පසළොස්වක මල් – 73

0
1943

බොහෝ වේලාවක් ඉකි ගසමින් උන් තරුණිය නිවසේ සීනුව නාද වනු ඇසීමෙන් වහා හිඳ උන් පොළොව මතින් නැඟිට්ටාය. දෝතින්ම දෙකොපුල් මත ගලා ගොස් තිබූ කඳුළු පිස දැමූ ඈ අවුල්ව ගිය මනසින් පැමිණ ඇත්‍තේ කවුරුදැයි සොයා නොබලාම , නොවිමසාම කලබයෙන් ද්වාරය විවර කළාය. දෑතම කලිසම් සාක්කු තුළ බහා නිහඬවම ඉදිරියේ බලා සිටින රුව දෙස මොහොතක් ගල් ගැසී බලා සිටි ඈ ද්වාරයෙන් මෑත් වූවාය. වදනක් හෝ නොපවසාම නිවසට අඩි තැබූ ඔහු ආලින්දයේ සෝපාව අසල බිම තිබූ අත් බෑගයත් , ජංගම දුරකතනයත් දෙස බලා ඈ දෙස කෙලින් බැලුවේය. රත් පැහැ ගැන්වී තිබූ දෙනෙතත් , කොපුළත් ඈ මෙතෙක් වේලා බිම හිඳ හඬා වැටී ඇති අයුරු ඔහු වෙත තව දුරටත් සනාථ කර පෙන්වීය.

තත්පරයෙන් තත්පරය ගෙවී නිහඬ මිනිත්තු කිහිපයක් ගතව යන තුරුත් ඔහු සිටි වනම දෝතම කලිසම් සාක්කු තුළ බහාලමින් උවන බිමට බර කරමින් සිටියේය. ඈ වේදනා පිරි දෑස ඔහු වෙතින් ඉවතට ගෙන දෑතම ළැම මත බැඳ හිස් අවකාශය දෙස බලා උන්නාය. 

” ආ.. ආන්ටි මහීකා ළඟට ගියොත් හොඳයි. එයා ඉන්නේ අසනීපෙන්. “

නිහඬ මිනිත්තු කිහිපය බිඳ දැමූ ඈ අවසානයේ මුව විවර කළාය. 

” යන්න කියලද කියන්නේ ?” 

ඔහුගේ පැනය තව දුරටත් පොළොවටය. 

” ඔව්. මෙතන හිටියා කියලා තේරුමක් නෑ “

ඇගේ පිළිතුරද තව දුරටත් හිස් අවකාශයටය. 

තවත් මොහොතක් ගතව ගිය අතර ඔහු හිස ඔසවා ඈ දෙස බැලුවේය. වෙව්ලන කොපුල් මතින් ඈ බොහෝ ආයාසයක් දරා කඳුළු තද කර ගනිමින් සිටියාය. 

” අම්මා ඉන්නේ අසනීපෙන් “

” මං දන්නවා. මං එතන ඉඳලනේ ආවේ. “

” මට මැරේජ් එකක අවශ්‍යතාවයක් නෑ “

” ඒක තමයි හොයලා දෙන්න , මං බඳින්නම් කිව්වේ. හරියටම බැඳපන් කියනකන්ම බලන් හිටියා වගේ. කියපු ගමන් හා කිව්වා. “

දෙබැම ඉහලට එසවුණු විශ්මය කැටි කරගත් පිරිමි දෑස ඉවත බලා සිටින ඇගේ උවන වටා වේගයෙන් කරකැවුණේය. 

” කියන දේ අහන්න ළමයෝ.. මං ..”

” මං ළමයෙක් නෙමෙයි. මට දැන් අවුරුදු විසි අටක්. “

ඔහුගේ කතාව අතරමැදම නතර කළ ඈ ඉවත බලමින්ම පැවසුවාය. 

” හරි ලොකුයි කියලා හිතන් ඇත්‍තේ. ” 

ඔහු ඇගේ උවනින් දෑස ඉවතට ගෙන සෙමින් පැවසුවේය.

” ලොකුයි තමා . එදා හිටපු පොඩි එකී නෙමෙයි මං. දෙයක් ඇඟිල්ලෙන් ඇනලා කියලා දෙන්න ඕනේ නෑ. ඕන දෙයක් තේරෙනවා. “

ඔහුගේ උවන දෙස බලා වේගයෙන් එසේ පැවසූ ඈ යළිත් ඉවත බලා ගත්තාය. 

” එච්චර තේරෙන නිසා වෙන්නැති මෙහෙම කරන්නේ ?” 

” මං මොකද්ද කළේ ? “

ඈ එවර එක එල්ලේ ඔහුගේ උවන දෙස බලා සිටි අතර ඔහු තවත් අඩියක් තබා ඈ අසලට ළං වූයේය. 

” අම්මා අසනීපෙන් නිසයි මං බඳින කතාවක් කිව්වේ. “

” ඒක මට අදාල දෙයක් නෙමෙයි “

ඔහු තව දුරටත් ඈ දෙස බලා සිටියේය. 

” ඇත්තද ..? සොරි. මං හිතුවා යන්තමට හරි අදාලත්වයක් ඇති කියලා. “

ඈ ක්ෂණිකව තිගැස්සී ඔහු දෙස බැලුවාය. 

” අවුරුදු ගාණක් ගිහිල්ලා , තනියම ගෙයක් දොරක් අරන් , ජොබ් එකක් කරන් , ලස්සනට ඉන්නකොට හිතුවේ හිත හදාගෙන ඉන්නේ කියලා. ඒත්.. ටිකකට කලින් හොස්පිට්ල් එකෙන් අඬාගෙන ආපු විදිහට මං හිතුවා පොඩි හරි අදාලත්වයක් තවමත් ඇති කියලා. කවදාවත් නේන්න හිටපු ගමනක් මෙහෙම ආවේ ඒකයි. සොරි. මං යන්නං “

ඔහු එසේ පවසා යළිත් හැරී ද්වාරය දෙසට අඩි තැබුවේය. 

” දන්නවද ඔයාගේ ප්‍රශ්නේ මොකද්ද කියලා ? ඔයාගේ ඔය හයේ හතරේ ඇඟට වඩා තියෙන්නෙ ලොකුකම. අර ආන්ටි මහීකා ලොකූ ලොකූ කියලම ඔය ඇඟ පුරාම තියෙන්නේ ලොකු කම. මේ හැම ප්‍රශ්නෙකටම මුල ඕක. “

” මො.. මොකද්ද ?” 

” මොකද්ද ? ඇයි කියන දේ තේරෙන්නැද්ද ? හිත මගේනං , ඒක හදාගත්තද ? නැද්ද කියන එක දන්නේ මං. ඔයා කොහොමද මං හිත හදාගෙනද නැද්ද කියන එක තීරණේ කරන්නේ ?” 

ඔහු පෙරට වඩා විසල් කර ගත් දෑසින් ඈ දෙස බලා සිටියේය.

” මං හිත හදාගෙන කියලා ඔයාම තීරණය කරන්නෙ ඔයාගේ තියන ලොකු කමට. අවුරුදු ගාණක් ගියා එක පාරක්.. එක පාරක් මාත් එක්ක කතා කරන්න ඕනේ කියලා හිතුණද ?  අඩුම කෝල් එකක් ? මැසේජ් එකක් ? ඇයි ඒ ? ඔක්කොටම වඩා ලොකු කමනේ. මං වගේ පොඩි කෙල්ලෙක් ළඟ බාල්දු වෙන්න බෑ කියලා හිතන්න ඇති. ඒකයි. වෙන මොනාද ?” 

ඔහු නැවත ඉක්මන් අඩි තබා ඈ වෙතට ළං වූයේය.

” දුමී..! ඔහොම කතා කරන්නෙපා. මං කලබල උනා තමයි. මගෙ කටින් අනවශ්‍ය වචන පිට උනා තමයි. මං ඒත් ඔයාගෙන් සමාව ඉල්ලුවා දුමී. ඔයාට කතා කරන්න ට්‍රයි කළා. ඒත්.. ඔයා ඒකට මට කිසිම චාන්ස් එකක් දුන්නෑ. මං චයිනා ගියේ ඔයා අපේ ගෙදරින් ගිහිල්ලා මාස හතරකට පස්සේ. ඒ මාස හතරම මං ඔයාව මීට් වෙන්න ට්‍රයි කළා. , කතා කරන්න ට්‍රයි කළා. මං චයිනා යන දවසෙත් ඔයාව බලන්න ආවා. ඒත්.. ඔයාමයි හිතමතාම මාව මඟෑරියේ. ඔයත් එක්ක කතා කරන්න මං මොනවද කරන්න ඕනේ , ඒ ඕන දෙයක් කරන්න මං රෙඩි වෙලා හිටියේ දුමී. ඒත්.. ඔයා මට චාන්ස් එකක් දුන්නෑ. “

කඳුළු බේරි යන ස්ත්‍රී කොපුල දෙස බලමින්ම ඔහු නිදොස් බවට කරුණු එකතු කළේය. 

” ඉතිං මං කෙල්ලෙක්නේ ? කෙල්ලො එහෙම තමා. තරහා උනාම ලේසියෙන් යාළු වෙන්නෑ. ඔයාලා දැනගන්න ඕනෙ මොනාහරි කරලා යාළු කරවගන්න. ඇයි එහෙම නොකළේ ? මං කතා කරන්න බෑ කිව්වම අතෑරලම දැම්මේ ඇයි ? තව ටිකක් ට්‍රයි කරන්න බැරි උනාද ? කොල්ලො එහෙමනේ ? අහලා.. අහලා නැද්ද පරණ රජ කතා වල තමන්ගේ කෙල්ල වෙනුවෙන් රජකම අතෑරපු කොල්ලො හිටියේ. අඩුම හින්දි ෆිල්ම් එකක්වත් බලලා නැද්ද ? නවල් එකක් කියවලා නැද්ද ?  අවුරුදු ගණන් තමන්ගෙ කෙල්ල වෙනුවෙන් බලන් ඉන්න කොල්ලෝ ඉන්නවනේ ? දැකලා නැද්ද ඒවා ? නෑ.. ඒවා කොහෙ කරන්නද ? ලොකු කමනේ. ඒකනේ.. එච්චරයි. “

” දුමී..?” 

ඇගෙන් පිටවන වචන මත විශ්මයෙන් පිරී ගිය ඔහු අපහසුවෙන් වචන ඇහිළුවේය. 

” ඔ.. ඔයා හිටියේ එක දවසක් මං නැතුව ඉන්න බැරුව. මතකද මාසෙකට චයිනා ගියා එක පාරක්. ඔයා.. ඔයා ඒ මාසෙත් හිටියෙ හරි අමාරුවෙන්. ඔයා දවස ගාණෙ මට කතා කරලා කිව්වේ දුමී.. ! මං ආපු ගමන් භරණ එක්ක කතා කරන්නං. මට ඔයා නැතුව ඉන්න බෑ කියලා. එහෙම .. එහෙම කියපු ඔයා කොහොමද ලොකු අයියේ මාව දාලා ගිහින් අවුරුදු ගාණක්ම හිටියේ ?” 

” දු.. දුමී..!” 

ඇගේ වචන හා දෑසින් බේරෙන කඳුළු වලටද  , මුවින් නැඟෙන ඉකියටද හදවත ශෝකයෙන් බර කරගත් ඔහු තවත් ඈ අසලට ළංව ඇගේ අතකින් අල්ලා ගත්තේය.

” එපා අල්ලන්න.. එපා.. අල්ලන්න මාව.. ඔයා.. ඔයා මහ හිතක් පපුවක් නැති දුෂ්ඨ මනුස්සයෙක්. අලන්නෙපා මාව.. “

ඈ එක දිගට ඔහුගේ අත ගසා දැමුවාය.

” දුමී.. ! මේ අහන්න. ම.. මගේ කටින් අනවශ්‍ය වචනයක් පිට උනා තමයි. ඒ වචනේ කටින් පිට වෙච්ච වෙලේ ඉඳන් අද මේ වෙනකන් මං මැරි මැරී ඉපදෙනවා දුමී. මට ඔයාගෙන් සමාව ගන්න ඕන උනා. වැරැද්ද මගේ. මට එහෙම වචනයක් ඔයාට නොකියන්න තිබුණා. හිතේ ඇති වෙච්ච කේන්තියට මට ඒ වෙලේ මාවම කන්ට්‍රෝල් නැති උනා දුමී. අනේ.. මට සමාවෙන්න.. දැන්වත් මට සමාව දෙන්න දුමී.. !” 

” දැන්.. දැන් ඔයා ඇයි මගෙන් සමාව ඉල්ලන්නේ ? ඔයාගෙ කටින් එහෙම වචනයක් පිට උනේ මගෙන් වෙච්ච වැරදි නිසා නෙමෙයිද ?” 

ඈ විසින්ම ගසා දැමූ අත යළි ඇගේ දෝතින්ම අල්ලා ගත් ඈ එක දිගට ඉකි ගසමින් හැඬුවාය.

” මං.. මං මුලින් සිංදුමී අක්කා ගැනවත් , ඔයා ගැනවත් දැනගෙන හිටියේ නෑ. හැමදේම දැනගද්දී ඔයයි , මායි ගොඩක් ළං වෙලා ලොකූ.. ඉතිං මං කොහොමද කටක් ඇරලා ඒ දේ ඔයාට කියන්නේ ? වැරැද්ද මගේ . ඕන දෙයක් වෙන්න කියලා මට ඒ දේවල් ගැන දැනගත්‍තු හැටියේ ඔයාට හැමදේම කියන්න තිබුණා. මං වැරැද්දකට කළේ එච්චරනේ ලොකු අයියේ.. ඔයා.. ඔයා කොහොමද මාව අවුරුදු ගාණක්ම මෙහෙම තනි කරලා දාලා යන්න ගියේ ? අඩුම ..අඩුම මේ දීපු පනිශ්මන්ට් එක ලොකු වැඩියි කියලාවත් හිතුණෙ නැද්ද ?” 

” ඒයි.. ඒයි.. දුමී මේ අහන්න.. ! මං හිතුවෙ ඔයා මාත් එක්ක තරහින් ඉන්නේ කියලා. මං යන දවසෙවත් ඔයා මාත් එක්ක කතා කළේ නෑ. අඩුම මගේ මූණවත් බලන්න ආවේ නෑ. මං හිතුවේ ඔයා ඇත්තටම ඉන්නේ මාත් එක්ක තරහින් කියලා. “

කෝපයෙන් රතු වූ ඈ අල්ලා සිටි ඔහුගේ අත නැවත ගසා දැමුවාය.

” හිතුවා.. හිතුවා.. හිතුවා.. ඔක්කොම ඔයාම හිතුවම හරි. ? එතකොට හරි ? ඔක්කොම හරි ? කෙල්ලෙක් තරහ උනාම කොල්ලෙක් දැනගන්න ඕනේ යාලු කරගන්න. ඒකට දවස් කීයක් යනවද ? මාස කීයක් යනවද ? අවුරුදු කීයක් යනවද කියලා අදාල නෑ. කොහොමහරි යාලු කරගන්න ඕනේ. ඒත්.. එකට ඔයා ? ඔයා යන්න ගියා. මාව දාලම යන්න ගියා. නිකමටවත් කෝල් එකක්වත් දුන්නෑ. හරි සන්තෝසෙන් ඉන්න ඇතිනේ චයිනා ගිහිල්ලා ? පේනවනේ.. ඒක පේනවනේ දැන් හොඳට.. රටේම නම ගිය බිස්නස්මන් කෙනෙක්. දැන් සෑහෙන්න ලොකු තැනකනේ ඉන්නේ. හොඳයි.. හොඳයි.. දැන් ගිහිල්ලා අර අම්මා හොයලා දෙන කාවහරි කසාද බැඳගෙන සන්තෝසෙන් ඉන්න.. “

” දුමී.. ! මේ අහන්න.. !” 

” නෑ.. මට අහන්න ඕනේ නෑ. මට ඔයාගෙන් මුකුත් අහන්න ඕනෙ නෑ. මොකටද මං ඔයා කියන ඒවා අහන්නේ ? මං කවුද ඔයාගේ ? මං කවුරුවත් නෙමෙයිනේ ? “

” දුමී.. මං කියන දේ ටිකක් අහනවා කෑගහන්නැතුව. මහ ලොකුවට මට දැන් විසි අටක් කිව්වට ඔයා එදා හිටපු මෝඩ කෙල්ලම තමා. කියන මෙලෝ දෙයක් අහන්නෑ. ඔහේ කියෝනවා. “

මඳ කෝපයක් තැවරුණු නොඉවසිලිවන්තිය දෙස තරවටු බැල්මක් හෙළමින් ඔහු පැවසුවේය.

” ආ.. ඔව්. ඔව්. මං මෝඩයි තමා. මං මෝඩයි. ඔයා හොඳ නුවණක්කාර මනුස්සයනේ මිස්ටර් විජේසිංහ.. දැන් හරිනේ. දැන් යන්න. ගිහින් කාවහරි හොයාලා බැඳගන්න. අර ඉබ්බා දියට දාද්දී ඇන්නෑවේ කිව්වා වගේ තමයි. ආන්ටි මහීකාගෙන් එක වචනයයි පිට උනේ , ටක්ගාලා හා කිව්වා. “

දරාගත නොහැකි කෝපයත් වේදනාවත් හමුවේ ඈ  විසල් හඬින් කෑ ගැසූ අතර ඔහු තවමත් විවර වී ඇති ප්‍රධාන ද්වාරය වෙතට ගොස් එය වසා දැමුවේය. 

” කෑගහන්න එපා බං ඔහොම. අහල පහල මිනිස්සු හිතයි කවුරුවත් නැති තනි කෙල්ලෙක් ඉන්න ගේකට පැනලා මං ඒකිව රේප් කරන්න හදනවා කියලා. ” 

” රේප් කරන්න ? ඔයා ? එච්චර හරියක් කරන්න  පුලුවන්නං බැරියෑ.. “

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here