නැන්දම්මාට වෛර කළ ලේලිය.

නැන්දම්මා සහ ලේලි ගැන අපි නිතරම වාගේ මේ විශේෂාංගයෙන් කතා කරනවා. නපුරු නැන්දම්මලා නිසා දියණියන්ට විඳින්න වෙන වේදනා ගැන අහන ඔබ ලේලිලාගේ අතින් වෙන වැරදි ගැන කවදාවත්ම හිතුවද?

ජයනි සහ දසුන් විවාහ වෙන්නේ ආදර සම්බන්ධතාවයක් නිසා.දසුන්ගේ පවුලේ අම්මා සහ නංගිලා දෙන්නෙක් ඉන්නවා.ඔහුගේ තාත්තා නැතත් අම්මා ආදරයෙන් දරුවෝ තිදෙනා උස්මහත් කළා.දසුන් විවාහයෙන් පස්සේ වෙනම නිවසකට ගියාම අම්මා හෝ නංගිලා එහි ඕපාදූප හොයන්න ආවෙත් නෑ.

නමුත් ඔවුන් උපදේශනයට පැමිණියා.රත්නා පුෂ්පකුමාරි  මහත්මියට ඔවුන්ගෙන් ආවේ වෙනස් පැමිණිල්ලක්.

“මේ අයියා හැමතිස්සෙම අම්මලගෙ කෝල්ස් වලට ආන්සර් කරනවා.සති අන්තෙ අපේ ගෙදරයි එයාලගෙ ගෙදරයි යමු කියනවා. මං ඒකට ආස නෑ.මෙයා මගෙ විතරයි..”

ජයනි කියද්දී දසුන්ගෙන් ආවේ කළකිරුණු ස්වරයක්

මටත් මේ නංගිගේ හැසිරීම එපා වෙලා මිස්.කෝල් එකක් ආවත් තරහ යනවා.අම්මා ඇත්තටම අපේ ජීවිත වලට එබෙන්නේ නෑ.සැපදුක ඇහුවත් මෙයා ඉන්නෙ තරහ ගිහින්..

රත්නා මහත්මිය මුලින්ම ලබා දුන්නේ වෙනම උපදේශනයක්.

“අයියා නංගි කියන්නේ විවාහ ජීවිතේ සම්බන්ධතා හඳුන්වන්න ඕන නමක් නෙවෙයි.සිංහල බාසාවේ කොච්චර ලස්සන නම් තියනවද ආදරේ කරන කෙනාට කියන්න.එහෙම පෙට් නේම් එකක් තියා ගන්න.නැත්නම් නම් කියල කතා කරන්න..”..

ඊටපස්සේ ඇය ඉතා විමසිලිමත් ව දෙදෙනාගෙන් කාරණා විමසුවා.කසාදයෙන් පසු දසුන්ගෙ තනි අයිතිය තමන්ට කියන බොළඳ චේතනාවකින් ජයනි පෙළෙන බව ඇය වටහා ගත්තා.

“අපේ අම්මා කෝල් කරයිද නංගිලා මැසේජ් එවලද කියල ජයනිට හැම වෙලේම සැකයි.එයා කියන්නේ එයා අයිති මට විතරමයිලු.අම්මලා නිකමටවත් කතා කරන එක එයාට උහුලා ගන්න බැරි දුකක්ලු”

දසුන් එහෙම කියද්දිත් ජයනි කඩා පැන්නා.

“ඔව්..ආයේ එක කෝල් එකක් ආවොත් හරි මාසෙකට පාරක් එහෙ ගියොත් හරි මං ඩිවෝස් වෙනවා..”

දසුන්ගේ ඉවසීම අවසන් වූ නිසා ඔහු කෑගහන්න ගත්තා.

“ඇත්තටම මේක වදයක් මැඩම්.මං කැමති ඩිවෝස් වෙන්න.නැත්නම් මෙයාටත් මහ ගෙදර යන්නත් බෑ.ඒ අම්මලගෙ කෝල්ස් ආන්සර් කරන්නත් බෑ..සමාන වෙන්න ඕන හැමදේම”

මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥවරියක ලෙස බොහෝ කාලයක් උපදේශනයේ යෙදෙන රත්නා පුෂ්පකුමාරි මහත්මිය කාරණා විසඳුවේ බොහෝ ප්‍රවේසමෙන්.

විවාහයක් කියන්නේ තමන්ට අලුත් පවුලක් ලැබීමක් බවත් දෙදෙනා අතර ආදරය සහ සහයෝගය පවත්වා ගන්නා අතරේ අලුත් පවුල එක්කත් හොඳ සබඳතාවක් තබා ගැනීම් කළ යුතු බවත් රත්නා මහත්මිය ජයනිට වටහා දුන්නා.අනවශ්‍ය ලෙස ඔවුන්ව තමන්ගේ කටයුතු වලට ඈඳා ගත යුතු නැහැ. නමුත් මාසයකට වතාවක් හෝ දෙමාපියන් බලන්නට යාම, ඔවුන්ට උදව්වක් අවශ්‍ය වූ විට කිරීම, දුරකථන ඇමතුමකට ප්‍රතිචාර දැක්වීම පොඩ්ඩක්වත් වරදක් හෝ මෝඩ වැඩක් වෙන්නේ නෑ.
අඹු සැමියන් අතරේ තියන සම්බන්ධතාවයට ඥාතීන් අතර තියන සම්බන්ධතා බාධාවක් කරගන්න එපා.තරුණ බිරින්දෑවරු ලෙස ඔබ බුද්ධිමත් ලෙස දෙපාර්ශවයම සමබර කරගන්න ඕනා

“මං දැන් සතුටින් ඉන්නවා.නෑදෑයන් අතරෙත් ආදරය සුහදත්වය තියනවා.ඒ අයට ආදරය ගෞරවය දෙන්න දැන් මට තේරෙනවා.මං දැන් පවුලක වටිනාකම දන්නවා..”

උපදේශනයට පසු ජයනි එහෙම කියනවා.ඔවුන්ගේ නිවසක ජීවත් වෙන ගමන් පවුල් ජීවිතය යහපත්ව පවත්වාගෙන යන ගමන් සැමියා තමන්ට පමණක් අයත් වස්තුවක් බව නොසිතා කටයුතු කරන්නට තරම් දැන් ඇය බුද්ධිමත්.

මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥ හා ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශිකා රත්නා පුෂ්ප කුමාරි මහත්මියගේ උපදේශන සේවය ඔබට අවශ්‍ය නම් 0714113457 / 0740650012 යන Whatsapp අංක ඔස්සේ පනිවිඩයක් යවා ඇගේ වෘත්තීයමය සේවය ලබාගන්නා ආකාරය දැනගත හැකියි..


Related Articles

Don't Miss


Latest Articles