Not Without You – 37

0
6052

ආදිල් මන්රූ රත්නායක

කොළඹින් ටික ටික ඈත් වෙලා නුවරට ලං වෙද්දි මට දැනුණෙ මාව එහෙම පිටින් ම කැඩිල බිඳිල ගිහිල්ල වගෙයි. ඒ විසිරුණ කොටස් එකතු කරල ආයෙමත් මාව ගොඩනැගුවොත් මං නුවරට අයිති මනුස්යෙක් ද නැත්තං කොළඹට අයිති මනුස්සයෙක් ද කියල වෙන් කරල අඳුරගන්න බැරි  තරමයි. ඒක හරියට නිකං වානරයගෙන් වාමනය වෙන් වෙන තැන හරියට ම අඳුරගන්න බෑ වගේ. නුවර ඉපදිලා ප්‍රාථමික අධ්‍යාපනය නුවර ම ලබල පහේ ශිෂ්‍යත්වෙන් කොළඹ ගිය මං ආපහු නුවරයෙක් වෙන්නෙ පේරාදෙණිය විශ්ව විද්‍යාලය මගේ උසස් අධ්‍යාපන ඉසව්ව වුණ නිසා. උසස් පෙළ ඉවර වෙලා නුවර පදිංචියට එද්දිවත් කොළඹ දාල එන්න බෑ වගේ හැඟීමක් මට ඇති වෙලා නෑ. ඒත් ජලයෙ ආරම්භවුණා කියල විශ්වාස කරන සත්තු හෙමි හෙමිහිට ගොඩබිමට හුරු වෙලා ඇබ්බැහි වීමකින් වගේ ගොඩබිම වසන ජීවින් වුණා වගේ, ආයෙ කවදාවත් ජලචර ජීවින් වෙන්න බෑ වගේ, මටත් දැනුණෙ කොළඹින් මිදිල දවසකටවත් නුවර යන්න බෑ කියලයි.

ඒකට ප්‍රධාන ම හේතුව සකී කියල මං දන්නව. මේ වාහනේ මං ළඟ සීට් එකේ එයා ඉඳගෙන හිටියනං හරි ම ආසාවෙන් මං මේ ගමන යයි. මගේ නුවරට සේන්දු වෙද්දි හරි ම ආසාවෙන් මං ඒ නුවර ගැන කතා කරයි. මේ නුවර ගහ කොළ මල් පෙන්නයි. දළදාව ගැන මහනුවර ගැන ආඩම්බරෙන් කතා කරයි. එහෙනං මං මගෙ ඥාතීන්ට ආඩම්බරෙන් එයාව අඳුන්නල දෙයි. ආදරෙන් එයා ගැන වග තුග කියයි. මගේ සරසවි යුගයෙ ප්‍රේම කතාවක කල්පනී ගෙ නම ලියවිලා තිබුණා වුණත්, මටයි සකීටයි අමනාප නොවී කතා කරන්න දේවල් තියෙයි. සකී එක්කනං නුවර ගමන මට දිව්‍යලෝකෙට යන ගමනක් වගේ දැනෙයි. ඒත් එයා නැති ඒ ගමන, මරන්න ගෙනියන හරකෙක් වගෙයි මං උඩහට ඩ්‍රයිව් කළේ.

මනුස්සයෙකුට ඇත්තට ම ප්‍රේමයක පැටලෙන්න පුළුවන් එක වතාවක් විතරයි කියලයි ඉස්සර මං හිතං හිටියෙ. ඒකට හේතුව සමාජය අපි මත පටවලා තියන අදහස් හා ආකල්ප. ප්‍රථම ප්‍රේමය කියන දේ අනවශ්‍ය විදිහට උත්කර්ෂයට නැගීම. පිවිතුරු ම ප්‍රේමය ප්‍රථම ප්‍රේමය බවට ලියවෙන කවි කතා. ගැයෙන ගීත. ඇත්තට ම හුඟක් මිනිස්සුන්ට ප්‍රථම ප්‍රේමය කියන්නෙ නො දැනුවත් කාලෙක නො දැනුවත්කම් එක්ක ඇති වෙන සරල සැහැල්ලු හැඟීමක් කියලයි මන්නං හිතන්නෙ. ප්‍රථම ප්‍රේමයට අමතරව තවත් පොඩි පොඩි ප්‍රේම කතා කීපයක් ම මටත් තිබිල තියනව. ඒත් ඒව නොසලකා හරින්න තරම් නො වටිනා බොළඳ සම්බන්ධකං කියල තේරෙන්නෙ දැං. බරක් පතලක් ඇතුව, විවාහයක් කියන ගමනාන්තයක් හිතේ තියාගෙන මං ආශ්‍රය කළේ කල්පනීව. ඒ සම්බන්ධයත් බිඳිල ගියාට පස්සෙ ආයෙ කාලෙකට කෙල්ලෙක්නං ඕන්නෑ කියලයි මං හිතාගෙන හිටියෙ. බිස්නස් එකක් හදාගෙන ඊළඟ අවුරුදු කීපය ඒක ගොඩදාගන්න ෆෝකස් කරනව කියල හිතාගෙනයි මං නුවරින් ආවෙ. ඒත් බලාපොරොත්තු නොවුණ විදිහට සකී හිතේ පැටළුණා.

ඒකෙන් මං තේරුං ගත්ත දේ තමයි අමතක කරල අත්ඇරල දාන්න බෑ කියල එකක් නෑ. අපිට යම් තැනක රැඳිල ඉන්න බැඳිල ඉන්න තරං ප්‍රබල හේතුවක් නැති වුණාට පස්සෙ තව තැනකට බැඳෙන්න පුළුවන්. ප්‍රථම ප්‍රේමයේ හැඟීමෙන් ම තවත් ප්‍රේමයක් දැනෙන්න පුළුවන්. සමහර විට ප්‍රථම ප්‍රේමයට වැඩිය දැඩිව අවසාන ප්‍රේමය දැනෙන්න පුළුවන්. ඒ හැම දේම හදවතට අදාල කාරණා.

ගෙදර ගියත් වෙනදා තරං සැහැල්ලුවක් දැනුණෙ නෑ. කාලෙකට පස්සෙ මුණගැහුණ ඥාතීන් අතරෙදි පවා පාළුවක් දැනුණ. මං හිටියෙ ලොකු රිසෙප්ශන් හෝල් එකක වෙඩින් එකක වුණාට, හිත ඇතුළෙ මළගෙයක වගේ මූසල පාළුවක් තැවරිලා තිබුණ. උදේ එද්දි සකී මාව බදං හිටිය හැටි අමතක කරන්න ම බැරි වුණා. එයාගෙ උණුහුම මගෙ පිරිමි පපුවෙ දැවටිලා ම තිබුණා. ඒ විදිහට හෙටත් ගෙදර ඉඳල අනිද්ද හෝම් කමින් එකටත් ඉඳල ඊටත් පස්සෙ කොළඹ එන්න කොහොම හිත හදං ඉන්නද? ඒකයි මං වෙඩින් එක ඉවර වෙලා ගෙදරට ගිහින් බැගේජ් එකත් අරං එහෙම ම කොළඹ එන්න හිතාගත්තෙ.

“මොන විකාරයක්ද ඒක. මං ඔයාට කිව්වනෙ හෝම් කමින් එකටත් ඉඳල යන්න ඕනෙ කියල”

මගෙ තීරණේ දැනගත්තහම අම්ම පරල වුණා.

“මං එහෙ වැඩ කීපයක් කරන ගමං අම්ම ඉන්නෙ. ඒව ඔක්කොම බාගෙට කරපු වැඩ. ඒ මිනිස්සු කතා කරකර හදිස්සි කරනව”

මං අර්ධ සත්‍යයක් කියල දැම්මෙ ඒක ඇතුළෙ තිබුණ අතිශයෝක්තිය ගැන හිතන්නෙ නැතුව.

“ඒ මිනිස්සුන්ට කියන්න ගෙදර වෙඩින් එකක් කියල”

“අපේ පර්සනල් දේවල් ප්‍රොෆෙශන් එකට අදාල නෑ අම්ම”

“ඔය විදිහට හදිස්සියෙ අම්ම මැරුණත් ඔයාට බැරි වෙයිනෙ මළගෙර කටයුතු ටික ඉවර වෙනකල්වත් ගෙදර ඉන්න”

“මොනාද අප්ප කියන්නෙ… පොඩ්ඩක් තේරුං ගන්නකො”

“ඔයත් තේරුං ගන්න ආදිල්. අපිට ඔයාව කොළඹට ම සින්න කරන්න බෑ”

අම්ම එහෙම කියනකොට අපේ නංගි කට කොනකින් හිනාවුණා. මං වැඩිය එයා දිහා බැලුවෙ නෑ ඒ හිනාව කොහෙන් කෙළවර වෙයිද කියල හිතාගන්න බැරි නිසා. අම්මගෙ වදේ පොරේ ගැන වද නොවී වාහනේට නැග්ගට පස්සෙ නංගි ඇවිත් අර හිනාව ආයෙම දැම්ම.

” මෙච්චර හදිස්සියෙ කොළඹ දුවන්නෙ කස්ටමර්ස්ල නිසාද නැත්තං වෙන කවුරුවත් නිසාද කියල අපි දන්නව හරිද…”

“පිස්සුද ඕයි”

මං නංගිටත් රැව්ව. අම්ම වෙනද වගේ සමුදෙන්න ආවෙ නෑ. මූණ එල්ලගෙන ගෙට වෙලා හිටිය. ඒත් ඒ වෙලාවෙ මට අම්මගෙ කඳුළු පිහිනවට වැඩිය ඕන වුණේ ඉගිල්ලිලා හරි කොළඹ යන්න. අම්මගෙ පැත්තෙන් මං වැරදියි කියල හිතෙන්න ඇති. ඒත් ඕනම පුතෙක්ට අම්මගෙ වචනෙට වුණත් පිටුපාල වෙන ගෑනියෙක් දිහාට ඇදෙන මොහොතක් උදා වෙනව. ජීවිතේ යම් කිසි කාලෙකට අම්මව මගහැරෙන්න වුණත් පුළුවන්. ඒක පුතෙක් අම්මට කරන වරදක්, නො සලකා හැරීමක් කියල කිසි අම්ම කෙනෙක් හිතන්න නරකයි. හැම මනුස්යෙක් ට ම තමන්ගෙමයි කියල ජීවිතයක් වගේ ම තමන්ගෙමයි කියල හැඟීම් දැනීම් තියනව. අපිට ඒ කිසි දේකින් පැනල යන්න බෑ. සමාජයට අපෙන් හානියක් නොවෙන තාක්, ඒ ඒ මොහොත තුළ අපි ම වෙන්න නොදී අපිව පාලනය කරගන්නත් ඕන නෑ. එහෙම වුණොත් අපි උමතු වෙයි.

ආයෙ මං කොළඹ බලා ඩ්‍රයිව් කළේ කුරුල්ලෙක් වගේ. ඒක පුදුම නිදහස් සතුටක්. ඉගිල්ලිලා ගිහින් සකීව තුරුල් කරගන්න මොහොත ගැන හීන දකින එකත් මොනතරං මිහිරියාවක් ද? එයාට කෝල් එකක් නොදුන්නෙත්, එයාගෙ කෝල් එක ආන්සර් නොකළෙත් නොකියම ගිහින් එයාව ස’ප්‍රයිස් කරන්න ඕන වුණ නිසයි.

ඇත්තට ම මිදුල මැදට ඇවිත් එයා මාව බදාගත්තහම මට දැනුණෙ ගෙදර ආව වගේ. මගෙ තැනට, මගෙ නිවනට ආව වගේ.

සකී ආන්‍යා තඹරවිල

මට තාමත් හීනයක් මෙනි. ආදිල් ඒ රැයේ ම යළි එතැයි බලාපොරොත්තුවක් තුන් හිතකවත් වූයේ නැත. ඔහු නො ආවා නම් මට කුමක් වන්නට තිබිණි දැයි මම නො දනිමි. එය එපමණට ම පුදුම සහගත බැවිනි. කාලයක් තිස්සේ ඔහුත් එක්ක ම ජීවත් වූවා සේ ඔහු නැති ටික අපහසු වූයේ කෙසේ ද?

“හප්පේ… පුතා ආපු එකනං හොඳයි. බැලූ බැලූ අත පාළුවට ගිහිං වගෙයි තිබුණෙ”

බරාඳ පුටු වල හිඳ උදෑසන තේ එක බොන ගමන් ආච්චා සිනහ මුසුව කීවා ය.

“සකී නිකං හෝන්දු මාන්දු වෙලා වගේ තැන් තැන් වල වැටි වැටි හිටියෙ. අර මුද්‍රාටයි පීහුටයි ලීව් දාලහරි අද මෙහේ එන්න කියන්නයි මං හිතුවෙ”

“අ… නේ… බොරු කියන්නෙපා ආච්ච. මං වෙනද වගේම තමයි හිටියෙ”

නෝක්කාඩු හුරතලයකින් එහෙම කියනා ගමන් ආච්චා දෙස බැලූව ද මගේ අඩැස් බැල්ම තුළ ආදිල් සිටියේ ය. ඔහු ගේ දෙතොල් මත්තෙහි අර වශීකෘත අඩ සිනහව රැඳී තිබිණ. ආච්චා නම් හඬනගා සිනහ වූවා ය.

“මං නොදන්නවයැ මයෙ මිණිපිරී ගැන”

“අනේ පව්… ඒ රෑම මට කන්නත් හදල දුන්න ආච්ච”

ඔහු ගේ ඇස් වල වූ ආදරය වචන වලටත් වැඩියෙන් බර වූයේ ය.

“එහෙම වෙන්න ඕනෙ. හංසයන්ට පීනන්න පුරුදු කරන්න ඕන්නෑ කියනවනෙ පුතා. ගෑනු ළමයින්ටත් තමුන්ගෙ මහත්තයව ආදරෙන් බලාගන්න විදිහ අමුතුවෙන් කියල දෙන්න ඕන නෑ. ගෑනු ළමයි පුංචි කාලෙ සෙල්ලමට කරන්නෙත් සෙල්ලං ගෙවල් දාන එක. සෙල්ලං බත් උයන එක. බෝනික්කො නලෝන එක. ඒව පරම්පරා දහස් ගාණක් තිස්සෙ ගෑනුන්ගෙ ඇට මස් ලේ වලට ම කාවැද්දිච්චි ගෑනුකං. තමුන්ගෙ අය බඩගින්නෙ කියල දැනගත්තොත් ගෑනුන්ට තමුං කාපු දේවල් හෝස් ගාල පිච්චිල යනව පුතා. තමුන්ගෙ අයගෙ කුසවල් පිරෙනකල් ගෑනුන්ට බඩගිනි දැනෙන්නෑ. ඒක තමයි ඇත්ත”

ආච්චා ගැන මට දැනුණේ ඉමහත් ස්නේහයකි. දරුවන් ගේ ජීවිත වියවුල් කරනා වැඩිහිටියන් සමග සසඳත්දී ආච්චා කියන්නේ නූතන තරුණියක තරම් තරුණ ව හා උගත් මනසකින් සිතන්නියකි.

“ගෑනියෙක්ට පුළුවන් තමුන්ගෙ සුවාමි පුරුෂයට නිකංම බිරිඳක් නොවී අම්ම කෙනෙක් වගේ බිරිඳක් වෙන්න. යාළුවෙක් වගේ බිරිඳක් වෙන්න පුළුවන්. එතකොට සහෝදරියක් වගේ නැත්තං දාසියක් වගේ බිරිඳක් වෙන්න පුළුවන්. බුදු හාමුදුරුවො සප්ත භරියා සූත්‍රයෙ මේ භාර්යාවො ගැන පැහැදිලිව විස්තර කරල තියනව පුතා. තව සමහර බිරිඳක් වධක භාර්යාවක් වෙන්න පුළුවන්. සුවාමියාගෙ දේවල් යටිමඩි ගහගන්න චෞර භාර්යාවක් වෙන්නත් පුළුවන්. ගෙදර දොරේ වැඩට කම්මැළි… පුරුෂයව යටත් කරගෙන ඉන්න ආර්යා භාර්යාවොත් ඉන්නව. යහපත් බිරිඳක් ලබන එක ඕනම පිරිමියෙක්ගෙ වාසනාවක්. හැබැයි පුතා ගෑනියෙක් යහපත් බිරිඳක් වෙන්න හරි අයහපත් බිරිඳක් වෙන්න හරි සුවාමි පුරුෂයගෙ කල්කිරියාවත් බලපාන්න පුළුවන් කියන එක අපි අමතක කරන්න හොඳ නෑ”

“සාදු සාදු සා…දු…”

ආච්චා ගේ පැහැදිලි කිරීම අවසන් වත්දී ම මම අංජලී කරණීය ව සාධුකාරයක් දුන්නෙමි.

“භාර්යාවන් හත් දෙනා ගැන අද ධර්ම දේශනය… විචිත්‍ර ධර්ම කතික යසෝමා වේරලියද්ද උපාසක මාතාවගෙන්…”

එහෙම කියා හඬනගා හිනැහෙමින් ආච්චා වෙතට නැඹුරු වූ මම ඇගේ ගෙල වැළඳ කම්මුලක් සිපගතිමි.

“මාව හොඳට බලාගත්තෙ නැත්තං මෙයා ඉන්න නෙවෙයි මගෙ සුදු ආච්චගෙං… නේ ආච්චා…”

“ආදිල් පුතා හොඳ සුවාමි පුරුෂයෙක් වෙනව කියල මට ඉන්තේරුවෙන්ම කිව්වැහැකි. ඒ ගැන සැකයක් නෑ”

“ඒක තමයි. ආච්ච මං ගැන දන්නව”

ආදිල් ආඩම්බර සිනහවකින් කීවේ ය.

“මෙයාව වැඩිය මුරුංගා අත්තට නග්ගන්නෙපා ආච්චා. මට බයයි කොයි වෙලේහරි කඩං වැටෙයි කියල”

ආදිල් නැගිට විත් මගේ කන් පෙත්තක් තද කළේ ය. මා “ඌයි” කියා කෑ ගසත්දී ආච්චා සිනහ වූවා ය.

දෙවියනි, මගේ පාද පාමුලට ම පෙරළී ආ පඬුරක් බඳු මේ සතුට සදාකාලික කරනු මැන!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here