සඳක් තනියම – 35

0
873

අකලංක හැකිතාක් සාමාන්‍ය අයුරින් සිටින්නට උත්සාහ දරමින් ඉන්නා වග වටහා ගැනීමට දිනාරාට අපහසු වූයේ නැත.වෙනදා කාර්යාලයට පැමිණ විහිළු කරන මිතුරන් පවා නිහඬ කිරීමට ඔහු සමත්ව තිබිණ.වෙනදා නොවු පාළුවක් කාර්යාලය කාමරය තුල පැතිර ඇතැයි ඇයට සිතුනේ එනිසාය.වෙනදාටත් වඩා ඔහු කාර්යාලයේ වැඩ කටයුතු සඳහා අවධානය යොමු  කරන්නට  පටන් ගෙන ඇත.. දින කිහිපයක් ගතව යනතුරු මේ සිදුවීම  දිනාරා හිමාෂා සමඟවත් නොකීවාය.එහෙත් විශ්ව සර් පවා තමාට මුහුණ දෙන්නේ යම් අපහසුතාවයකින්යැයි දිනාරාට සිතිණ.ඇය උන්නේ සියල්ල අමතක කිරීමට වෙර දමමින්ය.එහෙත් එය පහසුවක් නොවන බව අවසානයේ ඕ පසක් කර  ගත්තේ අකලංක දෙස බලා සිටීමෙන් පසුවය.ඔහු තමාවම අමතක කර දමන්නට වෙර දරමින් සිටියේය.ඒබව ඔහුගේ හැසිරීමෙන්ම පෙනෙන්නට තිබිණ.

තමා ගත්තේ ආපසු හැරී බලා පසු තැවිය යුතු නොවූ තීරණයක් වුවත් දිනාරාගේ මනසට විවේකයක් වූයේ නැත.

නුවර ජයසුන්දර වලව්ව ගිනි ඇවිල තිබුණේ ඒ අතරේය.මිලිනා විසින් සියලු දේපළ දරුවන් තිදෙනා අතර සමව බෙදා තිබිණ.ඒ අනුව දිනාරාට ඇගේ අම්මා සමග ජීවත් වූ නිවසත්  ඒ අවට වූ අක්කර පහක භූමි ප්‍රමාණයේ වූ තේ වත්තත් හිමිව තිබිණ.. තේ ෆැක්ටරියේ සම්පූර්ණ ආදායම කොටස් කිහිපයකට බෙදා ඉන් එක කොටසක් මාසිකව දිනාරාගේ බැංකු ගිණුමට ලැබීමට සලස්වන්නටත් කටයුතු කර තිබිණ.ඉන් වැඩි කොටස වෙන් වී තිබුණේ බාප්පාටය.ඔහුට දරුවන් තිදෙනෙකු සිටින නිසා එසේ වැඩි කොටසක් වෙන් කළ බව අත්තම්මා දිනාරා හා පැවසුවාය.

“ මට මේ කිසි දෙයක් එපා ආත්තම්මේ..මං දන්නවා දැන් මේකෙන් වලව්ව  ඇතුලේ ගොඩක් ප්‍රශ්න ඇතිවෙලා ඇති.ඒ දේවල් එයාලට දෙන්න.ඒ වලව්වෙන් මට අත්තම්මා විතරක් හිටියොත් හොඳටම ඇති.”

දිනාරා එසේ පවසද්දී මිලීනා කෑ ගැසුවේ කෝපයෙන්ය.

“ ඇයි උඹ මේ වලව්වෙ එකෙකුට ජාතක වෙලා ඉපදුන ළමයෙක් නෙමෙයිද.තමන්ගේ උරුමය තමන් රැක ගන්නෙ නැතුව උඩ එල්ලිලා  ඉන්නද කල්පනාව.ගෑනියෙකුට දේපළ වටින්නේ දැන් නෙමෙයි.කසාදයක් බැඳලා ගිය කාලෙක මිනිහගේ පැත්තෙන් අහනකොට කෝ උඹ ගෙනාපු දේවල් කියලා අන්න එදාටයි ගෑනියෙක්ට තමන්ට කියලා දෙයක් තියෙන එකේ වටිනාකම දැනෙන්නේ.මේවා කාගෙවත් ඒවා නෙමෙයි මගේ දේවල්. මම හම්බ කර ගතපු  දේවල්.මගේ මිනිහ මැරෙන්න කලින් මට දීලා ගිය දේවල්.ඒවා බෙදන්න ඕනේ මොන විදිහටද කියලා තීරණය කරන්නේ මම.ඒ දේවල් මගේ හිතේ හැටියට සිද්ධ උනා.ඉතින් මට පසු තැවීමක් නෑ.සුදු මැණික ඒවට කලබල වෙන්න අවශ්‍යත් නෑ. දැන් තමුන්ට තියෙන්නේ මේ දීපු දේවල් රැකගන්න එක.”

අත්තම්මා එසේ පැවසුවත් දිනාරාගේ සිතට සතුටක් වූයේ නැත.ඒ සියල්ලටම වඩා සිතෙහි සැනසීම  වටිනවායැයි ඕ තේරුම් ගත්තේ අද ඊයේක නොවේ.

“ කමක් නෑ පුතේ ඔයා බලෙන් ඉල්ලපු දේවල් නෙමෙයිනේ.මේක ඔයාගේ අයිතිය, ඔයාගේ උරුමය ඒ විතරක් නෙමෙයි අත්තම්මා කැමැත්තෙන් ඔයාට දීපු දේවල්.ඒවා හිතට බරක් කරගන්න එපා.”

ප්‍රියංකා පවා පැවසූයේ ඒ අයුරින්ය.

එහෙත් නොසිතූ නොපැතූ වෙලාවක දිනාරාට දුරකථන ඇමතුමක් පැමිණියේ නැන්දාගෙනය.නාඳුනන අංකයකින් පැමිණි දුරකථන ඇමතුමට දිනාරා පිළිතුරු සැපයූවේ  කාර්යාලයේදීමය.මේ නොනවත්වා ඇමතුම් හෝ කෙටි පණිවිඩ පැමිණෙන දුරකතනයක් නොවේ.

“ උඹ අත්තම්මේ..අත්තම්මේ ගගා අපේ අම්මව රවට්ටගෙන හොඳම දේ අරගත්තා  නේද..”

“ කවුද මේ…”

දිනාරා එසේ ඇසුවේ ඒ වැරදීමකින් පැමිණි ඇමතුමක්යැයි සිතූ නිසාය.සැබවින්ම ඇයට නැන්දාගේ හඬ අමතකව තිබිණ.

“ උඹට දැන් අපිව මතකම නැද්ද.මං උඹේ නැන්දා.”

“ අනේ නැන්දේ කොහොමද.ඇත්තමයි මට අඳුන ගන්න බැරුව ගියා..”

“ සැප දුක් අහලා උඹත්  එක්ක සතුටු සාමීචි පවත්වන්න නෙමෙයි මං මේ ගත්තේ.උඹ මෙන්න මේක හොඳට මතක තියාගනින්. අපේ අම්මව රවට්ට ගත්තට අපිව රවට්ටන්න ලේසි වෙන්නෙ නෑ.අපි උඹට  විරුද්ධව නඩු දානවා.මේ දේපළ උඹ අපේ අම්මව රවට්ටලා බලෙන් ලියව ගත්තා කියලා.”

“ අනේ නැන්දේ මොනවද මේ කියන්නේ…”

යුවතිය ඒ ස්වරයට වෙව්ලා ගියාය.ඇගේ හඬ හැඬුම් මුසුව තිබිණ.

“ උඹ දන්නවද උඹේ  තාත්තා උඹව දාල ගියේ ඇයි කියලා.උඹේ තාත්තට විශ්වාසයක් තිබුනෙ නැහැ උඹ එයාගේ ළමයෙක් කියලා.  කොන්වන්ට්  එක ඇතුලේ නඩලන් නටලා නටලා මගේ මල්ලිගේ කරේ එල්ලුනේ උඹ බඩට ආවට පස්සේ.මේ  වලව්වට කිසිම සම්බන්ධයක් නැති අවජාතක  බැල්ලියන්ට මේ වලව්වෙ එක වැලි කැටයක් අයිති වෙන්න මම ජීවත් වෙලා ඉන්නකල් ඉඩ තියන්නේ නෑ.මම නඩු දානවා.ඒ විතරක් නෙමෙයි.උඹට  මේ එක වැලි ඇටේකවත් අයිතියක් නෑ කියන එක මම ඔප්පු කරනවා.”

“ නැන්දෙන් මොනවද මේ කියන්නේ..අනේ මගේ අම්මා එහෙම කෙනෙක් නෙමෙයි.අත්තම්මා කාලිංග අන්කල්  මැරි කරන්න කියලා බල කලේ නැත්තං මගේ අම්මා කවදාවත් ඒකට ඒකට ඉඩ දෙන්නෙ නෑ..මගේ අම්ම හරි අහිංසකයි. එයා තාත්තට හරියට ආදරය කළා.මං දන්නවා අන්තිම මොහොත වෙනකලුත් එයා තාත්තා  එනකල්  බලාගෙන හිටියා.එහෙම කතා කරන්න එපා නැන්දේ.”

සිතෙහි කෝපයක් වුවත් දිනාරා ඒ වදන් පැවසූයේ කෝපයෙන් නොාව්.ඇගේ හඬ යාදින්නක් සරිය.

“ උඹ මොනවද දිනාරා දන්නේ.. උඹ එන්න එපා උඹලයි අම්මා ගැන මට උගන්වන්න.ඒකිත් හරියකට ජාතක උන එකියක්නං ළමා නිවාසවල ලගින්නේ නෑනේ.මේවා පරම්පරාවලම වැරදි.මට උඹත් එක්ක තවදුරටත් කතා කරන්න අවශ්‍යතාවයක් නෑ.යුතුකමක් විදිහට  දැනුම් දෙන්නයි මං ගත්තේ.මම හිතුවේ නෑ මගේ අම්මා උනත් මේ තරම් අසාධාරණකමක් මට කරයි කියලා.උඹ කැමති තැනක උඹට කැමති විදිහට ජීවත් වෙන්න පුළුවන්.හැබැයි මේ වලව්වේ දේපළ වලට අයිතිවාසිකම් කියන්න උඹට බෑ..අපේ අප්පච්චි ඉන්න තැනක ඉදලා උඹට හෙණ ඉල්ලයි..”

“ මං ඒ කිසි දෙයක් අත්තම්මගෙන් ඉල්ලුවෙ නෑ නැන්දේ.එනිසා ඒවා ආපහු දෙන්න මට පුළුවන්..”

“ ඔව්.. ඒක උඹට  එහෙම කරන්න වෙනවා.එහෙම නැතිවුනොත් උඹ ඔය ඉන්න තැන උඹට සැනසීමෙන් ජීවත් වෙන්න මම ඉඩ තියන්නේ නෑ..උඹ අපෙන් ගතපු සිියල්ලම ආපහු දෙන්න ඕන තමයි”

දුරකථනය විසන්ධි වී ගියේ ඒ තර්ජනයත් සමගින්ය.දිනාරාගේ දෙකොපුල් දිගේ කඳුළු රූරා යමින් තිබිණ.ඒ කඳුළු පිස දා ගන්නටවත් ඇයට සිහියක් නොවූ තරම්ය.නැන්දා ඒසා කෝපයකින් බැණ වැදුනේ කුමක් නිසාදයි ඇයට නොතේරේ.ඒ සියල්ලටම වඩා දුකක් වූයේ අම්මාට පැවසූ කතාය.

යුවතිය හුස්මක් ඉහළට ඇද ගත්තේ පපුවට අත තබාගෙනය.

හොඳම කෑම වට්ටෝරුව තේරීමේ තරඟය සඳහාත් ඉන්පසුව පැවැත්වෙන ත්‍යාග සහ සහතික පත්‍ර ප්‍රධාන උත්සවය සඳහාත්  වැය වන මුදල් සඳහා වූ ගිණුම් ලේඛනය හිමාශා විසින් යොමු කර තිබුණේ අකලංකගේ විද්‍යුත් තැපෑලටය.එය පරීක්ෂා කරමින් අනවශ්‍ය යැයි සිතුණු දෑ කපා හරිමින් උන් අකලංක හිස ඔසවා යුවතිය දෙස බැලුවේ හදිසියේය.මේ දෑස්වලට කොතරම් තරවටු කරගත්තත් ඒවා නවතා ගන්නට ඔහුට හැකියාවක් වූයේ නැත.අදටත් සියල්ල එකම විදිහය.එහෙත් ඔහු දරාගන්නට පුරුදු වෙමින් සිටියේය.යුවතියගේ කොපුල් හරහා බේරී  යමින් තිබූ කඳුළු දුටු අකලංක සුවපහසු අසුනින් නැගී සිටින්නට කල් ගත්තේ නැත.

“ මේ ඇයි…”  දැයි අසද්දී නිරායාසයෙන්ම ඔහුගේ දෙපා ඈ වෙත ගොස් අවසන්ය.

“ දිනාරා….මොකද ප්‍රශ්නේ මොකද වුණේ..”

ඔහු දෙවැනි තුන්වන වරටත් එසේ ඇසුවේ ඇය අසල සිටගෙනය.

“ දිනාරා ප්ලීස් කියන්න මොකද උනේ …ඔයාට මමත් එක්ක මොනවද කතා කරන්න බැරි…ඒ රහස රහසක් නං රහසක් විදිහට රකින්න මට පුළුවන්.දිනාරා ප්‍රශ්න තමන්ගේ හිතේ තියෙන තාක් කල් ඒවාට උත්තර හම්බවෙන්නේ නෑ..ඔයාගෙන් මං කවදාවත් අයුතු ප්‍රයෝජන ගන් නෑ.ඔයාට බල කරන්නේ නෑ..මට පුළුවන් විදිහට මං ඔයාට උදව් කරන්නම්…අපිට ජීවිතේ බෙදාගන්න බැරි උනාට යාළුකම බෙදාගන්න බැරි කමක් නෑ දිනාරා..”

“ නෑ..සර්.. එහෙම ප්‍රශ්නයක් නෙමෙයි…”

යුවතිය හිස ඔසවා ඔහු දෙස බැලුවේ එවේලෙහිය.අන් සැමටම වඩා ඔහුව විශ්වාසය.එහෙත් දිනාරාට ඔහුගේ සැනසීම අහිමි කරන්නට සිතුණේ නැත.කුමක්දෝ අහේතුවකට ඒ වරද දැන් ඔහුගෙන් සිදුවී අවසන්ය.

“ එහෙනම් ඇයි  ඉඳපු ගමන් මේ විදිහට අඬන්නේ.ඇස් දෙකේ කදුළු පුරවන් ඉන්නේ..යාළුවෙක් විදිහට සහෝදරයෙක් විදිහට බැරි උනත් මට ඉන්න විශ්වාසනීයම සේවිකාවට උදව් කරන්න බොස් කෙනෙක් විදිහට මට අයිතිය තියෙනවා කියලා මම විශ්වාස කරනවා.ඒ සම්බන්ධතාවයට විවෘත වෙන්න පුළුවන් සීමාවෙවත් ඉඳගෙන අපි කතා කරමු..”

“සර් …”

“ ඔව්  දිනාරා  කියන්න. මම කැමති නෑ ඔයා මෙහෙම කඩන් වැටෙනවට.”

“ අපේ ආතම්මා එයාගේ දේපළ බෙදලා.”

ඇය සිය හඬ අවධි කලේ යළිත් දිගු සුසුමක් මුදා හැරියාට පසුවය.

“ ඔව් සාමාන්‍යයෙන් ඒක වැඩිහිටියො කරන දෙයක් නේ..”

“ ඒත් මට දීපු දේවල් වලට නැද්දා කැමති නෑ.”

“ ඉතින්..”

“ නැද්ද මට කතා කරලා හොඳටම බැන්නා ගොඩක් හිත රිදෙන විදිහට.”

“ මං දන්න දිනාරා නං එහෙම ලේසියෙන් හිත රිද ගන්න කෙනෙක් නෙමෙයි.”

“ නෑ හිත රිදෙනවා හැම තැනකදිම ගොඩක් රිදෙනවා.ඒත් මං උත්සාහ කරනවා නොරිදුනා වගේ ඉන්න.මට දැන් ඒක පුරුදු වෙලා..”

“ එහෙම ඉන්න එක පපුවට මහ බරක් දරුවෝ.ඇයි ඔයාට රිලැක්ස් වෙන්නේ නැත්තේ..අපි කතා කරමු දිනාරා..ඔළුව උඩ තියන් ඉන්න මහමේරුව බිමින් තියමු.ඊට පස්සේ ටික ටික සැහැල්ලු වෙමු.මොනවා කියලද දිනාරා  නැද්දා බැන්නේ”

“ මට නඩු දානවා කිව්වා.මගේ අම්මට කැත විදිහට බැන්නා.ඒ හැම දේටම වඩා මට ඉවසන්න බැරි එක දෙයයි.”

“ මොකද්ද ඔයාට ඉවසන්න බැරි දේ.නඩු දානවා කියපු එකද..එහෙම නැත්නම් අම්මට බැනපු එකද..”

දිනාරා හිස දෙපසට වැනුවේ  නැතැයි කියන්නටය.

”එහෙනම්..”

“ මං කොළඹ ආවට පස්සේ නැන්දා මට මොකද උනේ කියලා බලන්න එකම එක දවසක්වත් කතා කරල නෑ.ඒත් මේ වගේ දේකදි වචනයක්වත් පැටලෙන්නෙ නැතුව මට බැනගෙන බැනගෙන යන්න නැද්දට පුළුවන්කම තිබුණා.අනේ මං අත්තම්මව රැවැට්ටුවේ නෑ..මං ඒ කිසි දෙයක් කලේ නෑ..මං ඒවට ආසත් නෑ.ඒවා පාලනය කරන්න මට තේරෙන්නෙත් නෑ..”

ඇය තමාගේ සිත ඔහු ඉදිරිපස විවර කරමින් සිටියේ සිතා මතා නොවේ.⁣ඉබේටම සිදුවන සමහර ක්‍රියා වලකා ගන්නට හැකි කමක්ද නොවේ.

ඔහු ඇගේ ඉදිරිපස වූ පුටුවෙහි ඇන්ද මතින් අසුන් ගත්තේ දෑත් එකට පටලවාගෙනය.

“ දිනාරා… අපි මොන විදිහට හිටියත් අපිව හැම කෙනෙකුටම එකම විදිහට වටින්නේ නෑ.සමහරුන්ට අපේ කිසිම වටිනාකමක් නෑ.එහෙම අය අපි උන්නද,  මළාද,  කෑවද , බිව්වද , ගියාද,  ආවද හොයලා බලන්නේ නෑ.මොකද ඒ අයට අවශ්‍යතාවයක් නෑ අපි ගැන හොයලා බලන්න.අපිට කාගෙවත් හිත් වල බලෙන් නතර වෙන්න බෑ දිනාරා.එයාටත් මොනවා හරි සාධාරණ හේතුවක් ඇති.නැතුවත් ඇති.එයාට අයිතිය තියනවා ඒ තීරණය ගන්න.ඔයාගේ නැන්දා උන  බව ඇත්ත.ඥාති සම්බන්ධතාවය බලවත් බවත් ඇත්ත.ඒ උනාට දිනාරා ඔයාව නොවටිනා තැනකින් ආදරයක් ගෞරවයක් ලැබෙන්නේ නෑ කියන ඇත්ත තේරුම් ගන්න තරම් ඔයා හිත හදාගන්න ඕනේ..”

“ ඒත් සර්…”

“ දුකයි නේද..දුක කියන්නෙත් සිතුවිල්ලක්.ඒ සිතුවිල්ලටත් ඇතිවෙලා නැතිවෙලා යන්න දෙන්න දිනාරා.ඇයි එයාලා ඔයාට නඩු දානවා කිව්වේ.”

“ මේ දේවල් ආපහු එයාලට ඕනෙලු.මං ආත්තම්මටත් ඒක කිව්වා.”

“මොනවද”

“මට මේ කිසි දෙයක් එපා කියලා.ඇත්තමයි  මං ඒ කිසිම දෙයක් කවදාවත් අත්තම්මාගෙන්  ඉල්ලලා නෑ.අදටත් මං කියන්නේ මට ඒ වලව්වෙන් ඕනේ ආත්තම්මා  විතරයි සර්.”

“ ඔයාට නඩු දාන්න බෑ.එහෙම නීති නෑ.හැබැයි ඔයාව මානසිකව බින්දුවටම ඇදලා දාන්න නැන්දට පුළුවන්.ඒක ඔයාට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ.ඒක ප්‍රශ්නයක් කරගන්න එපා.ඔයත් එක්ක අපිත් ඉන්නවා.මොනවා හරි අවශ්‍යතාවයක් වුනොත්  විශ්ව අයියත්  එක්ක කතා කරන්න.එයා ලෝයර් කෙනෙක්…මේ වෙලාවේ එයා නඩු ඇහුවෙ නැති උනාට ඔයාට උදව් කරන්න එයාට පුළුවන්.”

“ මට ඕනේ ඉඩ කඩං දේපළ නෙමෙයි සැනසීම.”

“ ඔව් හැමෝටම ඕනෙ සැනසීම හැමෝම කැමති සැනසීමට.හැබැයි ඒ සැනසීම ළඟා කරගන්නනම් පුංචි දේටත් දුක හිතෙන සිතුවිලි ඔයාගෙන් ඈත් කරන්නම වෙනවා. ආදරේ , ගෞරවය නොලැබෙන තැන්වලින් ඒවා බලාපොරොත්තු නොවී ඉන්න වෙනවා..එන්න දිනාරා… හිමාෂා ඉවෙන්ට් එකට සම්පූර්ණයෙන්ම යන වියදම හදලා එවලා තියෙනවා. අපි ඒක චෙක් කරමු.

එවේලෙහි අකලංකට ඕනෑ වූයේ ඇය ලවා ඒ ගිණුම් කටයුතු පරීක්ෂා කරගන්නට නොවේ.ඇගේ මනස වෙනතකට යොමු කරවන්නටය.

අවසන යුවතිය කඳුළු පිස දාගෙන නැගී සිටියේ ඔහුට අවනත වෙමින්ය.

( යළිත් හමුවෙමු දයාබරව )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here