පුතාගේ ලිංගික ජීවිතයට පවා බාධා කල මවගේ අධික ආදරය හා බැඳීම.

සත්‍ය සිදුවීමක් වුවත් පුද්ගලයන්ගේ අනන්‍යතාව හෙලි නොවන අයුරින් පල කර ඇත.

අපේ ස්මාර්ට්ලේඩි කාන්තා සමූහයට එන බොහෝ නිර්නාමික පෝස්ට් වල තිබෙන්නේ ද කාන්තාවන් තමන්ගේ නැන්දම්මා නිසා පත්වෙන අසීරුතා ගැන.ලෝක ඉතිහාසයේ සිටම වර්තමානය දක්වාත් සමහර විටෙක මතු අනාගතයේදීත් කාන්තාවක් තවත් කාන්තාවක් අතින් පීඩාවට පත් වන කේදනීය අවස්ථාවක් තමයි නැන්දම්මා අතින් ලේලිය පීඩාවට පත් වීම.

නැන්දම්මා නිසාම ලේලිය විවිධ අයුරින් වේදනාකාරී තත්වයන්ට මුහුණ දෙන අවස්තා ගැන අපි මීට පෙරත් කතා කලා. අදත් එවැනිම උපදේශනය සදහා යොමු වුන සත්‍ය සිදුවීමක් ප්‍රවීන මනෝ විද්‍යා උපදේශිකාවක් වන රත්නා පුශ්පකුමාරි මහත්මියගෙ වෘත්තීය අත්දැකීම් තුලින් අපි ඔබට රැගෙන ආවේ මේ සිදුවීම් හරහා ඔබේ ජීවිතයට යම් පණිවිඩයක් ලබා දෙන අරමුණින්.

අතිශය ආදරයම හිරිහැරයක් වුණු කතාවක් තමයි මේ.

සයුරි සහ දසුන් ව්වාහ වන්නේ බොහෝ කාලයක් තිස්සේ පැවති ආදරයක් නිසා.සයුරි ගුරුවරියක්.දසුන් පෞද්ගලික අංශයේ හොඳ රැකියාවක් කරන්නෙක්. කුඩා කාලයේම පියා අහිමි වූ දසුන්ව බලා ගන්නේ දසුන්ගේ අම්මා චිත්‍රා.ඇය ආදරණීය ගැහැනියක් විදියට තමයි හැම කෙනෙක්ම දන්නේ.තමන්ගේ දුවට ඇගෙන් හිරිහැරයක් නොවෙවී කියලා සයුරිගේ දෙමාපියන්ටත් ලොකු විශ්වාසයක් තිබුණා.

නමුත් චිත්‍රා සයුරිට හිසරදයක් වෙන්න විවාහයෙන් සතියක්වත් ගෙවී යන්න උවමනා වුණේ නෑ. මවගේ සිත තුල දසුන් ගැන පැවති අතිශය ආදරය සහ විශාල රැකවරණය සයුරිට දරා ගන්න අපහසු වුණා.

කාමරයේ බල්බ් එක පිළිස්සී ගිය වෙලාවක අලුත් බල්බ් එකක් දාන්න යැයි සයුරි දසුන්ට කියපු වෙලාවේ චිත්‍රා දුවගෙන ආවේ දසුන්ට විදුලි සැර වැදුණු ගාණට.

“ඕවා පුතාට හුරු නෑ දුව.අර එහා ගෙදර ජනක ළමයට අඬ ගහන්න..” යැයි දසුන්ගේ මව චෝදනාත්මක ස්වරූපයෙන් කෑගැසුවා.

සයුරි කෝපය පාලනය කර ගත්තා.

මුළුතැන්ගෙයි වැඩක අත් උදව්වට සයුරි දසුන්ට අඬ ගහන ඕනෑ වෙලාවක තමන්ගේ පුතාගෙ අත කැපෙන්න පුලුවන් බවත්,පුතාට ඕවා නුහුරු බවත් කියමින් චිත්‍රා පෙරට එන්න පටන් ගත්තා.

සයුරි සමහර දවසට අන්‍තර්ජාලයේ රෙසිපි අනුව හදන අලුත් කෑම දිහා නෝක්කාඩුවෙන් බලන් ඉන්න චිත්‍රා වහවහා කෑම උයන්න ගන්නවා.

“ඔහොම කෑම කාලා කොල්ලගෙ බඩට ඇති වෙන් නෑ දුව.කොල්ලා කන්න ආස මෙහෙම..” ඇය නිතරම දසුන් වෙනුවෙන් කෑම පිළියෙල කරන්න පටන් ගත්තා.

රූපවාහිනිය බලමින් ඉන්න පුතාගේ හිස රැගෙන උකුලේ තියා ගැනීම, ඔහුට අසනීපයක් හැදුණාම දසුන්ගේ මවත් බලෙන්ම කාමරයට ඇවිත් සයුරිලාගේ කාමරයේ බිම නිදා ගැනීම වගේ දේවල් පවා ඉවසා ගන්න සයුරිට සිදු වුනා. විවාහ වූ යුවලක් ලෙස ආදරයෙන් සතුටින් නිදහසේ කාලය ගත කරන්න කිසිම විටෙකත් දසුන්ගේ මව ඉඩක් දුන්නෙ නෑ.

චිත්‍රා සමහර රාත්‍රීන් වල හීනෙන් බය වූ බව කියා ඔවුන්ගේ කාමරයට නිදන්නට එනවා.තවත් සමහර වෙලාවට සයුරි සහ දසුන් කාමරයට වී හිඳිද්දී අනවසරයෙන් කාමරයට එනවා.

මෙලෙස මව සමග එකම නිවසේ ගෙවන ජීවිතේ තුල කිසිම නිදහසක් නැති වීමත්, මවගේ මෙවැනි හැසිරීම් නිසා ඔවුන්ගේ ලිංගික ජීවිතයට දිගින් දිගටම බාධා වීමත් සයුරිවත් දසුන්වත් අතිශය පීඩාවට පත් කලා.

“තාම දුවගෙ කිසිම වෙනසක් නෑ නංගි.අපිත් ආච්චිලා වෙන්න ආසයිනෙ..”

සයුරිගේ අම්මාට චිත්‍රා එහෙම කියපු දවසේ හිතේ හිර කරන් සිටි සයුරිට තවත් දරා ගත නොහැකිව පුපුරා ගියා.ඇය අම්මාට සියල්ල හෙළි කරන්න තීරණය කළා.

සියල්ල අසා සිටි සයුරිගේ මව මේ ගැටලුව ඉක්මනින් විසදීමට මැදිහත් වීමට තීරණය කලා. ලිංගිකත්වය සහ පෞද්ගලික අවකාශය නැති වී යමින් තියෙන පවුලක් බිඳී යාමේ ඉඩ වැඩි බව දසුන්ට තේරුම් කරලා දුන්නෙ සයුරිගේ අම්මා ඔවුන්ව වහාම පවුල් උපදේශනය සදහා යොමු කලා.

පවුල් උපදේශනයට සහභාගී වෙමින් අම්මා නිසා බිරිඳට වුණු අසාධාරණය තේරුම් ගත් දසුන් අම්මාගෙන් වෙන් වී ජීවත් වෙනවා යන ශක්තිමත් තීරණය ගත්තේ බිරිඳගේ හා ඔහුගේ පවුල් ජීවිතය රැකගන්න අවශ්‍ය වගේම මව සමඟ තිබෙන සම්බන්ධතා ද පළුදු කර ගැනීමට තියන අකමැත්ත නිසාමයි.

චිත්‍රාගේ හිත නොරිදෙන ලෙස සයුරිට දුර පළාතක පාසලකට මාරුවීමක් ලැබුණු බව හඟවා ඔවුන් ඈත පළාතක පදිංචියට ගියා.ඒ චිත්‍රාට හොඳ් සේවිකාවක් සොයා දීමෙන් පසු.චිත්‍රාගේ තත්ත්වය තේරුම්ගත් සයුරිගේ අම්මා ද නිතර ඇය ගැන සොයා බැලුවා.

ජීවිතය අලුත් වූ සයුරි දැන් අම්මා කෙනෙක්.ඔවුන් තවමත් දුර පළාතක සතුටින් ජීවත් වෙනවා.නිවාඩු කාලයට ගමට ආවත් ඇය චිත්‍රාගේ හැසිරීම් වැඩිය තකන්නේ නැහැ.

සමහර අම්මලා දරුවන් පෙකණිවැලෙන් කපා දමන්නට සූදානම් නැහැ.ඔවුන් කැමති දරුවන් ඕනෑවට වඩා හුරතල් කරන්න.අතට පයට හැමදෙයක්ම කරලා දෙන්න.ඒ වගේම දරුවාගේ වැඩි අයිතිය තමන්ට බව පෙන්වන්න.ඔබ තරුණ මවක් විය හැකියි.නමුත් දරුවාටත් දවසක තමන්ගේම කියා ජීවිතයක් අයිති බව පිළිගත යුතු ඇත්තක්. විශේෂයෙන් දුක් විඳ, විශාල කැපකිරීම් කරල පුතුන් හදන මව්වරුන් විවාහයෙන් පසුව පුතාව ලේලියට බාර දෙන්න සූදානම් නෑ. “මං උඹව හැදුවෙ දුක් විඳලා ” කියමින් බොහෝ පුතාලාට හැඟීම්බරව තර්ජනය කරන මව්වරුන් නිසාම ඔවුන්ගේ දරුවන් අධික ලෙස මානසික පීඩාවට පත් වෙනවා.ඔබත් මවක් නම් මෙවැනි හැසිරීම් පිළිබදව දෙවරක් සිතා බලන්න .

ඒ වගේම තමයි, අලුත් මනාලියන් වන ඔබට අපි හැමදාම වගේ කියන්නේ කුඩා ඇනෙක්ස් එකක හෝ වෙනම ජීවිතය පටන් ගන්න. විවාහයට පෙරම මෙවැනි කරුනු ගැන පෙම්වතා සමග සාකච්ඡා කරන්න. සයුරි සහ දසුන් වගේ මවට සැපපහසුකම් සලසා ඇය ගැන සොයා බලමින් දුරකට වී හිඳීම ඔබේ ජීවිතයට එන ගැටළු වළක්වා ගන්න හේතුවක් වෙයි.

ඔබට උපදේශනය අවශ්‍ය නම් 071 411 3457 / 0777645921 අංකයෙන් රත්නා පුෂ්පකුමාරි මහත්මිය සමඟ සම්බන්ධ වෙන්න ඔබට පුලුවන්

Related Articles

Don't Miss


Latest Articles