පෙම්වතාව අතාරින්නද කියල අපෙන් අහන අරුණලීට මොකද්ද අපි කියන්න ඕන?

(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ)

“මොකද්ද කිසල් මේකෙ තේරුම? මොකද්ද මේකෙ තේරුම? කීපාරක් නම් ඔයා දැන් මෙහෙම එක එක කෙල්ලො එක්ක ජරා විදියට චැට් කරල අහුවුනාද? ඔයාට ඒ කෙල්ලෙක් එක්ක යාලුවෙන්න උවමනා නම් යාලුවෙන්න. හැබැයි මාත් එක්ක ඉස්සෙල්ලා බ්‍රේක් අප් වෙන්න. මම මේ හිතක් පපුවක් නැති මනුස්සයෙක් නෙවෙයි ඔයා මාව රවට්ටන රවට්ටන පාරට හිත රිද්දගන්න” ඔය ටික කියද්දිවත් අරුණලීගෙ ඇස්වලින් කඳුලු වැක්කුරුනෙ නෑ. වැක්කෙරෙන්න ඉතින් කඳුලක් තිබ්බෙත් නෑ. දැන් මේ පලවෙනි වතාව නෙවෙයි නෙ මෙහෙම දෙයක් වෙච්ච.

කිසල්ට හැම තැනම ගෑණු. කෙල්ලො කී දෙනෙක් එක්ක නම් චැට් කරලා අහුවුණාද? ඒ විතරක් නෙවෙයි, කෙල්ලො කී දෙනෙක්ව හම්බුවෙන්න ගිහින් අතේ මාට්ටු වුනාද? අරුණලී ඒ හැම වතාවකම සමාව දුන්නා. රෙඩ් ෆ්ලෑග් පෙනි පෙනිත් අරුණලී කිසල්ව අතාරින්නෙ නැතුව හිටියෙ “අනේ කවද හරු හැදේවි, ආයෙ එයා එහෙම කරන එකක් නෑ” කියලා හිතලා.

ම්හ්. කිසල් නෙවෙයි වෙනස් වුනේ. අරුණලී අතට මාට්ටු වෙච්ච හැම පාරකම “අනේ මට සමාවෙන්න අරුණි, ප්ලීස් මට සමාව දෙන්න” කියල අඬා වැලපෙන මිනිහා ආයෙ තව කෙල්ලෙක් එක්ක සෙට් වෙන්න මාසයක් ගත්තෙ නෑ.

කී වතාවක් නම් සමාව දෙන්නද? කියලා කිසල් එක්ක කොච්චර රණ්ඩු වුනත් අරුණලීටත් බෑ කිසල්ව අතාරින්න. මොක උනත්, කිසල් ඔහොම නෙවෙයි ඔයිට වඩා ලොකු වරදක් කරත් අරුණලී කිසල්ට මාර ආදරෙයි. “මෙහෙම මිනිහෙක් එක්ක මං තවත් ඉන්නෙ මොකටද?” කියලා හිතුවට අරුණලීම හිත අනිත් පැත්තට කියනවා “මං නැත්තම් කිසල් තනිවෙනවනෙ” කියලා. ඒ උනාට කිසල්ට නම් එහෙම තනියක් පේන්න තිබ්බෙ නෑ.

මේ පාර කිසල් යාලුවෙලා ඉන්නෙ ඉන්ස්ටග්‍රෑම් එකෙන් සෙට් වෙච්ච ලස්සන කෙල්ලෙක් එක්ක. මොඩ්ලින් කරනවා කියලා තමයි දාගෙන ඉන්නෙ ප්‍රොෆයිල් එකේ. ඒ කෙල්ල කිසල්ට තමන්ගෙ බිකිනි ඇඳන් ඉන්න ෆොටෝ පවා එවලා. බිකිනි කිව්වට හීනි නූල් පොටවල් වලින් එල්ලෙන රෙදි කැලි. කෙල්ලන්ට වරදක් කියන්නත් බෑ. අනික තමන්ට වරද කලේ ඒ කෙල්ල නෙවෙයි කිසල්නෙ.

“මට සමාවෙන්න බබා. මං හිතන්නෙ මට මොකක් හරි අසනීපයක්. නැත්තම්… නැත්තම් මෙච්චර මට ආදරේ කරන, මගේ හැම වරදම ඉවසන ඔයා ඉද්දි මම මොකටද මේ වෙන කෙල්ලන්ට කතාකරන්නෙ? මට මේ වතාවෙ විතරක්… මේ වතාවෙ විතරක් සමාව දෙන්න

ප්ලීස් අරුණලී. මං ආයෙ එහෙම කරන්නෙ නෑ. ප්‍රොමිස්. ප්ලීස් ප්ලීස් බබා”

මේ වතාවෙත් කිසල් සුපුරුදු නාඩගමම කරගෙන එද්දි උනත් අරුණලීට හිතේ කොච්චර දුකක් තිබුණත් කිසල්ව අතාරින්න විදියක් පුලුවන්කමක් තිබුනෙ නෑ.ඒත් මේ හිතේ වේදනාව තවත් දරාගන්න බැරි හන්දමයි, තමන්ට ඩිප්‍රෙශන් හැදේවි කියන බය හන්දමයි අරුණලී කවුන්සලින් වලට ආවෙ. එහෙම ආපු එයා මගෙන් ඇහුවෙ එකම එක ප්‍රශ්නයයි.

“ඇත්තටම මම මොකද්ද කරන්න ඕන? මම එයාව අතාරින එකද හරි නැත්තම් සමාව දෙන එකද?”

අරුණලී එහෙම ඇහුවට මට එයාට ඒකට දෙන්න උත්තරයක් තිබුනෙ නෑ. ඇත්තටම ඒ ප්‍රශ්නෙට උත්තරේ දෙන්න ඕන, උත්තරේ තියෙන්නෙ අරුණලි ලඟම මිස වෙන කවුරුවත් ලඟ නෙවෙයි.ඒ නිසාමයි මම අරුණලීගෙන් ඇහුවෙ,

“ඔයාට ඔයාව විශ්වාස ද?”

ඕනම සබඳතාවයක් ඇතුලෙ ප්‍රශ්න එනවා. සමහර වෙලාවට අරුණලීට මුහුන දුන්න වගේ ප්‍රශ්නෙකදි අපි අපේ පාර්ට්නර්ව අතාරිනවා, එහෙම නැත්තම් සමහරු ජීවිත කාලෙම සමාව දිදී දෙන්න එක්ක එකට ඉන්නව.

ඒ තීරණේ ගන්න ඕන තමන්. මේ සබඳතාවය තමන් කරගෙන යන්න ඕනද නැද්ද කියන තීරණය ගන්න පුලුවන් තමන්ට. එයාව අතෑරියත් නැතත් ඔයා ඔයාගෙ ජීවිතේ ඉස්සරහට අරගෙන යන්න ඕන. ඒ වෙනුවෙන් ඔයා කාරන්න ඕන එකම එක දෙයයි.

ඒ තමයි ඔයා ඔයාව විශ්වාස කරගෙන ජීවත්වෙන එක. අපි කෙනෙක්ව කොච්චර විශ්වාස කරත් ඒ මනුස්සයට පුලුවන් වෙන්න පුලුවන් අපේ ඒ විශ්වාසය බිඳින්න. අපිට සමහර මිනිස්සුන්ව වෙනස් කරන්න බෑ. සමහර මිනිස්සු ගාව තියෙනව අපේ හිත රිදවන අන්දමේ ගති පැවතුම්. ඒව අපිට වෙනස් කරන්න අමාරුයි. වෙනස් වෙන්න ඕන එයාල මිසක් අපි නෙවෙයි.

ඉතින් සබඳතාවයක් කොච්චර වේදනාකාරි උනත්, දෙන්න එකට උන්නත් නැතත්, එයා ඔයාගෙ විශ්වාසය කැඩුවත් නැතත් ඔයා කිසිම වෙලාවක ඔයාගෙ හිතේ ඔයා ගැන තියෙන විශ්වාසය නැතිකරගන්න එපා.

එයා ඔයා එක්ක හිටියාත් නැතත් ඔයා ජීවිතේ ඉස්සරහට යන්න ඕන. එයා වෙනුවෙන් ඔයා ඔයාගෙ ජීවිතේ නතර කරගන්න ඕන නෑ.

“ඔයාට ඔයාව විශ්වාස නම් ජීවිතේ ඉස්සරහට යන්න වෙන කාගෙවත් හයියක් එච්චරටම වැදගත් නෑ”

ඉතින් ඔයා ඔයාව විශ්වාස කරලා ජීවත්වෙන්න!

මේ වගේ අවස්තාවකදී ඔබ මානසික උපදේශන සහයක් බලාපොරොත්තු වනවා නම් රශ්මි රාජපක්ෂ මහත්මිය සම්බන්ද කරගැනීම සඳහා Smartlady Admin වරියක සම්බන්ද කරගන්න පුලුවන්!

Related Articles

Don't Miss


Latest Articles