Not Without You – 30

0
6612

දෙව්නි සම්බන්ධයෙන් සචින් අයියා දැඩි තීරණයක් ගෙන තිබිණ. ඔහු මුලින් ම සිදු කොට ඇත්තේ දුරකතන ඇමතුමක් දී ඇය ගේ දෙමව්පියන්ව ද වැඩිමහල් සහෝදරයාව ද දෙව්නි ගේ තත්වය පිළිබඳව දැනුවත් කිරීමයි. ඉන්පසු ඔවුන්ව සිය නිවසට ගෙන්වාගෙන දෙව්නි ද ඉදිරියේ සියල්ල පාපොච්චාරණය කර තිබේ. මේ තත්වය යටතේ මේ ආකාරයෙන් දිගට ම ඇය සමග ජීවත් වීම අපහසු බවත්, තෝරා ගත හැකි මාර්ග දෙකක් ඇති බවත් ඇයට අවධාරණය කොට ඇත්තේ ඒ වෙලාවේ ය. එක් මාර්ගයක් නම් මානසික උපදේශනය සඳහා දෙදෙනා ම යොමු වී, තමන්ට ඇති ගැටළු ගැන විවෘත සංවාදයක යෙදී ප්‍රශ්නය වටහා ගනිමින් හා විසඳා ගනිමින් එකට ජීවත් වන්නට උත්සාහ කිරීමයි. ඒත් අසාර්ථක වුවහොත් ඊළඟ පියවර කරා එළඹිය හැක. දෙවන මාර්ගය නම් ඒ තරම් කාලයක් ගත නො කොට දැන්ම නීත්‍යානුකූල වෙන්වීමක් සඳහා කටයුතු සූදානම් කිරීමයි.

දෙමාපියන් ගේ හා සහෝදරයා ගේ ද මැදිහත්වීම මත දෙව්නි උපදේශනය සඳහා යොමු වීමට අදිමදි කරමින් එකඟ වී තිබේ. ඇයව ඊට යොමු කරනා බවට පවුලේ අය සචින් අයියා ට පොරොන්දු දී ඇත.

“දික්කසාදෙකට යනවට වැඩිය ඇත්තටම මං කැමතියි සකී මේ ප්‍රශ්නෙ මේ විදිහට විසඳගන්න පුළුවන්නං. මොකද ගැලපෙන කෙනෙක් හම්බවෙනකල් ගෑනු මාරු කර කර යන්න බෑනෙ”

සචින් අයියා හඬන්නට බැරි කමට නගනා මන්දස්මිතයකින් කීවේ ය.

“දෙයියන්ගෙ පිහිටෙන් හොඳම දේ වෙයි සචින් අයිය. අපි බලාපොරොත්තු තියං ඉමු”

පළවෙනි වතාවට උපදේශන සැසියට සහභාගී වී ඇවිත් සචින් මට ඒ විස්තර කීවේ සුභවාදී හැඟීමකිනි. එහිදී දෙව්නි යම් යම් එකඟතා වලට ඇවිත් තිබේ.

“එයාට කතා කරන්න යාළුවෙක් හරි හිටියනං තත්වය මෙච්චර වර්ස් නොවෙන්න තිබුණ සචින් අයිය”

“ඉතිං සකී මං කියල තියනවද එයාට යාළුවෙක් ආශ්‍රය කරන්නෙපා කාත් එක්කවත් කතා කරන්නෙපා කියල. එයාට ඕන්නං මෙච්චර ළඟ ඉන්න ඔයාව වුණත් ආශ්‍රය කරන්න තිබුණනෙ”

“හරි හරි. ඉස්සරහට එයාගෙ පැත්තටම චෝදනා කරන්නැතුව එයා එහෙම වුණේ ඇයි කියන එකට සාධාරණ විසඳුමක් හොයල දෙන්න බලමු සචින් අයිය. මොනා වුනත් එයාට කාගෙම හරි උදව් ඕනනෙ. ඔයා එතනදි එයාට ඉන්නව කියන එක හැම තිස්සෙම දැනෙන විදිහට දේවල් කරමු. අපි කවුරුත් ආස අපි ගැන බලන අපි ගැන හිතන අපිව දැනෙන කෙනෙක් අපිට ඉන්නවනංනෙ”

එසේ පවසත්දී මගේ හිතේ හිටියේ ආදිල් ය. මග තොටකදී හමු වුණෝතින් මා කැමති දෙයක් ගෙන එන විදිහේ පුරුද්දක් පසු ගිය කෙටි කාලය තුළ ඔහු ඇති කරගෙන තිබෙන බවක් මට දැනේ. ආපසු කල්පනා කරගෙන යත්දී ඔහු එවැන්නක් ගෙනැවිත් මා අත තබනා හැම වෙලාවක ම මා සතුටෙන් පිනා ගොස් තිබේ. ඒවා ඒ තරම් මිල අධික දෑ නොවුණ ද, මට එවැන්නක් මිල දී ගැනීමේ හැකියාව ඕනෑ තරම් තිබිණි ද, එවැන්නක් දුටු විට ඔහු ට මා මතක් විණැයි ඇති වන සිතිවිල්ලේ ප්‍රීතිය, මගේ දේපළ සියල්ලට හිලව් කොටවත් ලබා ගත නො හැකි ය.

“ඇත්තටම තමුසෙල දෙන්න අතරෙ දැන් මොනාද වෙන්නෙ…”

මගේ මිතුරියෝ, කී වෙනි වතාවට ද මන්දා මේ දිනවල අප හමු වූ වෙලාවක විමසූහ.

“එහෙම මුකුත් නෑ අනේ”

කී වෙනි වතාවට ද මන්දා මම ද මිමිණුවෙමි.  කිසිත් අමුතු යමක් නො සිදු වූ බව ඇත්ත ය. නමුත් අප අප වෙතට ඇබ්බැහි වෙමින් හිඳිනා බවක් අප දෙදෙනා ම දැන සිටියාට සැක නැත. මම ඒ ඇබ්බැහි වීම තුළ වන ආශ්වාදය විඳ ගතිමි. අයිතිවාසිකම් ගැන වද නොවී සිටියෙමි.

ආසන්න දිවා කාලයක මා බැල්කනි සැන්සවේරියා උද්‍යානය තුළ සුවයකට සමවැදී සිටියදී, දෙව්නි ආදිල් සිටි කාමරයේ බැල්කනිය අතුගාන්නට පිවිසියා ය. ඇය මා දුටුවේ එහි පැමිණි පසුයි. නො එසේ වී නම් නෑවිත් මගහැර යනු ඇත. කෙසේ හෝ වේවා මම බලහත්කාරයෙන් සිනහවක් දුන්නෙමි. දෙව්නි ට එය නො පිළිගෙන බැරි විය. වෙනදාට නම් සිනහ වෙන්නටවත් මුහුණ නො බලා ඇය පිටුපා යන්නී ය. ඉතින් මේ කුඩා සිනහවත් ලොකු ජයග්‍රහණයකි.

“අතුගානවද දෙව්නි අක්ක…”

මට ඕනෑ වූයේ ඇයට ඉක්මනින් නික්ම යන්නට ඉඩ නොදී කතාවකට අල්ලා ගන්නටයි.

“ඔව් අනේ… හුඟ දවසකින් බැල්කනි අතුගෑවෙ නෑ. කුණු පිරිල ජරා වෙලා”

“සචින් අයියව අල්ලගෙන සුද්ද කරවන්න සන්ඩේට”

“අපෝ… මෙලෝ වැඩක් කරන්නෑ අනේ”

“දෙන්නත් එක්ක අස් කරමු කියල අල්ලගන්න. එතකොට නෑවිත් ඉන්න බෑනෙ”

 මුල දී ආයාසයෙන් සිනහ වූ ඕ මේ වතාවේ නිරායාස සිනහවක් පෑවා ය.

“ආන්ටිටත් දැන් වැඩ කරන්න අමාරු ඇති. නැත්තං ඉස්සර එයා ඔය ඔක්කොම කරනවනෙ”

දෙව්නි ඊට ප්‍රතිචාර දැක්වූයේ නැත.

“ආන්ටි නැද්ද අක්ක ගෙදර… දැක්කෙ නෑ පිරිතෙං පස්සෙම”

“ඔය හිටියෙ”

ඇය ඒ කීවේ වැඩිපුර හඬ පිට නො වෙන සේ ය. නමුත් ඒ ඉරියව්ව තුළ වූයේ සඟවා ගන්නට බැරි වූ නො රිස්සුමකි. දෙව්නි ගේ ප්‍රශ්නය නැන්දම්මා කේන්ද්‍ර කොටගෙන හටගත් එකක් විය හැකි බවට අනුමානයක් ඒ වෙලාවේ මට දැනිණ.

“ඔතන මල් පැළ නේද ඔය… වතුර දාන්නෙ කොහොමද අනේ…”

ඇය ප්‍රශ්නයක් නැගීම ගැන තුනී සතුටක් මට ඇති විය.

“මේ සැනසවේරියනෙ අක්ක..මේවට වැඩිය වතුර ඕන නෑ. සතියකට දෙකකට සැරයක් දැම්මත් ඇති. මං ඉතිං වෝටරින් කෑන් එකකට ගෙනත් දානව”

ඇය ඒ ගැන වැඩි උනන්දුවක් දැක්වූයේ නැති බව පෙනිණ.

“ආසද ඔයා මල් වලට… මං දෙන්නං. එන්න වෙලාවක”

දෙව්නි මඳහසක් විතරක් දුන්නා ය.

“සකී බබා”

යනුවෙන් මානෙල් හඬගානු ඇසුණේ ඒ වෙලාවේ ය. ඇගේ ස්වරයෙහි කලබලකාරී බවක් තැවරී තිබුණෙන් හේතුවක් නො දැන ම හිතේ ගැස්මක් පැතිර ගියේ ය.

“ලොකු නෝනට අසනීපයි”

“ආච්චට… ඇයි…”

කියමින් මා වහා හැරී පහළ මහළ තෙක් ම දිව්වේ අසිහියෙන් වාගේ ය.

 “හුස්ම ගන්න අමාරුයිලු. පපුව හිර කරනව වගේලු”

ආච්චා හිටියේ හයියෙන් හුස්ම ගනිමිනි. ඒ වෙලාවේ මට මොනවා සිතිණි ද මොනවා නො සිතිණි ද කියා වෙන් කොට ගත නො හැකි තරමි.

“ආච්ච”

මම කලබලයෙන් යහනේ ඇයට නැඹුරු ව හිඳ ගතිමි. ආච්චා දෑස් උස්සා මදෙස බැලූ බැල්ම දිවි තිබෙන තුරු මට අමතක නොවෙනු ඇත. මගේ හද ගැස්ම අතිශය ඉහළ නැගී තිබිණ. නමුත් මා සිහි කල්පනාවෙනුත් හැකි තරම් ඉක්මනිනුත් ක්‍රියාත්මක විය යුතුව ඇති බව මොකක්දෝ බලවේගයක් විසින් මා දැනුවත් කළා සේ ය.

“චුට්ටක්වත් බය වෙන්නෙපා ආච්ච. ඔයාට මොනවත් වෙන්නෑ. අපි ඉක්මනට හොස්පිට්ල් එකට යනව”

එසේ පවසා වහා රිය වෙත දිව ගොස් මම එය බරාඳය අයිනට ම ගතිමි.

“ඔය පැත්තෙන් අල්ලන්න මානෙල් අම්ම”

කියමින් ආච්චා ගේ බඳ කොටස යටින් දෑත දමා මානෙල් ගේ ද සහායෙන් ඇය ඔසවා ගෙන රිය වෙත ගියෙමි. ඊට පස්සේ මා රිය පැදවූයේ අතිශයින් ම මනා පුරුද්ද මත ය. එක පාරක්වත්, එක මෝටර් රථයක්වත් මා දුටුවේ නැත. මගේ සිත්හි ඇඳී තිබුණේ රෝහලේ චිත්ත රූපය පමණකි. මගේ ඉලක්කය වූයේ ආසන්න ම රෝහල වන තලවතුගොඩ ගමනාන්නතයයි. එහි ළඟා වන්නට විනාඩි කීයක් ගතවිණි ද කියා මා දන්නේ නැත. ඒ මුළු කාලය පුරා ආච්චාව මම විශ්වය භාරයට පනවා සිටියෙමි. මට හරියට හුස්මක් වැටුණේ ඇයව හදිසි ප්‍රතිකාර ඒකකයෙහි වෛද්‍යවරුන් භාරයට පත් කළ ඉක්බිතියි.

“සකී බබා… කෝල් එකක්”

කියමින්, ඇය භාරයේ තිබි මගේ ජංගම දුරකතනය මානෙල් මවෙත පෑවා ය. ඇමතුම ආදිල් ගෙනි.

“ඕගොල්ලො ගෙදර නැද්ද සකී… දොරවල් වහල කවුරුවත් පේන්න නැති නිසා බැලුවෙ”

“අනේ… ඔයා ගෙදර ගියාද… කලබලේට පණිවිඩක් දෙන්නත් බැරි වුණා ආදිල් සොරි”

“හරි හරි ඒකට කමක්නෑ”

“ආච්චා අසනීප වුණා ආදිල්. අපි දැන් හොස්පිට්ල් එකේ”

“ඉතිං ළමයො. ඇයි මට කතා කළේ නැත්තෙ… මං දැං එන්නං”

“කමක් නැද්ද ඔයාගෙ වැඩත් එක්ක…”

“වැඩනං මොනාද සකී…මට පැය බාගයක් දෙන්න”

මම පිස්සුවෙන් වාගේ පුටුවක් මතට වැටී සිටියෙමි. එය පුදුම අවිනිශ්චිත බවකි. රෝහලක් තුළදී තරම් වෙන කිසිදු තැනකදී ඒ හැඟීම නො දැනෙනවා විය හැක. ආච්චාව සුවපත් කර දෙන්නැයි පෙනෙන නො පෙනෙන සියලු බලවේග වලින් මම ඉල්ලා සිටියෙමි. සිදු වෙනවාට මා අකමැති ම යමක් සිදු වූවොත් කුමක් කරන්න ද?

ඇතුළාන්තයෙහි වූයේ ඉකි ගගහා හැඬිය යැකි භීතියකි. තනිකමකි. අසරණකමකි. නමුත් මා නාඬා සිටියේ කෙසේ ද? තනි වූ ගැහැනියක වශයෙන් ඒ තරම් හයියක් මට දුන්නේ සොබාදහම ද?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here