කෑම්පින් යද්දී වගේම එළිමහන් තැනකදී සාදාගැනීමට පහසු ආහාර

බොහෝ දෙනෙක්ට තිබෙන ගැටලුවක් තමයි කඳු තරණයකදි, එහෙමත් නැතිනම් කෑම්පින් කරන විට,එහෙමත් නැත්නම් එළිමහන් තැනක ඉක්මන් කෑම පිසිමකදී පිළියෙළ කර ගන්න සුදුසු ආහාර වර්ග මොනවද කියන එක. ඉතින් මේ ලිපියෙන් අපි කියන්න යන්නේ ඒ වගේ අවස්ථාවක හදා ගන්න පුළුවන් ලේසිම සහ පහසුම තරමක් වෙනස් විදියෙ ආහාර වර්ග කීපයක් ගැන. මේ ආහාර වර්ග හදන ක්‍රම එකිනෙකට වෙනස් වෙනවා. අතීතයේ මිනිස්සු ප්‍රාථමික තාක්ෂණයක් භාවිතා කරලා හදා ගත්ත කෑම වර්ග අද අපි මේ ලිපියෙන් කියන විදියට හදාගෙන ඔයාගෙ කෑම්පින් දවසට තව තවත් රසවත් මතක කිහිපයක් එක් කර ගන්න පුළුවන් වේවි.

1) ගිනිමැලයෙන් පිළිස්සූ ඉරිඟු කරල්

බොහෝ දෙනෙක් ඉරිඟු, තම්බා කෑම හැරුනම වෙන විදි වලට එහි රසය අත් විඳලා නැතුව ඇති. මේ කියන්න යන විදියනම් ඉරිඟු තම්බලා කනවට වඩා හරිම රසවත්. මේකට තෝර ගන්න ඕනෙ ගොඩක් ලපටි ඉරිඟු කරල්. මෝරන ලද ඉරිඟු කරල්නම් කොහෙත්ම ගැළපෙන්නෙ නෑ.

මුලින්ම ඉරිඟු කරල අරගෙන පොතු ටික ගලවලා ඉවත් කරන්න ඕනෙ. ඊට පසුව කරලෙ කෙලවරින් බොහොම පොඩි කොටසක් කඩලා ඉවත් කරන්න ඕනෙ. ඊට පසුව කැළයෙන් සොයාගෙන පිරිසිදු කරගත් දිග අමු කෝටුවක් ගෙන ඉරිඟු කරලේ කොටසක් කඩන ලද පැත්තෙන් කරල සිදුරුකරගෙන යන සේ අඟලක් පමණ ඇතුළට ගැසිය යුතුයි. දැන් කෝටුවේ අනෙක් කෙළවරින් අල්ලා ඔබේ ගිනිමැලයේ දැල්ලේ පහළ කොටසට ඉරිඟු කරල ළං කළ යුතුයි. එය තැනින් තැන කලුපැහයට හැරෙන් තෙක් පුළුස්සා ගත යුතු වෙනවා. ඉන් පසු ලුණු කුඩු ස්වල්පයක් දිය කරගත් වතුර ඊට ඉස කෝටුවෙන් නොගලවාම ආහාරයට ගත හැකියි.

මේ විදියට සකස් කර ගන්නා ඉරිඟු කරල් නම් තම්බා ගත් ඉරිඟු වලට වඩා බොහොම රසවත්. මේ විදියට ඉරිඟු පුළුස්සන එක හැම දෙනාටම එකට එකතු වී ගිනිමැලය වටේ හිදගෙන කළ හැක්කක් නිසා එය වටිනා අත්දැකීමක් වේවි.

2) ගල් පතුරක තබා පිසගත් බිත්තර

කඳු තරණයකදි වගේනම් කන්ද මුදුනට රැගෙන යා හැකි බඩු බාහිරාදිය පුළුවන් තරම් අවම කර ගත යුතු නිසා භාජනයක් නැතිව සකසා ගන්න පුළුවන් ආහාර ඒ වගේ අවස්තාවල බොහොම වටිනවා. බිත්තර පිස ගන්න භාජනයක් අවශ්‍ය බව හැමෝම දන්න කාරණයක්. නමුත් මේ ක්‍රමේටනම් භාජනයක් අවශ්‍ය වෙන්නෙ නෑ. මේ සඳහා හොද පැතලි ඝනකමින් අඩු ගල් පතුරක් හොයා ගත යුතු වෙනවා. කූඩාරම් අටවන ස්තානවල සහ කඳු මුදුන්වල මෙවැනි ගල් පතුරු බහුලව දකින්නට ලැබෙන නිසා එය ඒතරම් අපහසු වන්නේ නෑ. ඉන්පසු එම පැතලි ගල් පතුර හොඳින් පිරිසිදුකර තවත් උස ගල් කැබලි තුනක් මත තබා, ලිපක් මත තැබූ තැටියක් ආකාරයට සකස් කර ගත යුතු වෙනවා.

දැන් ගල් කැබලි තුන අතරට ගිනිමැලයෙන් ගත් අඟුරු දමා එසේත් නැතිනම් කැළයෙන් එකතු කර ගත් දර දමා ගින්දර අවුලුවා ගත යුතුයි. මෙසේ ටික වේලාවක් ගල් පතුර රත් වෙන්නට ඉඩහැර ඒ මතට තෙල් ස්වල්පයක් ඉසිය යුතුයි.ඉන්පසු බිත්තර කඩා පිටතට විසිරී නොයන සේ පරිස්සමට ගල් පතුර මත බුල්සයි එකක ආකාරයෙන් දැමිය යුතුයි. ඉන්පසු උඩට ලුණු කුඩු ස්වල්පයක් ඉස ගත යුතුයි. මේ ක්‍රමයට බිත්තර ඉදෙන්න ටිකක් වැඩි වේලාවක් ගත වෙනවා. නමුත් රසයනම් කිසිම දිනෙක අමතක නොවෙන ආකාරයේ එකක් වේවි.

3) අලුත්ම විදියකට තම්බන අර්තාපල්

මේක අර්තාපල් තම්බන තවත් අලුත් ක්‍රමයක්. අර්තාපල් විතරක් නෙවෙයි, කැලෙන් අපිට සොයාගත හැකි වෙනත් ඕනෑම අල වර්ගයක් වුනත් මේ ක්‍රමයට තම්බා ගන්න පුළුවන්. මේ සඳහා ගමන යන විට ඇලුමිනියම් ෆොයිල් කොලයක් රැගෙන යා යුතු වෙනවා. ඇලුමිනියම් ෆොයිල් කොල සුපිරි වෙළෙඳසැල් වලින් හෝ හාඩ්වෙයාර් එකකින් ලබාගත හැකියි. රාත්‍රියේදී දැනෙන සීතල හා පාළුව මගහරවන්න සාදන ගිනිමැලය තමයි මේ වැඩේටත් යොදා ගන්නෙ.

මුලින්ම අර්තාපල් ගෙන හොඳින් සෝදාගත යුතුයි. කඳු මුදුනේ හෝ කඳවුරු බැඳි ස්ථානයේ ජලය සීමිතයිනම් මෙවැනි සේදුම් කටයුතු ගමනට පෙර කරගැනීම වඩා යෝග්‍යයි. පිරිසිදු කරගත් අර්තාපල් වල පොත්ත ඉවත් නොකල යුතුයි. (පොත්ත ඉවත් කිරීමෙහිද වරදක් නැත.) ඉන් පසුව ඉරටුවක් හෝ එවැනි ආකාරයේ සිහින් තුඩක් යොදාගෙන කිහිප තැනකින් අර්තාපල් ගෙඩිය සිදුරු කළයුතුයි. දැන් මෙලෙස සිදුරු කරගත් අර්තාපල් ලුණු වතුරෙහි මිනිත්තු කිහිපයක් බහාලිය යුතුයි. දැන් මෙම අර්තාපල් ගෙඩිය ගෙන ඇලුමිනියම් ෆොයිල් කොල කැබැල්ලක් මත තබා ෆොයිල් කොලය මගින් අර්තාපල් ගෙඩිය සම්පූර්ණයෙන් ආවරණය වන සේ එතිය යුතුයි. අර්තාපල් ගෙඩිය සමගම කැබලි ලෙස කැපූ අන්නාසි, ඇපල් වැනි පළතුරු කැබලි කිහිපයක්ද තැබිය හැකියි.

දැන් මෙලෙස ෆොයිල් කොලවල ඔතා සකස් කරගත් අර්තාපල් ගිනිමැලයේ අඟුරු මත හොඳින් පිළිස්සෙන්නට හැරිය යුතුයි. වරින් වර පැති පෙරළමින් එය පිළිස්සෙන්නට හැරිම වැදගත්. මිනිත්තු 15 කට පමණ පසු එය අඟුරු මතින් ඉවතට ගෙන හොඳින් නිවෙන්නට හැරිය යුතුයි. නිවුණු පසු එය දිගහැර වෙනස්ම ලෙසකට තැම්බී තිබෙන අර්තාපල් වල රසය භුක්තිවිඳිය හැකියි.

තොරතුරු අන්තර්ජාලය ඇසුරින්

-ඉරේෂා-

Related Articles

Don't Miss


Latest Articles