ඉරිසියාකාරියෝ

“අනේ අහන්නකො.මං බබාට මේවා ගත්තට කමක් නැද්ද?”

මාධවී ඉන්නේ දුරකථන තිරය දිහා බලාගෙන.ඇය හෙට අනිද්දා උපදින්න ඉන්න දරුවාට බඩු මුට්ටු එක්‍ රැස් කරන ගමන් හැමෝගෙම අදහස් විමසන්නේ හරිම උද්‍යෝගයකින්.

“ඔය හැමදේම ආසාවට ගන්නත් එපා මාධවී.මොකද ඔය සමහර දේවල් බබාට පාවිච්චි කරන්නවත් වෙන්නෑ.”

දුලනි එහෙම කිව්වේ ඒ සම්බන්ධයෙන් ආසන්නතම අත්දැකීම් ඇත්තේ ඇයට නිසා.දුලනිට බබා ලැබිලා දැන් වැඩි කාලයක් නෑ.මාධවී මඳ සිනාවකින් ඒ යෝජනාව පිළි ගත්තා.දරුවන් ලැබීමේ ගැටළු තිබුණු කාලේ මාධවීට ඒ සම්බන්ධයෙන් උපදෙස් ලබා දුන්නෙත් දුලනි.දුලනි කාටත් උදව් කරන්න පැකිලෙන්නේ නෑ.ඒ ගැන හිතනකොට කාටත් දුලනි ගැන දැනෙන්නේ ප්‍රසාදය පිරුණු හැඟීමක්.

“ඔයත් දැන් ටිකක් රිලැක්ස් එකේ ඉන්න.තව වැඩි දවසක් නෑනෙ.”

දුලනි එහෙම කියලා නැගිට්ටේ වෙනත් අංශයකට යන්න උවමනා වුණු නිසා.

“දුලනි හරි හොඳයි නේද? පහුගිය දවස්වල මම අපේ අම්මා අසනීපෙන් ඉන්නකොට හරියට හර්ට් වුණා.දුලනි නැත්නම් මට පිස්සු හැදෙනව.ඩොක්ට අමුණුගම ගැන විස්තර ඔක්කොම හොයලා දුන්නෙ දුලනි.”

චාමලී කතා කරේ පුදුමාකාර පැහැදීමකින්.

“ඔයාට ඉතිං ඒවා විස්වාසයි?”

මාධවී අහන්නේ සමච්චලේට.

“නැත්තං අනේ.කැන්සර් එකක් මුලදිම අඳුනා ගන්න එකම ඇතිනෙ.මගෙ අම්මා දැන් හොඳින් ඉන්න එකේ පින ඔක්කොම අයිති දුලනිට”

චාමලීගේ කටහඬ සංවේදිකමින් පිරුණු එකක් වෙන්න වැඩි වෙලා ගියේ නෑ 

“මං නම් කියන්නෙ ඔය මිනිස්සු ඕනවට වඩා උඩ යවන්න එපා.”

පුදුමාකාර විදියට උදව් කරපු දුලනිට එහෙම කියන්න මාධවීට පුලුවන් වුණේ කොහොමද කියලා චාමලී කල්පනා කරේ පුදුමයෙන්.පැය අටේ යාලුවෝ තමයි.ඒ වුණත්?

“ඔයාටම කොච්චර උදව් කරාද අනේ එයා?”

චාමලී කියන්නේ නොරිස්සුමෙන්.

දුලනි තමන්ගේ ලොකුකම පෙන්වන්න ඕනෑම වෙලාවක හැම දෙයක්ම දන්නවා කියලා පෙන්වන බවත්,සමහර වෙලාවට ඇයට ඕනෑ තමන් මිල අධික දේවල් පාවිච්චි කරන බව,කොහොම හරි හොඳම ප්‍රතිකාර ලබන බව පෙන්වන්න බවත් මාධවී කිව්වෙ තරහින්.

“දැන් පේන් නැද්ද? මට කියපු දේ.අර සමහර බඩු ගන්න එපාලු.ඒ කියන්නෙ එයාට විතරයි ඒවා ගන්න පුලුවන්.”

මාධවීගේ කටහඬ සමච්චලයෙන් පිරිලා.ඒත් ඇය එහෙම කියන්න ඇත්තේ අපතේ දාන්න දේවල් නොගන්න කියලා චාමලී පැහැදිලි කරන්න උත්සාහ කළා.

“නෑ අනේ.ඉරිසියාව.අපි හොඳට ඉන්නවට තියන ඉරිසියාව.”

මේ තරමට විනිශ්චය කරන අය එක්ක ගනුදෙනු තියාගැනීමත් භයානකයි කියලා චමලීට හිතුණා.ඇය කතාව දිගට ගෙනියන්නේ නැතුව ඉන්න හිතුවේ ඒ නිසා.ඒත් මාධවී ඒකට ලෑස්තිත් නෑ.

“මං නම් අපේ බබාට උපදෙස් ගන්නෙ මල්කාගෙන්”

මල්කා කියන්නෙත් හොඳ මිතුරියක්.අහන දේවල් වලට ඇයත් කිසිම වෙලාවක මඟ නොහැර පිළිතුරු දෙන බව ඇත්ත.ඒත් මේ කතාවෙ අමුතු කුහකකමක් චාමලීට තේරුම් ගියා.

“ඔය දුලනි මට ඉරිසියාවයි.මට ලැබෙන්න ඉන්නෙ පුතෙක්නෙ.”

මාධවී වටපිට බැලුවේ අපහසුවෙන්.මේ ගර්භනී කාලයේදී වෙන වෙනස්කම් ද කියල හිතාගන්න බැරි මාධවි ඉස්සරත් මේ වගේ බව මතක් වුණු නිසා

“මම මල්කාගෙන් දේවල් අහන්නෙ එයාට ඉන්නේ පුතෙක් නිසා.අමාරුවෙන් ළමයෙක් හදාගෙන ඒ හැදුනු ළමයත් දුවෙක් උනාට පස්සේ දුලනි මට ඉරිසියා කරන එක අහන්නත් දෙයක් නෙමෙයිනේ.”

චමලී අසුනින් නැගිට්ටේ අකමැත්තෙන්.තවදුරටත් වාද කරන්න අදහසක් නැත්තෙ   මාධවී ඉන්න තත්ත්වය ගැන හිතන්න ඕන නිසා.

“අනේ ඔය මාධවී ඕනෑ මනුස්සයෙක්ගෙ දකින්නෙ නරක විතරයි.”

හිත හදාගන්න කියලා කුණු සේරම පවනි ළඟ හැළුවට පස්සේ පවනි කිව්වේ හිනා වෙවී.

“මේ ඔෆිස් එකේ කාට හරි බැනලා බලන්න.එයාට බනින්න දාහක් කතා මාධවී ළඟ තියෙනවා.ඊට පස්සේ ඔය ෆේස්බුක් එකේ අඳුරා ගත්ත කාට හරි බැනලා බලන්න.ඒ හැමෝම ඇහැට දැකලා තියනවා වගේ මෙයා බනින්න පටන් ගනී.ඊටත් පස්සේ කාටහරි සෙලිබ්‍රිටි කෙනෙක්ට බනින්න.ඒ මනුස්සයාගේ අනියම් ප්‍රේම සංඛ්‍යාවයි  සුදු වෙන්න ගත්තු ජාති ඔක්කොම කියන්න පටන් ගනී.ලංකාවෙ අය විතරක් නෙමෙයි ඔයාට උණ දීපිකාට හරි අනුෂ්කාට හරි බැනල බලන්නකෝ.”

පවනි කියන්නේ උස් හඬින් හිනා වෙන ගමන්.

දුලනි දරුවෙකු ලබා ගැනීම සම්බන්ධයෙන් අමාරු ගමනක් පැමිණි කෙනෙක්.ඒ අසීරු මාවතේ ඇවිද ගෙන එන ඕනෑම කෙනෙකුට උපකාර කරන්නට වචනයකින් හෝ උදව්වක් කරන්න ඈ පැකිලෙන්නේ නැහැ.වෛද්‍යවරයෙක් නිර්දේශ කිරීමේ ඉඳලා මාධවී ගැන හොයා බැලීම දක්වාම හැම දෙයක්ම දුලනි කරේ බොහොම හොඳ හදවතින් බව හැමෝටම තේරෙනවා.

ඒත් මාධවීට තේරෙන්නේ නෑ.

“හැමෝම එයාට ඉරිසියයි කියලා හිතෙනකොට එයාට මොනවද ලැබෙන්නෙ?”

චමලී කිව්වේ කේන්තියෙන්.

“කිසිම දෙයක් නෑ අපි හිනා වෙලා සතුටින් ඉන්න කොට එයා පුරුදු විදිහට පුපුර පුපුර ඉන්න එක තමයි.ඔය තත්වෙන් මෙහෙම ඉන්න ගියාම හරිම ෂෝක් කියලා තමයි කියන්න වෙන්නෙ.”

පවනි නම් කතා කරන්නේ හරිම අප්‍රසාදයෙන්.

“හැමෝම ඉන්නෙ තමන් එක්ක ඉරිසියාවෙන් කියල හිතන උදව්වක් කරන මනුස්සයෙක්ගෙ වුණත් වැරැද්දම හොය හොයා කියන අය ආස්සරේ නොකර ඉන්න තරමට හිතට සැනසිල්ලයි.”

පවනිට නම් තිබුණේ එහෙම දැක්මක්.ඒ කතාව වැරදි නෑ නේද කියලා චමලී කල්පනා කළා.කාගෙන්වත් ගරුත්වය හෝ පෙරලා උපකාර බලාගෙන උදව් නොකරන බව ඇත්ත.ඒත් ඕනෑම කෙනෙකුට අනිත් කෙනා ගැන ගෞරවයක් තිබිය යුතුමයි.එහෙම නොවෙන තාක් හැමදෙයක්ම අවුල් වීමේ ඉඩකඩ වගේම අනිත් අයට අපි එපා වීමේ ඉඩ වැඩියි.

“එයා අහන කියන දේකට හා හ්ම් කියනවා මිසක ඕවට උත්තර නොදී ඉන්න බලන්න චමෝ.එතකොට වැඩේ ඉවරයි.”

මේ කිසිම දෙයක් දුලනිට නොකීවත් ඒ කතාව ඉස් මුදුනින්ම පිළිගන්න චමලී තීරණය කලා.

More Stories

Don't Miss


Latest Articles