සඳක් තනියම – 33

0
583

දිනාරා නිවසට ඇතුළු වූයේ රෝගියෙකු ගණනටය.ඈ උන්නේ මේ අවස්ථාවට බියෙන් මිස මේ සා දුකක් වේදනාවක් ඇති වේ යැයි බලාපොරොත්තුවෙන් නොවේ.ඔහු වෙත ලබා දුන්නේ කලින් සිතා මතා කටපාඩම් කරගෙන උන් පිළිතුර වුවත් ඒ මේ සා රිදවුමකින් පසුයැයි ඕ නොසිතුවාය.අම්මා මියගිය දා දැනුණු වේදනාවම ඇගේ සිතට යළිත්  දැනෙමින් තිබිණ.යළිත් තමා මහා පිරිසක් මැද අතරමං වූවාවන් හැඟීමක් යුවතිය විඳිමින් උන්නාය.කොතරම් වෙහෙස වූවත් ඒ දුක වේදනාව සඟවා ගන්නට ඕ අපොහොසත් වූවාය.

“ ඇයි පුතේ මූණත් එක්ක මලානික වෙලා මහන්සිද..”

ප්‍රියංකා ඇගේ නළලතටත් ගෙලටත් පිළිවෙලින් අත තබා බැලුවේ එසේ අසනා ගමන්ය.

“ අද ටිකක් මහන්සියි ආන්ටි.මං මෙහෙම නිදාගත්තට කමක් නැද්ද..”

එවර යුවතිය ඇසුවේ ප්‍රියංකාව වැළඳගෙන, ඒ පපුව මත හිස තබාගෙන තත්පර කිහිපයක් ගත කලාට පසුවය.ඒ පපුවේ ගැස්ම වෙනස්ව නොතිබුනද වෙනදා වූ නිවීම එතන නොතිබුනායැයි දිනාරාට සිතිණ.නොසන්සුන්ව ඇත්තේ තමාගේ සිතයැයි වටහාගන්නට පමා නොවූ යුවතිය පුටුව මත දැමූ අත් බෑගය රැගෙන තම කාමරයට ගියේ කිසිවක් නොකියමින්ය.

“ පුතේ කන්නෙත් නැතුව නිදාගන්න එපා.ඔයාට බොන්න මොනවා හරි හදලා දෙන්නද.”

ප්‍රියංකා ඒ පසුපස ඇවිද ගොස් ඇසුවේ මද හඬකින්ය.කුමක් හෝ සිදුවී ඇතිවාට සැකයක් නොවේ.එහෙත් ඇයම යමක් පවසන තුරු ඉවසා සිටිය යුතුය.

“ එපා ආන්ටි  මල්ලි නිදි නේද.හෙම්බිරිස්සාව හැදෙන්නද මන්දා ටිකක් හිස කකියනවා.මං චුට්ටක් නිදාගන්නා..”

ප්‍රියංකා කාමරයෙන් පිටතට පැමිණියේ ඈ එසේ පැවසුවාට පසුවය.සමහර ප්‍රශ්න වලට විසඳුම ඇත්තේ ඒ හුදෙකලාව තුළ බව ඈ හොඳින්ම දනී.එනිසාම ඕ යළිත් වරක් දිනාරාට කිසිවක්ම කියන්නට නොගියාය.ඈ බුද්ධිමත් යුවතියකි.ප්‍රියංකා ඒ බැව් වටහා ගත්තේ ගෙවී ගිය කාලයේදීය.විනාඩි කිහිපයකට පසුව  පදමට කහට යොදා ඇය වෙනුවෙන් සකස් කළ කිරි තේ කෝප්පයත්  වේදනානාශක පෙති දෙකත් රැගෙන ප්‍රියංකා ඒ කාමරයට ගියාය.සැහැල්ලු ගවුමකට මාරුවී මුනින්තලාව වැතිර සිටි යුවතිය උන්නේ නින්දේ නොවේ.

“ පුතේ කිරි එක නිවෙන්න කලින් නැගිටලා බීලා නිදාගන්න.බඩගිනි උනොත් බෙදාගෙන කන්න.නැත්තං තව ටිකකින් වොෂ් එකක් දාගෙන ඔහොමම නිදාගන්න පුතේ හෙට උදේ වෙනකල්..”

ප්‍රියංකා එසේ පැවසූයේ යළි කාමරයෙන් නික්ම එන්නට සූදානමින්ය.තරුණ වයසේ සිටින දියණියන්ට ඇතිවන සෑම ප්‍රශ්නයක්ම වැඩිහිටියන් හා කතා කළ හැකි ඒවාම නොවේ. ඒවාට කලබල වී විසඳුම් සෙවිය නොහැකි බව ප්‍රියංකා දන්නේ අත්දැකීමෙන්මය. අවැසි වන්නේ කාලයයි. හිමාෂාට දුරකථන ඇමතුමක් ලබාගන්නට සිතුනත් අවසන ඈ එසේ නොකරන්නට සිතුවාය. දිනාරා යනු ඉතා කුඩා වියක සිටම ජීවිතයේ සිදුවූ බෙහෝ හැලහැප්පීම් වලට මුහුණ දී ඒවා දරාගත් අයෙකි.එවන් අයෙකු අභියෝග , ප්‍රශ්න ඉදිරිපිට ලෙහෙසියෙන් කඩා වැටෙතැයි සිතිය නොහැක.සැකයෙන් සාංකාවෙන් වුවත් ප්‍රියංකා දරා සිටියේ එනිසාය.එහෙත් ඕ උන්නේ දිනාරා ගැන අවධානයෙන්ය.

*******======******======****======**-*

අකලංක නිවසට පැමිණෙන විට නර්මදාත්, විශ්වත් දෙදෙනාම වූයේ සඳැල්ලේය. පහත මාලයේ වූ අම්මාත් ,කුඩා දියණියත් වෙත සිනහවක් පෑ ඔහු උඩුමහලට නැගුනේ ‘ වොෂ් එකක් දාගෙන එන්නම්..’ යැයි පවසමින්ය.එනිසාම තම තෙත් වූ දෑස් තේජාගෙන් වසන් ගන්නට ඔහු සමත් විය.එහෙත් තෙවන මහලට නැගෙන පඩිපෙළ මුලදීම ඔහුට හමුවූ නෑනාත්,සොහොයුරාත් මඟහැර යන්නට හැකියාවක්  අකලංකට වූයේ නැත.දෙදෙනා දෙපසක සිටගෙන සිටියේ මුරගල් දෙකක් සේය.

“ අහ්…දෙන්නම පඩිපෙළ මුර කරනවද..අන්න  ඔයාට අල  තෝසෙ ගෙනාවා.. ආසයිනේ.. කන්න ගිහින්.මහන්සියි අප්පා .. මං වොෂ්  එකක් දාගෙන එන්නම්.”

දෑස් වෙනතක තබාගෙනම තරුණයා සූදානම් වූයේ  තෙවන මහලට නගින්නටය.එහෙත් ඉන් පෙර ඉස්සර වූ විශ්ව ඔහුගේ මග අහුරවාලූයේ ඒ දකුණත දැඩිව අල්ලා ගෙනය 

“ උඹ කාගෙන්ද හැංගෙන්න හදන්නේ..දිනාරා මොනවද කිව්වේ “

“ අවුලක් නෑ අප්පා…එයා ටිකක් කාලෙ ගනියි..”

“ බොරු කියන්න එපා මල්ලී.දිනාරා ඉල්ලුවේ කාලෙනම් ඔයා මෙච්චර අවුල් වෙන්න විදිහක් නෑ.අනිත් එක මගෙනුයි අයියගෙනුයි හැංගිලා දුවන්න ඕනෙත් නෑ..”

නර්මදා එවර පැවසූයේ සොහොයුරාගේ  අතින් අල්ලාගෙනය.අකලංක උන්නේ සිය දෙතොල්පට හපාගෙනය.ඒ ඔහු යමක් දරා ගන්නට උත්සාහ කරනා බව පෙන්වන ස්වරූපයකි.එහෙත් රතුව තිබූ මුහුණත් තෙත්ව තිබූ දෑසත් සිදු නොවිය යුත්තක් සිදුව ඇති බවට ඕනෑවටත් වඩා සාක්ෂි සපයන්නට විය.

“ වරෙන්කො මෙහෙට…”

ඉස්සර වූයේ විශ්වය.නර්මදා ඔහුගේ අත අතහැරියේ නැත.අවසන අකලංකට සිදු වූයේ සොයුරාටත් නෑනන්ඩියටත් එකඟව ගොස් සුවපහසු සෝපාවේ අසුන් ගන්නටය.

“ දැන් කියහං මොකද උනේ..උඹල  අවුල් නම් අපි දෙන්න දිනාරත් එක්ක කතා කරන්නම්.මේවා ඒ තරම්  ලොකුවට හිතන්න ඕන ප්‍රශ්න නෙමෙයි.කෙල්ලෝ පැනලා කැමතියි කියන් නෑ..”

“ එහෙම දෙයක් නෙමෙයි බ්‍රෝ…”

ඔහුගේ හඬෙහි වූයේත් නිරවුල් බවක් නොවේ.

“ මල්ලි ඇත්තටම දිනාරා මොනවද කිව්වේ…”

එවර නර්මදා ඇසුවේ මද ස්වරයකින්ය 

“ එයා කවදාවත් මැරි කරන්නෙ නෑ කියලා තීරණයක ඉන්නේ”

“ ඒකනේ විශ්ව මං ඔයාට කිව්වේ.මටත් ඒක දැනුනා. මොනව හරි දෙයක් නිසා දිනාරා ඉන්නේ මැරේජ් එක ගැන බයෙන්” 

“ ඉතින් උඹ  ඇහුවේ නැද්ද ඇයි කියලා.”

“ ඇහුවා.කවද හරි කියන්න පුළුවන් උන දවසක කියන්නම් කියලත් කිව්වා.ඒක එයාගේ පැත්තෙන් උපරිම සාධාරණ හේතුවක් කියලත් කිව්වා.”

“ ඉතින්..” 

“ එතනින් එහාට මට කියන්න දෙයක් තිබුණෙ නෑ.සල්ලිවත්, දේපලවත් අපි සාමාන්‍යයෙන් හිතන කිසිම හේතුවක්වත්  නෙමෙයි එතන තියෙන්නේ. ඒක එයා පැහැදිලිවම කිව්වා.

එයාට අපි හැමෝගෙන්ම හංගන්න මොකක් හරි කාරණයක් තියෙනවා.”

“ ඒ කියන්නේ වෙන එෆෙයාර් එකක

 නිසා ..”

“සමහරවිට වෙන්නත් පුළුවන්.”

“ මෙහෙමයි. අපිට කාත් එක්කවත් බලෙන් සම්බන්ධකමක් ඇති කරගන්න බෑ බං. උඹ  ඉස්සර වෙලා ඒක තේරුම් ගන්න ඕනේ.එයා කියන විදිහට එයාගේ පැත්තෙන් සාධාරණ හේතුවක් එයාට ඇති. උඹේ පැත්තෙන් සමහරවිට ඒ හේතු අසාධාරණ වෙන්නත් පුළුවන්.ඒ කොහොම වුණත් තනි අතකින්  අත්පුඩි ගහන්න බෑනේ බං.අමාරුවෙන් හරි උඹට හිත හදාගන්නම වෙනවා.”

“ මම දිනාරා එක්ක මේ ගැන කතා කරන්නද..”

එවර නර්මදා ඇසුවේ විශ්ව දෙස බලා සිය දෑස් වලින් යමක් පවසන්නට උත්සාහ දරමින්ය.ඔහු ආවේගශීලී අයෙකු නොවේ.එහෙත් අකලංකගේ සිත් රිදීම් අබියස එසේ නොවෙතැයි සිතිය නොහැක.

“ එයා කිව්වා අයියටයි අක්කටයි දෙන්නටම කියන්න  කියලා එයාට සමාවෙන්න කියලා.මාව රිජෙක්ට්  කරන්නේ මගේ කිසිම අඩුපාඩුවක් නිසා නෙමෙයි කියලා එයා පැහැදිලිවම කිව්වා.ඒ හේතුව මොකක් වුණත් ඒක එයාගේ පැත්තෙන් සාධාරණ හේතුවක්නම්  අපි ආයේ මේ ගැන  කතා නොකර ඉමු අක්කේ…අපිට එයාට වද කරන්නවත් බල කරන්නවත් පැහැදිලි කරලා දෙන්නවත් බැහැ.එයා ඒක කාලෙකට කලින් ගතපු තීරණයක්.අනික එයා තව දෙයක් බොහොම පැහැදිලිව කිව්වා.”

“ ඒ මොකක්ද….”

“  මං වෙනුවෙන් බලන් ඉන්න කියලා සර්ට කවදාවත් කියන්න බෑ කිව්වා.මොකද ඒක ඉෂ්ඨ නොවෙන බලාපොරොත්තුවක් වෙන නිසා..”

“මං හිතන්නේ බං දිනාරා කියන්න ඕන ටික ඔක්කොම කෙටියෙන් කියලා.තවදුරටත් බලන් ඉන්න එක තේරුමක් නෑ.දැන් උඹයි තේරුම් ගන්න ඕනේ.කාලේ ගිහින් හරි ලැබෙන්නේ හොඳම කෙනා, හරිම කෙනා..දිනාරා කියන්නේ හොඳම කෙනාවත් හරිම කෙනාවත් නෙමෙයි.මං දන්නේ එච්චරයි.”

“විශ්ව දිනාරා කියන්නේ නරක ළමයෙක් නෙමෙයි.ඒක මට හොඳටම විශ්වාසයි.අපි ටිකක් කාලෙ දෙමු..”

“ ඉතින් කාලය අවශ්‍ය නෑ කියලා එයා කෙලින්ම කියලා තියෙනවා…ආයේ මොන බම්බුවකටද කාලය..”

“ අපි මේ දේවල් අමතක කරමු..මේ තමයි සමහරවිට මගේ ජීවිතේ  මට වෙන්න තිබුණු ලොකුම අහිමිවීම..එහෙමයි කියලා දිනාරාට චෝදනා කරන්න අපි කාටවත් අයිතියක් නෑ..”

“ සමහර දේවල් නැති වෙන්නේ ඊට වඩා හොඳ දෙයක් ලැබෙන්න වෙන්න  පුළුවන්..අමතක කරන්න කාලයක් යයි.හැබැයි අමතක කරන එක තමයි හොඳම දේ.මේ වෙලාවේ පුළුවන් තරම් බිසී වෙයං..කෙල්ලෙක් හින්දා උඹ ආයේ බිංදුවටම කඩන් වැටෙන්න ඕන නෑ.අපි ඉන්නවා උඹත්  එක්ක..මට කවදක හරි ඕනේ උඹ දශමයක් හරි මට වඩා උඩින් ඉන්නවා දකින්න.උඹ  තීරණය කරලා කියපන් මොකද්ද කරන්න ඕනේ කියලා.මේ ගැන ප්‍රියංකා ආන්ටි  එක්ක වුණත් කතා කරන්න මම ලෑස්තියි..”

විශ්ව එවර නැගී සිටියේ සොයුරාගේ උරහිසත්  මිරිකාගෙනය.කෑ ගසා හඬන්නට සිත්වූ  සිතුවිල්ල පරාජය කරමින් අකලංක සිය දෑස් තදින් පියා ගත්තේය. 

“ හොඳට හිතපන්. හොඳටම හිතපන්.සමහර දේවල් දඬුවමක් වෙලා අපේ ජීවිත වලට එන්නේ අපේ මොළෙන් වැඩක් ගන්න ඕනේ කියලා පෙන්නන්න.ඒක සාමාන්‍යයි. ඒක අමතක කරලා දාපන්.උඹ හෙට ඉඳලා දිනාරත් එක්ක වැඩ කරන්න ඕනේ.ඒක අපහසුවක් වගේ දැනෙනවානම් මං හිමාෂා  උඹට  දීලා දිනාරාව මම ළඟට ගන්නම්.එහෙම නැත්නම් තාත්තගේ ඩිවිෂන් එකට මාරු කරමු.ඒ මොනවා වුනත් උඹ මේ විදිහට ඉන්න ඕනේ. මේ විදිහට මං දකින්න ඕනේ..උඹට වෙනස් වෙන්න බෑ..මේ ඉවෙන්ට් එක සක්සස් කරලා උඹේ ටැලන්ට් එක පෙන්නන්න ඕනේ..”

විශ්වගේ ඒ වදන්වල වූයේ  කෝපයක් බව නර්මදා දැන සිටියාය.මුලින්ම අකලංක හා කතා කර ඉන්පසු ඔහුව සන්සුන් කළ යුතුයැයි ඈ සිතුවාය. පසුගිය දිනවල ඔහු සොහොයුරා ගැන සිතමින් නින්ද පවා අහිමි කරගත් බව නර්මදා දනී.දිනාරා අකලංකගේ පුද්ගලික ලේකම්වරිය වශයෙන් තෝරා ගත්තාට පසුව  ඈ බොහෝ දේ කළේ විශ්වගේ උපදෙස් පරිදිය. එනිසාම අකලංක වෙනදාට වඩා වැඩි වේලාවක් කාර්යාලයට කොටු කර ගැනීමේ හැකියාවක් ලැබිණ.අවසන ඒ පුරුද්ද ඔහුගේ දින චර්යාවේ අංගයක් බවට පත්විය.එනිසාම විශ්ව සිටියේ තමා ජයග්‍රහණය කලායැයි සතුටකින්ය.අකලංක මුලින්ම දිනාරා ගැන බලාපොරොත්තුවක්  තබාගෙන සිටිනවායැයි සිතුණු  මොහොතේත් ඔහු පළමුව කතා කළේ තම බිරිඳටය.

“ එහෙම දේකට  අම්මයි තාත්තයි කැමති වෙයිද විශ්ව..”

ඈ මුලින්ම ඇසුවේ ඒ පැනයයි.

“ අම්මයි  තාත්තයි අකමැති වෙන්න හේතුවක් නෑ..දිනාරා අපේ ඔෆිස් එකට ඇවිල්ලා බොහොම පොඩි කාලයයි.ඒ උනාට මං ඒ ළමයගේ වැඩ දිහා, හැසිරීම දිහා හරි පරිස්සමට බලාගෙන හිටියේ. ඇත්තටම මල්ලිට හරියන්නෙත් එහෙම කෙනෙක් තමයි බබා. ඒ පිළිවෙල, ඒ දක්ෂකම හැමදේටම වඩා ඒ කෙල්ලගෙන් දැකපු කොලිටීස් අන්න ඒ හින්දම දිනාරව රිජෙක්ට් කරන්න හේතුවක් මට නෑ. ඌට ලැබෙන්න ඕන ආදරය , ගෞරවය දිනාරාගෙන්  ලැබෙයි.ඒක විශ්වාසයි…ඌ සතුටින් ඉන්න තැන තමයි හොඳම තැන..”

“ එහෙමනම් හොඳයි විශ්ව.අපිත් එක්ක සතුටින් මේ ගෙදර ඉන්න පුළුවන් කෙනෙක් , ඇත්තටම මල්ලිව ආදරයෙන් බලා ගන්න කෙනෙක් තමයි එයාට ඕනේ..”

අවසන දෙදෙනා තීරණය කළේ සොහොයුරාගේ පාර්ශ්වයේ සිට ගන්නටය.

“ දිනාරා ඔයාට මේ ටික එක පාරටම කියලා දැම්මද මල්ලි…”

අවසන නර්මදා ඇසුවේ  තම සැමියා දුරකථන ඇමතුමකට පිළිතුරු දෙමින් එතැනින් පිටව ගියාට පසුවය.සොහොයුරා වෙනුවෙන් ඔහු ගන්නා තීරණ රළු ඒවා විය හැක.එහෙත් නර්මදාට එසේ කරන්නට බැරි කමක් විය.ඈ මෙතෙක් වේලා සිතුවේ දිනාරා ගැනය.

“ එහෙම කලානම්  මට මීට වඩා හිත හදාගන්න තිබුණා.ඒ වෙලාවේ මොනවද නොවුනේ කියලා අහන්න අක්කේ.එයා වෙව්ලුවා ..එයා ඇඬුවා…ඇස් දෙකේ කඳුළු පුරවගෙන බලාගෙන හිටියා.ලෝකෙම නැති වුනේ මට උනාට එයා හිටියෙත් ඒක එයාටත් උන ගානට..”

“ මල්ලි එහෙනම් මෙතන වෙන ප්‍රශ්නයක්..”

“ අපි දිනාරාට  නිදහසේ එයාගේ වැඩ ටික කරගන්න ඉඩ දෙමු අක්කේ..මං හොඳින් ඉන්නවා..අරූට කියන්න මට මුකුත් වෙන්නෙ නෑ කියලා.නැත්තං ඕක හෙට ඉඳලා මගේ පස්සෙන් කරකැවෙන්න  ගනින්..හනුමා වගේ රටම ගිණි තියලා දායි.මේ දවස්වල වැඩ අප්පා මාර විදිහට.මං වැටිලා කොහොමද…ඌ ආස ඇති හිමාෂාව මට දීලා දිනාරාව ගන්න.ඒ එන⁣ පොට සුබ නෑ බං අක්කේ ..…ඔයාට තමයි ඊලඟට කියන්නේ.කල්පනා කර කර ඉන්න එපා අපේ පොඩි මෑන්ට හොඳ නෑ..පොඩි මෑන්  එක්ක චැට් එකක් දාන්න මං වොෂ්  එකක් දාලා පල්ලෙහාට එන්නම්.අරක  උණුවෙන් කනවා.නිවුනම රස නෑ”

“මේ ඔක්කොම තියාගෙන ඔයා මට අල තෝසෙත් ගේන්න ගියා නේද..”

එවර නර්මදා ඇසුවේ සිය දෑස් වල කඳුළු පුරවාගෙනය.අකලංක ඕනෑවටත් වඩා සිනහසෙමින් උන්නේය.මේ ඔහු දුක පිට කරන ක්‍රමයයි.

( යළිත් හමු වෙමු දයාබරව )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here