“ලංකාවෙ නීතිය අනුව මහත්තය ඩිවෝස් එක ඉල්ලන වෙලාවක නම් වයිෆ්ට පැති කීපයක් ඔස්සේ පුලුවන්කම ලැබෙනව ඩිවෝස් එකකට යන්න. ඒ වගේම ඔයාලා දෙන්නට දරුවෙක් ඉන්න හන්දා කස්ටඩි එක විතරක් නෙවෙයි වෙල්ෆෙයා එකකට උනත් යන්න.අපේ මේ කේස් එක අනුව අපිට ඩිවෝස් එකකට යන්න පුලුවන් හොඳම විදිය තමයි මැලිශස් ඩිසර්ශන් එහෙම නැත්තම් ද්වේශ සහගත ලෙස අතහැර යාම කියන පොයින්ට් එක උඩ. ඒකත් අනුමිත ද්වේශ සහගත ලෙස අතහැර යාම කියන පොයින්ට් එක උඩ. මොකද ඔයාගෙ හස්බන්ඩ් දරුවටයි ඔයාටයි කිසිම සාදාරණ හේතුවක් නැතුව ගෙදරින් යන්න කීම නිසා.
ඔයා දන්නවනෙ අපේ රටේ මේ වගේ කේස් එකකදි උසාවිය දරුවාගෙ සුබ සිද්ධිය ගැන නොසිත ඉන්නෙ නෑ. විශේෂයෙන්ම ඔයාගෙ බබා ස්පෙශන් නීඩ්ස් තියෙන දරුවෙක් හන්දා බබාට යම් වන්දියක් වගේම මදර්ස් කෙයා එසෙන්ශල් එකකට උනත් යන්න හැකියාව තියෙනවා. ඔයාටත් කස්ටඩි ඉල්ලන්න පුලුවන් තරංගා විශේෂයෙන්ම මෙතන ඔයාට ගෙදරින් පිටවෙන්න කිව්වෙත් ඩිවෝස් කරනවා කිව්වෙත් කිසිම පදනමක් නැතුව හන්ද”
“අනේ මටවත් මගෙ දරුවටවත් එයාගෙන් නම් සතයක්වත් උවමනා නෑ මැඩම්. මට ඇත්තටම දැන් උවමනා වෙලා තියෙන්නෙ මේ ඩිවෝස් එක ඉක්මනට ගන්න”
“නෑ ඔයා එහෙම හිතන එක වරදක් කියලා මම කියන්නෙ නෑ. ගොඩක් වෙලාවට හස්බන්ඩ් ගෙ පැත්තෙන් ඔය වගේ දෙයක් උනාම ගොඩක් ලේඩීස්ලා කිසිම දෙයක් උවමනා නෑ කියල කියනව. හැබැයි බබා ඉන්න නිසා වගේම ඔයා මුකුත් ඔෆිස් බේස් ජොබ් එකක් කරන්නෙ නැති නිසා මම හිතනව ඒ ඔප්ශන් එක ගැනත් චුට්ටක් හිතලා බලන එක හොඳයි කියලා”
කේතකී මහඉලුක්කුඹුර කියන කතාව ඇත්තක් බව තරංගා නොදන්නවා නොවේ. සින්ගල් මම් කෙනෙක්ට තනියම දරුවෙක් උස් මහත් කරගන්න එක මොනම අවස්තාවකදි වුණත් පහසුව අරගෙන එන දෙයක් නොවේ. අනෙක් අතට තමන්ගේ කියා කෙනෙක් තමන්ට ඉන්නේ ඈත දෙණියායේ මිස මේ කොළඹවත් නොවේ. එහෙම එකේ තමන්ට කියා අඩුම තරමේ මූල්‍ය හව්හරණයක්වත් තියෙන්න ඕනය. ඉස්සරහට යද්දි දරුවෙකු උස් මහත් වෙද්දි මුදල් අවශ්‍යතා වැඩිවෙනවා මිස අඩුවීමක් දකින්නට නොහැක. එහෙත් එහෙමයි කියා තමන්ගේ ප්‍රතිපත්ති, හෘද සාක්ෂිය පාවා දෙන්න හැකිද?
තමන්ට ගෙදරින් පිටවෙන්න යැයි කියුවා වූද තමන්ටත් දරුවාටත් අනන්ත අපහාස කරා වූද මිනිසෙකුගෙන් යැපීමක් ගැන හිතන්න පවා පුලුවන්ද? තරංගා උන්නේ ඇත්තටම කල යුත්තේ කුමක්ද කියා හිතාගන්න බැරුවය. මෙතන සනුකි කියා කෙනෙකු උන්නෙ නැතිනම් තමන්ට “මට ඔය මිනිහගෙන් වතුර පොදක දෙයක් එපා” කියා අත හැර දමන්නට, පිලිකෙව් කරන්නට හැකියාව තිබුණ නමුත් සනුකි දිහා බලද්දි තමන් එහෙම කියන එක කොච්චර දුරට සාදාරණද කියා නොහිත ඉන්න තරංගාට නොහැක.
“මම සනුකිගෙ පැත්තෙන් හිතුවත් මගෙ පැත්තෙන් හිතුවත් මම හිතන්නෙ එයාගෙ සල්ලිවත් වෙන කිසිම දෙයක්වත් නොගෙන ඉන්න එක තමයි මැඩම් හොඳම. මොකද එකට ජීවත්වෙන කාලෙ දහසක් දේවල් කිව්ව එකේ ඩිවෝස් එකෙන් පස්සෙ එයාගෙ දේවල් අරගන්න එක ගැන මනුස්සයෙක්ට මොනවා නොකියා ඉන්න පුලුවන්ද? මං හිතන්නෙ නෑ සනුකි උනත් ලොකු වෙච්ච කාලයක වරදක් හිතාවි කියල මම එහෙම ඩිසිශන් එකක් ගත්ත එක ගැන. මං දැනට අර්න් කරන එක හොඳටම ඇති සනුකිටයි මටයි ජීවත්වෙන්න. එයා ලොකුවෙලා ඉස්කෝලෙ එහෙම යද්දි මට තව ටිකක් වැඩ අරගෙන කරන්න පුලුවන් නෙ. ඒ නිසා මං හිතනව වෙල්ෆෙයා වත් වෙන මදර් කෙයා සපෝර්ට් එකක් වත් මොකක්වත් එයාගෙ පැත්තෙන් නොගන්න තරමට හොඳයි කියලා”
“ඕකේ. එහෙමනම් අපිට ඊලඟට කරන්න තියෙන්නෙ ඔයාගෙ පැත්තෙන් දිස්ත්‍රික් කෝට්ස් වල ප්ලේන්ට් එකක් දාන එක තමයි.ඔයාට ඔයාගෙ හස්බන්ඩ්ගෙ ඇබැන්ඩන්මන්ට්, නිග්ලෙක්ට් කරපු ඒවට එවිඩන්ස් පෙන්නන්න පුලුවන් නම් කේස් එක තව ස්ට්‍රෙන්තන් කරගන්න පුලුවන්.
හැබැයි දැන් එයා කතා කරලා ඩිවෝස් එක දෙන්න බෑ වගේ සද්ද දාපු හන්දා ඔයා හිතනවද අපි ඒ නෙක්ස්ට් ස්ටෙප් එකට ගියත් මනුස්සයා ඒකට ඇග්‍රි වෙයි කියලා?”
එදා නීතිඥවරිය හමු වී එන අතරවාරයේත් තරංගා කල්පනා කලේ ඒ ගැනය. හදිසියේ හරි මේධංග තමන්ට රිද්දන්න, තව කරදර කරන්න හිතාගෙන දික්කසාද පමණට වඩා වැඩියෙන් ඇදගෙන ගියොත් ඒක වෙනම හිසරදයක් වෙන බව අමුතුවෙන් කියන්න ඕන නැත. මේ පැටලුම් ලෙහාගන්න කරන්න ඕන කුමක්ද කියා ඇත්තටම තරංගාට හිතාගන්න බැරිය. ලබන සිකුරාදා පෝය නිවාඩුවක් එන එකේ සති අන්තයේ දෙණියායේ ගියා නම් අක්කා උයන බත් කටක් කා නිවිහැනහිල්ලේ ගමේ හුලඟ අස්සේ මේ කරදර ඔක්කොම හිතා අවසන් කරන්න පුලුවන් බව තරංගා හිතුවේ ඒ අනුවය.
වීකෙන්ඩ් එකේ ඉවර කරන්න හිතාගෙන උන් ෆ්‍රීලාන්ස් ප්‍රොජෙක්ට්ස් දෙකක වැඩ ටිකක් රෑ වෙනතුරු ඇහැරී ඉඳියොත් මේ දවස් ටිකේ ඉවරකරගන්න පුලුවන් ය. තමන් වැඩ කරන්නේ ගෙදර හිඳගෙන උනත් ලංකාවට අයිති සියලුම නිවාඩු රැකියාව කරන තැනට අදාල හන්දා එතනින්ද සිකුරාදාට වැඩ කිරීමේ ගැටලුවක් මතුවෙන්නෙ නැත.
සාගර උන්නේ සුපුරුදු විදියට නවාතැන්පොලේ සඳ එලියෙන් පමණක් එලිය වැටුණ අඩ අන්දකාර සඳලුතලයට වී මින්ට් ටී කෝප්පයක් රස විඳිමිනි. ඒ මිහිරි මින්ට් ටී සුවඳ හා පෑහුණ අතේ තිබුණ මරදානේ දයාවංස ජයකොඩි පොත් හලෙන් ගත් ජයකොඩි සෙනෙවිරත්නයන්ගේ දිසාපාමොක් පොත සාගරව මේ ලෝකයෙන් ඈතකට ගෙන ගොස් උන්නේය. සාගර යළිත් මෙලොවට ආවේ ඈත පන්සලක ඝන්ටාර නාදයක් ඇසුණත් එක්කය.
තරුණ වයසේදීම උසස් අද්‍යාපනය සඳහා එංගලන්තය බලා ගියද, එංගලන්තයේ බොහෝ විසිතුරු මැද ජීවිතය ගෙව්වද තමා හැමදාමත් පැතුවේ මේ වගේම නිහඬ නිස්කලංක සැඳෑ වරුද, උණුසුම් රාත්‍රීන් ද, පැහැබර උදෑසනක් ද සපිරි ජීවිතයක් බව සාගරට අමතක නැත. අඩුවෙන් ගෘහ භාණ්ඩ තබන ලද, පැල ජාති බොහෝ ගණනක්ද තැබූ කුඩා නිවහනක, මින්ට් තේ සුවඳ දෙන ආදරණීය හිතක් ද ඒ නිස්කලංක ජීවිතය ගැන සිහිනයේ හුස්ම ගත් බව සාගරට අද වගේ මතකය. එහෙත් කොතනක හෝ වැරදී ඒ මින්ට් තේ සුවඳ වෙනුවට තමන්ගේ ජීවිතයට ආවේ Maison Francis kurkdijian baccarat rouge වැනි ඉහල පෙලේ සන්නාමයකින් හා කෘත්‍රිම විලවුන් සුවඳකි.
ඒ කෘත්‍රිම විලවුන් සුවඳ තමන් පැතූ මින්ට් තේ සුවඳ හිතෙන් ඉවත්කර දමා එහි ලැගුම් ගනු ඇතැයි සිතුවද හදවතේ බොහෝ ඉඩක වැතිර උන් ඒ සුවඳට මින්ට් තේ සුවඳ වෙනුවෙන් වෙන් කර තැබූ ඉඩෙහි දොරගුලු හරින්න කිසිසේත් හැකිවුනේ නැත. අවසානයේ වූයේ ඒ Maison Francis kurkdijian baccarat rouge සුවඳ හිතෙන් පිටමං වීමය. මුලින් ඒ දරාගන්න, පිලිගන්න හිත අකමැති වුණත් අද ආපහු හැරී බලද්දී එසේ වෙන්වීම තමන්ගේ හිතට සැනසීමක් ගෙනවිත් තිබෙනවා නොවේද කියා පිළිගන්න සාගරට හැකිය.
ගමේ උන් අම්මාගෙන් දුරකතන ඇමතුමක් ආවේ ඒ කල්පනා සාගරයේ සාගර ගිලී ඉද්දීය. අම්මා මේ අමතන්නේ එදිනෙදා සුව දුක් විමසන්න බව ඉතින් සාගර නොදන්නවා නොවේ. තමන් අවුරුදු හතලිස් ගණන් වල මනුස්සයෙක් වුණත් අම්මාට තමන් තවම දරුවෙකි. අම්මා ගමේ ඉද්දී දරුවා කොළඹට වී ඉන්න එක අම්මාගේ හිතට සාංකාවකි.
“පුතා දැන් ද ගෙදර ආවේ…”
“ටිකක් වෙලා අම්මෙ”
“කෑවද?”
“රන්බත් එකෙන් මං බත් එකක් ගත්තා”
“මොනවද තිබුනෙ බත් එකේ?”
“රතු බතුයි, පොලොසුයි, පොල් සම්බෝලයි, කඩල පරිප්පුයි, තව කරියක් තිබ්බා”
“අනේ මන්ද ඔය හොඳයි කිය කිය පුතාල කන ඒව…”
“තාත්තා මොකද කරන්නෙ?”
“මේ වෙලාවට ඉතින් තාත්තා කාමරේට වෙලා පොත් කියවන එකනෙ කරන්නෙ. පුතා ලඟදි ගෙවල් පැත්තෙ ආවෙත් නැති එකේ මං කතා කරේ කවද වගේද එන්නෙ කියලා අහන්න”
“එන්න තමා ඉන්නෙ අම්මෙ, වැඩ හන්දා තමා එන්න බැරි වුනේ. මං ලබන සතියෙ වගෙ එන්න ඉන්නෙ. හදිසියක්ද?”
“නෑ නෑ, පුතා ලබන සතියෙ එන්න එපා, විසි තුන්වෙනි සෙනසුරාදා අල්ලල ගෙදර එන්න”
කවදාවත් නැතුව අම්මා එහෙම කිව්වෙ හිතෙ යම් රහසකුත් වචන අස්සෙ යම් සිනාවකුත් හංගගෙන බව තේරුම්ගන්න සාගරට අපහසුවක් දැනුනේ නැත.
අපහසුව තිබුනේ ඒ කුමක්ද කියන කුකුස හිත අස්සේ පෙරලි කරමින් උන් එකය.