සඳක් තනියම – 41

0
5484

 

“ ඒ මොකද්ද පුතේ කතාවේ තේරුම.ඔයා අනිත් ගෑණු ළමයි වගේ නෙමෙයි කියන කතාව.මොනවද පුතේ ඔයාට තියෙන අඩුපාඩු.”

“ ආන්ටි මල්ලි…”

“ මල්ලි ඔයාගේ අඩුපාඩුවක් වෙන්නේ කොහොමද පුතේ…”

“ කවද හරි මං මැරි කරන කෙනා මල්ලිට වෙනස්කම් නොකර ඉදියිද ආන්ටි මාව ජයසුන්දර වලව්වේ කියන පිළිගන්න මනුස්සයා මල්ලි වෙන තාත්ත කෙනෙක්ගෙ කියලා දැනගත්තට පස්සේ මට තරම් ආදරෙන් මල්ලිට සලකයිද දාන්ටි.තාත්තා නැති මට වලව්වේ මිනිස්සු මට කොහොමද සැලකුවේ කියලා මට හොඳට මතකයි.මගේ මල්ලි ඒ විදිහට එක දවසක්වත් අසරණ කරන්න මට බෑ ආන්ටි.ඊට පස්සේ අම්මත් නැතුව ආපහු වලව්වට ආවට පස්සේ මං හරියට ඒ ගෙදර හිටියේ හිඟන්නියක් ගානට.අත්තම්මා  නැති උනානම් සමහරවිට මල්ලිටයි මටයි ජීවත් වෙන්න විදිහක් නැතිවෙයි.අදටත් මට තනියම ඉන්න වෙලාවට හිතෙනවා මොකක්ද මං ඒ ගත කරපු ජීවිතේ කියලා.ඒ වගේ ජීවිතයක්  මල්ලිට උරුම කරලා දෙන්න මට බෑ ආන්ටි..”

“ පුතේ මල්ලිගෙ වගකීම සම්පූර්ණයෙන්ම මම බාරගන්නවා.ඔයාට මාව විශ්වාස නැත්නම් නීතියෙන්ම මම ඒ වගකීම බාර ගන්නම්..”

“ ඒක එහෙම කරන්න බෑ ආන්ටි.මට බෑ ආන්ටිගේ  ජීවිතේට එතරම් ලොකු වගකීමක් දීලා හිර කරන්න.”

“ හිරවෙනවා නෙමෙයි පුතේ මම සතුටින් නම් ඇයි මට ඒ දේ කරන්න ඉඩක් නොදෙන්නේ.”

“ අනේ මං දන්නෑ ආන්ටි ..අපි ආයේ  මේ ගැන කතා නොකර ඉමු.මං මැරි  කරන්නේ නෑ.ඒ තීරණය එහෙමම තමයි.ඔයා මාව ඔයා ගාව තියාගන්නකල් මං මෙහෙට වෙලා ඉන්නම්..මාව වැඩියක් නෑ නේද ඔයාට..”

 “ ගහනව දෙකක් මං මේ කෙල්ලට..මොනවද මේ අහන්නේ..පුතේ ඔයාට ඇත්තටම ආදරේ කරන ඔයාලගේ වගකීම් ගන්න පුළුවන් කෙනෙක් ඔයාට ලැබුනොත්.මේ කිසි දෙයක් ප්‍රශ්නයක් කර නොගන්න පවුලක් ඔයාට ලැ⁣බුනොත්..”

“ නෑ ආන්ටි   එහෙම මිනිස්සු නෑ.මට ආදරේ කරන මිනිස්සු ඉඳීයි හැබැයි මල්ලිව වගකීමක් කරගන්න කැමති වෙන මිනිස්සු නැතිවෙයි.”

“ පුතේ අකලංක පුතා…”

ප්‍රියංකාට පැවසීමට හැකි වූයේ එපමණකි. දිනාරා ඈ දෙස බැලුවේ තිගැස්සීගෙනය.ඇගේ මුවත් දෑසුත් විසල්ව තිබිණ.

“ සර්… සර් ..මෙහේ  ආවද ආන්ටි.”

“ කොහොමද පුතේ  මට එච්චර ලොකු දෙයක් හැංගුවේ.”

“ මට එහෙම කරන්න උනා ආන්ටි..ඔයා ඒක දැනගෙන හිටියනම් හරියට දුක හිතෙයි කියලා මට හිතුනා.සර් ආවද ආන්ටි….මම සර්ට කිව්වා මේ ගැන කිසිම දෙයක් ආන්ටි දැනගන්න ඕන නැහැ කියලා.”

“ අකලංක පුතා නෙමෙයි මට කතා කලේ තේජා..”

“ අනේ..මැඩම්  මොනවද කිව්වේ..”

“ ඇයි පුතේ ඒ වගේ ලස්සන ගෙදරක ඔයාට දොර ඇරලා තියෙද්දි ඔයා ඒ දොරෙන් ඇතුළු වෙන්නෙ නැත්තේ.ඒ හැමෝම ඔයාට කැමතියි..”

“ ඒ ගෙදර ලස්සන හින්දම තමයි ආන්ටි මට ඒ දොරෙන් ඇතුල් වෙන්න බැරි.ඒ ගොල්ලන්ගේ ජීවිතවල සැනසීම විනාස කරන්න බැරි.”

“ ඇයි එහෙම වෙන්නේ…”

“ එයාලා මගේ මල්ලි ගැන කිසි දෙයක් දන්නේ නෑ ආන්ටි.මම ගැන කිසි දෙයක් දන්නේ නෑ .මට නැන්දා කතා කරපු වෙලාවේ කිව්වා  මම අපේ තාත්තාගේ දුවෙක් නෙමෙයි කියලා.ඒක එයාට ඔප්පු කරන්න සාක්ෂි තියෙනවා කියලත් කියනවා.”

“ පුතේ ඔයා ඒ බොරු විශ්වාස කරනවද.”

“ අනේ නෑ… මගේ අම්මා කියන්නේ මගේ තාත්තා වෙනුවෙන් ප්‍රතිපත්ති රැකපු ගැහැණියක්.අන්තිම මොහොතෙත් එයා අත්තම්මව  සතුටු කරන්න අත්තම් මගේ සතුටට ඉඩ දුන්නා විතරයි.”

“ එහෙනම්….”

“ මගේ ජීවිතයේ ප්‍රශ්න පත්තරයක් ආන්ටි.එයාලා මට නඩු දානවලු….ඒ ප්‍රශ්න අරගෙන මට බෑ අකලංක සර් ළඟට යන්න. එයාලට තියෙන්නේ හරි ලස්සන ජීවිත.මිනිස්සු අහයි එයාලගේ පුතා මැරිකලේ කොහෙන්ද කියල.ජයසුන්දර වලව්වෙන් කිව්වට පස්සේ මිනිස්සු අහයි අර අනාථ වෙච්ච ගෑණිගෙ දුවද කියලා..පස්සේ ආයේ කසාද බැඳලා ළමයෙක් හම්බෙන්න ගිහිල්ලා මැරිලා ගිය ගෑනිගේ දුවද කියලා..”

“ ඔයා හැමදේ ගැනම හිතෙනවා වැඩේ පුතේ..එතකොට ඔයා ඔෆිස් එකෙන් අස් වෙන්න තීරණය කළේ ඒ නිසාද.” 

දිනාරා හිස වැනුවේ ‘  ඔව් ‘  යැයි පවසන්නටය.

“ අකලංක පුතා ඔයාගේ හිත රිදෙන්න මොනවා හරි කිව්වද.”

“ අනේ නෑ ආන්ටි.වචනෙකින් තියා බැල්මකින්වත් මගේ හිත රිද්දුවේ නෑ.මටත් ඒකයි දරා ගන්න බැරි.”

“ අනේ මන්දා  දරුවෝ…”

“ ආන්ටි  ප්ලීස් මගේ මේ තීරණය වෙනස් කරන්න උත්සාහ කරන්න එපා.ඒක මගේ හිතට හරි බරක්.”

“ ඔයා මෙච්චරම කියනවනම් මං ඒක නාහා කොහොමද පුතේ.ඒත් තව දහස් වතාවක් මේ තීරණය ගැන හිතන්න.ඒක හරි බරපතළ තීරණයක්.පුතේ ඔය දෙන්නම මගේ දරුවෝ.ඔය දෙන්නටම මං එකම වගේ ආදරෙයි.ඔය කාගේවත් ජීවිතේ නාස්ති වෙන්න හොඳ නෑ..”

“ මට ආදරේනම් ආන්ටි කරන්න ඕනේ ඒ දේ විතරමයි.මගේ ඒ තීරණය රැක ගන්න මට උදව් වෙන්න ආන්ටි ප්ලීස්…”

යුවතිය එවර ප්‍රියංකාගේ පපුවට බර වූයේ ඉකි ගසා හඬමින්ය.විනාඩි කිහිපයක් ගතව යනතුරු ඕ එක සීරුවට හඬා වැටුණාය.ප්‍රියංකා ඇයව නතර කරවන්නට උත්සාහ නොකළාය.දුක කඳුලක්ව හෝ පිටව යනවා නම් ඊට ඉඩ දිය යුතුය.ඔහු යුවතියගේ හිස කේ අතර තම ඇඟිලි තුඩු ගෙන ගියේ සීරුවටය.දෙදෙනා බොහෝ වේලා ගතව යනතුරු උන්නේ ඒ ඉරියව්වේමය.

තේජා ප්‍රියංකා හා ඇති වූ කතාබහ නර්මදා සමග පැවසූයේ රාත්‍රියේය.

“ ඒ දරුවාගේ විස්තර ඇහුවට පස්සේ මට ඇත්තටම ලොකු දුකක් ඇතිවුණා දුව.අපිට පුළුවන්නේ එයාට නැති වෙලා ගියපු ආදරේ දෙන්න.”

“ මං දන්නෑ ඒ  මොන හේතුවක්ද කියල සමහර වෙලාවට මේවා ගිය ආත්මවල බැඳීම් වෙන්නත් ඇති. මට පැය භාගෙකට වඩා දිනාරාත්  එක්ක කතා කරන්න හම්බවුණේ නැහැ ඒ උනාට මට හිතුනේ හරියට කාලාන්තරයක් තිස්සේ දන්න අඳුරන කෙනෙක් එක්ක කතා කළා වගේ හැඟීමක්”

“ මටත් ඒ ළමයා දැකපු පළවෙනි දවසෙම හරි ආස හිතුන දුව.ඒ නං එයාගේ තිබුණු රූපෙට. පස්සේ පස්සේ මහින්ද , ලොකු පුතා,  චූටි පුතා ගෙදර ඇවිල්ල කියන විස්තර ඇහුවට පස්සේ මට ඇත්තටම මේ දරුවාට ආදරේ හිතුනා.අපේ චූටි පුතා කවදාවත් ඒ වගේ ළමයෙකුට කැමති වෙයි කියලා මම හිතුවේ නෑ.”

“මල්ලිගේ තෝරා ගැනීම හරියටම හරි කියල තමයි අම්මේ විශ්වත්  කිව්වේ.”

“ ඒ දෙන්නත්  ඔයාලා දෙන්න වගේ සතුටින් හිටියොත් ඒ ඇති.මේ ඉවෙන්ට් එක ඉවර වුණාට පස්සේ අපි හැමෝම එහෙ යමු පුතේ.ගිහිල්ලා අපි දුවත් එක්ක කතා කරමු.එයාගේ හිතේ ජීවිතය ගැන. කසාඳේ ගැන මොනවා හරි බයක් කලකිරීමක් තියෙනවානම් අපි ඒක නැති කරමු.”

“ අම්මා  මල්ලිට කියන්න එපා එහෙනං..”

“ සප්‍රයිස් එකක්ද..”

“ ඔව් හැම වෙලේම කියනවනේ අපි දෙන්නා එකතු වෙලා ප්ලෑන් ගහනවා කියලා.ප්‍රියංකා චීචගේ  ගෙදරට යනකල්ම  ඒ යන්නේ  එහෙට කියලා කියන්න ඕන නෑ අම්මා.කිව්වත් අපි යන්නේ දිනාරාව බලන්න කියලා කියන්න ඕන නෑ.”

“ ඔයාගේ කැමැත්තක් ඔයානේ ඉතින් එයාගේ අක්කා , යාලුවා හැමෝම.”

=====******====******======*****===

ගෙවී ගිය දින දෙක තුන හිතුවාටත් වඩා අවිවේකී විය.අකලංකත් දිනාරාත් බොහෝ විට මුණගැසුනේ දුරකථනයෙන්ය .අකලංකට කාර්යාලයේ රැඳී සිටීමට වේලාවක් නොවූ තරම්ය.උත්සවයට සහභාගී වීමට ආරාධනා ලැබ තිබුණේ අගමැතිතුමාටය.තවත් රටෙහි විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන උගත් විද්වතුන් රැසක් එයට සහභාගී වන්නට නියමිතව තිබිණ.

 රාත්‍රියේ කතා කළ අත්තම්මා පැවසූයේ ලියානා  තම සැමියා සමග රණ්ඩු වී යළිත් වලව්වට පැමිණ ඇති වගය.

“ ඒ මිනිහට හැම තැනම ගෑණු ඉන්නවලු  සුදු මැණිකේ.අනික ඉතින් අපේ දරුවොත් යන එන තැනක ඉවසගෙන ඉන්න දන්න දරුවො නෙවෙයිනේ.ඔය වගේ අඩුපාඩු ගොඩක් මිනිස්සු ළඟ තියෙනවා.කසාදෙ කඩාගෙන ගෙදර දුවගෙන එන එක නෙමෙයි හරි වැඩේ.ඉවසීමෙන් ඒ මනුස්සය හදාගන්න උත්සාහ කරලා බැරි උනොත්නේ  අතෑරලා දාන්න ඕනේ..අපේ මිනිස්සු මුලින්ම පටන් ගන්නේ අන්තිමට කරන්න ඕන දෙයින්…”

දිනාරාගේ සිතෙහි සැබවින්ම උපන්නේ දුකකි.ඇයට සිහි වූයේ අම්මාය.කුමන හෝ හේතුවකට ඒ  සා අඩු වයසකින් ගැහැණියක තනි විය යුතු නොවේ.

මෙවර ආයතනයෙන්  පවත්වන උත්සවයේ ප්‍රධාන තැනක් දිනාරාට හිමිව තිබිණ.අකලංක සෑම තැනකදීම ඇයව තමා ඉදිරියෙන්ම තබා ගත්තේ මේ සියලු කටයුතු සංවිධානයේ පුරෝගාමියා වූයේ ඇයයැය  පවසමින්ය.ඔහු ඒ තැන ඇයට ලබා දුන්නේ නිර්ලෝභීවය…

( යළිත් හමු වෙමු දයාබරව )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here