රස ගුණ සැර පිරුණු මාළු මිරිස් කරියක් හදමු

මාළු මිරිස් කියන්නෙ අපේ එළවළු මල්ලෙ අනිවාර්යයෙන් දකින්න ලැබෙන ශ්‍රී ලංකාවෙ හරිම ජනප්‍රිය එළවළු වර්ග අතරින් එකක් කියල ඔබ හොඳින්ම දන්නව.

කරවල, හාල්මැස්සො වගේ තෙම්පරාදු වලට සලාද වලට නැතුවම බැරි මාළු මිරිස් වලින් රස ගුණ සැර පිරුණු ව්‍යාංජනයක් හදාගන්නෙ කොහොමද කියල ඔබට කියන්නයි smart lady අපි මේ සූදානම් වෙන්නෙ.

ප්‍රොටීන, ෆයිබර් සහ විටමින් B 6 වලින් සංතෘප්ත මාළු මිරිස් මානසික ආතතිය වළක්වා ගන්න, ආහාර ජීර්ණය ක්‍රමවත් කරන්න, ශරීරයේ අනවශ්‍ය බර අඩු කරන්න, රුධිර පීඩනය අඩු කරන්න වගේම ප්‍රතිශක්තිකරණ ඇති කරන්නත් ඉතාම හොඳ සහයක් ලබාදෙන ආහාරයක්.

එහෙනම් අපේ ව්‍යාංජනයට අවශ්‍ය ද්‍රව්‍ය මුලින්ම සූදානම් කරගමු.

අවශ්‍ය ද්‍රව්‍ය 

මාළු මිරිස් කරල් 05 ක් 06 ක් 

සිහින්ව ලියාගත් රතුළූණු ගෙඩි 04 ක් 05 ක්

කුඩාවට කපාගත් සුදුළුණු බික් 02 ක්

කරපිංචා ඉත්තක කොළ

රම්පෙ කෑල්ලක්

අඟලක පමණ කුරුඳුපොතු කෑල්ලක් 

සිහින්ව ලියාගත් උම්බලකඩ මේස හැඳි 02 ක් 

සියඹලා ඉස්ම

පොල් කිරි 250 ml ක් 

ලුණු කුඩු

තුනපහ කුඩු මේස හැඳි ½ ක් 

කහ කුඩු තේ හැඳි ¼ ක් 

අබ ඇට තේ හැඳි ½ ක් 

තෙල්

සාදාගන්නා ආකාරය 

මුලින්ම, මාළු මිරිස් කරල් හොඳින් සෝදා වෙන් නොවෙන සේ දෙකට පලාගන්න.

භාජනයක් ලිප තබා එයට තෙල් ටිකක් එකතු කරගන්න.

තෙල් රත්වූ විට ගින්දර අඩුකර මාළු මිරිස් කරල් භාජනයේ අතුරා පැත්තෙන් පැත්ත හරවමින් විනාඩි 03 ක් පමණ මාළු මිරිස් කරල් ටික බැදගන්න.

ඊළඟට එයට කපාගත් ලූණු, සුදුළූණු, කරපිංචා, රම්පා, කුරුඳුපොතු සහ අබ ඇට එකතු කර මාළු මිරිස් කරල් පොඩි නොවෙන සේ හොඳින් කලවම් කරගන්න.

භාජනයේ පියන වසා මඳ ගින්නේ විනාඩි 04 ක් 05 ක් පමණ පිසගන්න.

එයට සියඹලා ඉස්ම, තුනපහ කුඩු, කහ කුඩු සහ රස අනුව ලුණු කුඩු එකතු කර නැවත හොඳින් කලවම් කරගන්න.

විනාඩියක් පමණ තබා පොල් කිරි සහ උම්බලකඩ එකතු කර කලවම් කරගන්න.

නැවත භාජනයේ පියන වසා විනාඩි 05 ක් 06 ක් පමණ පිසගන්න.

දැන් ලිපෙන් ඉවත්කරගෙන උණුසුම්වම රස විඳින්න ඔබට පුළුවන්.

එහෙනම්, ඔන්න මාළු මිරිස් ව්‍යාංජනය පිළියෙල කර අවසන්.

බත්, පාන්, රොටී, පරාටා මේ ඕනෑම දෙයක් එක්ක මාළු මිරිස් රසවිඳින්න ඔබට පුළුවන්.

සටහන – දුලානි නවෝද්‍යා

Related Articles

Don't Miss


Latest Articles