මම වෙනම මලක් – 37

“කොතන හරි හිරවෙලා එතනම නැවතුණාම මිනිස්සුන්ට කවදාවත්ම ඉස්සරහට යන්න බෑ දුව..  අවුරුදු ගාණක් මම හිටියේ එහෙම. නැත්නම් මට කසාදයක් බැඳලා ඔයාට නංගියෙක් මල්ලියෙක් ගෙනල්ලා දෙන්න වුණත් තිබ්බා.”

නිර්මලා නිලුපුලී සමඟ එසේ පැවසුවේ එදා රාත්‍රියේ ය. ඕනෑනම් නිලුපුලීගේ තාත්තා කවුදැයි ඇයට කියන්නට පවා ආවේගයක් නිර්මලාට උපදී. නමුත් ඇය ඉවසීමෙන් හිඳින්නට කැමති ය. මේ සියල්ල හෙළිදරව් වන දවසක් පවා දිනයක පැමිණෙන්නට හැකියාවක් තිබේ. කළ යුත්තේ කල් බැලීම ය.

“ඒකට නම් මම දොසක් කියන් නෑ..අම්මා තාත්තගෙ හිත් නොරිද්දා ඉන්න එක කොච්චර ලොකු දෙයක්ද? අම්මා ඔය මට නොකියා හිටියට තාත්තා කොහෙහරි ඇතිනේ.”

නිලුපුලී එසේ කියද්දී නිර්මලා සිනා වූවා ය. පාලිත අත මානයේම හිඳියි. ඔහුට නිලුපුලී නොපෙන්වීමේ තීරණය ගත්තේ නිර්මලා ය. තමන්ගේ ලෙයින් උපන් දරුවෙකු “කොහෙද යන දෙමළෙකුගේ” බව පැවසූ මිනිසා අප්පෙකු වන්නට ඕනෑ නැතැයි නිර්මලා තීරණය කළා ය. පාලිත ලියනාරච්චි නම් නරුමයා නිලුපුලීව පමණක් නොව රදීෂ්ව පවා අත්හැර දමා තිබේ. නදීෂ්ගේ ක්‍රියාකලාපය අනුවනම් ඔහුට පවා තාත්‍තාගේ ඇල්ම බැල්ම හිමි වන්නේ නැත. එහෙම හිමි වෙනවානම් ඔහු ඔය තරමට විකාර කරන්නට ඉඩක් නොමැත.

“අම්මා තාත්තාගේ හිත නොරිද්දා හිටිය.එතනින් පස්සෙ මගේ හිත් රිද්දුවා..”

නිලුපුලී එසේ පැවසුවේ හදිසි ආවේගයෙනි.අම්මා ඇගේ හිස අත ගාමින් ඇය නිවන්නට තැත් දැරුවා ය. ප්‍රේමයක රැවටීම ඇස මානයේ පෙනෙන්නට තිබීම පහසු දෙයක් නොවේ. ඒ රැවටීමේ සංකේතය සදාකල් හදාවඩා වන්නට සිදුවීමත් එයට ආදරය කරන්නට සිදුවීමත් නිර්මලාට දරා ගන්නට හැකි වූයේ නැත. ඇය නිලුපුලී බලා හදා ගන්නට තීරණය කළා ය. නමුත් ආදරය කිරීම පහසු වූයේ නැත. දැන් නිලුපුලී ඒ සම්බන්ධයෙන් කෝප වෙමින් හිඳින්නී ය. ඇගෙන් සමාව ඉල්ලන්නට තමන් සුදුසුදැයි නිර්මලා සිතුවා ය. 

“ආදරේ කියන දේ පොඩ්ඩක්වත් ලේසි දෙයක් නෙමෙයි.තමන් හරියටම ආදරේ කරන මනුස්සයාව කසාද නොබැඳ රටට ලෝකෙට ඕනවට කසාද බැන්දහම කිසිම මනුස්සයෙක් සතුටෙන් ජීවත් වෙන්නේ නෑ.මිනිස්සු බාගෙට බාගයක් කේන්තියෙන් දුකෙන් ඉන්න ඇත්තම හේතුව ඔන්න ඕක. ඊටපස්සෙ ඒ මිනිස්සු වෙන තැනක නවතිනවා. නැවතිලා ඒ නවතින තැනටත් පුලුවන් තරමට හතුරුකම් කරනවා. බලන් ගියාම මේ ලෝකේ හරියට ආදරයක් නෑ නිලූ. තියන තරමක් තියෙන්නේ වංචාව. ගෑනු අපි හැමදාම රැවටෙන්නේ ඒකයි.”

නිර්මලා කියන්නේ ළතැවිල්ල පිරුණු හඬකිනි. ඇයට පාලිත ලියනාරච්චිගේ ආදර වදන් සිහිව එයි.වචන වලට රැවටි තමන්ගේ අක්කාට පවා ද්‍රෝහී වන්නට සිතුණු අතීතය ගැන ඇයට ලැජ්ජාවක් නැත. නමුත් මහත් වේදනාවක් තිබේ. එතැනදී සහෝදරියන් දෙදෙනාම පාලිතට පරාජය වී තිබේ.

“මමත් කසාද බඳින එකක් නෑ.මං ආදරේ කරන කෙනා නොලැබිලා කවුරු ලැබුණත් මොකටද අම්මේ?”

නිලුපුලී ඇගේ කතාවේ දුක්බර තැන පිටතට රැගෙන ආවා ය. නිර්මලා ඇයට හෙළුවේ නිස්කලංක හිනාවකි. රදීෂ්ගේ ඥාති සහෝදරයා නිලුපුලීගේ හදවත තුළ මහත් පෙරළියක් කරමින් සිටින බව ඇයට වැටහෙයි. හැම මිනිසෙක්ම පාලිත ලියනාරච්චි කෙනෙක් නොවන නිසා නිලුපුලීට අනතුරු අඟවන්නට නිර්මලාට හිතක් නොවේ.

“පුතේ, අම්මා දුකින් ඉන්නේ අම්මට ආදරේ කරපු මනුස්සයා නැති වුණාට..තාත්තගෙ සැනසිල්ල වෙනුවෙන් එයාට ළං වුණු මට එයාගේ නම්බුව වෙනුවෙන් එයාගෙන් ඈත් වෙන්න වුණා. ඔයා කියලා දරුවෙක් ඉන්නවද කියලවත් ඒ මනුස්සයට වගක් නෑ. මං තනියම ඔයාඅ හැදුවා.පිළිවෙලකට ඉන්න එක පවා අමතක කරන තරමට මම මාව අමතක කරේ එයාට ආදරේ කරපු මනුස්සයා නැති වුණු නිසා.ඒ වුණාට ඔයා මේ පණ්ඩිතකම් කියවන්නේ ඔයාට ආදරේ කරපු මනුස්සයෙක් නිසාද? ඔයාට කවුරුත් ආදරෙයි කියලා නෑනේ නේද?”

ඇත්තටම විකුම්ගේ දෑස්වල ආදරයේ සලකුණක් හෝ තිබේදැයි නිලුපුලී සිතන්නට වූවා ය. ඕනෑවටත් වඩා තිබේ. එකම වරද නම් ඔහු එය නොපැවසීම ය.

“තමන්ට ආදරේ නැති මිනිහෙක්ට ළං වුණත් ගෑනියෙක්ට වෙන්නෙ විනාසයක් පුතේ..”

ඒ අතර නිර්මලා සිහින් හඬින් පැවසුවා ය.එය ඇය තරමට දන්නේ කවුදැයි නිලුපුලී සිතන්නට වූවා ය.

“මගෙ පුතා දැන්ම තේරුම් ගන්න.ගෑනු ආදරේ නාමෙන් පාවිච්චි වෙනවා. ඊටපස්සෙ අපි ඒ තුවාලේ දරාගෙන කාලයක් තිස්සෙ ජීවත් වෙන්න පටන් ගන්නව.සැරව පිරිච්ච තුවාලයක් වෙළුම් පටිවලින් වහගෙන හිටියට වැඩක් නෑ පුතේ.රිදුණත් කමක් නෑ තුවාලෙ හොඳට සුද්ද කරන්න ඕනෑ.ඊට පස්සෙ බෙහෙත් දාන්න ඕනෑ.. කැලැල් ඉතුරු වුණාට කමක් නෑ.ඇඟ පුරාම තුවාලෙ ඔඩු දුවන්න දෙන්න එපා. මම ඇඟපුරාම තුවාලේ ඔඩු දුවන්න දුන්නා. දැන් මම ඇවිදින තුවාලයක්.”

නිලුපුලී අම්මා දෙස මොහොතක් බලා සිටියා ය. අම්මාගෙන් අහන්නට ප්‍රශ්නයක් තිබේ. එය නාසා ඉන්නට ඇයට හිතක් නොවේ. මේ ප්‍රශ්නය නාසා හිඳින තාක් ප්‍රශ්න නිසසල මුහුදක් මෙන් ඔහේ පවතිනු ඇත. නමුත් මේ ප්‍රශ්නය අම්මාගෙන් ඇසීමම සුනාමියක් ඇති කර ගැනීමකි.

“අම්මේ, මගේ තාත්තා ජීවතුන් අතර ද?”

ඒ ප්‍රශ්නයට නිර්මලා මුහුණ දුන්නේ තිගැස්මෙනි. කෙදිනක හෝ එවැනි ප්‍රශ්නයක් මතු වෙන බව ඇය දැන සිටියා ය. නමුත් කරන්නට කිසිවක් නොවේ. දැන් මේ ප්‍රශ්නය නැඟී අවසන් ය. “මම එයා ඉන්න තැනක් දන්නේ නෑ”  වැනි කතන්දරයකින් මේ සියල්ලම පහසුවෙන් අවසන් කළ හැකි වුවත් ඇත්ත කියන්නට කාලය පැමිණ ඇති බව නිර්මලාට වැටහේ. ඇය මොහොතක් නිහඬව සිටියා ය.

“තාත්තා ඉන්නවා පුතේ.”

එහෙම පැවසූ ඇය ඊළඟ කොටස ඊළඟට එකතු කළා ය.

“මේ අහල පහළම ඉන්නවා.”

එසේ නම් තාත්තා වේල්ල වත්තේම වැසියෙකු විය යුතු බව නිලුපුලීට සිතේ. ඒ කවුදැයි සිතන්නට ඇය තත්පරයෙන් හතරෙන් පංගුවක පමණ කොටසක් වැය කළා ය.

“වත්තේ කෙනෙක් නෙවෙයිනෙ අම්මේ?”

ඊළඟ ප්‍රශ්නය එසේ මතු විණ. නිර්මලා හිස වැනුවා ය. අනතුරුව නැඟී සිටියා ය.

“ඔයා රදීෂ් මහත්තයගෙම නංගි පුතේ. ඔයයි එයයි සහෝදරයෝ.”

ඒ වචන කියා අවසානයේ ටෙලි නාට්‍යයකදී මෙන් ඉකි බිඳ හඬන්නට නිර්මලාට ඕනෑ වූයේ නැත. ඇය වියළි දෑසින් ඔහේ බලා සිටියා ය.

“ඒ කියන්නේ, අම්මත් මගෙ අම්මා නෙවෙයිද?”

නිලුපුලී කතාව වැරදියට කියවා ගනිමින් සිටියා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles