පුතාගේ පවුල් ජීවිතයේ පාලනය අතට ගත් අම්මා.

0
3564

(ජේෂ්ඨ මනෝවිද්‍යා උපදේශිකා රත්නා පුෂ්පකුමාරි මහත්මියගේ වෘත්තීය අත්දැකීම් ඇසුරින් සකස් වූ සත්‍ය පුද්ගල ගැටලු මත පදනම්ව සැකසූ ලිපියකි. මෙහිදී සත්‍ය පුද්ගලයන්ගේ අනන්‍යතාව හඳුනා ගැනීමට නොහැකි වන ලෙස පළ කර ඇත.)

නැන්දම්මා ලේලි අර්බුදය විවිධාකාරයි.උපදේශනය තුළ ඒ ගැටළුවට මැදි වූ අය ගෙන එන ප්‍රශ්න එකිනෙකට වෙනස්.නමුත් ඔබ අවබෝධ කරගත කර ගත යුතු කාරණය වන්නේ ඔබේ පවුල් ජීවිතයේ අයිතිය ඔබ දෙදෙනාට බවයි.දෙමාපියන් පවා හිඳින්නේ පිටස්තර රාමුවේ.ඒ නිසා ඔබේ පවුල් ජීවිතය තුළ ගැටලු ඇති කරන්නට අම්මටවත් ඉඩ නොදී ඉන්න ඔබ දෙදෙනාටම වගකීමක් තියනවා.
ජේෂ්ඨ මනෝවිද්‍යා උපදේශිකා රත්නා පුෂ්පකුමාරි මහත්මිය අද ඇගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙන් හෙළි කරන්නේ තවත් නැන්දම්මා ලේලි අර්බුදයේ අර්බුදයේ අඳුරු පැතිකඩක් ගැනයි.

සචින්ට හිටියේ ඔහුගේ අම්මා විතරයි.රජයේ සේවිකාවක වූ අම්මා ඔහුට ඉතාම හොඳින් ඉගැන්නුවා.පියා අහිමි තමන්ගේ පුතාට යහපත් ලෝකයක් ගොඩනගා දෙන්න ඇය ඉතාමත් කැප වුණා.සචින් හැමදෙයක්ම කළේ අම්මගෙන් අහලා.ඔහු ඉගෙන ගන්න විෂයන් පවා තීරණය කළේ අම්මා.සරසවි අධ්‍යාපනයෙන් පස්සේ රැකියාවකට යොමු වුණු සචින් අම්මාගේ තුරුලෙන් මිදුණේ නෑ.ඔහු හැම මාසයකම වැටුප ගෙනත් අම්මාට දුන්නා.පුතා දැන් උස්මහත් තරුණයෙක් බවත් ඔහුට නිදහස දිය යුතු බවත් අම්මා වූ ශාන්ති අවබෝධ කරගත්තෙත් නෑ.

“අම්මේ මට රුපියල් දෙදාහක් දෙනවද?”

සචින් ඔහුගේ වැටුප අම්මගෙන් ආපහු ඉල්ලන්නේ එහෙම.

“මොකටද එච්චර සල්ලියක්..”

හොඳ වැටුපක් ගන්න සචින්ට අම්මා රුපියල් දාහක් දෙදාහක් වුණත් ආපහු දෙන්නේ හේතු අහලා.මිතුරන් සමඟ පාටියක් දාන්න,ට්‍රිප් එකක් යන්න ඔහුට කවදාවත් ඉඩ ලැබුණේ නෑ.අම්මා ඒ හැමදෙයක්ම අනවශ්‍ය වියදම් කියලා කපාහරිනවා.

සචින්ගේ කාර්යාලයට දේදුනු එන්නේ ඔය කාලයේ දී.දේදුනු හැඩකාර කෙල්ලක්. කඩවසම් සචින්ගේ හිත දේදුනුට ඇදිලා යන්න පටන් ගන්නවා.

“අම්මේ, ඔෆිස් එකට ආපු ගෑනු ළමයෙක් ගැන මගෙ හිතේ කැමැත්තක් තියනවා..”

සචින් අම්මාට පවසනවා.සාමාන්‍යයෙන් සමහර අම්මලා පුතා ආදරයක් හොයා ගත්තම ඒක බිඳ හෙළන්නට සැරසුණත් ශාන්ති එහෙම නෑ.සම්බන්ධයට ආශිර්වාද කරන ඇය දේදුනුගේ ගෙදරට නෑගම් යන්නේ සන්තෝසයෙන්.

“මහත්තයා නැති වුණාට මං පුතාට හැම දෙයක්ම හදලා ඉවරයි.ගෙයක් වාහනයක් හැම දෙයක්ම එයාට තියනවා..”

ශාන්ති දේදුනුගේ ගෙදර අයට කියනවා.ඒ කතාව පැහැදිලි ඇත්තක් කියලා ඔවුන්ට අවබෝධ වෙනවා.ශාන්ති ධෛර්යමත් අම්මා කෙනෙක්.ඔවුන් ඇය ගැන් වටහා ගන්නේ එහෙම.

“සචින්ගෙ අම්මා හිත හයිය අම්මා කෙනෙක්.එයාගෙ හිත රිද්දන්න එහෙම එපා.හොඳ කොල්ලෙක් හොඳට හදපු හයිය අම්මා කෙනෙක්..”

විවාහයට කලින් දේදුනුගේ අම්මා ඇයට උපදෙස් දෙන්නේ ඒ නිසාමයි.

දේදුනුට ශාන්තිගෙන් සාම්ප්‍රදායික නැන්දම්මා ලේලි අර්බුද පැන නගින්නෙම නැහැ.ඇය සතුටින් කාලය ගෙවනවා.හැබැයි ඒ මාසයක් විතරයි.මාසික වැටුප ලැබුණු දවසේ සචින් ඇයට කියන්නේ අමුතු කතාවක්.

“දේදුනු, අපිට අම්මා අතට සැලරි එක දෙන්න වෙනවා..”

ඒ අමුතු කතාවට දේදුනුට කේන්ති එනවා.ඇය ඒ යෝජනාව තරයේ ප්‍රතික්ෂේප කරනවා.නමුත් සචින් ඇයට දිගින් දිගටම බලපෑම් කරන්නේ පවුලේ සම්ප්‍රදාය බිඳ දැමිය නොහැකි බව කියමින්.දේදුනු හරිම අකමැත්තෙන් ඇගේ වැටුප නැන්දම්මාට දෙනවා.නිවසේ හැම වියදමක්ම කරන්නේ ශාන්ති.මුළුතැන්ගෙයි කටයුතු පවා ඇය හොඳින් කළමනාකරණය කරනවා.

“මට ඇඳුමක් ගන්න ඕන අම්මා..”

දේදුනුට එවැනි ඉල්ලීම් නැන්දම්මාට කරන්නට සිදු වෙනවා.

“වෙඩින් එන ගාණට සාරි ගන්නේ ඇයි දුව.ජැකට් එකක් විතරක් හදා ගන්න..”

“ඔය ෂොප් එකෙන් ඇඳුම් ගන්න එපා ළමයො ගිනි ගනන්..”

“ඔයා සල්ලි අරන් ගිහින් මේ කෑම ජාති ගේන්න ඕන නෑ..මම හදනවා මේවා මීටවඩා රහට..”

මේ වගේ කතා නැන්දම්මා කියද්දී දේදුනුගේ ඉවසීමේ සීමාව ඉක්මවා යනවා.ඇය සචින් එක්ක රණ්ඩු කරන්න පටන් ගන්නවා.කිසිම කොන්දක් නැති මිනිහෙක් එක්ක ජීවත් වෙන්න බැරි බවත් දික්කසාද වෙන්න අවශ්‍ය බවත් ඇය තමන්ගේ අයියාගේ බිරිඳ වූ ගයනිට කියනවා.මේ යුවල ඉන්නේ පවුල් උපදේශනයක් අවශ්‍යම තැනක කියලා ගයනි වටහා ගන්නවා.ඇය ඔවුන්ව රත්නා මහත්මියට යොමු කරන්නේ ඉන්පසුවයි.

“සචින්ගෙ අම්මා මේ කරන වැඩේ මට මහ හිසරදයක්.ටීච ගාවට ගිහින් ටොයිලට් යන්න අවසර ඉල්ලන නර්සරි ළමයෙක් වගේ මං එයාගෙන් සල්ලි ඉල්ලන්න ඕන.එයා මොකුත් නොකියා සල්ලි දෙන්නේ මගෙ අම්මට තාත්තට බෙහෙත් ගන්න විතරයි.අනිත් හැමදේටම සල්ලි දෙන්නේ කිරලා මැනල..මට මේක මහ වදයක්.මට සචින්ව ඩිවෝස් කරන්න ඕන.අම්මට මෙහෙම බය පුතෙක් මට වැඩක් නෑ මිස්..”

දේදුනු එහෙම කියමින් හඬන්නට පටන් ගත්තා. මේ ගැටළුව විසඳන්නට ශාන්ති ද අවශ්‍ය බව තේරුම් ගත් උපදේශිකාව ඇයව කැඳවන්න ක්‍රියා කරා.ශාන්ති උපදේශනයට ආවේ කැමැත්තෙන්.

“තාම මේ ළමයින්ට මුදල් කළමනාකරණය තේරෙන්නේ නැහැ.මං එයාලගෙන් සතයක්වත් ගන්නේ නෑ.ගෙදර බඩුමුට්ටු ගේන්නේ මගෙ පැන්ෂන් එකෙන්.ඔය එයාල ඉල්ලන සල්ලිත් දෙන්නේ මගෙ සල්ලිවලින්.එයාලගෙ සැලරි එහෙමම ඉතුරු වෙනවා.මං එයාලට හොඳක් කරන්නේ මිස්…”

ශාන්ති එහෙම කියන්න පටන් ගත්තා.

ශ්‍රී ලංකාවේ සංස්කෘතිමය පසුබිම නිසා ඇති වෙන බොහෝ ගැටලු වළක්ව ගන්න විවාහක යුවලක් තනිව පදිංචියට යා යුතුමයි.එය නියතයක්.දෙදෙනාට සිත ගත දෙකෙන්ම ළං වෙලා ඉන්න ඒක ලොකු උදව්වක්.බොහෝ අම්මලා විශ්වාස කරන්නේ තමන්ගේ දරුවන්ට යමක් තනියම කරගන්න අසීරුයි කියලා.ඔවුන් විවාහ වුණත් ඒ අදහස වෙනස් කරන්න දෙමවුපියෝ කැමති නැහැ.නැන්දම්මා- ලේලි, නැන්දම්මා- බෑනා අරගල නැති වෙන්න නම් යුවළක් තනි පදිංචියට යා යුතුමයි.

මෙහිදී ශාන්තිට ලැබුණු උපදෙස වුණේ දරුවන්ට තනියම ජීවිතය ගොඩනඟා ගන්න ඉඩ දෙන්න කියලා.නැතිනම් ඇය නැති දවසට ඔවුන් අසරණ වන බව උපදේශිකාව ඇයට පැහැදිලි කර දුන්නා.මුදල් කළමනාකරණය කියන පාඩම ඔවුන්ට තනියම ඉගෙන ගන්න දෙන්න කියලා රත්නා මහත්මිය ඇයට උපදෙස් දුන්නා. වෙනම පවුලකට මැදිහත් වීම මවකට වුණත් සුදුසු නෑ.

යුවළක් දැන ගත යුතු කාරණාව වන්නේ තමන්ගේ ජීවිතය පාලනය කරන්න දෙමාපියන්ට ඉඩ නොදී ඉන්න.වැඩිහිටි යුවළක් හැටියට ඔබ දෙමාපියන්ට බිය වී කටයුතු කළ යුතු නෑ.සැලකීම, ආදරය කිරීම කියන්නේ එකක්.බිය වීම කියන්නෙ තවත් දෙයක්. එනිසා ඔබේ කටයුතු ඔබ සැලසුම් කරගන්න. දෙමාපියන්ට ඒවාට මැදිහත් වෙන්න දෙන්නම එපා.

උපදේශනය කියන්නේ උපදෙස් සහ අනුශාසනා දීම නෙවෙයි.කෙනෙකුට තමන්ගේ ප්‍රශ්නය වටහාගෙන තමන්ටම එයට විසඳුම් සොයා ගැනීමට ශක්තිය ලබාදීම උපදේශනය කියලා හඳුන්වනවා.දේදුනුට තමන්ගේ ප්‍රශ්නය විසඳාගන්න හැකි වුණේ ඒ ආකාරයෙන්.ඔවුන් ඔවුන්ගේ ප්‍රශ්නයට ඔවුන් තුළින් ම විසඳුම් සොයා ගත්තා.

විවාහක යුවළකගේ ජීවිත පාලනය කරන නූල් ඇත්තේ වෙනත් අයකු අත නොවේ ප්‍රවේශමෙන් සහ අවබෝධයෙන් තමන්ගේ ජීවිතය ඉදිරියට ගෙන යා යුත්තේ තමන් විසින්මයි.ඔබට මේ ගැටලුවෙන් අවබෝධ කරගන්නට කර ගන්නට ඇත්තේ ඒ පාඩමයි.

0 0 votes
Article Rating
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments