මා හිස පිරිමැද 17

සුළඟත් එක්ක ආනත වූ වැස්ස ඇවිත් ජනේල වීදුරු වල හඬ නගමින් හැපේ. ජනේලයෙන් පිටත පෙනෙනා පසුබිම ඝණ සුදු පැහැති ය. වැහි දිය කැරලි ඒ තරම් ඝනකමට විසිර යයි. වැහි හඬ දුක් ගීතයක් සේ අඩු වැඩි වෙමින් ගායනය වේ. සුළං හඬ දුක්බර සංගීතයක් සපයයි. මම ටික වෙලාවක් මේ මායාව තුළ දැහැන් ගත වී ජනේලයෙන් බලා ගෙන සිටියෙමි. යළි ඇවිද විත් මේසය ළඟ හිඳ ගෙන විදුර වරදත්ත ගේ අත් අකුරින් ලියැවුණ සටහන් පොත පෙරළා ගතිමි. 

” දැන් තත්පර හරි දිගයි. මේ දවස් ගෙවෙන්නෙ අවුරුදු ගණන් තරං හෙමින්. හිත හරි මුස්පේන්තුයි. කාලය ගෙවා ගන්නෙ කොහොමද කියල සමහර වෙලාවට මං හිතනව. හිත එකලාස කරගෙන පාඩමක් කරගන්න බෑ. විභාගෙත් ඔහේ ගෙවිල යද්දෙන් කියල නොහිතෙනව නෙවෙයි. ඒත් මේ කඩඉම හොඳට පැනගන්න ඕනෙ කියල මං දන්නව. මේ හැම දේටම විරුද්දව සටන් කරන්න මට තියන එකම ආයුදේ ඒක.

කොච්චර කාලයක් අපි මෙහෙම ඉන්නද කියල හිතනකොට හරි දුකයි. මේ දේවල් ටිකක් සන්සුන් වෙලා ඔයා මෙහෙට ආවට පස්සෙ අපි එක වහලක් යට ජීවත් වෙමු. තවත් ඈත් වෙලා ඉන්න මට ඕන නෑ. ඒ දේ කරන්න ගිහිං මූණ දෙන්න වෙන ඕනම දේකට ෆේස් කරන්න මං ලෑස්තියි. මං දන්නෙ දැන් මට ඔයා නැතුව බෑ කියල විතරයි”

තිසුරි ගේ දිගු පණිවිඩ කියවීම පමණක් මේ අඳුරු දින වල එක ම ප්‍රීතිමත් ආලෝකයයි. සමහර විට මා ඒ එක් පණිවිඩයක් විසි තිස් වතාවකටත් වඩා කියවන්නට ඇත. එනයින් මට ඒවා කටපාඩම් ය. ඇගේ ආදරය ජීවත් වීමට දැන් මට වන ලොකු ම බලාපොරොත්තුව යි.

නිකවැරටියෙන් එපිටට වන්නට පිහිටි මනහර ග්‍රාමයක මම සැඟවී ගෙන සිටිමි. ඒ මගේ විශ්ව විද්‍යාල මිත්‍රයෙකු ගේ නිවහනේ ය. මිතුරා ඒ ආශ්‍රිත පාසලක උසස් පෙළ ගුරුවරයෙකු ලෙස සේවය කරයි.  මගේ වෘත්තීය අනාරක්ෂිතභාවය පිළිබඳව කදිමට දැන උන්, ඒ කාලේ ශිෂ්‍ය ව්‍යාපාරයේ සක්‍රිය සාමාජිකයෙකු වූ මිතුරා ආරක්ෂාව අවශ්‍ය වූ විටෙක දෙවරක් නො සිතා එහි එන ලෙස මට විවෘත ආරාධනයක් කොට තිබුණේ ය. චන්දන රණවීර ඝාතනය කොට ඇති බව සැල වූ ප්‍රථම තත්පරයේ මම නිකවැරටියට පලා ආවෙමි.

මෙය වූ කලී ගොවිතැනින් ජීවත් වන ගැමියන්ගේ වාස භූමිය වූ ග්‍රාමයකි.  ඔවුහු නිරන්තර මහපොළොව සමග ඔට්ටු වෙති. මගේ මිතුරා ගේ පියා ගොඩ මඩ ඉඩකඩම් වගා කළේ ය. ඒ නිසා ඒ ගෙදරට නිතර මිනිස්සු ආවෝ ගියෝ ය. වැඩි ආරක්ෂාව පිණිස මා උඩු මහළට ම වී සිටිත යුතු බව මිතුරා ගේ අදහස විය. කොංක්‍රීට් ස්ලැබ් එක දමා සෑහෙන කලක් ගත වී තිබුණ ද ඒ ගෙයි උඩු මහල තනා නැත. ඉහළට දිවෙනා පඩි පෙළ විවරය ආවරණය කෙරෙනා සේ තැනූ කාමරයක් පමණක් එහි තනා තිබේ. බිත්ති, බ්ලොක් ගල් වල දුහුවිලි නැංවෙන කපරාදු නොකළ ඒවා ය. බිම කොංක්‍රීට් පොළොව ය. මිතුරා, ජානක, මා වෙනුවෙන් කුඩා පරණ ඇඳක් එහි දමා තිබිණ. මා ලියන්නේ ද ඇඳ උඩ හිඳගෙන ය. 

ගැමියන් නිතර යන එන නිසා මා ඉන්නේ මේ කාමරයේ සිරකරුවෙකු වී ය. ජානක හැරෙන්නට ගෙදර කෙනෙකු සමග හෝ මා පයුරු පාසානමකට යන්නේ නැත. මා කළු ද සුදු ද කියා හෝ ඔවුන් දුටුවේ නැත කියා සිතමි. මගේ කෑම පිඟාන ජානක උඩට ගෙන එයි. වතුර ටික ගෙන එයි. දිය නා ගන්නට ඔහු මා ගේ පිටුපස දොළට කැටිව යන්නේ වුව ඇඳිරි වැටුණ පසු ය. පිටුපස මිදුලේ වන වැසිකිලියට යන්නට ඕනෑ වුණත් කිසිවෙකු පේන්නට නැති වෙලාවක් වන තුරු බලා සිටින්නට මට සිදු වේ. කෙසේ වෙතත් මේ වෙලාවේ මගේ දිවි රැකී තිබෙන්නේ ජානක නිසාවෙනි.

පවතින ක්‍රමය මට තිත්ත ම වී තිබේ. චන්දන මුණවීර ගේ මරණය දින ගණනාවක් යන තුරු මා කීරි ගස්වා තිබිණ. සැබවින් මරණ බිය ඒ තරම් දරුණු ලෙස මින් පෙර මට දැනී නැත්තේ ය. මැරෙන්නට බැරි ලෙස තිසුරි මා ජීවිතය දෙසට අදිමින් සිටියි. ඔත්තුකරුවෙකු ගැන වන සැක බිය නිසා දවල් දවසේ ම දාඩිය පෙරා ගෙන මම කුඩා කාමරය තුළ සිරගත වී සිටිමි. එහෙව් කටුක වූ දීර්ඝ දිනයක පවා තිසුරි ගේ සිනහව මගේ ජීවිතාශාව දල්වයි.

මා දුරකතනය ක්‍රියාත්මක කරන්නේ ඉඳහිට රැයක ය. එතකොට තිසුරි ගේ ලියුම් ගොඩක් මගේ හදවත සිප ගනී. අම්මලා මේ දුරකතනයට ඇමතුම් ගන්නේ හෝ පණිවිඩ තබන්නේ නැති තරමට දැන් මගේ ප්‍රවේසම ගැන සිතති. මෙම සිම්පත මගේ මිතුරෙකු ගේ නමින් ලියාපදිංචි කොට ඇති එකකි. නමුත් ගෙදර දුරකතන අංකය ඔත්තුකරුවන් අත තිබේ!

“අනේ පුතේ මගෙ මිණියට කර ගහන්න කියල පුතෙක්ට ඉන්නෙ උඹ විතරයි. ඉන්න තැනක පරිස්සමෙන් පුතේ”

සන්නිවේදන මධ්‍යස්ථානයකින් මෙහි එන ගමන් අම්මා ට පණිවිඩය දෙත්දී ඇය හඬා වැටුණා ය.

“තාත්ත නැති වුණ දා ඉඳල මේ පවුලට තාත්ත වුණෙ උඹ. මට මේ දේවල් වාවන්නෑ පුතේ”

කවදාවත් නැතිව මට හැඬෙන්නට ආවේ ය. නමුත් මම අසීරුවෙන් මා පාලනය කොට ගතිමි. මගේ කඳුළක් ගැන ඉව වැටුණෝතින් අම්මා ට ඔය දරා ගැන්ම දරා ගත හැකි වන්නේ නැති බව මට ඉඳුරා විශ්වාස ය.

“බය වෙන්න එපා  මං ඉක්මනට එනව. අම්ම විශ්වාස කරං ඉන්න”

එපමණක් කියා මම දුරකතන සම්බන්ධය බිඳ දැමුවෙමි. මේ මොහොත වන විට අම්මා හැඬූ කඳුළින් මේ අඳුරු දවස් ගත කරනවා විය යුතු ය. මා ගැන සිතත්දී ඇයට බත් කටක් ගිලෙන්නේ හෝ නින්ද යන්නේ නැතැයි තිසුරි කියා තිබිණ. අම්මා දැන් වසර ගණනක් තිස්සේ එසේ කියන්නී ය. මට ඒ දුක එක ගැහැනියකට සීමා කරන්නට අවසාන මොහොතේ බැරි ව ගියේ ය.

මේ ගම ලස්සන ය. නමුත් විවේක සුවයෙන් මිදුලට බැස ගම පුරා ඇවිදින්නට මට නො හැකි ය. ඔත්තුකරුවන් මෙහි සිටිතැයි සිතිය නො හැකි මුත් මා දකිනා එක මිනිසෙකු ගේ මුවින් අහඹු ලෙස පිට වෙන වචනයක් වුව ඔත්තුකරුවෙකු වෙත සම්ප්‍රාප්ත විය හැකි යයි ජානක බිය වෙයි. ඔහු කියන්නේ සැබෑවකි. ප්‍රවේසම නම් එය වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ප්‍රවේසමක් විය යුතු ය. 

දාඩිය පෙරා ගෙන දවල් දවස ගත කිරීමෙන් පසු ජානක සමග දිය නාගෙන විත් අප දෙදෙනා කොංක්‍රීට් වහලය මත හිඳ කයිවාරුවක් ගසන්නෙමු. ඇතැම් දිනෙක මී විතක් අප වඩාත් දොඩමළු කරවයි. බොහෝ දින වල මම කොංක්‍රීට් තලාව මත වැතිර අනන්ත අහස දෙස බලා ඉමි. එතකොට අහසට සේ ම මගේ සිතිවිලි වලට ද පරක් තෙරක් නැත.

“මේ රට හදන්න බෑ බං. ඒක දැනගෙන තමයි මන්නං ඔය දේශපාලනෙං ඈත් වෙලා දෙයියනේ කියල මේ රස්සාව කරගෙන ඉන්නෙ”

මී විතෙන් පදම් වෙත්දී ජානක ගේ දොඩමළුව වැඩි වේ.

“මේ ගමේ පොඩි උන්ටත් මං කියන්නෙ…මුන්ට වෙන මාර්ගයක් නෑ බං. ඒක නිසා උං ඉගෙන ගන්නම ඕනෙ. මේ ගම් වල හේනට කුඹුරට කර වෙන මිනිස්සුන්ගෙ දරුවො හැබැයි ඒක තේරුං ගන්නව. පුළුවන් තරං එවුං ශිෂ්‍යත්වෙ පාස් වෙලා කොළඹ ඉස්කෝල වලට හරි කුරුණෑගලට හරි පැනගන්නෙ මහ එවුං තමුං කන  කට්ට දන්න නිසා. ගමේ ළමයි සෑහෙන ගාණක් කැම්පස් සිලෙක්ට් වෙනව. එහෙම කරල කොළඹට පැනගෙන මොකක් හරි කර ගත්තොත් මිසක්…ගම් වල අහිංසකයො ගැන කවදාවත් රටේ මහ එවුංගෙ ඇස් ඇරෙන්නෑ බං. ඇත්තටම මේ ගම් වල නූගත් මිනිස්සු හිතං ඉන්නෙ දේශපාලකයො ටික දෙවිවරු වගේ රට හදනව කියල. මේ හුඟක් ගම් වලට පේන්නෙ ගවන්මන්ට් එකට සම්බන්ද ටීවී චැනල් දෙක විතරයි. ඉතිං ඒවයෙ කියන දකින ඒව දේව වාක්‍ය වගෙයි ඒ මිනිස්සු අදහන්නෙ. විදුර…උඹල අපි කොච්චර දතකෑවත් මේක වෙනස් කරන්න අපිට බෑ බං. වෙනස් කරන්න මුං ඉඩ දෙන්නෑ. පේනවනෙ…සිස්ටම් චේන්ජ් කරන්න ලියන එවුං කතා කරන එවුං පරලොව යවනව. උං රට වෙනුවෙන් ලියල…ගෑනු දරුවො අසරණ විදිහට ලෝකෙ තනි වෙනව. මේක මහ කරුම රටක් බං. සක්කිලි දේශපාලනයක්…”

ජානක කියවන්නේ කටේ තොලේ ගෑවුණ හින්දා ම නොවේ. ඒ ඔහු ගේ හද තුළ කැකෑරෙමින් පවත්නා සත්‍යය ය. විශ්ව විද්‍යාලය තුළදී කවර අරගල සිදු කළ ද ඉන් පිටතට පැමිණි කල ජීවන අරගලයට මුහුණ දිය යුතු බව තහවුරු වීමෙන් පසු ඔවුහු රට හැදීමේ අරගල අත් හැර දමති. යථාර්ථය එයයි. ඌරන් කැකුණ තලත්දී හබන් කුකුළන් ට රජ මගුල් ය. උගතුන් කලකිරෙත්දී දේශපාලකයන් ගේ තත්වය ද එය වේ.”

බරැති සුසුමක් එක්ක මම සටහන් පොත වසා තැබීමි. ඒ සිදුවීම වූ දවස් සිහි වෙත්දී අදටත් මගේ සිරුරේ හී ගඩු පිපේ. මාධ්‍යවේදී චන්දන රණවීර ඝාතනය අභිරහසක් ලෙස ඉතිහාසයට එක් වී තිබේ. නමුත් එය වූ කලී නින්දිත හා සාහසික වූ දේශපාලන පළිගැනීමක් බවට එකී ඉතිහාසය ම සාක්ෂි දරයි. 

ඒ ඝාතන උණුහුම තුනී වී යන තුරු විදුර ට නො ලියා ඉන්නයි පුවත්පත් ආයතනය ඉල්ලීමක් කොට තිබේ. ඒ ඔවුන් වෙතට එල්ල වූ තර්ජන නිසා සේ ම විදුර ගේ පවුල ගැන ද සලකා ය. ඔහු ගේ පවුල ගෑනු ළමයින් තිදෙනෙකුගෙන් හා එක් පිරිමි ළමයෙකුගෙන් සමන්විත වූවකි. තාත්තා මිය ගියාට පස්සේ මුළු පවුලට ම තාත්තා වී තිබෙන්නේ විදුර ය. ඔහු සිය මවට ද සොයුරියන්ට ද දැක්වූයේ අසීමිත ස්නේහයකි. අක්කා ද ලොකු නංගී ද විවාහ කොට දී තිබුණේ ඔහු ගේ මූලිකත්වයෙනි. පොඩි නංගී විවාහ කොට දීමේ වගකීම ද අම්මා වෙනුවෙන් යුතුකම් ඉටු කිරීමේ වගකීම ද තව දුරටත් ඔහු මත පැටවී තිබිණ. ජනරාව අධ්‍යක්ෂ මණ්ඩලය මේ සියලු කාරණා සලකා බලා ඉනික්බිති ටික කලක් විදුර ට වැටුප් සහිත නිවාඩු ලබා දුන්නේ ය. නමුත් ටික කලකට පසු ඔහු යළි කොළඹ විත් වැඩ පටන් ගත්තේ ය. එයින් අනතුරුව අප හමු වූ මුල් ම දවස මගේ ජීවිතයේ අතිශයින් ම වැදගත් දින අතරින් එකක් ලෙස මතක ඉතිහාසයේ සනිටුහන් වී තිබේ. මෝටර් රථය ගෙදර දමා එදා මම කැබ් එකක් දමා ගෙන පිටකොටුවට ගියෙමි. අක්කා හෝ මා විදුර හමු වන්නට යන බවක් දැන සිටියේ නැත. මහනුවර නගරාන්තර බස් නැවතුම අසල දී හමු වී අපි වෙන වෙන ම බසයට ගොඩ වී එක යුගල අසුනක හිඳ ගතිමු. දෙතොල් අතරේ නලියන සිනහව මගේ පාලනයෙන් තොර විය. විදුර ගේ සුරත් බාහුව මගේ අත් දෙකෙන් ම වැළඳ ගෙන, එහි මගේ කම්මුලක් තද කොට ගෙන විනාඩි කීයක් ද මන්දා මම නිසසල ව ම සිටියෙමි. විදුර ගේ වැලමිට මගේ කකුලකට බර වී තිබිණ. ඔහු දිග ම දිග සුසුමක් හෙළුවේ ය. නිකට ඒ අතට තද කොට ගෙන මම දෑස් නගා ඔහු දෙස බැලීමි.

“ඔයා පව්. මට ඔයා ගැන මාර දුකයි”

ඉතාමත් හෙමිහිට ඔහු මුමුණා කීවේ ය.

“මට ඔයා ගැන ආඩම්බරයි. මට ඔයා ගැන සතුටුයි. ඒ වුණාට මට ඔයා ගැන මාරම ලෝබයි”

මගේ ස්වරයේ හුරතල් කෙල්ලක ගේ දඟකාර බව අඩු නැතිව තියෙන්නට ඇත. ඔහු ක්ෂණික සිනහවක් පෑවේ ය. 

“අපිට එහෙ ඇවිදින්න බෑ කෙල්ලෙ. මේකෙන් බැහැල…එහෙන් එන්න තියන බස් එකට නගිමු”

“ඒ ඇවිත් ආයෙ මෙහෙන් යන බස් එකට නගිමු”

අප දෙදෙනා ම සිනහ වූයේ කිසිදු ජීවිත තර්ජනයක් නැති, ප්‍රේමයට කිසිදු බාධාවක් නැති පෙම් යුවළක ගේ සැහැල්ලුවෙනි. අම්මා වෙනදාටත් වඩා ගිලන් වී ඇති බව එදා ඔහු කීවේ ය. මගේ තාත්තා ගේ අමතක වීමේ තත්වය ද ටික ටික නරක අතට හැරෙමින් ඇති බව මම කීවෙමි. අප දෙදෙනා ගේ ම හිත් වල සංවේදී බවක් ද බරක් ද විය. 

“ඔයාට පුළුවන්නං මගෙ අම්ම වෙනුවෙන් එකම එක දෙයක් කරන්න. මාත් එක්ක එයාව බලන්න යන්න එන්න”

“ඔයා කතා කරන ඕන වෙලාවක මං එන්නං. ඒත්…මං කාගෙ කවුද කියල දැනගත්තහම…එයා මට කැමති වෙයිද…”

“මං කවුරුහරි ගෑනියෙක්ට ලං වුණානං ඒ මට ආදරේ කරන කෙනෙක්ට තමයි කියල අම්ම දන්නව. අඩුම ගානෙ…එයාගෙ ජීවිතේ අන්තිම කාලෙ එයා සැනසීමෙන් ඉඳියි ඔයා මගෙ ළඟින් ඉන්නව කියල දැන ගත්තහම”

නගරාන්තර බසයෙහි නුවර ගොස් ඊළඟ බසයේ කොළඹ එන්නට ගත වූ, අප අපේ ළඟින් ම උන් ඒ හෝරා හතර පහේ උණුහුම මේ දැනුත් මට හදවතින් විඳ ගත හැකි ය. ආපසු එන ගමනේ දී පිටකොටුවෙන් ත්‍රීරෝද රියක නැගී අපි කැළණියේ ඔහු ගේ ගෙදර ගියෙමු. 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles