මම වෙනම මලක් – 12

දුලාජ් අහස්‍යාව දකින්නට ආවේ අමුතුවෙන්ම සැරසීගෙන ය. ඇය නිවසට එන්නට ආරාධනා කළ ද ඔහු ඒ වෙලාව හිතාමතාම මඟ හැරියේ ය. ඔහුට ඕනෑ වූයේ අතරමඟකදි ඇය මුණ ගැහෙන්නට ය.

“ලිලී ෂේඩ්ස් එකට එන්න”

අහස්‍යා එසේ ලියා එව්වා ය. දුලාජ්ට දැනුණේ කෝපයකි. ඔහු පසෙකින් නිදන සෙව්වන්දිට ඉඩ දී යහනෙන් නැගිට්ටේ ද ඒ කෝපයෙනි. 

මහ වැසි ඇද හැලෙයි.සීතල කඳුකරය මත හිම වැටී ඇතිදැයි සැක හිතෙන තරමේ සීතලකින් වැසි ඇද හැලෙන බව දුලාජ් සිතුවේ ය..ඔහු බෝඩිමෙන් එපිට වැස්ස දෙස බොහෝ වෙලා බලා හුන්නේ ය.මේ මහ වැස්සේ කොළඹ ඉන්නට සිදු වීම ගැන සිතෙද්දී පවා ඔහුගේ සිත අපුලකින් පිරී යයි.ජරාජීර්ණ කාණු උතුරමින් වැසි ජලය ගලා යන අන්දම සිහි වෙද්දී ඔහු ගත හිරිගඩු නැංවේ.

සීතල පිනි මුහුණට වැටෙන්නට ඉඩ හැර බැල්කනිය මතට වී සිටි ඔහු කිති කැවී ගියේ බඳ වටා එතී ගිය දෑතකිනි. දැන් අහස්‍යා පැවසූ වෙලාවට යන්නටවත් හැකි වේදැයි සැක සහිත ය.

“ආදරේ ලස්සන වැස්සට කියන්නෙ ඇත්ත නේද?”

සෙව්වන්දි එසේ අසන්නේ හිනැහෙමිනි.ඇගේ උරහිස මත හිස තබමින් දුලාජ් හිනැහුණේ උස් හඬිනි.

“ආදරේ ලස්සන වැස්සට නෙවෙයි. ආදරේ කොහොමත් ලස්සනයි.මං වගේ ලස්සන කොල්ලෙක් ඉන්නකොට ආදරේ කොහොමත් ලස්සන නැද්ද?”

ඔහු අසයි. සෙව්වන්දි ඔහුගේ කැරලි හිසකෙස් පිරිමදිමින් මොහොතක් ගෙවා දැම්මා ය.

“ඔයාට වඩා ලස්සන ඔයාගේ හිත.”

ඈ එසේ කියන්නේ හදවත වාන් දමනා ප්‍රේමයෙනි.දුලාජ් ඇය දෙස බලා මොහොතකින් කාමරයට තුළට පිවිස නැවත පැමිණියේ ගිටාරය රැගෙන ය.

සීතල සිතුවිලි උණුසුම් සුසුමින්

සුවපත්කල ලබැඳේ…

ඔහු ගයයි.නැවතී බලා හිඳියි.ඒ ඉතිරි පද ඈ ගයන තුරු ය.

ජීවිත කතරට සිහිලැල් පිනිබිඳු ඉසිමින්

පෙරමං කී නිරිඳේ…

සෙව්වන්දි ගැයුවේ ඒ ගී පද පමණි.අනතුරුව ඈ ගී ගැයීම නවතා ඔහුගේ තුරුලට වැටුණා ය.මේ මහ වැස්ස ගැළපෙන්නේ ගී ගයන්නට නොවේ.

“දුලාජ් ඔය යූටියුබ් එකට සින්දු කවර්ස් කර කර ෆේස්බුක් නංගිලාගේ වීරයෙක් වෙන එක නවත්තලා ඔයාගෙමයි කියලා සින්දුවක් කරන්නේ කවද්ද?”

ඇය එසේ ඇසූ දවස් තිබේ.ඔහු දැන් එයට පිළිතුරු දෙන්නට සැරසී හිඳියි. අහස්‍යා ලියනාරච්චි වාගේ තාරකාවක් ඔහු සමඟ ගී ගයන්නට එකඟ වී තිබේ. නමුත් මේ කටයුත්ත සාර්ථක වන තුරු  සෙව්වන්දි සමඟ හොඳ සම්බන්ධතාවයක් පවත්වා ගත යුතුම වේ.ඇගේ මුදල් හිතූ හැටියට වියදම් කරන්නට ඕනෑ ය.

“අහස්‍යා එක්ක වැඩක් කරාම ෆේමස් වෙන්නේ ඔයා නෙවෙයි අහස්‍යා කියලා මතක තියාගෙන වැඩේ කරන්න.”

සෙව්වන්දි අනතුරු ඇඟවූවා ය. ඒ ගැන හිතන්නට දුලාජ්ට ඕනෑ  නැත. ඔහුට ඕනෑ කරන්නේ ගීතය ජනප්‍රිය කරගන්නටම නොවේ.

“මම දුලාජ්ට සිංදුව ගැන කතා කරන්න මෙහෙට එන්න කිව්වා.”

අහස්‍යා එසේ පැවසුවේ රදීෂ්ගේ කාර්යාල කාමරයට කඩා වැදෙමිනි. රදීෂ් හිස ඔසවා බැලුවේ ය. ඇය වෙනදාට ඕවාට යන්නේ තනිවම ය. සියල්ලට උපකාර කරන්නේ රදීෂ් බව ඇය මාධ්‍යවලට පැවසූ නමුත් ඇය බොහෝ දේ කරගන්නේ තනිවම ය.

“දුලාජ් ජනප්‍රිය නිසා එයාගේ වැඩේට එකඟ වුණා තමයි.ඒත් මට ඔයා නැති තැනක එයාව මුණ ගැහෙන්න හිතක් නෑ.”

අහස්‍යා එසේ කියද්දී රදීෂ්ට හිනැහෙන්නට සිතිණ. ඇය කොහොමටත් තමන්ගේ ගරුත්වය ගැන සිතන ගැහැනියකි. මේ මොහොතේ පවා ඇය පෙනී සිටින්නේ ඒ වෙනුවෙනි.

“වැඩකට එළියට යන්න වුණොත් ඔයාට පුලුවන්ද මාත් එක්ක එන්න.”

රදීෂ් හිඳින්නේ සෑහෙන තරමේ වැඩ ගොඩක ය. නමුත් ඔහුට ඇය තනි කරන්නට දුකක් ඇති විණ. ඇයට මේ කටයුත්ත පටලවා නොගෙන ඉන්නට තිබිණ.නමුත් එහෙම දෙයක් දැන් කරන්නට අසීරු ය.

“මං ඔයා එක්ක කාව හරි එවන්නද?”

ඔහු ඇසුවේ හදිසි සිතුවිල්ලක් හන්දා ය. මෙතැන ඉන්නා කෙල්ලන් සහ දුලාජ් ඔහුට විශ්වාස නැත. නමුත් විශ්වාසය තබන්නට සිතෙන එක් තැනක් තිබේ.

(අසනීප තත්ත්වයක් නිසා මේ මල් පොකුරෙහි බරක් නැත.සුව වූ වහා දිගු කොටසකින් මුණ ගැහෙමු)

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles