බොහෝ කාන්තාවන් පීඩාවට පත්කරන ඉකිලි ප්‍රදේශයේ ආසාදනවලට විසඳුම්

වයස් භේදයකින් තොරව වැළඳෙන ආසාදන තත්ත්වයක් වශයෙන් ඉකිලි ආසාදන හඳුන්වන්න පුළුවන්.ඒ අනුව මෙය කුඩා දරුවන්ගේ සිට වැඩිහිටි විය දක්වාම පැතිරෙන්නක්. සරලව කීවොත් ඉකිලි ආසාදන ඇති වන්නේ දිලීරයක් නිසයි.ඒ වගේම මෙය සුළුවෙන් සිතිය යුතු රෝගයක් නම් නෙවෙයි.ඔබේ නොසැලකිලිමත්කම නිසා මෙම ආසාදන තත්ත්වය දරුණු රෝගයක් මට්ටමට ව්‍යාප්ත වෙන්නත් පුළුවන් .

මොකක්ද මේ ඉකිලි ආසාදන කියන්නේ ?

මෙය චර්ම රෝග කාණ්ඩයට අයත්වන රෝගී තත්ත්වයක්.මෙය පහසුවෙන් සුව කළ හැකි රෝගී තත්ත්වයක් වුවත් බොහෝ අය දිගු කාලීනව මෙයින් පීඩා විඳිනවා.මෙයට හේතුව තමයි ගොඩක් අය හිතනවා මෙය සාමන්‍ය දෙයක් විදිහට.නමුත් මෙය සාමන්‍ය තත්ත්වයක් නම් නොවෙයි.මෙය හඳුන්වන්නේ
Taenia Cruris රෝගය ලෙසයි. කාන්තා පුරුෂ දෙපාර්ශවයටම සෑදෙන මෙම රෝගී තත්ත්වය ඉතා කුඩා දදයක ස්වරූපයෙන් හටගෙන ක්‍රමයෙන් විශාල ප්‍රදේශයක් දක්වා ව්‍යාප්ත වෙන්න පුළුවන්.

ඉකිලි ආසාදන ඇතිවීමට බලපාන හේතු මොනවාද?

  • තදට අදින යට ඇදුම් නිසා ඉකිලිය කැපීම.

ඔබ යට ඇඳුම් තෝරා ගැනීමේදී ඉතාමත් සැලකිලිමත් විය යුතුයි.ඔබේ ප්‍රමාණය ගැන නිවැරදි අවබෝධයකින් යුතුව යට ඇඳුම් තෝරා ගැනීම,පහසු යට ඇඳුම් භාවිතයට යොමු වීම වැදගත්

  • ඉකිලිය ප්‍රදේශයට වැඩිපුර දහඩිය දැමීම හා ඒවා වැඩි වේලාවක් රැදී තිබීම.
  • විශේෂයෙන් දහඩිය උරා නොගන්නා යට ඇදුම් භාවිතා කිරීම නිසා නොයෙකුත් දිලීර ආසාදන ඇති වෙන්න පුළුවන්
  • මෙම රෝගී තත්ත්වය ඇති අයෙකුගෙන් කෙලින්ම ස්පර්ෂ වීම හෝ ඔහු භාවිතාකරන ඇඳුම් ඇදීමෙන්.
  • කොමඩ් එකක් සහිත පොදු වැසිකිළි භාවිතයෙන්
  • මෙම දිලීර රෝගී තත්වය ඇති අයෙකු කොමඩ් එකෙහි වාඩි වීමෙන් එම දිලීරය කොමඩ් එක මත තැවරී තව කෙනෙකුට බෝ විය හැකියි.

මෙහිදී ඇතිවන රෝග ලක්ෂණ මොනවාද?

  • සම රතුවීම,පතුරු ගැලවීම,බිබිලි ඇති වීම
  • කැසීමේදි ඒවා බිදී යාමෙන් දියර වැනි යමක් ගැලීම
  • මුලදී ඉකිලිය ප්‍රදේශ කැසීම හා පසුව එය කලවා ප්‍රදේශයට හා ගුද මාර්ගය ආශ්‍රිත ප්‍රදේශ දක්වා ව්‍යාප්ත වීම
  • කැසීම සහිත ප්‍රදේශය රතු වී ඉහළට එසවුණු ගැටිත්තකින් වට වී තිබීම.

මේ සඳහා කරනු ලබන පරීක්ෂණ මොනවාද?

සාමාන්‍යයෙන් මේ සඳහා පරීක්ෂණ සිදු නොකෙරේ. කැසීම සහිත සමෙහි ස්වභාවය අනුව වෛද්‍යවරයා රෝග නිගමනයකට පැමිණේ.

වළක්වා ගන්නේ කොහොමද ?

  • ඉකිලිය අවට තෙතමනය අවම කර විශේෂයෙන් වියළි තත්ත්වයක තබා ගැනීම.
  • ඉකිලිය අවට කැසීම ඇතිකරන යට ඇදුම් භාවිතා නොකිරීම.
  • වෛද්‍ය උපදෙස් අනුව දිලීර නාශක ක්‍රීම් වර්ගයක් දිනපතා සති 2 ක් පමණ ආලේප කිරීම.
    (උදා: Mecanazole)
  • කැසීම නිසා ඉකිලිය අවට තුවාල සිදු වී ඇත්නම් විෂ බීජනාශක ඖෂධද ලබා ගතයුතුයි

මෙම තත්වය නැවත ඇතිවීම වළක්වා ගන් නේ කෙසේද?

  • වෛද්‍ය උපදෙස් පරිදි නියමිත කාලයක් (බොහෝවිට සති දෙකක් පමණ) අදාල දිලීර නාශක ක්‍රීම් වර්ගයක් පාවිච්චි කිරීම.
  • යට ඇදුම් සියල්ල හොදින් උණු වතුරෙන් තම්බා සේදීම.
  • වෙනත් අය සමග පොදුවේ ඇදුම් භාවිතා නොකිරීම.
  • ඉකිලිය අවට පිරිසිදුවට හා වියළි තත්ත්වයෙන් තබා ගැනීම.
  • තද යට ඇදුම් භාවිතා නොකිරීම.
  • දහඩිය උරා ගත හැකි රෙදිවලින් පිළියෙල කළ යට ඇදුම් භාවිතය (උදා කපු රෙදි)
  • යට ඇදුම් නිතර සේදීම.
  • නැවත ඉකිලිය කැසීම පටන් ගැනීමක් ඇති වූ වහාම වෛද්‍යවරයකුගේ උපදෙස් ඇතිව දිලීර නාශක ක්‍රීම් වර්ගයක් භාවිතා කිරීම.

මේ සඳහා නොපමාව ප්‍රතිකාර ගැනීම අත්‍යවශ්‍ය බවයි වෛද්‍ය මතය වන්නේ.ඊට හේතුව වන්නේ ඇතිවන බිබිලි පුපුරා ඒ මත විෂ බීජ තත්ත්වයක් ඇතිවීම හරහා වෙනත් රෝගී තත්ත්වයක් දක්වා වර්ධනය වීම සිදු විය හැකි වීම හේතුවෙනුයි.ඉකිලිය ප්‍රදේශයේ කුද්දැටි විශාල වීම මෙන්ම ඉකිලිය ප්‍රදේශයෙන් ඔබ්බට පැතිරීම හරහා විශාල අපහසුතාවයකට ඔබ පත් විය හැකියි.එබැවින් මෙවැනි ආසාදන තත්ත්වයක් ඔබට පවතින්නේ නම් නොපමාව වෛද්‍ය උපදෙස් පිළිපදින්න.

Related Articles

Don't Miss


Latest Articles