තම සිතට මේ දැනෙන දුක ලෝබකම දිනාරා නිසා උපන් එකක්යැයි තේජාට වැටහුම් වූයේ පැය විසි හතරකටත් වඩා වැඩි කාලයක් ගෙවා දැමුවාට පසුවය..තමාට මේ සා ලොබක් දැනෙනවානම් අකලංක සිටින්නේ ඒ අහිමිවීම දරාගත නොහැකිකමින් වග විශ්වාසය. ඇය මහින්දට දුරකථන ඇමතුමක් දී වෙනදාට වඩා මදක් වේලාසනින් නිවසට පැමිණෙන්නයැයි පැවසූයේ ඒ හැඟීම සිතට අසීමාන්තික වදයක් වද්දීය.
“ ඇත්තටම ඒ ළමයට අකමැති වෙන්න හේතුවක් නෑ.ඔය වලව් කතාව ගැන මම කැන්ඩිවල ඉන්න අපේ ෆැක්ට්‍රි එකේ මැනේජර් කෙනෙක්ගෙන් ඇහුවා.කාලාන්තරයක් තිස්සේ ඒ පැතිවල නමක් තියාගෙන ඉන්න මිනිස්සුලු.එදා මම මේ විස්තර ඇහුවේ ඇත්තටම අකලංක මේ වගේ දෙයක් හිතේ තියාගෙන ඉන්නවා කියලා දැනගෙන නෙමෙයි.දිනාරාත් එක්ක වලව්වක් සම්බන්ධයි කියලා කියද්දි මට ඒ ගැන විස්තර දැනගන්න කුතුහලයක් ඇති උනා..””
“ ඔයා මට කිව්වෙත් නෑනේ මහින්ද..”
“ එහෙම කියන්න තරම් විශේෂයක් වුණේ නැහැ ඒක. කොහොම හරි මේ ළමයගේ තාත්තයි අම්මයි දෙන්නම නෑ කියලා ඒ මනුස්සයා මමත් එක්ක කිව්වා.”
“ ඒගොල්ලන්ට මොනවද වෙලා තියෙන්නේ කියලා විස්තරයක් ඔයා දන්නේ නැද්ද.”
“ මං ඒ වෙලාව එච්චර විස්තර ඇහුවෙ නෑ තේජා.අනිත් එක ප්‍රියංකා කියල තිබුණා නේද තාත්තා ඒ ළමයව දාලා ගියා ඊට පස්සේ අම්මා නැති වුණා කියලා…”
“ ඔව් එහෙම තමයි කිව්වේ.”
“ ඉතින් ඒ ළමයා මැරි කරන්නේ නෑ කියන තීරණයක ඉන්නවනම් අපි තවදුරටත් මේ ගැන කතා කරන එකේ තේරුමක් නැහැ.චූටි පුතා ඒ ළමයට කැමති වුණා කියලා ඒ ළමයා චූටිපුතාට කැමති වෙන්නම ඕන කියලා නීතියක් නැහැනේ..”
“ ඒ උනාට පුතා පව් මහත්තයා…අකලක විතරක් නෙමෙයි විශ්ව පුතා , නර්මදා දුව මේ හැමෝම දිනාරාට කැමති වෙලා ඉඳලා තියෙනවා.ඒ ළමයට අත්තම්මා මනමාලයෝ හොයනවා කියලා ප්‍රියංකා මට දවසක් කිව්වා.ඒ අත්තම්මා හරි දැඩි තීරණ ගන්න කෙනෙක්ලු..ඉතින් දිනාරා දුව බයටම ඒ කාටහරි කැමති වෙයි කියලා ප්‍රියංකා ටීච බයෙන් ඉන්නේ.ප්‍රියංකා කියන්නෙත් සල්ලියි දේපලයි නෙමෙයි මේ දරුවට ආදරෙන් ඉන්න පුළුවන් කෙනෙක් මුණගැහෙන්න ඕනේ කියලා.අම්මගෙවත් තාත්තගෙවත් ආදරේ හරියට ලබන්න බැරි උන ළමයෙක්නෙ ඔය.”
“ ඒක හරි…”
“ මහින්ද මම ප්‍රියංකා එක්ක කතා කරන්නද.සමහරවිට ආත්තම්මට බයේ එහෙම තීරණයක් ගත්තද දන් නෑනේ..”
“ ඒ ප්‍රශ්නෙ ලොකු පුතා අහපු වෙලාවේ චූටි පුතා එපා කියලා තිබුණනේ.”
“ ඒ උනාට අපි වැඩිහිටියෝ විදිහට එහෙම දෙයක් ගැන කතා කරන එකේ වරදක් නැහැනේ.මේ බලපෑමක් කරනවා නෙමෙයිනේ..අපි අහල බලමු ඇයි ඒ ළමයා මැරේජ් එකක් ගැන නොහිතන්නේ කියලා.පුතාට එයා එක්ක වැඩ කරන්න පුළුවන්නම් ,එයාට පුතා එක්ක වැඩ කරන්න පුලුවන්නම් ඉස්සරහටත් ඒ ගොල්ලො වැඩ කටයුතු කරගෙන යයි. ඒක ප්‍රශ්නයක් නැහැ.නර්මදා දුව කියන්නේ චූටි පුතා මැරි කරන්නෙ නෑ කියලා තීරණයක් අරගෙන නැහැලු.ඒක ඒ වෙලාවේ කටට ආවට කියලා දාන්න ඇතිලු..”
“ ඔව්… තවම වයස තියෙනවනේ.අනික හිත් රිදීමක් ඇතිඋන වෙලාවක්නේ ඒ..”
“ මහින්ද මං ප්‍රියංකාට කතා කරන්නද..මමත් ඒ ළමයට කැමතියි..ඒකට ඔයාගේ කැමැත්තයි මට දැනගන්න ඕනේ.”
“ ප්‍රශ්නයක් නැහැ..ඔයා හිතනවනම් ඒක හොඳයි කියලා කතා කරල බලන්න. මමත් කැමතියි අපේ දරුවෝ සතුටින් ඉන්නව දකින්න.දැන් මේ වැඩේ ඉවර වෙනකල් ඉන්න. තව දවස් හතරක් වගේනෙ තියෙන්නේ.චූටි පුතා හරියට මහන්සි වෙනවා..”
එවර තේජා හිස වැනුවේ මහින්දට එකඟවය.ඔහුගේ කැමැත්ත මේ ආකාරයෙන් ලැබීම පිළිබඳව ඇගේ සිතෙහි වූයේ සතුටකි.
****=====****–=====****=====**—==
“ ඔයා දැන් අපි එක්ක කතා කරන්නෙත් නෑ…හිත හදා ගන්නවා කියල අපිට පෙන්න පෙන්න දුක් විඳිනවා නේද..”
නර්මදා අකලංකා උන් තෙවැනි මහලට නැගුනේ රාත්‍රී ආහාරය ගත්තාට පසුවය.මදක් විශාල වූ ඇණවුමක් පිටරට යැවීම සම්බන්ධව විශ්ව එරටෙහි ගැනුම්කරුවෙකු හා වීඩියෝ දුරකථන සංවාදයකය. දියණිය නිදාගත්තේ වේලාසනින්මය.ඇය තෙවන මහලට යන විටත් අකලංක වූයේ කළුවරේම සඳැල්ලෙහි අසුන්ගෙනය.
“ අනේ නෑ අක්කා.මේ දවස්වල ටිකක් බිසී.මමත් මෙහෙම වැඩ කරලා පුරුදු කොල්ලෙක් නෙමෙයිනේ හලෝ.අර ගෑනිත් කොයි වෙලාවෙත් මාව කන්න බලාගෙන ඉන්නවා.මොකක් හරි ඩොකියුමන්ට් එකක් උස්සගෙන එනවා..මොකක් හරි ප්‍රපෝසල් එකක් අරන් එනවා..”
“ කවුද දිනාරද..”
“ ඔව්..වෙලාවකට මට හිතෙනවා තාත්තයි, අයියයි හොඳයි කියල.හරියට මැක්රීන් ෆුඩ් එකට බහිරවයෙක් වගේ…එයාට ඕනේ හැමදේම හරියට කරන්න.ආයි ගැලවිල්ලක් නෑ මට.”
“ ඔයාට ගැලවෙන්නෙත් උවමනාවක් නෑනේ…”
“ ඕකනෙ සිස් බැරි.. ඔයා කොහෙන් හරි ගිහිල්ලා නතර වෙන්නේ එතන.”
“ හරි දැන් මමද නතර වුණේ.මමද දිනාරි ගැන කිව්වේ.ඔය ටික හරි කෙටියෙන් ඔයාට කියලා දාන්න තිබුණනේ මං මේ දවස්වල හරි බිසී මට වැඩ ගොඩයි කියලා.එහෙම කිව්වේ නෑනේ වචන සීයක් කතා කලොත් අනූවක්ම දිනාරා.”
“ වැඩ ගැන කතා කරද්දි ඒ නම මතක් නොකර බෑ සිස්.මොකද මම වැඩ කරන්නේ නෑ එයා මගෙන් වැඩ කරව ගන්නවා..මං කතා කලේ ඔෆීෂියල් හරිද..”
“ මල්ලි….ඒ උනාට ඔයා තවම අවුලෙන් නේද..”
එවර නර්මදා ඇසුවේ සොහොයුරාගේ මුහුණට එබී ගෙනය.ඇය සඳැල්ලට පැමිණෙන්නට පෙර එහි විදුලි බුබුළු දැල් වූ නිසා ඔහුගේ ඇස් වල තෙත කඳුළු හොඳින් පෙනේ.
“ අවුලෙන්නම් තමයි හලෝ.මට හිතෙනවා දිනාරි හරි පව් කියලා. අනේ මන්දා හලෝ දවසින් දවස ආදරේ වැඩි වෙනවා මිසක් අඩුවෙන්නෙ නෑනේ.මමත් මොනවා හරි වීක් ෆොයින්ට් එකක් හොයනවා.මේ කෙල්ල හරියට මැජික් එකක් වගේ .මම අතාරින්න හිතන්න හිතන්න හරියට චුයින්ගම් එකක් වගේ ඇවිල්ල ඇලෙනවා.”
“ එහෙනම් ඉතින් හරි භයානකයි..”
“ අමතක කරගන්නම බෑ තමයි හලෝ.තමුසේ අපේ අයියත් එක්ක එහෙම මේවා කියන්න එපා.දිනාරාව වෙන ඩිවිෂන් එකකට මාරු කරලා දායි..දන්නවනේ හැටි…”
“ එතකොට දිනාරා…”
“ ඒකිට ලාදුරුද කොහෙද..කිසි ගාණක් නෑනේ.වැඩ ..වැඩ.. වැඩ..අරක බැලුවද සර් , මේක බැලුවද සර්, අරක කළාද සර් , මේක කළාද සර් , අරයට කෝල් කලාද , මෙයාට කෝල් කලාද.හීනෙනුත් එහෙම අහනවා ඇති හලෝ..…”
නර්මදා උස් හඬින් සිනහසුනේ ඔහු එසේ පැවසූ ආකාරයටය.
“ මං කතා කරන්නද දිනාරා එක්ක..”
“ එපා…එයාට දැනෙන්න දෙමු…”
“ ඔව් හැමදේටම වටින්නේ කාලය.ඉවසීමෙන් සැනසීම ලැබෙයි කියලා කතාවක් තියෙනවනේ…එයාටම දැනෙයි මං ගතපු තීරණය වැරදියි කියලා..”
“ සිස් මේ… පුළුවන්නම් අපේ අම්මව පොඩ්ඩක් බැලන්ස් කරගන්න බලන්න.අර ෆොටෝ වගයක් උස්සගෙන ඇවිල්ලා මට වද දෙනවා.මට කේන්ති යනවා ඒ වෙලාවට.බෑ හලෝ මගේ ඇස් දෙකේ ඒ රූපේ පිරිලා තියෙනකල් මට වෙන කවුරුවත් දිහා බලන්න බෑ..”
“ ඒක තමයි අනේ ආදරේ කියන්නේ..”
“ ඒකත් මහ පිස්සුවක්..කවුරු ඕක මැව්වද මන්දා අප්පා.හොයාගෙන ගිහින් ටී පනස් හයකින් වැඩේ දීලා එන්න ඕනේ.එහෙම නොවුනනම් කොල්ලා ෆුල් ජොලියේ ඉන්නවනේ”
“ අනේ ඔයා පව්…”
“ මටද කිව්වේ..”
“ ඔව් මෙතන වෙන කවුරුත් නෑනේ..”
“ පව් මම නෙමෙයි දිනාරා.මං වගේ හැන්ඩ්සම් ලුකින් කොල්ලෙක් ලබන්න එයාට පින නෑ.”
“ ඒක නම් ඇත්ත තමයි.”
“ මං ඒ ආඩම්බරකමටත් මාර ආසයි හලෝ.කොල්ලන්ව සත පහකට ගණන් ගන්නෙ නෑනේ.මං ඔය සමහර වෙලාවට දැකලා තියෙනවා බස් හෝල්ට් එකේ එහෙම ඉදිද්දි කොල්ලො බල බල ඉන්නවා.හෙන ගෙම්බර් පිට ඉන්නේ.”
“ ඒ කියන්නේ තමුසේ බස්ටෑන්ඩ් ගානෙත් කරකැවෙනවා.අකලංක ගලප්පත්තිට වෙච්ච දෙයක්..”
“ එහෙමමත් නෑ.ඉඳලා හිටලා පොඩි සර්ච් පාරක් දානවා මොනවද කරන්නේ කියලා.බිම බලාගෙන ගිහිල්ලා බස් එකට නැගලා.බිම බලාගෙන මරදානෙන් බැහැලා.බිම බලාගෙනම ගෙදර යනවා.”
“ මේ කෙල්ල මොනවා කරන්න හිතන් ඉන්නවද දන්නේ නෑ නේද.එහෙම තීරණයක් ගන්න තරම්.”
“ අනේ මන්දා. මමත් ෆොයින්ට් එකක් හෙව්වා හෙව්වා තවම මොකුත් හිතාගන්න බෑ.හැබැයි අක්කේ ඒ ගෙදර අයනම් මාර විදියට වෙනස්කම් කරලා තියෙනවා..”
“ එහෙම කිව්වද..”
“ ඔන්න ඔය මොකක් හරි දේපල ප්‍රශ්නෙකදි දවසක් නැද්දා කෙනෙක් කතා කරලා හොඳටම බැනලා.ඒ වෙලාවේ හරියට ඇඬුවා.හැමදේම කිව්වේ නෑ ඒත් අඬ අඬා කියපු සමහර දේවල් වලින් මට හිතුනා ඒ මිනිස්සු හිතාමතාම මේ ළමයව තනිකරල කියලා.’
“ සමහර විට ඔය පොඩි පොඩි දේවලුත් බලපාන්න පුළුවන් මල්ලි එයා මැරේජ් ලයිෆ් එකකට බය වෙන්න.අපි හෙමින් කතා කරමු..ඉස්සරහට ගොඩක් දේවල් වෙනස් වෙන්න පුළුවන්.බලාපොරොත්තු නැති කරගන්න එපා.මං හැමදාම ඔයාගේ පැත්තේ..”
එවර නර්මදා පැවසූයේ ඔහු අසලින් නැගී සිටිනා ගමන්ය.අකලංකගේ මේ ඉවසීම ගැන ඇගේ සිතෙහි වූයේ පුදුමයකි..ඔහුට වරදින්නට විදිහක් නැත.දිනාරා කෙරෙහි ඒ සිතෙහි වන ආදරයත් ගෞරවයත් සඟවා සිටින්නට තරුණයා නොදන්නා බව විශ්වාසය.
එවන් සිතක ආදරය ලැබිය හැකි යුවතිය වාසනාවන්තියක වගද විශ්වාසය.
( යළිත් හමුවෙමු දයාබරව )