සාගර තරංගා – 22

0
440

“අනුමිත ද්වේශ සහගත ලෙස අත හැර යාම කියන කාරණාව යටතේ මට දිස්ත්‍රික් කෝට්ස් වන නඩුවක් දාන්න කියලා තමයි අයියෙ ලෝයර් නම් කිව්වෙ” තරංගා කිව්වේ සනුකිව නින්දට යවා එදා රැයේ අක්කා බත් කෑමෙන් පස්සෙ අතට දුන්න මී කිරි කෝප්පයත් සීනිත්, රතු බතුත් දමා අනාගෙන එකට කන අතරවාරයේය.

මී කිරි වලට සීනියි බතුයි දාගෙන කන පුරුද්ද දකුණේ මිනිස්සුන්ට විතරක් පුරුදු දෙයක් බව තරංගා දැනගත්තේත් කැම්පස් ගියාමය. ඉස්සර කොළඹ ගෙදරදිත් තමන් එහෙම කද්දී හොඳට කිතුල් පැණි වක්කරගෙන  හොඳ හිත එකෙන් අරගත්ත මී කිරි කන මේධංග “දෙණියායෙ කූඩැල්ලව මෙට්ටෙ තියන්නම” බෑ කියා කිව්ව හැටිත් මී කිරි කටක් ගානේ තරංගා ආයෙ ආයෙ මතක් කරගත්තාය.

දෙණියායේ මහ ගෙදර ඉස්තෝප්පුවට පෙනෙන කොල පාට ගසුත්, කඳුත් මේ වෙලාවෙ ඉන්නෙ අන්ධකාර සලුවක් පොරවන් ය. ඒ කලු පාටේ තරමට අහස කොහෙද ගස් මොනවද කියා අඳුරගන්න බැරි තරමටම දෙක එකට එක්කහු වී ඒකාත්මික වී පෙනේ. ඒ උනාට අන්දකාර අහසේ පාලු මකන්නට වගේ හඳත් ඒ වටා තරුත් ඕනවටත් වඩා පිරී තිබුණි.

අයිය උන්නේ ඉස්තෝප්පුවේ ඉස්සර තාත්තා රෑට හාන්සි වී උන්නු හාන්සි පුටුවේ වාඩිවී තාත්තා වගේම බඩ අත ගාන ගමන් කල්පනා කර කරය. දරුවො යන්නේ දෙමව්පියන්ගෙ ආරයට කියා තරංගාට මතක් උනේ ඒ වෙලාවේය. තමන් කොච්චර තමන්ගේම ලඟට කර ආදරයෙන් උස් මහත් කරත් සනුකි කවදමහරි දවසක තමන්ගේ තාත්තාගේ පැත්තෙන් ආ අමනුස්ස ගති අත්පත් කරගනීද කිය තරංගාගේ හිතට ඇතුලු උනේත් අන්න ඒ වෙලාවේය.

එහෙත් ඒ වනාහී වලක්වන්න පුලුවන් දෙයක් නොවේ. “නෑ එහෙම වෙන එකක් නෑ, එයා හැදෙන්නෙ මං ලඟ නෙ. ඒ නිසා එයා කවදහරි උස් මහත් වෙන්නෙ මං හිතන පතන, මං කරන කියන දේවල් බලාගෙනනෙ” කියාත් තරංගා ඒ ඇසිල්ලේම තමන්ගේ හිත සනසගත්තාය.

“නංගි දැන් මොකද්ද කරන්න ඉන්නෙ?” භානුක ඇසුවේ තරංගා කියූ දෙය මදක් අසාගෙන හිඳ විනාඩි කිහිපයක් කල්පනා කරායින්ද පසුවය. අම්මාත් තාත්තත් නැති නංගිට සැමියාද අහිමිව දරුවෙකු එක්ක මෙච්චර තරුණ වයසකදී තනිවෙන්නට වීම අභාග්‍යසම්පන්න සිදුවීමක් බව භානුකට අමුතුවෙන් තේරුම්කරන්න දෙයක් නැත. එහෙත් මේවා අපි කලින් තීරණය කර දාගත්තුවා නොවේ. මිනිසුන් ජීවත්වෙන්නෙ ජීවිතේ ඉස්සරහට හමුවන විදියටය.

“මේධංග මට කතාකරා අයියෙ. ඇත්තටම ඒ කතා කල වෙලේවත් හොඳින් කතා කරානම් සමහරවිට මං එයාට ආයෙම පාරක් චාන්ස් එකක් දෙන්න ඉඩක් තිබුනා. ඒ උනාට ඒ කතා කල වෙලාවෙත් තමන්ගෙ තියෙන අමනුස්සකම හොඳටම පෙන්නපු මනුස්සයෙක් ආයෙ මං සෙට්ල් වුණා කියලා එයා එක්ක වෙනස් වෙයි කියල හිතන්න බෑ. ජීවිතේ මං එකපාරක් ට්‍රයල් එකක් දුන්නා මදෑ.  ආයෙ පාරක් කලින් වතාවෙ නොදැන වැටිච්ච වලේ දැන දැන වැටෙන්න බෑනෙ අයියෙ. ඒ නිසා මං ලෝයර්ටත් කිව්වා අපි ඩිවෝස් කේස් එක දාමු කියලා” තරංගා කල්පනා කරන අයියාගේ රූපයෙන් ඇහැ මාරු කර අක්කා දිහා බැලුවාය. නර්මදා උන්නේ තමන් කොහොම මේ කතාවට උත්තර බඳින්නද කියා කල්පනා කරන ගමන් ය. “නංගි ඔය ගැන ආයෙ පාරක් හිතන එක තමයි හොඳ” කියා කිව්වොතින් තරංගා තමන් ඇය ඒ විඳවන ජීවිතයෙන් ගැලවෙනවාට විරුද්ධ වනවා යැයි කියා හිතුවොත් කියන බය නර්මදාගේ හිතේ තියේ. අනෙක් අතට තමන් මුකුත්ම නොකිය ඉන්න එක හිතට විරුද්ධය. මොන දේ කිව්වත් ඕනම දේක රඟේ තේරෙන්නෙ ඒ දේ කරායින් පස්සෙය. නංගි දැන කොච්චර හිත එකලස් කරගෙන උන්නත් දරුවෙක් එක්ක තනිවෙච්ච ගැහැණියකට ජීවිතේ කොච්චර අමාරුද කියන එක නංගිට තේරෙන්න පටන් ගන්නේ දික්කසාදය ලැබුණායින් පස්සෙය කියන බව නර්මදාගේ හිතේ තියේ. ගැඹුරු හුස්මක් එක්ක රාත්‍රියේ අන්දකාරයට එක්කහු වුණේ ඒ බයය. වේදනාවය.

“නංගි ඔය තීරණේ ගන්න ඇත්තෙ හොඳට හිතලා බලලා කියලා මම හිතනවා. නංගි ගත්ත තීරණේ වෙනස් කරන්නවත් මුකුත්වත් අපි කියන්නෙ නෑ. මොකෝ වෙච්ච දේවල් දන්නෙ ඒවයින් විඳෙව්වෙ නංගිනෙ. ඒ ගෙදර ජීවත් උනේ නංගිනෙ. අපි දන්නෙ නෑනෙ ඒ විස්තර. අනික මේක මොක උනත් නංගිගෙ පවුල් ජීවිතේ. ඒක ගැන තීන්දු තීරණ අපිට ගන්න බෑ. අපිට ඒවට ඇඟිලි ගහන්න අයිතියකුත් නෑ. නංගි වෙනුවෙන් මටයි අක්කටයි කරන්න පුලුවන් දෙයක් තියෙනම් අපි ඒකට අනිවාර්යයෙන්ම උදව් වෙනවා කියල මං අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. අම්ම තාත්තවත් මනුස්සයවත් නැහැයි කියන එක නංගිට ජීවිතේ අතරමග නතර වෙන්නවත් කඩාකප්පල් කරගන්නවත් හේතුවක් නෙවෙයි. මොන දේ උනත් කවුරු නැතත් නංගිට අපි ඉන්නවා කියල තමයි මට කියන්න තියෙන්නෙ”

“නෑ නෑ, පුතා ලබන සතියෙ එන්න එපා, විසි තුන්වෙනි සෙනසුරාදා අල්ලල ගෙදර එන්න”

කවදාවත් නැතුව අම්මා එහෙම කිව්වෙ හිතෙ යම් රහසකුත් වචන අස්සෙ යම් සිනාවකුත් හංගගෙන බව තේරුම්ගන්න සාගරට අපහසුවක් දැනුනේ නැත. 

අපහසුව තිබුනේ ඒ කුමක්ද කියන කුකුස හිත අස්සේ පෙරලි කරමින් උන් එකය. ඔය කුකුස හිත අස්සේ ගොඩගහගෙන ඉන්නවට වඩා හොඳම දේ වෙන්නේ අම්මාගෙන් ඔය ගැන අහන එක බව දන්න හන්දාම සාගර ඒ සිතුවිල්ල වචන වලට පෙරලුවේය.

“අම්මා මොකක් හරි හිතේ හංගන් කතා කරන්නෙ”

“අපිට ඉතින් හිතේ තියෙන දෙයක් උනත් හංගගෙන කරන්න බෑනෙ මේ උඹල දොස්තරල හන්දා” කියා අම්මා කිව්වේ තරහකට නොවන හිනාවෙන ගමන් බව දුරකතනයෙන් අම්මාගේ මුහුණ නොපෙනුනත් කටහඬෙන් අඳුරගන්නට සාගරට පුලුවන් ය. 

“ඒක ඉතින් එහෙම වෙන්න ඕනනෙ. නැත්තම් මෙච්චර ඉගෙන ගෙන වැඩකුත් නෑනෙ. අම්මා කියන්නකො දැන් මොකද්ද ඔය අම්මා හංගගෙන ඉන්නෙ කියලා”

“මං උඹට කටයුත්තක් බලන ගමන් ඉන්නෙ. ඒකයි මං සෙනසුරාදා එන්න කියලා කිව්වෙ. මං අර ශ්‍රියානි මිස්ට කිව්වා මෙහෙම විස්තරේ. ශ්‍රියානි මිස් දැන් කේන්දර බලන්න ඉගෙන ගන්නවනෙ. ටික ටික කේන්දර එහෙම බලන්නත් ඇහැකි. මං අන්තිමට හම්බෙච්ච වෙලේ උඹේ කේන්දරේ බලන්න දුන්නම ශ්‍රියානි මිස් කිව්වා ලබන මාසෙ ඉඳල උඹේ සිකුරා කේන්දරේ හත් වෙනි තැනට එනවා ඒක විවාහෙට හරිම හොඳයි. හොඳ දෑවැද්දක් එක්ක කසාදයක් කරගන්න පුලුවන් වෙනවා කියලා. කුජ සිකුරු යෝගෙ හොඳටම හොඳලු විවාහෙට”

“අම්මා කලින් වතාවෙ කිව්වෙත් ඕකම නේද?”

“කොහෙද උඹල ඉතින් අපිට වචනයක් ඉස්සර කරන්න දෙන්නෙ නෑනෙ මැද්දෙන් පනිනවා. ඔව් කලින් වතාවෙ කිව්වා තමයි. හැබැයි කුජ සිකුරු යෝගෙන් කරන විවාහ හරියන්නෙ තමන්ට හරියටම ගැලපෙන මනුස්සයව කසාද බැන්දමලු. උඹල කලින් ගැලපෙනවද නැද්ද කියලවත් බලන්නෙ නැතුවනෙ මගුල් තුලා ඔක්කොම ලෑස්ති කරගත්තෙ. ඒකෙන් කාරි නෑ පිරිමියෙක්ට දික්කසාද වෙලා ආයෙ වතාවක් මංගල්ලයක් කරගන්නව කියන එක මහ පරහක් නෙවෙයි. එහෙම එකේ මේ වතාවෙ පුතේ උඹ මේ අම්ම කියන විදියට වැඩ කරහං. අපි එක වතාවක් ඉඩ දුන්නනෙ උඹලට ඕන හැටියෙ කරගන්න. අන්තිමේ ඒක පුස්ස බින්ද හේ වෙච්ච එකේ මේ වතාවෙ අපි කියන දෙයක් අහන්න”

“අම්මෙ මං හිතන්නෙ නෑ මං දැන් ඉන්නෙ කසාද බඳින වයසක” කියලා සාගර කිව්වත් අම්මා එදා දුරකතන ඇමතුම විසන්දි කරේ විසි තුන්වන සෙනසුරාදා දවසේ සාගරව ගෙදර එන්න කොහොමහරි කැමති කරවාගෙනය.

සාගර මේ සියල්ල මතක් කරමින් උන්නේ සුපුරුදු විදියටම තමන්ගේ කුඩා නවාතැන්පොලේ අරලිය ගහේ හෙවන වැටිච්ච සඳලුතලයේ වාඩි වී හිඳිමින්‍ ය.

එහෙත් වෙනදා දැනිච්ච හිතේ සැනසීමට අද හිත පැත්ත පලාතක එන්න අවසරයක් තිබුනේ නැත. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here