මම වෙනම මලක් – 38

“මමත් ලොකු අම්මගෙමද?  අම්මට මාව හදා ගන්න වුණාද? ඒකද අම්මා මට නපුරු වුණේ”

නිලුපුලී එසේ අසද්දී නම් නිර්මලාගේ හදවත බිඳී යන්නට පටන් ගෙන තිබිණ. අතිශය රිදවුම් ලැබූ අවස්ථා මේ දැරිය මතක තබාගෙන තිබේ. අම්මා කෙනෙකු අතින් ඕනෑවට වඩා හදවත බිඳී යාමක් දැරියකට කිසිදා අමතක කරන්නට නොහැකි බව දැන් නිර්මලාට වැටහේ.ඇයට වේදනාවක් දැනෙන්නේ ඒ හන්දා ය.

“ඔයා මගෙ තමයි.”

ඇය එසේ පැවසුවේ තරහිනි. නිලුපුලී ඇගේ වග ඇයට සැබෑවටම දැනෙමින් තිබිණ. නිලුපුලී කාගේවත් නොවේ. ඇගේ ය. ඇය සුන්දර කුඩා කෙල්ලක කාලයේ මඟ හැරී ගිය බව සත්‍යයකි. නමුත් ඉදිරියට එසේ වන්නට ඉඩ දිය යුතු නොවේ.

“ඔයා මගෙ තමයි පුතේ..”

ඇය එසේ කියමින් නිලුපුලී වැලඳ ගත්තා ය. ඒ වැලඳ ගැන්ම අතරේම නිලුපුලීට අහන්නට ප්‍රශ්නයක් තිබිණ. ඇය එය අහන්නට වූවා ය.

“මගේ තාත්තා රදීෂ් අයියගේ තාත්තාම ද?”

නිර්මලා හිස වැනුවේ ඉකි බිඳුමක් ද සමඟ ය.ඇය කඳුලු ඔහේ ගලා යන්නට ඉඩ හැරියා ය. ඇයට දැනෙන්නේ කියාගත නොහැකි තරමේ වේදනාවකි. ඇය හඬමින් ඔහේ හිටියේ ඒ හන්දා ය.

“ඔයා එයාගේ නංගියෙක් වෙන්නේ එහෙමයි.”

පාලිත සමඟ වූ ප්‍රේමය ද එය අක්කාට හෙළිදරව් වූ ආකාරය ද එතැන් පටන් සියල්ල සිදු වූ ආකාරය ද නිර්මලා හැඬුමකින් තොරව කියාගෙන යන්නට වූවා ය.

“දරුවගෙ තාත්තා මං කියලා උඹ අම්මට කිව්ව දාට අම්මා උඹට වෛර කරන්න පටන් ගන්නවා. චාරු මැරුණේ  උඹේ නැහැදිච්චකමට  කියලා අම්මා තේරුම් ගත්ත දවසට උඹට එයාගෙන් කිසිම සමාවක් නැතිව යනවා.ඒ විතරක් නෙමෙයි ඔය ළමයා කවදහරි දැනගත්තොත් මම තමයි එයාගේ තාත්ත කියලා ළමයා පවා උඹ දිහා බලන්න පිලිකුළෙන්. තමන්ගෙ අක්කගෙ මිනිහව අල්ලගෙන අක්කට ජීවිතෙත් එපා කරපු ගෑනියෙක් දිහා කවුරුත් ආදරෙන් බලන එකක් නෑ.”

පාලිත එදවස ඇය බියපත් කළේ ඒ ආකාරයෙනි. ඇය ඉතා බියපත්ව දවස් ගෙවා දැම්මා ය. මේ හෙළිදරව්ව නොවන්නට කළ හැකි සියල්ලම කළා ය. නමුත් එය අත්හැර දමා ඇත්ත කියන්නට දවස පැමිණ තිබේ.

“අම්මා පව් අම්මේ..”

නිලුපුලීට හැඬෙයි. ඇය එසේ කියාගත්තේ අසීරුවෙනි.

“මං මහ නරක ගෑනියෙක් පුතේ.”

දියණිය එසේ කියන්නට පෙර නිර්මලා එසේ කියා ගත්තා ය. ලොකු අම්මා මිය යන්නට සම්පූර්ණ වැරදිකාරිය ඇය නොවේ දැයි තවම නිලුපුලී ඇසුවේ නැත.

“අම්මත් හැදුණේ මේ වත්තෙනෙ. වත්තෙන් එහා ලෝකෙට ගියාම ඒ ලෝකෙ තියෙන ලස්සනට ඇස් ගිනි කන වැටෙනවා අම්මේ. ඒ ලස්සන කොහොමහරි අයිති කරගන්න හිතෙනවා. රස්සාවට ගිය මුල්ම දවසේ මටත් රදීෂ් සර්ව අයිති කර ගන්න හිතුණා. අම්මා මට ඇත්ත නොකීවානම් මම සිංහ සීවලී කෙනෙක් වෙලා නවතින්නත් තිබුණා.”

රහස් රකින්නට යාම වඩාත් භයානක ප්‍රතිඵල ඇති කරන්නට ඉඩ ඇති බව නිර්මලාට සිතුණේ ඒ මොහොතේ ය. ඇය නිලුපුලීගේ හිස අතගෑවේ ඒ හන්දා ය.

“අම්මට ආදරේ ඉස්සරහ පැරදෙන්න වුණා. ඒ පැරදිල්ල නිසා ලොකු අම්මට ජීවිතේ ඉස්සරහත් පරදින්න වුණා. ඒ ඔක්කොම වැරදි වලට හේතු වුණු තාත්තා කියන මනුස්සයත් හොඳින් නෑනෙ අම්මේ.”

නිලුපුලී එසේ පවසන තුරු පාලිතට සිදුවී ඇති අබග්ගය කුමක්දැයි නිර්මලා දැන සිටියේ නැත. ආදරයක නාමයක් හෝ හිතේ නැති බව ඇත්‍තකි. නමුත් ඇගේ සහජ ගැහැනු ඉව අවදි විය.

“රදීෂ් සර් කසාදෙන් පස්සේ සම්පූර්ණයෙන්ම එයාගේ පවුල අත්හැරලා දැම්මයි කියලා මට විකුම් සර් කිව්වා. නදීෂ් කියන්නේ මොන වගේ මිනිහෙක් ද කියලා අපි වත්ත ඇතුළේ උදේ හවා දකිනවානෙ අම්මේ. විදූෂාගේ පිළිවෙලත් ඒ හැටි හොඳක් නෑලු. රදීෂ් සර්ගේ කුඩම්මා තරම් නපුරු මනුස්සයෙක් තවත් නෑ කියනවා..එතකොට අම්මා හිතන්නේ තාත්තා ඉන්නේ හොඳින් කියලද?”

ඒ ප්‍රශ්නයට පිළිතුරු නිර්මලා සැබෑවටම දන්නේ නැත.කළ්‍යානි සැර වාචාල ගැහැනියක වග ඇය දැන සිටියා ය. නිර්මලා සිහින දැක්කේ පාලිතගේ සදාකාලික පෙම්වතිය වන්නට මිස බිරිඳ වන්නට නොවේ. රන් දෝලී තනතුර අක්කාට කැමැත්තෙන්ම පවරා යකඩ දෝලිය වන්නට ඇය බැඳී සිටියා ය. නමුත් අක්කාට ඇගේ රාජධානියට තවත් බිසවක් පැමිණීම දරා ගත හැකි වූයේ නැත. අක්කාගේ මරණය දරා ගත නොහැකි සීමාවක තිබූ බව ඇත්තකි. නමුත් නිර්මලා ඉන් අනතුරුව පාලිතගේ බිරිඳ වන්නට සිතුවා ය.

‘මේක අදමද වුණේ?”

සාක්ෂි සමඟම ප්‍රේමය හෙළිදරව් වූ දවසේ අක්කා නංගිගෙන් එහෙම ඇසුවේ හිත සනසා ගන්නට ය. නිර්මලාට එය එසේ බව කියන්නට තිබිණ. මෙය අහම්බයක් බව කියන්නට තිබිණ.නමුත් රන් දෝලිය සහ යකඩ දෝලිය අතරින් රජෙකුට ඇතැම්විට වඩාත් වටින්නේ යකඩ දෝලිය බව ඇය අසා තිබුණා ය. රන්දෝලිය සහ යකඩ දෝලිය ඉතා ආදරයෙන් වෙසෙන කතන්දර අසා තිබිණ. තේවානි අම්මා මහත් හරසරකින් වල්ලි අම්මාගේ ප්‍රේමය බාරගත් ආකාරය අසා තිබිණ.නිර්මලා අක්කාට ඇත්ත කියන්නට තීරණය කළා ය.

“පුතා ඉපදුණු කාලේ ඉඳන්”

රදීෂ් දැන් සිව් හැවිරිදි ය. එතරම් කාලයක් රැවටී තිබීම චාරුලතාට මරණයට ළං වෙන්නට හේතු විය.චාරුලතා නැගණියට පහර දෙමින් හැඬුවා ය. ඇය නැති කර දමන බවත් ඇයට ගිනි තබන බවත් පිළිණ දුන්නා ය. නගරයේ ගණිකා නිවාසයකට ඇය විකුණා දමන බවට දිවුරුවා ය.නමුත් ඒ කිසිවක්ම සිදු වූයේ නැත. කිසිවක්ම එහෙම නොවී ය. ඇගේ සිරුර නිවසේ බාල්කයක එල්ලී තිබිණ. එසේ නොවී ඇය තමන් විනාශ කර දැමුවානම් යහපත් බව දැන් නිර්මලාට සිතෙයි.

චාරු අක්කා වහ කාලා මැරිලා යන්නෙ නෑ බං.වත්තෙන් ගිහින් සල්ලි තියන මිනිහෙක් බැඳගත්තෙ නැත්තං එහෙම වෙන් නෑ.”

වත්තේ අය අදටත් එසේ පවසයි.අක්කා මිය ගියේ ධනවතෙකු සමග විවාහ වීම හන්දා නොවේ. ඒ ධනවත් මිනිසාට සදාචාරයක් නොවූ හන්දා ය. ඒ පිළිකුල් සහගත කටයුතු ගැන දැන ගැනීමෙන් පසු ඇය ජීවිතය අතැර යන්නට තීරණය කර තිබීමේ කෙළවර තමන් හිඳීමේ පාපයෙන් ගැලවෙන්නට නොහැකි වග නිර්මලා දනියි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles