පෙමාතුර -35

මගේ ඉකිළුම සන්සුන් වන තෙක් අම්මා මහිස පිරිමදිමින් වෙලාව ගත්තා ය. එය වූ කලී වියෝගය ගැන සුවාසු දහසක් හැඟුමන් එකිනෙක ගැටී හද බිත් බිඳෙමින් ද සිහින් රුධිර කේෂ නාලිකා පුපුරා යමින් ද මා එක ම වේදනා පොදියක් බවට පත් ව තිබි මොහොතකි. අම්මා ගේ නයිටින්ගේල් දෑත් මගේ ආත්මය පුරා ඔසු ගල්වනවා සේ මට දැනිණ. ඇය මගෙන් ‘ඇයි අඬන්නේ’ කියා ඇසුවේ නැත. ‘අඬන්න එපා’ කියා කීවේත් නැත. මෙහෙව් අත්‍යන්ත වූ අභ්‍යන්තර බිඳුමක දී අවැසි වනුයේ එහෙව් ඉවසිලිවන්ත උරහිසක් බව නො කිව මනා ය. 

“අම්..ම..”

ඉකිළුම තුනී ව ගිය ඉක්බිති මම ස්වර තන්තු කම්පනය වන සේ කතා කළෙමි.

“කිසා…මං දන්නව ඔයා විසල්ට ආදරෙයි කියල. ඒ ගැන මේ තරං විඳවන්න එපා දරුවො. ආදරේ කියන්නෙ පාප කර්මයක් නෙවෙයි. ඔයා කළේ ආදරේ. ලේන් කුළේ ලේනි අම්ම කෙනෙක් දරු සෙනෙහස වෙනුවෙන් මුහුදෙ වතුර හිඳින්න ගියා. අම්මලගෙ ආදරේ එහෙමයි. ඔයා වෙනුවෙන් කරන්න පුළුවන් ඕනම දෙයක් මං කරනව කිසා. බය වෙන්න එපා. මං ඔයා ළඟ ඉන්නව”

විසල් ට මගේ හදේ වන ප්‍රේමය ගැන ඇය දන්නේ කෙසේ දැයි ඇසීම, එහෙව් වෙලාවක බොළඳ හා දියාරු ප්‍රශ්නයකි. අම්මා ගේ බඳ වටා වූ මගේ දෑත් තව තවත් තද කරමින් මම ඇයට තව දුරටත් ලං වීමි. අම්මා ගේ ගර්භාෂය තුළ ට යළි මා කැඳවා ගත හැකි ව තිබිණි නම් එසේ කරන්නයි මවිසින් ඉල්ලා සිටිනු ලබන්නට නියමිත ව තිබිණ.

“ප්‍රශ්න තියනවනං උත්තර තියනවමනෙ. දැන් විසල් මොකද්ද මේ ගැන කියන්නෙ…”

“එයාලගෙ ගෙදරට පස්සෙ කියනකල්…අම්මට කියල බඳිමුලු”

“හ්ම්”

ඇය ටික වෙලාවක් නිහඬ කල්පනාවකට වැටී සිටියා ය. අප අතරේ වන වියවුල් ලිහා ගන්නට ඒ නිශ්චිත විසඳුමක් ද කියා ඇය කල්පනා කරන්නට ඇත.

“සමහර දේවල් කාලය විසඳනව තමයි. ඒත් ඒකට කාලය ඕන. විසල්ගෙ ගෙදර ගැටළුව විසඳන්න කාලයට බාර දෙන්න පුළුවන්. මේ ගෑනු ළමය එහෙම කාලයට බාර දෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. කමක් නෑ. මං එයාව බලා ගන්නං. ඔය දෙන්න එහෙම කරන්න”

“අම්ම…”

මම විශ්මිත ව අම්මා දෙස හිස නගා බැලීමි.

“කිසා. ජීවිතේ සමහර තීරණ තියෙනව…එක අවස්ථාවයි හම්බ වෙන්නෙ ඒ තීරණ අරගන්න. අපි තීරණයක් ගන්න තිබුණ වෙලාවෙ සිදත් පිටරට රස්සාවකට ගිය නිසා අපිට ආයෙ කවදාවත් මැරේජ් එකක් ගැන හිතන්න පුළුවන් වුණෙ නෑ. ඒක සදාතනික විඳවීමක්. කවදාවත් නිවැරදි කරන්න බැරි වරදක්. ඒක නිසා ඔයා විසල් කියන දේ කරන්න”

“මට බෑ අම්ම. මට එච්චර හයිය හිතක් නෑ”

මම අම්මා ගේ තුරුලෙන් මිදී ඇගේ මුහුණ දෙස කෙලින් බැලුවෙමි. 

“අම්ම මට උදව්වක් කරන්න. ටික කාලෙකට ඉන්දියාවෙ නතර වෙලා මං ලියන්න ඉන්න පොත ලියන්නයි ඒකට තොරතුරු හොයා ගන්නයි විදිහක් හදල දෙන්න”

“කිසා. ඔයා කරන්න යන්නෙත් සිදත් කරපු දේමයි”

“කාලෙ වෙනස් වුණාට ප්‍රශ්න එක විදිහයි අම්ම. කාලෙ වෙනස් වුණාට ඒ ප්‍රශ්න වලට උත්තර හොයන්න මිනිස්සුන්ට තියෙන්නෙ එක විදිහෙ පාරවල්මයි. මට ඕනෙ විසල් ගෙන් ටිකක් ඈත් වෙලා ඉන්න කාලය. කාලය මුකුත් කරන්නෙ නෑ තමයි. ඒත් කාලය ස්පේස් එකක් හදනව. දැන් මට ඕන එහෙම ස්පේස් එකක්. ළඟින් ඉන්නකොට වඩා දුරින් ඉන්නකොට මිනිස්සුන්ට නිදහස් හැඟීමක් දැනෙනව.. එතකොට දේවල් අත් අරින්න ලේසියි අම්ම”

“දුරස් වුණා කියල හදවත් අතරෙ තියෙන බැඳීම් කඩල දාන්න බෑ කිසා”

“ඒක තමයි. එතකොට අපිට බලා ගන්න පුළුවන් එහෙම බැඳීම් තියනවද කියල. ඒ තිබුණත් නැතත්…විසල්ට වුණත් තීරණයක් ගන්න එතකොට ලේසි වෙයි. මගෙ මූණ බලා ගෙන කරන්න බැරි දේවල්…මං එයාව දාල ගියා කියල හිතෙද්දි කරන්න පුළුවන් වෙයි”

“මං අනුමත කරන්නෙ නෑ කිසා”

“මට පැහැදිලිව හිතන්නවත් වෙලාව ඕන අම්ම. ඉන්දියාව කියන්නෙ ලොකු දුරක් නෙවෙයිනෙ”

මම යහන මතින් නැගී සිටියෙමි. අම්මා දෙස කෙලින් බැලුවෙමි.

“මේ තීරණේ වෙනස් වෙන්නෙ නෑ අම්ම”

මම නාන කාමරයට වැදුණෙමි. මේ විදිහට ශක්තිමත් ව හිත වුණත් එක දිගට පවත්නේ නැති බව මම දනිමි. පස්සේ හඬන්නට හෝ මේ වෙලාවේ මම හිතට එකඟ විය යුතු ය. 

“ප්ලීස් අම්ම. මේ ගැන දැනට අපි දෙන්න විතරක් දැන ගත්තහම ඇති. මං ගියාම වුණත්…ගියේ කොහෙද ඉන්නෙ කොහෙද කියල විසල් දැන ගන්න ඕන නෑ. විරංගවත්…”

අම්මා මදෙස බලා උන් බැල්මේ පුදුමයක් නොවිණි. එක අතකට පුදුම වන්නට යමක් නොවන බව ඇය දැන ඉන්නට ඇත. මා ඇගේ ම දියණියයි.

නිරිත දිග මෝසම් වැහි අතෝරක් නැති ව ඇද හැළුණේ ය. මැයි තුරු හිස් රතු කැට වන් මැයි මලින් වියන් බැඳ තිබිණි ද එමල් වැස්සට තෙතබරිත ව සිටියේ දිය බත් වූ නව යෞවනියන් ගේ දසුනක් මගේ හිතේ මවාලමිනි. වෙසක් උත්සවය සඳහා මිනිසුන් ගේ සූදානමක් ඇත් ද නැත් ද කියා නිශ්චිත කර ගත නො හැකි තත්වයක් තිබිණ. මග දී මා දුටු බොහෝ මිනිස් මුහුණු මත වූයේ අපේක්ෂා භංගත්වයකි. සිය අනාගතය කෙසේ විසඳේවිද කියා ඔවුන් දැන සිටියේ නැත. සිය දරු මුණුපුරන් ගේ අනාගතය කෙසේ විසඳේවි ද කියා ඔවුහු තැති ගෙන සිටියහ. 

දැනුම් දීමකින් තොරව ම මා සිය කාර්යාලයෙහි දුටු විරංග දෑස් විදා මදෙස බලං හිටියේ ය.

“මට විසල් මීට් වෙන්න ඕන”

ඔහු ගේ මේසය ඉදිරිපිට පුටුවට බර වෙන මා දෙස දැල්වී ඇති ඒ දෑස් හි තව දුරටත් වූයේ ප්‍රශ්නාර්ථයයි.

“ඉතිං…ඌ මෙහෙ ඉන්නවයැ”

“මට ඕන විදිහට එයාව මීට් වෙන්න එළියෙදි බෑ”

“මොකක්…”

“මට එයාව හග් කරන්න ඕන විරංග. ගොඩාක් තදින්…මං හිතන්නෙ දැන් බැරි වුණොත් ආයෙ කවදාකවත් මට එහෙම කරන්න පුළුවන් වෙන එකක් නෑ. අනිත් එක…හග් එකක් කියන්නෙ මනුස්සයෙක්ට මොන තරං ඕන දෙයක්ද කියල අපේ මිනිස්සු තාම දන්නෑ. ඒක නිසා එළියෙදි එහෙම කරන්න පුළුවන් තරමට අපේ මිනිස්සු දියුණු නෑ කියල ඔයා දන්නවනෙ…” 

“මොකද්ද දැං වෙලා තියෙන්නෙ..”

“මොනාහරි වෙයි කියල හිතෙනව

මේසයේ වීදුරු තලාව මත දිග හළ සුරත මත මූණ තියා ගෙන මම අලස ලෙස වැතිර සිටියෙමි. විරංග අවිනිශ්චිත වූ සිතිවිලි දහස් ගණනක කැටියක් සේ මදෙස බලා හිඳිනා වග මට දැනිණ. මේ තරම් අතිශය පෞද්ගලික වූ හැඟීමක් ගැන කතා කරන්නට සැබවින් මට වෙන කිසිවෙකු නැත්තේ ය. මට පෙම් කරනා ඔහු තරම් වෙනකෙකු මට විශ්වාස ද නැත්තේ ය.

විරංග දුරකතන ඇමතුමක් ගත්තේ ය. ඒ විසල් ට බව මට පසක් වූයේ ටික වෙලාවක දී ය. 

“මං ලොකේශන් දාන්නං. උඹ මෙහෙට වරෙං. කිසා ඉන්නව”

සියල්ල සිදු වන්නේ හරි වේගයෙනි. සමහර වේලාවට ජීවිතයට ඒ වගේ ප්‍රවේගයක් හිමි ය. එසේ වන්නේ විටෙක මන්දගාමී ජීවිතය ම ය. 

විරංග මට තේ එකක් ගෙන්වා දුන්නේ ය. ඔහු ගේ හිතේ කැකෑරෙන ප්‍රශ්න කෝටි ගණනින් එකක් හෝ මගෙන් අසන්නට ඔහු පසු බෑවේ ය. ඒ එකකින් හෝ මගේ හිත රිදේවියි ඔහු විස්සෝප වන්නට ඇත.

විසල් ට එහි එන්නට සුළු විනාඩි ගණනක් වැය වී තිබිණි. කාර්යාල කාමරයට ගොඩ වූ ඔහු ගේ ඇස් වල බියක් විය.

“ඔයාට කරදරයක් නෑ නේද කිසා..”

මම මන්දස්මිතයක් පෑවෙමි.මා කොයි තරම් ප්‍රේමයකින් පණ ගැහෙන්නේ දැයි කිරා මැන ගන්නට මගේ ප්‍රේමවන්තයාට ඒ මඳහස ප්‍රමාණවත් වන්නට ඇත. එක ම මොහොතක මට ආදරය කරනා පිරිමින් දෙදෙනෙකු ම කම්පිත කරවීම ගැන සියුම් ආඩම්බරයක් මා තුළ නොවූවා ම නොවේ. මුල දී මා සිතුවේ ඔවුන් දෙදෙනා මා නිසා ගුටි ඇනගනු ඇති බවයි. උසස් පෙළ කාලයේ දී මගේ මිතුරියන් නිසා එසේ මරා ගන්නට ගිය පිරිමි ළමයින් ට මා ඊර්ෂ්‍යා කළා මතක ය. නමුත් එසේ නොකොට මොවුන් මෙසේ හැසිරෙත්දී, අවුරුදු දහ අටේ ප්‍රේමවන්තයන්ට වඩා වයසින් පරිනත ප්‍රේමවන්තයන් කෙතරම් පෙමාතුර දැයි සිතේ.

“මගෙ රෙස්ට් රූම් එකේ කතා කරන්න පුළුවන්”

විරංග සිය කාර්යාල කාමරයෙන් විවර වන කුඩා විවේක කාමරයේ දොර අගුල විවර කොට තබා නික්ම ගියේ ය.

“ඇයි කිසා මේ…”

විසල් ගේ හඬෙහි තරමක දැඩි බවක් විය. 

“මොකද්ද වෙලා තියෙන්නෙ..විරංග වුණත් ඔයා ගැන මොනා නොහිතයිද මෙහෙම වෙනකොට…”

මගේ පපුව හෝස් ගා දැවෙනවා මට දැනිණ. පිරිමි පපුවක ප්‍රේමයේ උච්චතම හැඟීම පීතෘ රැකවරයකැයි යමක් කමක් තේරෙන්නට ගත් දා පටන් මම විශ්වාස කළෙමි. විසල් ව මේ නිමේෂයේ  මට පෙනුණේ ආත්ම ගණනක් තිස්සේ මා එක්කාසු කරමින් ආ මා කැමති මිනිසා ගේ ලක්ෂණ උත්කර්ෂයට නැංවුණා වූ අසම සම ප්‍රාණියා සේ ය.

“මට…ඔයා ඕන විසල්…ඒත්..”

අඬන්නට මට ඕන වුණේ නැත. ඇතුළාන්තයෙහි සිළි සුළඟක් වෙන්නට අරාඳින සුසුමක් හෝ පිට නොකොට මම ඔහු දෙස බැලුවෙමි. මගේ උරය වටා වමත යවා වඩාත් මා සිය සිරුර ට ලං කොට ගත් විසල්, විරංග ගේ කුටියට මා ගෙන ගියේ ය. එහි දොර වසා දැමූයේ මා බව මට හොඳට ම විශ්වාස ය. 

එහෙම ම මම ඔහු දැඩි ව වැළඳ ගතිමි. සිදු වෙන්නට යන්නේ කුමක් දැයි නො දැන විසල් මා ව සිය පපුවේ තදින් හොවා ගත්තේ ය. මම ඇස් දෙක පියවෙන්නට හැරියෙමි. මට පුදුම සැහැල්ලුවක් දැනුණේ ය. පුළුන් වලාවක් මත්තෙන් ආකාස ගංගාව දිගේ ඉතා වේගවත් වූ සුවදායී ගමනක් මම යමින් සිටියෙමි. 

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

සුහදිනි -17

"සකී?" සියුම් ඇසුවේ පුදුමයෙනි.ඔහු දන්නා තරමින් අහස්ට සකීව කිසි දිනෙක මුණ ගැසී නොමැත. "ඒ ළමයා උඹට...

ප්‍රේමයේ අභිමන් – 10

දොර ළඟ සිට ගෙන සිටියේ තරුණියන් දෙදෙන ය. අපරාජිතා තිලිණය අතැතිව පිටුපසිනි. දේශිකා ඉදිරියෙනි. කොහොමත් හැමදාමත් එහෙම ය. ඉස්සරහා ට යන්නේ දේශිකා...

සුහදිනි – 16

සකී හැරී බැලුවේ නැවත වතාවක් ඇගේ නම ඇසුණු නිසා ය.ඇයට ඒ හඬ හුරුපුරුදු ය.ඒ ඇමතීම ද හුරුපුරුදු ය.ඒ හඬින් සකී යැයි කියැවෙන්නේ...

(අ)හිමි සිහින -179

මේ කතා මෙසේ ඔබට පවසද්දී මේ කාරණාව ඔබ සමඟ බෙදා නොගෙන බැරි බව මට හිතෙනවා.නීත්‍යානුකූල විවාහ තුනක් කරගත් එක් මිනිසෙකු වෙනුවෙන් ජීවිතය...

ප්‍රේමයේ අභිමන් -09

අපරාජිතා දනිපනි ගා නැගිට ගත්තා ය. ඒ කලබලයට ඇය වැටෙන්නට පවා ගියේ ය. හිත ඇති ව තිබුණේ ගෙහිමියා ගේ කන හරහා අතුල්...