තමන් ගණිකාවන් ලෙස හැඳින්වූ සමාජයට එරෙහිව ගෞරවය වෙනුවෙන් සටන් කළ යුවතියන් – Pink

කාන්තාවකට තමන්ගේ ජිවීතය ජීවිතය නිදහසේ විඳිය නොහැකිද? එසේ විඳිනවා නම් ලෝකයාගෙ අනේකවිධ ගැරහුම් වලට ලක්වී ඒවා නිහඬව ඉවසිය යුතුද? එසේ නැතිනම් තමා වෙනුවෙන් සහ තම ගෞරවය වෙනුවෙන් සටන් කල යුතුද ?

තරුණියන් තිදෙනෙක් ඔවුන්ගේ ගෞරවය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් අධිකරණය ඉදිරියේ සටන් වදින ආකාරය පිලිඹිබු වන 2016 වසරේ නිකුත් වූ Pink නම් වූ මේ චිත්‍රපටය ඔබ නැරඹිය යුතුම චිත්‍රපටයක්.. !

චිත්‍රපටය ආරම්භයේදි තුවාල ලද තරුණයෙක් තම මිතුරන් දෙදෙනා සමඟ රෝහල වෙත යන ආකාරයත් තරුණියන් තිදෙනෙක් අවුල් සහගත බවින් යුතුව ටැක්සි රථයකින් තම නවාතැන කරා යන ආකාරයත් පෙන්නුම් කෙරෙනවා. එතැන් පටන් විනාඩි 136 ක් පුරා කුතුහලය සපිරි මේ කථාන්තරය ප්‍රේක්ෂකයා වෙත දිග හැරෙනවා.

මීනල්, ෆලක්, ඇන්ඩ්‍රියා යනු එකම නිවසක නවාතැන් ගෙන සිටින නගරබදව රැකියාවන්හී නියුතු වෙන මිතුරියන් ‍තිදෙනෙක්. ෆලක්ගේ දැන හැඳුනුම්කම් මත මේ තරුණියන් තිදෙනා තරුණයන් කිහිප දෙනෙකු සමගින් රාත්‍රී කෑම වේලක් සඳහා අවන්හලකට යනවා. එහිදී ඇති වෙන යම් සිද්දියක ප්‍රතිඵලයක් හැටියට මීනල් අතින් එක් තරුණයෙකු දරුණු ප්‍රහාරයකට ලක් වෙනවා.ඒ ඇය ඇගේ ආත්මාරක්ෂාව වෙනුවෙන් කල දෙයක්. හිසට එල්ල වුනු බෝතල් ප්‍රහාරයක් නිසා දරුණු ලෙස තුවාල ලබන තරුණයා අනෙක් තරුණයන්ගේ උපකාර ඇතිව රෝහල් ගත වෙනවා. ජීවිත හානියක් සිදු නොවුනත් පහරකෑම නිසා ඇති වූ දැඩි ලැජ්ජාව සහ ‍කෝපය නිසාවෙන් එකී තරුණයන් මෙම තරුණියන්ගෙන් පළිගැනීමේ අරමුණ ඇතිව ඔවුන්ට තර්ජන ගර්ජන එල්ල කරන්නට පටන් ගන්නවා. තර්ජන ගර්ජන වලින් මෙම මිතුරියන් තිදෙනා මෙල්ල කරන්නට නොහැකි වූ තැන ඔවුන් ඔවුන්ගේ සමාජ බලය භාවිතා කරමින් මීනල්ට විරුද්ධව මිනී මැරීමට තැත් කිරීම, ගණිකා වෘත්තියේ යෙදීමට උත්සාහ කිරීම සහ තවත් චෝදනා කිහිපයක් වෙනුවෙන් නඩු පවරනවා. එම අවස්තාවේ අන්ත අසරණ තත්ත්වයට පත් වෙන මේ තරුණියන් තිදෙනාගේ පිහිටට එන්නේ විශ්‍රාමික නීතිඥවරයෙක් වෙන දීපක් සීගල් (අමිතාබ් භච්චන්) .යම් රෝගී තත්ත්වයකින් පීඩා විදිමින් පවා මේ වයස්ගත නීතිඥයා අභූත චෝදනාවන් නිසාවෙන් සමාජය ඉදිරියේ අවමානයට ලක් වෙමින් මුළු අනාගතයම අවිනිශ්චිතතාවයකට පත්ව සිටින මේ තරුණියන් තිදෙනාගේ ගෞරවය බේරා දෙන්නට අධිකරණ භූමිය තුළ සටන් වදින ආකාරයයි චිත්‍රපටයේ ඉදිරි දිගහැරුම වෙන්නේ.

මුදල් බලයට සමාජයේ කල හැකි බොහෝමයක් දේ ඇති බව මෙම චිත්‍රපටයෙන් මනාව පෙන්නුම් කෙරෙනවා.
නිදහසේ ජීවත් වන තරුණියන් සමාජයේ ගැරහුමට ලක් වන ආකාරය , මිනිසුන් ඔවුන් පිළිබඳව නරක නිගමන වලට එළඹෙන ආකරය පිළිබඳවද මෙහි කතා බහට ලක්වෙනවා

ස්වාධීනව ජීවත් වෙන තරුණියක් සමාජයට ඇතුල් වීමට කලින් කොයි තරම් දේවල් සිතිය යුතුද යන කාරණය මෙම චිත්‍රපටය පුරාවටම ප්‍රේක්ෂක සිත් වලට කාවද්දනවා. ඔබ තරුණියක් නම් ඔබ කතා කල යුතු වන්නෙ කෙසේද, ඇවිදිය යුතු වන්නෙ කෙසේද, ආශ්‍රය කල යුතු වන්නේ මොන වගේ අයද ආදී නේක විධ රීතීන් ගණනාවක් සමාජය මඟින් ගැහැණු අපේ හිස මත තැබෙනවා.

බෙංගාලි චිත්‍රපට කිහිපයක්ම අධ්‍යක්ෂණය කළ අනිරුද්ධ රෝයි චෞද්‍රිගේ ප්‍රථම බොලිවුඩ් සිනමා අධ්‍යක්ෂණය ලෙසින් නිර්මාණය වුනු මෙම චිත්‍රපටය අයත් වෙන්නනේ Drama, Thriller කියන වර්ගීකරණයට. තප්සී පන්නූ, ක්‍රිතී කුල්හාරි, ඇන්ඩ්‍රියා තාරියන් කියන රංගන ශිල්පිනියන් තිදෙනා සමගින් අමිතාබ් භච්චන් ප්‍රධාන රංගන දායකත්වය සපයන මෙම චිත්‍රපටය IMDB දර්ශක අගය 8.2ක් ලෙස සටහන් කරගන්නට තරම් සුවිශේෂී වෙලා තියෙනවා. Wazir සහ Te3n චිත්‍රපටය හැරුණුකොට අමිතාබ් භච්චන් 2016 වසරේ රංගනයෙන් දායක වුනු අනෙක් චිත්‍රපටය වුනේ Pink චිත්‍රපටයයි.

එම වසරේ ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලෙදි ‍හොඳම චිත්‍රපටය, හොඳම නළුවා, හොඳම සහාය නිළිය, හොඳම දෙබස් සහ තවත් සම්මාන කිහිපයක් සඳහාම නිර්දේශිත නාමයන් අතරට එක් වන්නට සමත් වූ Pink චිත්‍රපට‍ය එම වස‍රේ පැවැත් වුනු තවත් සම්මාන උළෙලවල් කිහිපයකදීම සම්මානයට පාත්‍ර වුනා.විචාරක ප්‍රසාදය ඉහළින්ම දිනාගත් චිත්‍රපටයක් වුනු Pink චිත්‍රපටය ආදායම් අතින්ද අති සාර්ථක චිත්‍රපටයක්ද උනා.

ඉතින් ” Pink ” යනු කාන්තා ඔබ අනිවාර්යයෙන්ම මෙය නැරඹිය යුතුම චිත්‍රපටයක්.

“No means No, no matter whoever it is. Might be your girlfriend or someone you know, or may be a sex worker. May be even your wife, when say NO, you must stop”

“නැත යනු නැත යන්නයි. කවරෙකු වුවත් කමක් නැත. ඔබේ පෙම්වතිය හෝ ඔබ දන්නා කෙනෙකු විය හැකිය, නැතහොත් ලිංගික ශ්‍රමිකයෙක් විය හැකිය. ඔබේ බිරිඳ පවා විය හැකිය, නැතැයි පැවසූ විට ඔබ නතර කළ යුතුය”

(Pink Movie 2016 )

Related Articles

Don't Miss


Latest Articles