හැමදාමත් තරුණව ඉන්න කැමති බොඩි ෆිට්නස් ගැන වැඩිපුර හිතන්න…

හැමදාම තරුණව ඉන්න ඕනම කෙනෙක් කැමතියි. මෙයින් අදහස් කරන්නේ ඔබේ වයස ඉදිරියට යාම නතර කිරීම නම් නෙමෙයි. බොහෝ පර්යේෂකයන් විසින් සොයාගෙන තියෙන ආකාරයට යම් ආකාරයක ශාරීරික ව්‍යායාමවලට අපේ ශරීරයේ සෛල තුළ වයසට යාමේ ක්‍රියාවලිය මන්දගාමී කිරීමට හැකියාව තියෙනවා. හැමදාම තරුණව ඉන්න විතරක්ම නෙමෙයි , සෞඛ්‍යය සම්පන්නව සහ ක්‍රියාශීලීව ඉන්නත් මේ body fitness ගැන හිතන එක, එහෙමත් නැත්නම් ව්‍යායාම කිරීම වැදගත් වෙනවා. 

Body fitness ගැන හිතන එක වැදගත් වන්නේ ඇයි? 

ඔබට වැඩි ශක්තියක් ලබාදෙයි

ව්‍යායාමයක් කියන්නේ ස්වභාවධර්මයේ ශක්ති ජනක පානයක්.එමගින් ඔබේ මොළය සහ ශරීරය වඩාත් ක්‍රියාශීලී සහ ජවසම්පන්න කරනවා. එයින් ඔබ හිතනවාට වඩා වැඩි වැඩ ප්‍රමාණයක නිරත වෙන්න ඔබට හැකියාව ලැබෙනවා. ඔබ දිනපතා ව්‍යායාමවල නිරත වන කෙනෙක් නම් ඔබේ ක්‍රියාශීලී බව සාමාන්‍ය කෙනෙකුගේ ක්‍රියාශීලී බවට වඩා තරමක් වැඩියි. ඒ නිසා දිනකට විනාඩි තිහක් පමණ වත් යම්කිසි ව්‍යායාමයක නිරත වීම අතිශයින්ම වැදගත්.

ඔබේ සම මෘදු සහ දීප්තිමත් කරයි 

බොහෝ පර්යේෂකයන් පවසන ආකාරයට ව්‍යායාම කිරීම මගින් සම වයසට යාම මන්දගාමී කරනවා. විශේෂයෙන්ම ව්‍යායාම කිරීමේදී හොඳින් දහඩිය පිටවීමත් , ශරීරය ක්‍රියාශීලී වීමත් නිසා සම වියපත් කිරීමේ සෛල නිපදවීමේ ක්‍රියාවලීන් බොහෝ දුරට අඩු කරන නිසා දිනපතා ව්‍යායාම කිරීමෙන් ඔබේ වයසට යාමේ ලකුණු අවම කරගන්නට ඔබට හැකියාව තියෙනවා

ඔබේ නම්‍යශීලී බව වැඩි කරයි 

වයසට යාමේදී ඔබේ මාංශ පේෂීන් සහ සන්ධි තරමක් දැඩි වෙනවා.නමුත් සාමාන්‍යයෙන් දිනපතා ව්‍යායාම කිරීමේදී සහ යෝගා අභ්‍යාසවල නිරත වීමේදී ඔබේ මාංශ පේශීන් වඩාත් නම්‍යශීලී වනවා. ඒ මගින් ඔබේ ක්‍රියාශීලී බවද වැඩි කරනවා.

සුව නින්දක් ලබා දෙයි

ඔබ රාත්‍රියේදී සුව නින්දක් ලබා ගැනීමට බලාපොරොත්තු වන කෙනෙක් නම් එයට හොඳම ක්‍රමය ඉතා හොඳින් ව්‍යායාම වන නිරත වීමයි. සාමාන්‍යයෙන් හොඳ නින්දක් ලබා ගැනීමට උත්සාහ කරන කෙනෙකුට වඩා ව්‍යායාම කරන අයෙකුට සුව නින්දක් ලබා ගැනීමට ඇති හැකියාව වැඩි බව පර්යේෂකයන්ගේ අදහසයි.ව්‍යායාම කිරීමේදී ඔබේ ශරීරය වෙහෙසට පත්වන නිසා සහ ඔබේ මනස සැහැල්ලුවට පත්වන නිසා රාත්‍රියේදී ඔබට වඩාත් හොඳින් නිදා ගැනීමට හැකියාව ලැබෙනවා.

පරිවෘත්තීය ක්‍රියාවලිය ඉහළ නංවයි 

ඔබ ක්‍රමයෙන් වයසට යන විට ඔබේ පරිවෘත්තීය ක්‍රියාවලිය මන්දගාමී වෙනවා.නමුත් ඔබ දිනපතා ව්‍යායාම කරන අයෙක් නම් ඔබට හොඳින් කැලරි දහනය කර ගැනීමට සහ නීරෝගී බරක් පවත්වාගෙන යාමට හැකියාව ලැබෙනවා. ඔබ හොඳින් ව්‍යායාම කරන තරමට ඔබේ මාංශ පේශීන් ඉතා හොඳින් ගොඩනැගෙන නිසා කැලරි දහනය ද ඉතා හොඳින් සිදුවනවා. 

ඔබේ හදවත කාර්යක්ෂම කරයි 

ඔබ වයසට යනවිට ඔබේ මාංශ පේශීන් දුර්වල වනවා සේම ඔබේ හදවතද දුර්වල වන්නට පටන් ගන්නවා.ඔබේ ශරීරයේ රුධිර සංසරණය හොඳින් සිදුවීමට නම් ඔබේ හදවත ශක්තිමත්ව තිබීම අනිවාර්ය වනවා. එසේ නොවුණහොත් ඔබ ඉතා ඉක්මනින් වෙහෙසට පත් වී ආතතියට පත්වීම ද සිදුවිය හැකියි.ඔබ දිනකට විනාඩි තිහක් පමණ හොඳින් ව්‍යායාම කිරීම , ඇවිදීම හෝ යෝගා අභ්‍යාසවල නිරත වන කෙනෙක් නම් ඔබේ හදවතේ ක්‍රියාකාරිත්වය වඩාත් කාර්යක්ෂම කර ගැනීමේ හැකියාව තියෙනවා.ඒ වගේම හෘදය ආශ්‍රිත විවිධ රෝග ඇතිවීම වළක්වා ගැනීමට ද ඔබට පුළුවන්.

මනෝභාවය දියුණු කරයි

දිනපතා ව්‍යායාම කිරීම මගින් ඔබේ මනෝභාවය ඉතා ඉහළ තත්ත්වයකට ගෙන යනවා. ඔබේ මනස ඉතා සැහැල්ලු වීමෙන් ඔබට ලැබෙන ප්‍රයෝජන බොහෝමයක් තියෙනවා. විශේෂයෙන්ම එළිමහනේ ව්‍යායාම කිරීම , එළිමහනේ ඇවිදීම මගින් විශාදය , කාංසාව , මානසික ආතතිය වැනි තත්ත්වයන් වලින් පීඩා විඳින කෙනෙකුට දිනපතා ව්‍යායාම කිරීම මගින් තම මනෝභාවය වැඩි කර ගෙන මනස සැහැල්ලු කර ගැනීමට පුළුවන්. 

මතක ශක්තිය වර්ධනය කරයි 

වයසට යාම සමඟ අමතක වීම සාමාන්‍යයෙන් සිදුවන දෙයක්.නමුත් සමහර අවස්ථාවලදී වයසට යාමට වඩා නිශේධාත්මක උපකල්පන මිනිසුන්ගේ හැකියාවන් පිළිබඳව තිබෙන හැඟීම් වලට හානි කරන නිසා මේ අමතක වීම සිදුවනවා. නමුත් බොහෝ පර්යේෂණවලින් සොයාගෙන ඇති ආකාරයට වයස කුමක් වුවත් සෑම කෙනෙකුටම පාහේ ව්‍යායාම කිරීම මගින් තමන්ගේ මොළය සාමාන්‍යයෙන් ක්‍රියා කරනවාට වඩා ඉතා හොඳින් ක්‍රියා කිරීම අත්දැකිය හැකියි.

ඔබ දිනපතා ව්‍යායාම කිරීම මගින් ඔබට මෙවැනි සෞඛ්‍යමය වාසි බොහෝමයක් ලැබෙනවා. ඒ කියන්නේ ඔබට හැමදාම තරුණව , ජව සම්පන්නව සහ ක්‍රියාශීලීව ඉන්නට ව්‍යායාම කිරීම මගින් හැකියාව ලැබෙනවා. ඔබ ඔබට සුදුසු ව්‍යායාම රටාවක් නිර්මාණය කර ගැනීමට පෙර ඒ සඳහා සුදුසුකම් ලත් කෙනෙකුගෙන් උපදෙස් ලබා ගැනීමත් වැදගත්. ඒ වගේම ඔබේ ව්‍යායාමවලට ගැලපෙන ආහාර රටාවක් අනුගමනය කරන්නත් අමතක කරන්න එපා.

ReplyForwardAdd reaction

Related Articles

Don't Miss


Latest Articles