සඳක් කළ සක්මන් 42 වන කොටස

මා දෙවන වරට පෙනී සිටි උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල පැමිණියේ මා කොහෙත් ම අපේක්ෂා නො
කළ විදිහේ ප්‍රතිඵලයක් මගේ දෝතට වඩම්මමිනි. මම අධි සාමාර්ථ තුනක් හිමි කර ගෙන සිටියෙමි. සැබවින් ඒ
මගේ ම ප්‍රතිඵලය දැයි මම නැවත වතාවක් ප්‍රතිඵල ලයිස්තුව විමසුවෙමි. එහි වෙනසක් වූයේ නැත.
විභාගය ආසන්නයේ වූ අවාසනාවන්ත සිදුවීම මගේ මනස ඉදිරියේ හොල්මන් කරන්නට වූයේ ය. එ දින
කිහිපය තුළ මා සිටියේ පුදුම තරම් දැඩි කර ගත් සිතකිනි. ආකාශ් ඇත්තට ම නංගී ට එවන් අඩන්තේට්ටම් කිරීමක්ක රන්නට ඇත්ද යන පැනය මගේ හදවත විසින් මගෙන් ම විමසා නො සිටියා නොවේ. මුල් දින කිහිපයේ මා හිටියේ දැඩි අවිනිශ්චිත බවක ය. එය ගල් ගැසීමක් සේ යයි කියන්නට පුළුවන. ඔහු එසේ කළා නම් කෙසේ හෝ මේ නරා වළෙන් ගොඩ යාම මගේ දැඩි තීරණය විය. ඔහු එසේ කළේ නැත යන චණ්ඩ රළ වලින් තොර කලාපයට මා එළඹෙමින් සිටියේ විභාගය අවසාන වී ගෙන යත්දී ය.


කෙසේ වෙතත් ඒ මායාව තුළ, ඒ මත් බව තුළ මම හදවතින් යකඩ ගැහැනියක වීමි. එවන් ව්‍යසනයක්
අප වෙත නොපැමිණියේ වී නම් මෙවන් ප්‍රතිඵලයක් කරා මා පියමන් නො කරන්නට තිබිණි.
“අන්තිමට ඔයා යන්න ඕන තැනට ගියා”
නෙරංජලා ගුරුගේ මා සොයා රෝහලට විත් උණුහුමින් මා වැළඳ ගත්තා ය.


“සමහර විට…මාව එතනට තල්ලු කර ගෙන යන්න ඇත්තෙ ඔයයි අම්ම. හැබැයි මං මේ වගේ හොඳ
රිසල්ට් එකක් ගන්න ඇත්තෙ ඒ වෙලේ ඇති වෙලා තිබුණ ප්‍රශ්නෙ නිසා තද කර ගත්ත මගෙ හිත නිසා වෙන්න
ඇති”
“දැං ඉතිං ඔයා නිදහසේ කල්පනා කරල කැමති තීරණයක් ගන්න පූජා. ඔයා මොන තීරණේ ගත්තත් මං
තරහ නෑ”
මගේ ජීවිතය ගැන මා තුළ වන්නේ තනිකර ම විශ්මයකි. ඇතැම් විට කෙනෙකුට එය ජීවිතයක් කියා අරුත්
ගන්වන්නට පවා අසීරු, සුන් බුන් ගොඩක් වන්නට පුළුවන. මගේ ළමා වියේ සිට බලත්දී,වෛද්‍යවරියක වන්නට
සුදුසුකම් සපුරා ගත්තා යි සිතීමත් සිහිනයකි. අතීතයේ දී මට ඕනෑ වූයේ වඩාත් ගෞරවාන්විත ජීවිතයක් බව
ඇත්ත ය. නමුත් මා සිතිවිල්ලකින් හෝ එවන් ජීවතයක් තුළට වී සිටිත්දී බොහෝ අය මට නින්දා කළහ. සිනහ වූහ.
වෛද්‍යවරියක නොව එවැන්නියක ළඟ බෙහෙත් නිකුත් කරන්නියක හෝ වෙන්නට මට ඉඩ ප්‍රස්තාව ලැබෙතැයි
කිසිවෙකු නො සිතූ බව දනිමි.


මා විශ්වාස කළ එක ම කෙනා නෙරංජලා ගුරුගේ ය. මා මත විශ්වාසය තබන්නට තරම් ඈ මගෙන්
දුටුවේ කුමක් දැයි මම නො දනිමි. ආකාශ් මට ආදරය කළ බව ඇත්ත ය. නමුත් ඊට ඔහු ට වෛද්‍යවරියක හෝ
අනාගත වෛද්‍යවරියක ඕනෑ වූයේ නැත. ඔහු පෙම් කළේ ඒ පවතින තත්ව යටතේ සිටි මට ය. මා වෛද්‍ය පීඨයට
සුදුසුකම් සපුරා ගත්තා හෝ නැතිවා හෝ ඔහු මට පෙම් කරනු ඇත. නමුත් නෙරංජලා ගුරුගේ මට ඒ ඉලක්කය
දැඩි ව දුන්නා ය.
මා කවර තීරණය ගත්තත් ඈ තරහ නො වන බවට කී කතාවෙන් නෙරංජලා අදහස් කළේ, ආකාශ් ගැන
මසිත් හි සැක සංකාවක් වන්නේ නම් ඇය මට ඔහු ගේ පතිණිය වන්නැයි කළ ඉල්ලීම නො පිළිගත්තා ට කම් නැත
කියන එක වන්නට ඇත. මම ඊට වාචික ව ප්‍රතිචාර දක්වන්නට නො ගියෙමි. ආකාශ් කෙරේ මගේ විශ්වාසය දැන්
මහදවත දනී.
රෝහල තුළ මට තිබූ පිළිගැනීම, උසස් පෙළ ප්‍රතිඵල වලින් පස්සේ තවත් වැඩි විය. ආකාශ් ගේ
පෙම්වතිය ලෙස රෝහල් කාර්ය මණ්ඩලය මා දෙස බලන්නට පුරුදු වී සිටි බැල්මට වඩා, මේ බැල්ම ගෞරවනීය
වූයේ ය. ඒ ගෞරවය තුළ වැඩිපුර කැළතී තිබුණේ ආදරය යි.


ජීවිතය පහළ ම තැනින් පටන් ගත් මිනිස්සු එහි වන සියල් රසයන් හොඳින් හඳුනති. මම ද පහළ ම
පන්තියේ පවුලක උපන් දැරියක වෙමි. මා ඒ තරම් පහළ තැනකට වැටුණේ පරපුරෙන් නොව තාත්තා ගේ
සෙල්ලක්කාර හා නො සැලකිලිමත් ගති ස්වභාවයන් නිසා ය. නමුත් අපේ ළදරු වියේ පටන් අපි අහිගුණ්ඨකයන්

සේ තැන් තැන් වල ගෙවල් වල පදිංචි වුණෙමු. ගෙවල් කීවාට ඒවා ගෙවල් ම නොවේ. එක්කෝ පරණ කඩ කාමර
ය. නැත්නම් එක කැබැල්ලකින් සමන්විත පැල් කොට ය. මිනිස්සු එතකොට මුඩුක්කු ජීවිත ගෙන යන්නන් සේ අප
දෙස බැලූහ. පොඩි කාලේ දී හරියට ඇඳුමක් නැති ව පයට පාවහනක් නැති ව පාර අයිනේ පොල් කටු වලින්
සෙල්ලම් කළ කෙල්ලක දිනෙක වෛද්‍යවරියක වනු ඇතැයි කවුරුන් නම් සිතන්නට ඇත් ද?
“දැන් ඉතින් ලොක්කි මොකට බය වෙනවද…ඔය ආකාශ් වගේ කපටියෙක් නැතුවට ලොක්කිට බැරියැ
දොස්තරල දහ දෙනෙක් කසාද බඳින්න”
අම්මා කීවා ය. මම ඇය දෙස රවා බැලීමි. නමුත් එසැනෙන් ඒ මගේ අම්මා නේද යන සිතිවිල්ල මා තුළ
පහළ විය.
“දහ දෙනෙක්ව බඳින්න මට මේ රටේ අමුතු නීතියක් නෑනෙ”
අම්මා ගේ මුහුණ ට ඇයට ම ආවේණික සිහින් සිනහව ආවේ ය. ඒ සිනහව ඇති විට හැමදාමත් මට ඇය
පෙනුණේ ඉතා අවිහිංසක ව ය.
“නෑ මං ඒක කිව්වෙ නිකං වචනෙට. එහෙම නෙවෙයි. ලොක්කි..”
එවර ඇය රහසිගත හඬකින් මට සමීප වූවා ය.
“අර කියපු ටෙස්ට් එක කරවගෙනම බලමු නේද…මං කියන්නෙ ඉතිං..නංගිට ඕකට ආකාශ් වම අල්ලන්න
ඕන කමක් නෑනෙ වෙන කෙනෙක් කළා නං…නේද…”
“අයියෝ අම්මෙ”
මට දැනුණේ අසහනකාරී බවකි.
“කරනව තමයි. ආකාශ් ටත් ඕනෙ ඕක කරල එයා ගෙ වරදක් නෑ කියන එක
පෙන්නන්න”
“ඉතිං ලොක්කි. එහෙනං ඇයි පොඩ්ඩි ඕක කළේ කවුද කියල ඇත්තටම
නොකියන්නෙ…”
“සමහර විට ඒක මගෙ අවාසනාව අම්මෙ. මගෙම නංගිගෙං ඒ වගේ කතාවක්
අහගන්න තරං අපි පව් කරල තියෙනව. මං අදත් කියන්නෙ මට ආකාශ් ව විශ්වාසයි
කියලයි”
“අනේ මන්දා මෙව්වා”
අම්මා ට නොව වෛද්‍ය පීඨයට සමත් වී සිටින මට පවා මේ සංකීර්ණ ජීවිත
ප්‍රශ්න තේරෙන්නේ නැත. නංගී ගේ අරමුණ වූයේ හොඳින් නැත්නම් නරකින් ආකාශ්
ව හිමි කර ගැනීම ද? නමුත් ඔය වාගේ බොළඳ කතාවක් මත ඔහු හා විවාහ විය
නො හැකි බව ඇය නො දැන සිටියේ ද? එක අතකට ඒ නො දැනුවත් බව ගැන පුදුම
විය යුතු නැත. නංගී කියන්නේ පොත පතේ දැනුමවත් සමාජ අවබෝධයවත් නැති,
අකලට පැහුණු ගැහැනු ළමයෙකු පමණි. ඇය දුර දිග සිතා බලා යමක් නො කරන
බව, මේ වන තුරු ඇය ක්‍රියා කොට ඇති සැටියෙන් ද පැහැදිලි ය.
මගේ විභාග ප්‍රතිඵල නිකුත් වීමෙන් පස්සේ ගමේ අය අප දෙස බලන්නට
ඇත්තේ අමුතු ඇසකින් කියා සිතමි. අපේ පවුලේ දියණියන් දෙදෙනෙකි. ඉන් බාල
දැරිය වැඩි වියට පත් අලුත ම පිරිමියෙකු සමග පැන ගියා ය. ටික දිනකින් ඈ යළි
ගෙදර පැමිණියේ ඔහු හැර දමා ය. තවත් ටික දිනකට පස්සේ ඇය ගැබ්බර වූවා ය.

තමන් කර ගත් දේ ගැන කිසිදු ලැජ්ජා බයකින් තොර ව නංගී දැනුදු පාරේ එහෙ
මෙහෙ යන හැටි මම බලා සිටිමි.
ඒ පවුලේ වැඩිමල් ගෑනු ළමයා ගැන කවදත් ගමේ අය ප්‍රසාදයක් දැක්වූයේ
නැත. ඒ ඇය ඔවුන් සමග ලොකු ආස්සරයකට නො ගිය නිසාවෙනි. අද ඇය
වෛද්‍යවරියක වීමේ පිම්ම පැන සිටින්නී ය.
ඉතින් මේ පවුල දෙස කොහොම බලන්නද කියා ගම්මු තුළ දෙගිඩියාවක් ඇති
වී තිබේ නම් ඒ ගැන පුදුම විය ��️යුතු නැතැයි මම සිතමි. අපේ අලුතෙන් ඉදි වන
ගේ ඉදිරියෙන් පාරේ ඇවිද යත්දී ගමේ ගැහැනියක මැජික් පෙට්ටියක් දෙස බලන්නාක්
මෙන් ගේ දෙස බලනවා මා දැක තිබේ!
ඉක්මනට ගේ හදා නිම කර ගැනීම, ණය මුදලක් ගනිත්දී මට තිබූ ලොකු ම
බලාපොරොත්තුව විය. නමුත් හදිසියේ නො සිතූ වෙලාවක නොසිතූ සෙයින් නංගී
ගැබ් ගැනීම නිසා ඒ කටයුතු එහෙම පිටින් ම නැවතිණ.
“ගෙදර ළමයෙක් හම්බ වෙන්න ගෑනියෙක් ඉන්නකොට ගෙවල් හදන්නෙ තියා
බිත්තියක ඇණයක් ගහන්නෙවත් නෑ අපිනං”
මුලින්ම විරුද්දත්වය පෑවේ ආච්චම්මා ය.
“බොරු කතා අම්මෙ ඕවනං”
අම්මා ඇයට පුරුදු සරල බවින් කියා දැමුවා ය. ආච්චම්මා කළේ අම්මා හළු වී
යන ලෙස ඇයට රවනා එකයි.
“අනේ උඹ දන්න ඉටි ගෙඩිය. බොරු කතා…අරකිගෙ කොටහළු නැකත් හදං
ආපු වෙලාවෙත් උඹ කිව්වෙ ඔහොමනෙ…බොරු කතා..හහ්…උන්නැද්ද කිව්ව දේවල්
එහෙම්ම…”
“හරි හරි ඒ ඉතිං කොටහළු නැකත බලලනෙ”
“මේවත් එහෙම තමයි බොලව්. මේව අපේ අත්තල මුත්තල කාලෙ ඉඳං
පැවතගෙන ආව දේවල්. බොරු නං උඹ හිතන්නෙ එච්චර කල් මේව තියෙයිද…”
අම්මා ඉනික්බිති සිය සිනහවෙන් ම නිහඬ වූවා ය. නමුත් ආච්චම්මා තව
දුරටත් සිය දැනුවත් භාවය ප්‍රකට කරන්නට වූවා ය.
“මේකි මේ දඩාවතේ ගිහිං හදාගෙන ආපු එකෙක් නිසා අපිට මේ බඩ දරු
අම්මණ්ඩි ගැන සෙනෙහසක් දැනෙන්නෑ තමයි. ඒත් බං හරි හමං විදිහට දරුවෙක්
ලැබෙන්න ඉන්නෙ අම්මෙක් කියන්නෙ මොන තරං සම්පතක්ද…ගෙදර උං නෙවෙයි
ගමේ ම උං එහෙව් එකියක් රැක බලා ගත්තා. ඒකනෙ ඔය දොළ දුක් කෑම අරං
ගමේම ඉන්න මිනිස්සු ඒ කාලෙට ගෙදරට එන්නෙ. කොහෙද ඉතිං…මේකිට කුලප්පුව
හැදුණනෙ ඇටෙං පොත්තෙං එළියට එන්නත් ඉස්සරිං”
ගේ හදන්නට මට වූ ආශාව මා යටපත් කර ගත්තේ ඒ කතා බහෙන් අනතුරුව ය. ආශාවෙන් කරන්නට ගත්
වැඩක් අවසානයක් දකින්නට පෙර අත් හැර දමන්නට වීමේ නො සන්සුන් රිදුම මවෙත විය. නමුත් ඒ මගේ නංගී
ය. කවර වරදක් කර ගෙන ගෙදර ආවත්, මා ඉගෙන ගන්නා විද්‍යාව තුළදී සමාජයේ පවත්නා මිත්‍යා මත
බැහැර කෙරුණත්, ඇයට නපුරක් වන්නට පුළුවන් කියා යමෙකු කියනවා නම් මිත්‍යාවක් වුව විශ්වාස කරන්න ට
මා පෙළඹෙනු ඇත.

“මෙහෙමයි ඉතිං. ගෙවල් හදනකොට ලොකු ලොකු සද්ද ඇති වෙනවනෙ. ඇණයක් ගැහුවා වුණත්
එහෙමනෙ. ඒ සද්ද අම්මගෙ ටමි එකේ ඉන්න බබාට ඇහෙනව කියල දැන් අපි දන්නවනෙ. ඉතිං…ඒ කාලෙ ඉඳලම
බබෙක් ලැබෙන්න කෙනෙක් ඉද්දි ඒ ගෙවල් හදන වැඩ නොකළෙ ඒකෙං බබාට වෙන අපහසුතාවය ගැන හිතල
වෙන්න ඇති”
ආකාශ් ඒ ගැන කළේ එවන් පැහැදිලි කිරීමකි.
“ඔයාට අප්සට් වගේනං බබා ලැබුණට පස්සෙ එහෙනං ගෙයි ඉතුරු වැඩ ටික කරවමු”
ආකාශ් මගේ හිත හැඳින, මට ඒ තීරණය ගන්නට පහසු කරවූයේ ය. වහලය ගසන තැනට වන තුරු වැඩ
කෙරී ගිය, කපරාදු නො කළ උළුවහු නො තැබූ ගෙතුළ ඇවිදමින් මම මගේ සිහින වල පරණ නොවූ පුසුඹ ඉව
කරමි. මා ආශාවෙන් ඇරඹු බොහෝ දේවල් නංගී නිසා අපිළිවෙලැති කෙළවරකට පැමිණියේ ය. අද නොව අපේ
ළමා වියේදී ද මා අත් දැක ඇති සත්‍යය එයයි.
බොහෝ දේවල් තව ම කෙළවරකට නො පැමිණිය ද අපේ අනාගතය ගැන තවමත් මා තුළ නිශ්චිත
අදහසක් නැත ද, තාත්තා ගේ ජීවිතය පිළිවෙලක් වීමේ සතුට නො මඳ ව මා තුළ වන බව දැනිණ. හැමදාමත්
මගේ හිසට ලොකු ම බර ව දැනුණේ තාත්තා ය. ඔහු සිය වයසේ හා පිය පදවියේ වගකීම සිතින් දරා කටයුතු
නො කිරීම ය. නමුත් දැන් මගේ හිත ඒ නිදහස භුක්ති විඳිමින් සිටී. තාත්තා වගකීම් සහගත මිනිසෙකු වූ විට මේ
පවුල ගැන මට දැනෙන්නා වූ බියෙන් අත් මිදෙන්නට පුළුවන.
කාලය හෙමිහිට ගලා ගියා ද ඉක්මනින් ඉගිල ගියා ද කියා හරියට ම කිව නො හැක. විටෙක එය
ඉගිළිණි. විටෙක ළතැවිණි. කාලය කෙතරම් මන්දගාමී දැයි මට වැඩි පුර ම හිතුණේ නංගී ට දරුවා බිහි
කරන්නට තවත් කාලය තිබෙන බව දැනෙත්දී ය. ආකාශ් ව කෙතරම් විශ්වාස කළ ද ඉන් කියවෙන්නේ ඔහු
පිළිබඳව යටි හිත කෙළවරක හෝ තිබූ දෙගිඩියාවක් නොවේ ද?
මගේ හදවතට එකඟ ව හැම විට ම මා කටයුතු කළ බව ඇත්ත ය. වැරදියි කියා සම්මත දේ වලින් මා ඈත්
වී සිටි බව ඇත්ත ය. නමුත් මම ද මිනිස් දුවක් මි. මා තුළ ද සැක බිය වැනි පුහුදුන් මිනිස් ගති පැවතීම හෝ ඒවා
සම්පූර්ණයෙන් මුලිනුපුටා දමන්නට බැරි වීම ගැන පුදුම විය යුතු නැත.
දින ලං වී ගෙන එත්දී නංගිගේ ප්‍රසූතිය වෙනුවෙන් අවශ්‍ය කරන කලමනා සියල්ල සූදානම් කළේ මා
ය. මා සාප්පු සවාරියේ ගියේ ආකාශ් සමගින් ය.
“ඔයා පුදුම අක්කෙක්”
ඔහු කීවේ ය. මම සිනහවකින් දුක හංගා ගන්නට තැත් කළෙමි. නමුත් ඒ දුක ඔහු දකින්නට ඇත.
“මං කොතනට ගියත් මගෙ පවුලෙ අයගෙං මිදෙන්න මට බැරි වෙයි”
උගුර ඉතා තදින් රිදෙන්නට වූයේ ය. මම බිම බලා ගෙන ම සිටියෙමි.
“හොඳයි කියල හිතුවට ඔයාට මෙච්චර හොඳ වෙන්න පුළුවන් කියල මං හිතුවෙ නෑ”
“මං හොඳයි කියල කියන්නෙ ඔයයි ඔයාගෙ අම්මයි ආච්චම්මයි විතරයි. අපේ ගෙදර අයටයි නෑදෑයන්ටයි
ගමේ මිනිස්සුන්ටයි මං කවදත් නරකයි. උද්දච්චයි. අහංකාරයි”
“කොච්චර වටින මැණිකක් ගෙදර තිබුණත් ඒ ගැන දන්නෙ නැති කෙනාට ඒකෙ වටිනකමක් නෑ පූජා. ඒ
වටින මැණික බල්ලෙක්ට ගහන්න පාවිච්චි කරයි. විසික් කරල නො දැම්මත් දොරකට තියන්න, ඇඟ අතුල්ලන්න
තියා ගනී. මැණික් ගැන දන්න අයට තමයි ඒ ගල වටින දෙයක් වෙන්නෙ”
බබාටත් නංගීටත් අවශ්‍ය කරන සියලු ම බඩු ද ගෙන ගෙදර ආ ඒ සැඳෑවේ, ඒවා දිග හැර බැලීමෙන්
අනතුරුව නංගී මවෙත විත් අක්කෙ කියා කතා කළා ය. අලුත් ගෙයි ජනේල කණ්ඩියක් මත හිඳ ගෙන ගුරුගේ
මැදුර දෙස බලා උන් මම හැරී ඇදෙස බැලුවෙමි.

“මට අක්කත් එක්ක ටිකක් කතා කරන්න ඕනෙ”
අතේ වූ තේ බී නිම වූ කෝප්පය අඩියේ වූ තේ මණ්ඩි ටික මිදුලට විසි කළ මම ජනේල කණ්ඩිය මතින්
බිමට පැන්නෙමි.

More Stories

Don't Miss



Latest Articles

ඔබ දකින සිහිනවලින් හෙළිවන අරුම පුදුම අනාවැකි

ඔබේ පරණ පෙම්වතා හෝ කාර්‍යාලයේ ප්‍රධානියා සමග ලිංගිකව හැසිරෙනු සිහිනෙන් දුටුවා ද ? ලිපිය අවසන් වන තෙක් කියවා සිහිනයේ පලාපල දැනගන්න.

ආකර්ෂණීය පියයුරු සඳහා ඔබට ගැළපෙන Bra එක නිවැරදිව තෝරා ගන්නා ක්‍රමය.

70% ක් පමණ කාන්තාවන් තමන්ගේ ප්‍රමාණයට වඩා කුඩා බ්‍රා අඳින බවත්, 10%ක පිරිසක් ප්‍රමාණයට වඩා විශාල බ්‍රා අඳින බවටත් සොයාගෙන තිබෙනවා....

සීත මාරුතේ -38

අපට අප වටා පවත්නා ලෝකය නතර වී ඇතිවා සේ දැනෙනා නිමේෂයන් උදා වන්නේ ය. ඒ මොහොත තුළ පවත්නේ අප පමණකි. වෙනත් සජීවී...

ඔබේ වේදනාව තරමටම තව කෙනෙකුගේ වේදනාව ගැනත් සංවේදී වෙන්න.

"මොකද නයනි බාම් සුවඳ? සනීප නැද්ද?" මම එහෙම අහගෙන මගේ පුටුවෙන් වාඩි වෙනකොට නයනි මං දිහා බැලුවේ හිනාවක් ආයාසයෙන්...

Intercourse නොකර උපරිම ලිංගික තෘප්තිමත් බවක් ලබා ගත හැකි ක්‍රම.

මේ ප්‍රශ්නය ඔයාගෙ ජීවිත කාලෙදි එක දවසක් හරි ඇවිත් ඇති. ඇත්තට ම ලිංගික තෘප්තිය ලබාගන්න යෝනි මාර්ගයට ශිෂ්ණය හෝ යම් උපකරණයක් ඇතුල්...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content