සාගර තරංගා – 25

0
7189

එදා මේධංග ගෙදර ආවේ මත් වෙන්න ඕන කරන බඩු ටිකකුත් අරගෙනය. “තරංගා තමාව කසාද බැඳ ඉන්න අතරවාරයේම වෙන මිනිහෙක් එක්ක පැටලී තමන්ව රවට්ටා ඇති බවට” මේධංග හිත ඇතුලෙන් කේස් එකක් බිල්ඩ් කරගත්තේය. ඒ අනුව දැන් කරන්න තියෙන එකම දේ තරංගා තමන්ව රවට්ටා තියෙන බවට ඔප්පු කර දික්කසාදය දී ඇයට ලැජ්ජ කරන එකය. ඒකට ඔක්කොටම කලින් කරන්න ඕන තමන්ට නීතිය ගැන කියාදෙන්න ආ කේතකී මහඉලුක්කුඹුරට දුරකතන ඇමතුමක් දී තමන්ගේ මහ ලොකු ක්ලයන්ට් ගැන ඇත්ත තේරුම් කර දෙන එකය.

“ඕකුන් හිතන්න ඇත්තෙ ඉල්ලපු ගමන් මං ගොනා වගේ දික්කසාදෙ දෙයි කියලා වෙන්නැති. බැල්ලි. මාවත් රවට්ටටල, ලෙඩ ලමයව කරේ තියාගෙන පත්තිනි අම්මා වගේ රඟපපා නාඩගම් නටන බැල්ලි. මං ඕකිගෙ සායම යවනව මේ පාර. යාලුවෙච්ච කාලෙ ඉඳල ඕකි ඉඳියෙ මටත් වඩා ඉහලින් නෙ. මට කලින් මාස්ටර්ස් එක කරා, මට කලින් ප්‍රමෝට් උනා කියලා. මම මේ පාර තමයි ඕකුන් හැම එකාටම කියල දෙන්නෙ මං කවුද කියලා.

ඕකි අර මිනිහා එක්ක වාහනේ නැගල යන ඒවයි පින්තූර ගත්තනම් ඕකිට වෙන සම්බන්දයක් තියෙනව කියලා ඔප්පු කරලා දික්කසාදෙ ගත්තනම් ඕකිට තමයි ලැජ්ජ” කියා හිත හිත තනිවම කතාකරමින් එදා රැයම බෝතලේකට යටකරන්න වෙච්ච එක ගැන දුකක් මේධංග ගේ හිතේ තිබ්බෙ නැත. මේධංගට උවමනා කරන එකම දේ මේ දික්කසාදෙට හේතුව ඔය තරංගා කියන ආකාරයේ තමන් ඇයටත් ළමයටත් නරක විදියට සලකපු එක නොව තරංගා කාලාන්තරයක් තිස්සෙ තමන්ගෙනුත් අනිත් අයගෙනුත් හංගගෙන උන්නු අනියම් ඇසුරක් බව ලෝකයටම කියන්න ලැබීම තමන්ට කාලාන්තරයකට පස්සේ ලබන්න හැකි ජයක් බව මේධංග සිතුවේය. තරංගාට ඕටිසම් සහිත දරුවෙකු ලැබීම තමන්ට වඩා ඇයව පල්ලෙහට කර සලකන්නට හේතුවක් වෙතැයි මේධංග බලන් උන්නත් මිනිස්සු ඒක දැක්කෙ එහෙම නොවේ. ඔවුන්ට අනුව ගෙදර වැඩ කරගෙන, දරුවත් බලාගෙන හැමදේම කරන තරංගා වනාහී “බ්‍රේව් මම්” කෙනෙකි. එතනින්ද ලබන්න නොහැකි වූ තමන් ගැන අභිමානය දික්කසාදයෙන් හෝ ලබන්නට හැකිනම් කියා බලාපොරොත්තුවක් තබාගැනීමේ වරදක් මේධංග දුටුවේ නැත.

කේතකී මහඉලුක්කුඹුර උන්නේ තරංගා එක්ක දික්කසාදය ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ගමන් ය.

“අපේ කේස් එක ස්ට්‍රෝන්ග් කරගන්න අපිට ස්ට්‍රෝන්ග් එවිඩන්ස් ඕන. ඔයා මාත් එක්ක ශෙයා කරගත්ත මේධංග බනින බබාට එහෙම එක එක ඒව කියන රෙකෝඩින්ග්ස් ටික මම ඔක්කොම ඇහුවා. ඒ ටික ප්‍රමාණවත් අපිට.හැබැයි තව කවුරුහරි ඉඳියනම් ඕක විට්නස් කර කෙනෙක් අයිඩියල්”

“එහෙම කෙනෙක් නෑනෙ මැඩම්. මේධංග ඔය කියන කරන ඒව ඔක්කොම කරේ ගෙදරදිනෙ. එලියෙදි එයා එහෙම අපිට බැණපු ඒව මේව මුකුත් නෑ. කොටින්ම අපෙ අයියල අක්කල ඉස්සරහවත් එයා එහෙම කතා කරලා නෑ. ගෙදරදි ඉතින් ඕව ඇහුනෙ කරේ එයාගෙ අම්මට විතරනෙ. ඒ මනුස්සය කීයටවත් තමන්ගෙ පුතාට විරුද්ධ ව සාක්කි දෙන්න එන්නෙ නෑනෙ”

“ඔව් ඒක නම් ඇත්ත. අම්මලට ඉතින් තමන්ගෙ පුතාලා මොනව කරත් ලොකුයිනෙ. අම්මාගෙන් නම් අපිට උදව්වක් ගන්න පුලුවන් වෙයි කියල මම හිතන්නෙ නෑ”

“රෙකෝඩින්ග්ස් ඒව එහෙම යූස් කරලා අපිට කේස් එක දිනන්න බැරිවෙයිද මැඩම්?”

“නෑ එහෙම හිතන්න එපා. ඔයා මේක ඔලුවට ස්ට්‍රෙස් එකක් කරගන්න එපා. අපි ට්‍රයි එකක් දීලා බලමු. එනිවේ මම ආයෙම මේධංගට කෝල් එකක් දීල බලන්නම්. මොකද අපි අපේ පැත්තෙන් කේස් එක කෝට්ස් දැම්මත් ඒ මනුස්සය ආවෙ නැත්තම් මේක නිකන් ඇදෙනවනෙ”

කේතකී මහඉලුක්කුඹුර මේධංගව යලි ඇමතුවේ අන්න ඒ කරුණ පදනම් කරගෙනය. ඒ මේධංග තරංගාව සහ සාගරව ෆලෝ කර දවස් කිහිපයක් ගෙවුණ තැනදීය. මේධංග උන්නේ කොහොමත් කේතකී මහඉලුක්කුඹුරගේ දුරකතන අංකය දුරකතනයේ ගබඩා කරගෙනය. ඒ පසුව ඕනෑකමක් වෙතොත් කතාකරනවා යැයි හිතාගෙනය. කේතකීගේ නම දුරකතන මුහුණත මත ලියවී තිබෙනු දුටු විගස මේධංගගේ මුහුණේ සිනාවක් ඇඳුනේ තමන්ගේ පැත්තෙන් හොයාගත්ත කරුණු නීතිඥවරිය සමග බෙදාගත් පසු කේතකී මහඉලුක්කුඹුරට දහවලේත් තරු පෙනෙන බව දන්න හන්දාය. 

“හෙලෝ මහඉලුක්කුඹුර මැඩම් කතා කරන්න කතා කරන්න” කියා මේධංග තමන්ව අමතද්දිත් මේ අමුතු කටහඬ පිටිපස්සෙ මොකක් හෝ දෙයක් තියෙන බව තේරුම්ගන්න කේතකී මහඉලුක්කුඹුරට බැරිකමක් තිබ්බෙ නැත. තමන් මේ නීතිඥ ජීවිතේ තුල මෙවන් මිනිස්සු දහසකට සාර්තකව මූණ දී ඇති බව කේතකීට මතකය.

“මිස්ටර් මේධංග තාම මට මිස්ටර් මේධංගගෙ ලෝයර්ගෙ ඩීටේල්ස් දුන්නෙ නෑ”

“අහ් ඔව් ඔව් මම මගේ ලෝයර්ට මේ ගැන ඉන්ෆෝම් කරා. එයා ඉක්මනටම මැඩම්‍ට කෝල් කරාවි”

“මිස්ට මේධංග ලෝයර් කෙනෙක්ට කතා කරා කියන්නෙ මේ ගැන ඩිසිශන් එකක් ගත්තා කියන එක එකනෙ. ඕකේ නයිස් දෙන් විල් ප්‍රොසීඩ්…”

“ඉයස් ඉයස් මම ඕල්‍රෙඩි ඩිසිශන් එකක් ගත්ත. කොහොමත් මේ ළමේක්ව ඉස්සර කරගෙන වෙන වෙන මිනිස්සු එක්ක රවුම් ගහන ගෑණියෙක්ව තවදුරටත් මගේ වයිෆ් විදියට තියාගෙන ඉන්න උවමනාවක් මට නෑ. මට දැනටත් සැකයි ඔය දරුවත් මගේද කියලා. තමන්ගෙ පැත්තෙන් ඔච්චර දික්කසාදෙ ගන්න මහන්සි වෙනවා ඇත්තෙ සමහරවිට වැරැද්ද මගේ පිටට දාලා හැමෝගෙම අනුකම්පාව දිනාගෙන තව කසාදයක් කරගන්න වෙන්නැතිනෙ. අනේ අපේ කිසි විරුද්ධත්වයක් නෑ. දික්කසාදෙ එකපාරක් බැරිනම් දහපාරක් දෙන්නම්. හැබැයි ඔය නෝනට කියන්න මෙච්චර දවසක් අහිංසක වෙස් මූණක් දාගෙන කරපු අහිංසක රඟපෑම් මෙතනින් ඉවරයි ඇන්ඩ් ඒව ඉවර කරන්නෙ මම මගේ විදියට බව” කියා දුරකතනය තිබ්බ මේධංග හිතින් හීන් හිනාවක් නැගුවේ “ගෑණිට මම බෙහෙත් පොවන්නෙ ලෝයර් හරහා” කියලා හිතාගෙනය.

මේධංග කිව්ව කතාව ඇත්තටම කේතකීට තේරුණේ නැත. තමන් නොදන්න තරංගා ගැන යම් දෙයක් මේධංග දන්න බවා තේරිච්ච හන්දාම කේතකී ඊලඟ ඇමතුම ගත්තේ තරංගාටය.

“මේධංග එහෙම කතාවක් කිව්වෙ ඇයිද කියන්න මම ඇත්තටම දන්නෙ නෑ. හැබැයි තරංගා කිව්ව කතා අනුව මම විශ්වාස කරනවා තරංගා මට සම්පූර්ණ ඇත්ත කියනව කියල සහ තරංගා මේ ඩිවොස් එකට ඉල්ලන්නෙ වෙන කිසි අෆෙයාර් එකක් නිසා නෙවෙයි ඇත්තටම මේධංගගෙ කෘවල් ඇන්ඩ් ටොක්සික් බිහේවියර් එක නිසා කියලා

බට් අපි හැමෝම මිනිස්සුනෙ. අපි ආදරේ ඉල්ලන මිනිස්සුන්ගෙන් අපිට ආදරේ ලැබෙන්නෙ නැතිකොට ඉතින් අපි ආදරේ දෙන මනුස්සයන්ට සමීප වෙනවා ඒක සාමාන්‍ය දෙයක්. හැබැයි මම හිතන්නෙ එහෙම දෙයක් තිබුනත් නැතත් මේ වෙලාවෙ තරංගා තමන් ආශ්‍රය කරන අය ගැන උනත් දෙපාරක් හිතලා ඒ කමියුනිකේශන්ස් පරිස්සමට කරගෙන යනවා නම් හොඳයි කියලා තමයි මම හිතන්නෙ”

මේධංග තමන් ගැනත් සාගර ගැනත් දැනගෙන ඇතිබව තරංගා තේරුම් ගත්තේ ඔන්න ඔය විදියටය. මේධංග කිසිම වෙලාවක තමන්ව ෆලෝ කරන්න පුලුව්ස්න් බව තමන්ට නොහිතිච්ච එක ගැන තරංගා එවෙලේ ඇත්තටම දුක් වුණාය. තමන්ට තමන් දන්න මිනිහා ගැන මීට වඩා හිතන්න තිබුන බව තරංගා හිතුවාය.

එහෙත් දැන් වෙච්ච දේ වෙලා අහවරය. දැන් කරන්න ඕන ඒ වෙච්ච් දේවල් වලින් තව නරක දේවල් වෙන එක වළක්වාගන්න එකය. තරංගා සාගරට කෝකටත් මේ ගැන දැනුම් දෙන්න හිතුවේ මේධංග ඉස්සරහට මොන මොනවා කරන්න ඉන්නවද කියා හිතාගන්න බැරි හන්දාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here