යුද්ධෙකට යන්න ලෑස්ති වෙච්ච සෙබළියක් වගේ හිටගෙන හිටියේ.
“යන්න ඇතුළට… සර් බලාගෙන ඉන්නවා,” කලින් දවසේ බය වෙච්ච සෙක්‍රටරි කෙල්ල මේ පාර මූණේ අමුතු හිනාවක් තියාගෙන ආකර්ෂාට කිව්වා. ඒකිගෙ හිනාවෙන්ම ඒකි නිකන් තමන්ට හිනාවෙන්නෙ කින්ඩියට කියලා තේරුණාට මොකෝ ආකර්ශා තඹ සතේකට සෙක්‍රටරි කෙල්ලව ගණන් ගත්තෙ නෑ. “මං මෙතන පදිංචි වෙන්න ආවෙ නෑනෙ, ඒකිගෙ හිනාව ඉස්සරහා පාච්චල් වෙවී ඉන්න” කියලා හිත හිත තමයි ආකර්ශා කවීන් වික්‍රමසිංහගෙ කාමරේ දිහාවට යන්න කකුල් දෙකම ඉස්සුවෙ.
ආකර්ෂා දොරත් තල්ලු කරගෙන කවීන්ගේ කැබින් එකට ඇතුළු වුණේ හෙන ගහන්න වගේ. කවීන් සුපුරුදු විදිහටම තමන්ගේ කළු පාට ලෙදර් සීට් එකට බර වෙලා, ලැප්ටොප් එක දිහා බලාගෙන හිටියෙ මූණ නිකන් අයිස් කැටයක් වගේ සීතල කරගෙන. ආකර්ෂා දැක්කා මිනිහගේ දකුණු අත පැත්තේ අර මැහෝගනී මේසේ උඩ තමන්ගෙ පරණ, පාට ගෑවුණු පින්සල තියලා තියෙනවා.
“තමුසෙට මාර දහිරියක්නේ තියෙන්නේ රෑ තිස්සේ මිනිස්සුන්ට කෝල් කර කර තර්ජනය කරන්න? කෝ දෙනවා මගේ පින්සල” ආකර්ෂා මේසෙට කිට්ටු වෙලා එකපාරටම පින්සල අතට ගන්න හැදුවා.
හැබැයි කෙල්ලට වඩා මිනිහගේ අත් දිගයි. කවීන් එක ඇඟිල්ලෙන් පින්සල තමන්ගේ පැත්තට ඇදලා ගත්තේ කට කොනකින් අමුතුම කට්ට කයිරාටික වෙට්ට පිත්තල හිනාවක් දාන ගමන්. මිනිහා හෙමින් සැරේ තමන්ගේ ලැප්ටොප් එක වහලා, කණ්ණාඩි දෙක ගලවලා මේසේ උඩින් තිබ්බා.
“තමුසෙගේ කට විතරයිනෙ. උදේ පාන්දරම කඩන් පැනලා සද්ද දාන්න කලින් පොඩ්ඩක් හුස්මක් ගන්නවා” කවීන් සීට් එකෙන් නැගිටලා මේසෙට බර වුණා. “මං හිතුවා තමුසෙ අද එද්දී අර කලින් දවසේ තිබ්බ බොරු බඩත් උස්සගෙන එයි කියලා. කෝ… ඒක බස්සලද ආවේ?”
“හිතිච්ච ගමන් නග්ග ගන්නයි බස්සන්නයි මේක බස් එකක් කියලා හිතුවද? අනේ මේ විකාර නොකියා මගේ පින්සල දෙනවා මනුස්සයෝ මට යන්න. ඔහේ හිතුවද මං ඔහේගේ ඔය ලොකු ලයින්වලට බය වෙයි කියලා? අපේ මහගෙදර සින්න කරගන්න ආපු හොරා” ආකර්ෂා කේන්තියෙන් රවාගෙනම කිව්වා.
“හොරා?” කවීන් ඒ වචනෙට හයියෙන් හිනා වුණා. ඒ හිනාවේ තිබුණේ මාරම අභිරහස් ලුක් එකක්. “තමුසෙ හිතාගෙන ඉන්නේ මං තමුසෙලාගේ ගේ බලෙන් අල්ලගන්න හදනවා කියලා නේද? පව්… තමුසෙ මෙලෝ මගුලක් දන්නේ නැති අහිංසක කෙල්ලෙක්. තාත්තා දූට මෙලෝ දෙයක් කියලා නෑ වගේ නේද?”
කවීන් හෙමින් සැරේ ආපහු තමන්ගේ සීට් එකෙන් වාඩි වෙලා, මේසේ යට තිබ්බ ලොක් කරපු ලාච්චුවක් ඇරියෙ අන්න එහෙම කියන ගමන්. ආකර්ශා ඩිම් උනේ කවීන් එහෙම කියද්දි. කවීන් කොහොමද අපෙ තාත්තව දන්නෙ? අනික මොකද්ද තාත්තා මට නොකිව්ව දේ? ඒක කොහොමද කවීන් දන්නේ?
” පින්සල විතරක් නෙවෙයි ආකර්ෂා” එහෙම කියන ගමන් කවීන් ලොකර් එක අස්සෙන් පරණ ෆයිල් එකක් එළියට ගන්න ගමන් කෙල්ලගේ ඇස් දෙක දිහා කෙළින්ම බැලුවා.
“තමුසෙලාගේ ඔය සින්න වෙන්න යන මහගෙදර තමුසෙට සතයක්වත් වියදං කරන්නෙ නැතුව ආපහු තියාගන්නම ඕනෙද?”
කවීන් ඒ කියපු කතාවට ආකර්ෂා එකපාරටම ගොළු වුණා. කෙල්ලගේ අත් දෙක නිකන්ම සීතල වෙලා යද්දී, කවීන් අර පරණ ෆයිල් එක ආකර්ෂාගේ ඉස්සරහින් මේසේ උඩට අතහැරියා.
කවීන් මේසේ උඩට ඩෝං ගාලා අතහැරපු ඒ හණ මිටියක් වගේ පරණ ෆයිල් එක දිහා ආකර්ෂා බලන් උන්නේ ඇස් දෙක නටව නටවා. කෙල්ලගේ පපුව ගැහෙන්න ගත්තේ නිකන් රේස් පදින බයික් එකක් වගේ.
“මොකක්ද මේ?” කෙල්ල හිතේ තියෙන බය වහගන්න ටිකක් සද්දෙන් ඇහුවා.
“ඇරලා බලනවා” කවීන් තමන්ගේ සීට් එකට හේත්තු වෙලා, දෑත් එකට බැඳගන්න ගමන් කිව්වේ මාරම කූල් ලුක් එකකින්.
ආකර්ෂා වෙව්ලන අත් දෙකෙන් ෆයිල් එක දිග ඇරියා. ඒකේ උඩින්ම තිබ්බේ පරණ ලියකියවිලි වගයක්. තැනින් තැන කහ පාට වෙච්ච ඒ කොළ කෑලි අස්සේ තිබ්බ අකුරු කියවගෙන කියවගෙන යද්දී කෙල්ලගේ මූණේ ලේ බිංදුවක් නෑ වගේ සුදුමැලි වෙලා ගියා. ඒ හැම කොළයකම පල්ලෙහායින් තිබ්බේ කෙල්ල උපන්දා ඉඳන් දැකපු, හොඳටම පුරුදු අත්සනක්!
විජේන්ද්‍ර සෙනෙවිරත්න! තමන්ගේ තාත්තගේ අත්සන!
“මේ… මේවා මොනවාද මනුස්සයෝ? ඔහේ මේ බොරු ලියකියවිලි හදලා මාව බය කරන්නද හදන්නේ?” ආකර්ෂා කෑගැහුවත් ඒ කටහඬ ඇතුළේ තිබ්බේ මහා අසරණකමක්. මොකද ඒ ලියකියවිලිවල තිබ්බේ අතීතයේදී සිද්ධ වෙච්ච මහා පරිමාණ බිස්නස් වංචාවක සාක්ෂි. තාත්තා හොස්පිටල් එකේදී මං වැරදිකාරයෙක් කියලා අඬ අඬා කියපු කතාවේ ඇත්තම තේරුම කෙල්ලට මීටර් වුණේ අන්න ඒ වෙලාවේ.
“ඔය තමුසෙගේ තාත්තා මගේ තාත්තව රවට්ටලා, අපේ කම්පැණියේ සල්ලි කෝටි ගාණක් වංචා කරපු ඒවට තියෙන නීත්‍යානුකූල සාක්ෂි ආකර්ෂා. ඔය මහගෙදර මං සින්න කරගන්න හදනවා නෙවෙයි, ඕක දැනටමත් නීතියෙන් අයිති මට! අපේ තාත්තා ඕක අරගන්න මෙච්චර කල් ආවේ නැත්තෙත් තමුසෙගේ තාත්තා ගැන තියෙන අනුකම්පාවට. හැබැයි මං කියන්නෙ අපෙ තාත්තා නෙවෙයි කියන එක තමුසෙයි තමුසෙගෙ තාත්තයි දෙන්නම දැනගත්තොත් හොඳයි” කවීන් තමන්ගේ කණ්ණාඩි දෙක ආපහු දාගන්න ගමන් ඇස් දෙක පුංචි කරලා කිව්වා. “ඔය ෆයිල් එක මං දැන් පොලිසියට දුන්නොත්, තමුසෙගේ තාත්තට ඉතුරු ටික කාලේ ඉන්න වෙන්නේ හොස්පිටල් ඇඳක නෙවෙයි හිරගෙදරක!”
කවීන්ගේ ඒ ටෝක් එකත් එක්ක ආකර්ෂාගේ මුළු ලෝකෙම එකපාරටම නතර වුණා වගේ දැනුණෙ. තමන්ගේ මහගෙදර විතරක් නෙවෙයි, පණ වගේ ඉන්න තාත්තගේ මුළු ජීවිතේම දැන් තියෙන්නේ මේ කණ්ණාඩි පොළඟාගේ එක වචනයක් උඩ කියන එක තේරෙද්දි කෙල්ල කරකියාගන්න දෙයක් නැතුව ගල් වෙලා බලන් උන්නේ කඳුළු කැට දෙකක් ඇස් අගින් බේරෙන්න ඔන්න මෙන්න තියෙද්දී.
ආකර්ෂා කඳුළු පිරුණු ඇස් දෙකෙන් කවීන් දිහා බලලා කේන්තියෙන් ගැහෙන්න ගත්තෙ කරකියාගන්න දෙයක් නැතිම තැන.
“මොකක්ද තමුසෙට ඕනේ? මාව මරන්නද? නැත්නම් අපෙන් පළිගන්නද?” කෙල්ල වෙව්ල වෙව්ල කෑගැහුවෙ මෙච්චර දවසක් තිබිච්ච චණ්ඩිකම් ඔක්කොම අමතක වෙලා වගේ.
කවීන් හෙමින් සැරේ තමන්ගේ සීට් එකෙන් නැගිටලා, මේසේ වටෙන් ඇවිත් ආකර්ෂාගේ මූණටම එබුණා. මිනිහගේ ඇස්වල තිබ්බේ කිසිම හැඟීමක් නැති අමුතුම සීතල ලුක් එකක්.
“මට තමුසෙව මරන්නවත්, පළිගන්නවත් ඕනේ නෑ ආකර්ෂා. හැබැයි මගේ බිස්නස් ලෝකේ දේශපාලන ප්‍රශ්න වගයක් විසඳගන්න මට මේ දවස්වල හොඳ වැදගත් පවුල් පසුබිමක් තියෙන කෙල්ලෙක්ව ඕන වෙලා තියෙනවා. මං තමුසෙගේ මහගෙදරයි, තාත්තවයි දෙකම බේරලා දෙන්නම් ඒ ෆයිල් එකත් මං අමතක කරලම දාන්නම්කො. හැබැයි එක කොන්දේසියක් උඩ!”
කවීන් කට කොනකින් පට්ටම කයිරාටික, අභිරහස් හිනාවක් දාලා ආකර්ෂාගේ මූණටම තමන්ගේ හඬ ලං කරා.
“හැබැයි එක කොන්දේසියක් උඩ”
“මොකද්ද?”
“හෙට ඉඳන්… හරියටම මාස හයකට තමුසෙ මගේ කෙල්ල වගේ රඟපාන්න ඕන
මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් විදිහට මට ඕන තැන්වලට තමුසෙ එන්න ඕනේ.
මොකද කියන්නෙ ඩීල් එකට කැමතිද?”


