ගැබිණි ඔබ විලාසිතා තෝරා ගන්නා විට මේ ගැන හිතනවා ද?

වෙනදා වගේ ශොපින් ගිහින් කැමති කැමති ඇඳුම් තෝරාගෙන එන්න දැන් ඔබට බැහැ. කුසෙහි වැඩෙන පුංචි කිරිකැටියා ඔබට තහනම් කරන බොහෝ දේවල් අතරට සමහර විලාසිතාත් එකතු වෙලා. ඒත් ඔබ ගර්භනී වීම ඔබට ලස්සනට ඉන්න බාධාවක් කියලා හිතන්න එපා. මේ කරුණු ගැන සැලකිලිමත් වෙලා වෙනදා වගේම ලස්සනට ඉන්න.

  • වී හැඩයේ කර ඇති ඇඳුම් තෝරා ගන්න. එමඟින් ඔබේ උදරයේ විශාලත්වය තරමක් අවම කර පෙන්වනවා. ඒ වගේම තද ඉලාස්ටික් යෙදූ, විශාල වශයෙන් බොත්තම් ඇති, සිප් ඇති ඇඳුම් ඔබට අපහසුවක් ඇති කරන්නට සමත් ඇඳුම්. ඒවා මිලට ගන්නට එපා.
  • මේ කාලයේ ඔබේ පියයුරු විශාල වන නිසා ඇතැම් විට අත් රහිත ඇඳුම් ඔබට අශෝබන පෙනුමක් එක් කරන්නට පුලුවන්. අත් රහිත ඇඳුම් තෝරා ගන්නවා නම් ඇඟට හිර නැති ඇඳුම් තෝරා ගන්න.
  • ඉතාමත් කොට ගවුම් ද ඔබව අපහසුතා ඇති කරන්නට හැකි ඇඳුම් විලාසිතාවක්. ඔබට දිග ගවුම් අඳින්නට අපහසු නම් ඔබට ගැලපෙන තරමේ කොට ගවුම් තෝරා ගන්න.
  • අධිකව දහදිය දමන නිසා සැහැල්ලු රෙදි වලින් නිම කරන ලද ඇඳුම් තෝරා ගන්න. ඒ වගේම ලා පැහැති වර්ණ තෝරා ගන්නත් අමතක කරන්න  එපා.
  • ගැබිණි අයට සුදුසු ජීන්ස් වර්ග වෙළඳ පොළේ ඕනෑතරම් තිබෙනවා. උදරය කැපී නොපෙනෙන ලෙස දිගු කුර්තා බ්ලවුස් හෝ ශර්ට් බ්ලවුස් සමඟ ඔබට ඒවා අඳින්න පුලුවන්.  ඒත් උදරය තද වෙන  සහ එළියට නෙරා එන ලෙස ඇඳුම් අදින්නට එපා.
  • මේ කාලයේ දී සිරුරේ ඉදිමීම් ඇතිවන නිසා දැඩි ලෙස හිර ආභරණ පලඳින්න එපා. සමහර මුදු, වළලු ආදිය ගැලවීමේ අපහසුතා මතු විය හැකියි.
  • ඒ වගේම උසින් වැඩි සහ ලිස්සන සුලු පාවහන් පළඳින්න එපා. සිරුරට පහසුවක් දැනෙන පාවහන් පළඳින්න.

ගර්භනී වීම නිසා ඔබ කැතවී ඇති බව සිතමින් ඔබ ඔබව අමතක කරන්න එපා. හැකිතාක් සුන්දරව සිටින්න. සිරුරට අපහසුවක් නොදැනෙන විලාසිතා කරන්න. කොණ්ඩා සැකසීම් ආදිය රසායනික ද්‍රව්‍ය ආශ්‍රිතව සිදු කරන නිසා මේ සමයේ අහිතකර වුවත් ලස්සනට කොණ්ඩය කපා පිළිවෙලට ඉන්න අමතක කරන්නත් එපා.

මේ ඔබේ ජීවිතයේ වඩා සුන්දරම කාලය. එය සතුටින් සමරන්න.

-නිබන්ධිකා-

Related Articles

Don't Miss


Latest Articles