පසළොස්වක මල් – 57

0
651

” මාණික්‍යා ..! මගෙන් ගුටි නොකා යනවා කාමරේට. “

විසල් හඬකින් කෑගැසූ සුභාවී නිසාවෙන් මාණික්‍යා එක් වරම තිගැස්සුණාය.

” ලොකු අය කතා කරන තැන්වල පොඩි අයට කරන්න දේවල් නෑ. ඕවද මං ඔයාට උගන්නලා තියෙන්නේ ?” 

ඈ තව දුරටත් පුපුරා හැළුණාය.

” හැම වෙලේම ඇත්ත කතා කරන්න ඉගැන්නුවෙත් අම්මනේ ?” 

ගොලු වූ සුභාවී එක දිගට දියණිය දෙස බලා සිටියාය. ඇගේ දෑසේ වූ අප්‍රමාණ අසරණබාවය දුටු මාණික්‍යාගේ හදවතට යළිත් තම මව් පිළිබඳව ශෝකයක් හට ගැනිණි. මවගේත් , දියණියගේත් හැඟීම් ව්‍යාප්තිය දෙස තව දුරටත් නිහඬව බලා සිටීම අනුවණයැයි තේරුම් ගත් භරණ වහා හිඳ උන් තැනින් නැඟී සිටියේය. ඔහු සෙමින් මාණික්‍යා අසලට අඩි තැබුවද වහා දියණිය තම පසුපසට කළ සුභාවි ඈත් , භරණත් අතර මැද ආරක්ෂක පවුරක් සේ සිට ගත්තාය. 

” ඔයාගේ හස්බන්ඩ් කොයි රටේද ඉන්නේ සුභාවි ?” 

” ආහ්.. ? ආ.. මේ.. යූකේ වල. “

” මට එයත් එක්ක පොඩ්ඩක් කතා කරන්න පුලුවන් වෙයිද?” 

” ඒ.. ඒ මොකටද ?” 

” ඔයා මිහිදුමී එක්ක කියලා තිබ්බ විදිහට එයා ඩොක්ටර් කෙනෙක්නේ. ? මාත් අඳුරන ගොඩක් අය එහේ ඉන්නවා. “

භරණගේ සියලු වචන ඇගේ දෑස දෙස බලා වුවද ඈ වචනයක් පාසාම ඔහු දෙනෙත මඟ හැරියාය.

” එ.. එයත් එක්ක මගෙ කන්ටැක් එකක් නෑ.”

” වෙන්වුණාට ඔයාලා තාමත් හොඳින් ආශ්‍ර්ය කරනව කියලයි මට ආරංචි උනේ. “

” එ.. එහෙම දෙයක් නෑ.. “

” මාණික්‍යා …! “

ඔහු මුවින් පළමු වරට කුඩා දැරියගේ නාමය පිටවූ අතර සුභාවි තවත් දියණියව තම පසුපස සඟවා ගත්තාය. 

” ඔයාගේ තාත්තිගේ නම මොකද්ද පැටියෝ ?” 

” මො.. මොනවද මේ අහන්නේ ? ත.. තමුන්ට පිස්සු හැදිලද ඩොක්‍ටර් භරණ ? කරුණාකරලා මගෙ ගෙදරින් යන්න. මගේ දරුවා එයාගේ තාත්තා ගැන කතා කරන්න අවශ්‍ය නෑ. ශමෙල් අයියේ.! අනේ කරුණාකරලා මෙහෙන් යන්න. මට මේ දරුවත් එක්ක පාඩුවේ ඉන්න දෙන්න.. “

” ශමෙල් ..! දිසාට කෝල් එකක් ගනින්. අපි යන ගමන් පොලිසීයට ගිහින් යං. ඕනෙම තාත්තෙක්ට අයිතියක් තියනවා තමන්ගේ දරුවෙක් ගැන දැන ගන්න. ඒ වගේම දරුවෙක්ටත් අයිතියක් තියනවා තමන්ගේ තාත්තා ගැන දැනගන්න. කතා කරලා විසඳගන්න බැරි ප්‍රශ්න නීතියෙන් හරි විසඳගමු.”

භරණගේ ස්වරය දැඩි වූ අතර සුභාවිගේ දෑසින් නිමක් නැති කඳුළු පේළියක් කඩා වැටිණි. තුෂ්නිම්භූතව කඳුළු සළනා සුභාවී දෙස බලා ඔහු මුවින් පිටවූ වචන වලට භීතියෙන් වෙළුණේ ඈ පසුපස සිටි මාණික්‍යාය. පොලීසිය , කූඩුව , මව ඇදගෙන යන පොලිස් නිලධාරිනියන් , කූඩුවක් තුළ සිට හඬා වැටෙන මව මිලි තත්පර කිහිපයක් තුළ සිනමා පටයක ආකාරයෙන් කුඩා දැරියගේ මනසේ එකී රූප රාමු පෙළ එක දිගට පෙළ ගැස්විණි. 

” එපා.. ! එපා..! මගේ තාත්තා ඔයා. වෙන කවුරුත් නෙමෙයි. ඩොක්ටර් භරණ මහවලතැන්න. මගේ තාත්තා ඔයා. අනේ.. මගේ අම්මව පොලීසියට අල්ලලා දෙන්න එපා. “

විසල් හඬින් කෑ ගැසූ ඈ දෝතින්ම මව වැළඳගෙන හඬා වැටුණාය. කඳුළු බිඳු පේළියක් භරණගේ දෑසින් කඩා වැටුණු අතර එතෙක් කඳුළු වගුරවමින් සිටි සුභාවි හට පිරිමි උවනේ ඇති කඳුළු රටා දෙස තව දුරටත් බලා හිඳීමට නොහැකි වූවාය. 

” අනේ.. යන්නකෝ.. මෙහෙන් යන්න.. අනේ.. මං වඳින්නම්. මෙහෙන් යන්න.. “

දෝතම ඔහු වෙත එකතු කළ පින්සෙණ්ඩු වූ සුභාවිගේ අද්දරට තවත් අඩියක් තබා ඉස්සර වූ ඔහු ඈ ඔහු වෙත දිගු කර වැඳ වැටෙන දෝතම එක අතකින් අල්ලා ගත්තේය. 

” ඇයි එහෙම කළේ ? ඇයි මට මේවා හැංගුවේ ? අවුරුදු කීයක්ද ? අවුරුදුම කීයක්ද සුභාවි ? ඇයි මට මෙහෙම කළේ ?” 

” ඔයයි ගියේ භරණ. ඔයයි ගියේ. ඇක්සිඩන්ට් එකෙන් පස්සේ මං ආයේ ආවම අපි දෙන්නා අතර වෙච්ච දේවල් දැන දැනම මින්දුලාගේ මරණේ හේතුවක් කරගෙන ඔයයි මාව දාලා ගියේ. කොච්චර.. කොච්චර මං ට්‍රයි කළාද ඔයාට මේවා කියන්න. ඒත්.. ඔයා මට ඇහුන්කන් දුන්නෑ. ෆෝන් කෝල් එකක්වත් ආන්සර් කළාද භරණ ? ආ.. ? ඔයයි ගියේ.. ඔයයි ගියේ.. මට එක වචනයක් කතා කරන්න නොදී ඔයයි ගියේ.”

භරණගේ අතින් මුදවා ගත් දෑත ගෙන තදින් තමා වැළඳ උන් දියණිය තුරුළු කරගත් සුභාවි ඉකි ගසමින් හඬා වැටුණාය. එක දිගට මිනිත්තු කිහිපයක්ම තුරුළු වී හඬා වැටෙන දියණියත් , මවත් දෙස බලා සිටි භරණ තම දෑස පිසදා මාණික්‍යා වෙත අත දිගු කළේය.

” පැටියෝ…! මං දැනන් හිටියේ නෑ. මේ ඇත්තමයි. අනේ.. මට සමාවෙන්න..!” 

සුභාවිත්, මාණික්‍යාත් ඉදිරියේ දණින් වැටුණු විසල් පෞරුෂයක් සපිරි විශේෂඥ වෛද්‍ය සහ මහාචාර්ය භරණ සංකේත් මහවලතැන්න මාණික්‍යාගේ අතක් දෝතින්ම අල්ලා ගනිමින් හඬා වැටුණේය. 

” මචං ..!” 

කිසිවක් කීමට අවැසි වුවද ඔවුන් තිදෙනා අතරට මැදිහත් වීම නුසුදුසු බව හැඟුණු ශමෙල් නැවතත් හිඳ උන් පුටුවටම බර විය.

” භරණ..! අනේ.. එපා..!” 

වසර ගණනක් ගත වුණිද තම ප්‍රථම ප්‍රේමය හිමිකරගත් , තම ප්‍රාණසමාන දියණියගේ පියා සේම අදටත් තම ප්‍රේමයේ සෑම අහු මුල්ලකම පැතිර සිටිනා පිරිමියා මෙලෙස තමා ඉදිරියේ දණ ගසා හඬා වැටීම දරා ගත නොහැකි වූ සුභාවීද පොළොව මතම හිඳ ගෙන එක දිගට ඉකි ගසා හැඬුවාය.

” මට සමාවෙන්න සුභාවි..! මං වැරදියි. මේ හැමදේටම වැරදි මම.. ! “

ඔහු තව දුරටත් සමාව යැද්දේය.

” පැටියෝ.. අනේ.. මැණික මට සමාවෙන්න..! ඔයාගෙන් සමාව ඉල්ලන්න ඕනෙ කොහොමද කියලා මං දන්නෑ. ඒත්.. මට සමාවෙන්න..!” 

” ඒකට කමක් නෑ. අම්මි මට හැමදේම කියලා තිබ්බේ. මං ඩොක්ටර් භරණව සෝෂල් මීඩියාත් ෆලෝ කළා. ඒකයි එදා ස්කූල් එක ලඟදි දැක්ක ගමන් අඳුරගත්තේ. “

” ස්කූල් එක ලඟදි. ඒ.. ඒ .. මොකද්ද ?” 

සුභාවි පුදුමයෙන් භරණ දෙසත් , මාණික්‍යා දෙසත් බැලුවාය. 

” එදා මිහිදුමී එක්ක මෙහෙ ආපු වෙලේ ඔයාගේ කටින් දරුවා ගැන පිට වෙච්ච දේවල් එක්ක මට සැක හිතුණා. හොයලා බලද්දි දරුවගේ වයස හරියටම දැනගත්තම තවත් සැකේ වැඩි උනා. එදා ආවේ දුව එක්ක කතා කරනවා කියලා හිතාගෙන. ඒත්.. එයා මටත් කලින් මාව අඳුරගෙන මං දිහා බලන් ඉන්නකොට මට එක වචනයක් කතා කරන්න බැරි උනා. “

” අනේ.. දෙයියනේ..!” 

” මැරි කළා , ඩිවෝස් උනා , හස්බන්ඩ් රට ගියා වගේ දේවල් හැමෝම එක්ක කියලා තිබ්බට ඔයා කවදාවත් මැරි කරලා තිබුණේ නෑ. ඒ දවස්වල ඔයාලගේ බැච් එකේ කීප දෙනෙක් මීට් වෙලා හොයලා බැලුවම ඔයා ප්‍රෙග්නන්ට් වෙලා හිටපු බව දැනගත්තා. ඔයා ගැන හොයලා බැලුවට මේ දේවල් මේ තරම් දුර දිග ගිහින් කියලා මං මේ වෙනකන් දැනන් හිටියේ නෑ. “

භරණ දෑසින් ගලා ගිය කඳුළක් යළි පිස දැම්මේය. ටයිල් පොළොව මත හිඳ වැළපෙන මවත් , පියාත් දෙස බැලූ මාණික්‍යාද ඔවුන් දෙදෙනා අසලම පොළොවට බර වූවාය.

” මුලින් මුලින් මට තාත්ති කෙනෙක් නැති එක ගැන මං දුකින් හිටියේ. අම්මිගෙන් ඇහුවම අම්මි කිව්වෙම තාත්ති රට කියලා. ඉතිං යාළුවන්ට , අහන හැමෝටම මං කිව්වෙත් එහෙම. පස්සේ අම්මි මේ ළඟකදි මට හැමදේම කිව්වා. අම්මි කිව්වෙම තා.. ඩොක්ටර් ගැන වැරදියට හිතන්න එපා කියලා. එයා ඒ වෙලේ සෑහෙන්න ස්ට්‍රෙස් එකේ කිව්වා හිටියේ. අම්මි කවදාවත් ඩොක්ටර් ගැන මට වැරදි කියලා නෑ. එයා හැමදාම මට ඩොක්ටර් ගැන හොඳ කිව්වේ. සෝෂල් මීඩියා වල දකින දකින පාරක් ගාණේ මං ඩොක්ටර් ගැන සෑහෙන්න ආඩම්බර උනා. අපි දෙන්නා ඩොක්ටර් එක්ක තරහා නෑ. කවදාවත් නෑ. ඒ නිසා සමාව ඉල්ලන්න ඕනේ නෑ. “

තාත්තී යන වචනය මුවින් පිටවීමට ආසන්නයට එද්දීම එය ගිල ගත් මාණික්‍යා සියල්ල පවසා සුභාවි හට තුරුළු වූවාය. කිසිවක්ම නොපැවසූ ඈ මාණික්‍යාගේ උර මතින් තම අත දමා ඈ වැළඳ ගත්තාය. ඉකි බිඳින මවත් , දියණියත් දෙස මොහොතක් බලා සිටි භරණ යළිත් වතාවක් සෙමින් මාණික්‍යාගේ අත අල්ලා ගත්තේය.

” පැටියෝ..! මං භරණ තමයි. ඩොක්ටර් භරණ තමයි. ඒ පිට ලෝකෙට. ඒ උනාට මගේ දරුවට මං තාත්තිනේ. තරහා නෑ , සමාව ඉල්ලන්න එපා කිව්වට ඔයා සැරින් සැරේට තාත්ති නොකියා ඩොක්ටර් ඩොක්ටර් කියද්දි මං කොහොමද පැටියෝ ඔයා මාත් එක්ක තරහා නෑ කියලා හිතන්නේ. එක පාරක් , එක පාරක් මට තාත්ති කියලා කියන්නකෝ. මාත් එක්ක තරහා නැත්තන් එක පාරක් මට තාත්ති කියලා කියන්නකෝ. ” 

මාණික්‍යා විසල් කරගත් දෑසින් සුභාවි දෙස බැලුවාය. ඈ යන්තමින් දියණිය දෙස බලා හිස සෙළවුවාය. යළිත් වතාවක් කඳුළු පිරුණු උවනින් මාණික්‍යා භරණ දෙසට හැරුණාය. 

” තා..ත්තී..!” 

විසල් වූ හැඬුම අතරින්ම භරණ වහා දෑතම දිගු කර කුඩා දැරිය තදින් තුරුළු කර ගත්තේය. දෝතින්ම මුව වසා ඔහු දෙසත් , දියණිය දෙසත් බලා සිටි සුභාවී නැවතත් අලුත් වූ කඳුළු අතරින් හඬා වැටුණාය. මිනිත්තු කිහිපයක්ම මාණික්‍යා තම ළැමට තුරුළු කර සිටි භරණ සෙමින් දෑස ඔසවා තමා අසලම බිම හිඳ සිටින සුභාවි දෙස බැලුවේය. 

” ඇත්තටම වෙන කාවවත් කසාද බැන්ඳේ නෑනේ ?” 

ඈ තිගැස්සී ඔහු දෙස බලා නැත යනුවෙන් ඉඟි කරමින් හිස දෙපසට සැළුවාය.

” කාත් එක්ක හරි එෆෙයා එකක් ?” 

” පිස්සුද ?” 

පමණට වඩා උස් වූ ස්වරයෙන් ඈ පැනය අවසන් වීමටත් පෙර පිළිතුරු දුන්නාය.

” පැටියෝ.. අම්මි හැමදාම රෑට මතක් කර කර අඬන්නේ කාවද ?” 

” එයාගේ හැන්ඩ්සම් භරණව. රෑට නිදාගන්න ගියාම සෝෂල් මීඩියා තියන ෆොටෝ පෙන්න පෙන්න මගෙන් අහනවා එයා හරි හැන්ඩ්සම් නේද මාණි කියලා. ඒවා බල බල ඉඳලා හැමදාම අඬලා නිදාගන්නවා. “

” මාණි..!” 

නැවතත් සුභාවීගේ හඬ උස් ස්වරයක් ගෙන තිබිණි. විළියෙන් බරවූ දෙනෙතින් තවමත් භරණට තුරුළු වී සිටින දියණිය වෙත තරවටු බැල්මක් හෙළූ සුභාවී තමා දෙසට එක එල්ලේ විතැන් වී තිබූ භරණගේ දෑස මඟ හැර වහා බිම බලා ගත්තාය.

” මෙහෙ එනවා..” 

සුභාවිගේ අතින් ඇද තමා දෙසට ළං කර ගත් භරණ එක් අතකින් ඇයද , අනෙක් අතින් දියණියවද විසල් ළැමට තුරුළු කර ගත් අතර සුභාවි නැවත වතාවක් දරා ගත නොහැකි වූ ස්නේහය හමුවේ ඔහුවත් , දියණියවත් තුරුළු කර ගනිමින් හඬා වැටුණාය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here