සාගර තරංගා – 32

0
6119

තරංගා සනුකිව කින්ඩර්ගාට්න් එකේ දා ආවේ හිතකින් නම් නොවේ. සනුකි මුල් දවසේ නම් ඇඬූ එක ඇත්තකි. මුල් දවස් ටිකේම ඒ හන්දා තරංගා ලැප්ටොප් එකත් උස්සගෙන ගොස් කින්ඩර්ගාට්න් එකේ පැත්තක තබාගෙන සනුකිගේ වැඩ ඉවර වෙන තුරු එතන ඉඳන් වැඩ ටිකේ කරන්න පුලුවන් කමකට නොවේ. වෙන කරන්න දෙයක් නැති හන්දාය. සනුකි කොයි වෙලාවේ හෝ මොකක් හරි දේකට කලබල වෙල අඬන්න පටන් ගත්තොතින් නලවන්න ඇහැක් තමන්ට පමණක් බව දන්න හන්දා තරංගා එහෙම කලාය. 

මුල් දවසේ දෙකේ කුණු කුණු ගාමින් සනුකි අම්මා අතෙන් කින්ඩර්ගාට්න් එක ලඟදි බහින්න කොච්චර අකමැත්තක් පෙන්නුවත් පස්සෙ පස්සෙ කින්ඩර්ගාට්න් එකේදි තමන් වගේම තවත් යාලුවන් හම්බුන එකෙන් සනුකිගේ චර්‍යාවේ ලොකු වෙනස්කමක් දකින්න ලැබීම ගැන තරංගා සන්තෝස වුණාය.

“දැන් මට බය මෙයාට මාව අමතකම වෙලා යාවිද කියලා ඩොක්ටර්” කියා තරංගා ඔය විත්තිය සාගරට කතා කර කිව්වේ යාන්තමට හිනා වෙවීය.

“අහ්හ් ඒවාට නම් බය වෙන්න  එපා. මං නම් හිතන්නෙ තමන් වෙනුවෙන් මෙච්චර දේවල් කල අම්මා කෙනෙක්ව සනුකි වගේ හොඳ දරුවෙක් කවදාවත් අමතක කරාවි කියලා. හැබැයි ඔනස්ට්ලි මට නම් මාර සන්තෝසයි තරංගා සනුකි මෙච්චර ඉක්මනට ගොඩක් හොඳ පැත්තට රියැක්ට් කරන එක ගැන. අපිට අපි හිතුවටත් වඩා කලින් සනුකිව ඇත්තටම හොඳ ලෙවල් එකකට අරගෙන යන්න පුලුවන් වෙයි කියල මම විශ්වාස කරනවා. අනික එයා වගේම, එයාව එයාගෙ ලෙවල් එකෙන් තේරුම් ගන්න පුලුවන් ළමයි එක්ක ඉන්න එකත් එයාට ලොකු උදව්වක් වෙයි. අපි බලාගෙන ඉමු නේද මොකද වෙන්නෙ කියලා”

“ඩොක්ටර් එදා කිව්වට පස්සෙත් මං ඉන්ටර්නෙට් එකෙත් හොයලා බැලුවා ඕටිසම් හැදිලා පස්සෙ හොඳට ජීවත්වෙච්ච මිනිස්සු ගැන. අපි මේ හොඳට අහලා පුරුදු සැහෙන ප්‍රසිද්ධ මිනිස්සු ඉන්නවනේද ඩොක්ටර්”

“ඒකතමයි මම ඔයාට කලින්ම කිව්වේ ඔයාලා ඕකට ඔච්චර කලබල වුණාට ඕව රෙයාර් සිටුවේශන්ස් නෙවෙයි කියලා. ඉස්සර කාලෙ ගැන හිතන්නකො තරංගා. මං දවසකුත් ඔයාට කිව්වෙ ඔය වගේ අසනීප තිබිච්ච මිනිස්සු ඕන තරම් අපෙ අම්මලගෙ කාලෙ එහෙම ඉන්න ඇති කිසිම අයිඩියා එකක් නැතුව තමන්ට මෙහෙම කන්ඩිශන් එකක් තියෙනවා කියල. දැන් කාලෙ සයන්ස් එක ටෙක්නොලොගි එහෙම දියුණු නිසා අපි හොයාගන්නවා වගේම ඒවට කරන්න ට්‍රීට්මන්ට් පවා අද කාලෙ ඕන තරම් තියෙනවා. එහෙම තිබිලත් තමයි ඉතින් පේරන්ට්ස්ලා ඕනවට වඩා ඔය වගේ සිටුවේශන් ගැන හිතලා දුක්වෙලා අන්තිමේ තමන්ගෙ මනස ලෙඩ කරගන්නෙ” කියා සාගර කිව්ව වචන තරංගාට අද වගේ මතකය. අනෙක් අතට ඔහු කිව්වා වගේම කින්ඩර්ගාට්න් එකෙන් ලැබෙන සහය, ඉස්පිරිතාලේ අර්ලි ඉන්ටර්වෙන්ශන් ප්‍රෝග්‍රෑම් එකෙන් වගේම සාගරගෙන්ද ලැබෙන සහය ඔස්සේ සනුකි ඇත්තටම හොඳ ප්‍රතිඵල පෙන්වමින් උන්නු හන්දා මෙතෙක් දවසක් පුරාවට හිතේ එක පැත්තක් වහගෙන තිබිච්ච අන්ධකාරය චුට්ට චුට්ට නැතිවෙමින් යන බව තරංගාට තේරුණාය.

සනුකිව කින්ඩර්ගාට්න් එකෙන් ගන්නට තියෙන්නෙ දහවල් දොලහට හන්දා උදේ හත හමාර අට වෙද්දි සනුකිව කින්ඩර්ගාට්න් එකට රැගෙන යන්න තරංගා උදේම ඇහැරෙයි. කින්ඩර්ගාට්න් එකෙන්ම දරුවාට අවශ්‍ය උදේ සහ දිවා ආහාරය සපයන හන්දා කෑම උයන්න වේලාසනින් නැගිටින්න උවමනාවක් තරංගාට නැත. උදේ පහ මාරට හයට විතර ඇහැරී තමනුත් ඇඳ පැලඳගෙන සනුකිවත් සූදානම් කරගන්න තරංගාට වෙලාව ඕනවටත් වඩා වැඩිය. 

සනුකිව ලෑස්ති කරගෙන පික් මී එකක් එනතුරු බලා ඉන්න වෙලාවේ සනුකි දැන් ඉස්සර වගේ උඩ බලාගෙන කල්පනා කරන්නේ නැත. උදේම ඇහැරී මිදුල අතුගාමින් ඉන්න වීරසිංහ යුවල එක්ක හිනාවෙන්න, එක එක බහුබූත දොඩවන්න උත්සහ කරන්නට තරම් සනුකි දැන් පැහිච්ච ආච්චියෙක් වෙලාය. හැබැයි ඒක ගැන ඉතින් තරංගාට ඇත්තටම සතුටුය. මේවා මේ වෙනදා දකින්න ලැබුණේ නැති, කවදා දකින්න වේදැයි බලාපොරොත්තු තියාගෙන උන්නු දරු සුරතල් ය. අම්මෙකු වී අවුරුදු දෙකකටත් එහා කාලයකට පස්සේ මේ හුරතල් බලන්න පුලුවන් වෙච්ච එක ගැන තරංගාට දැන් එහෙමකට කියා දුකක් හිතේ නැත. 

“අත්තම්මා ඔන්න පුතාට මල් ගේනවා” කියමින් වීරසිංහ මහත්මිය පික් මී එක එනතුරු අම්මාගේ උරහිසේ එල්ලී ඉන්න කෙල්ල දිහාට අරලිය මලක් කරකව කරකව ලං කරයි. සනුකි අම්මාගේ උරහිසින් එබී බලමින් වීරසිංහ අත්තම්මාගේ අතේ තියෙන අරලිය මල ගන්න හීන් සැරේ මාන බලයි. ඒ වුණාට වීරසිංහ මහත්මිය සනුකිගේ මූණට ලං කරන මල හීන් සැරේ කෙල්ල මල අරගන්නට අත දික්කරද්දී ඇත් කරයි. දෙතුන් පාරක් ඕක කරායින් පස්සේ වීරසිංහ අත්තම්මාගේ අතින් අරලිය මල උදුරා ගන්නා කෙල්ල අම්මාත් අත්තම්මාත් හිනාවෙද්දි ලැජ්ජ හන්දා අම්මාගේ පපුතුරේ මූණ හංගා ගන්නේ හුරතලයෙනි. තරංගා තමන්ගේ පපුවේ හිස හංගගෙන ඉන්න කෙල්ලගේ කිරි සුවඳ හමන කුඩා හිස සිපගන්නේ ඇස් වල කඳුලු පිරෙද්දීය.

අම්මලා ආදරේ කරන්නෙ එහෙම බව වියපත් මවක් වෙච්ච වීරසිංහ මහත්මියට ඉතින් නොහිතා බැරිය. 

එද උදයේත් සනුකිව කින්ඩර්ගාට්න් එකෙන් දා එන ගමන් “අම්මි දවල්ට එනකම් ගුඩ් ගර්ල් වගේ ඉන්න ඕන” කියා කෙල්ලගේ මූණ සිඹ එද්දී සනුකි වෙනදා වගේ මූණ ඇඹුල් කරගන්නේ නැත. අම්මාට හැමතිස්සෙම තමන් ළඟ ඉන්න බැරිබව දැන් සනුකි තේරුම් ගෙන තිබේ. අනෙක් අතට මෙතන ඉන්නේ තමන් වගේම තව ගොඩාක් පොඩි අයය. එහෙම අය අතරේ ඉන්න සනුකි කැමති බව ඇගේ මූණේ ඇඳී තිබෙන හිනාවෙන් කියාපායි.

සනුකිව කින්ඩර්ගාට්න් එකේ තබා ගෙදර ආ තරංගා මුලින්ම කලේ ගෙදර අස්පස් කල එකය. සනුකි ගෙදර ඉන්න වෙලාවට දැන් ඉස්සර වගේ එකම තැන ඉන්නේ නැති හන්දා අස්පස් කරන එක කරන්න අමාරුය. මේ වගේ කවුරුවත් ගෙදර නැති වෙලාවක අස්පස් කරන එක ලේසි හන්දා ගේ අස් කරන ගමන්ම තරංගා ලැප්ටොප් එකෙන් වට්සැප් වෙබ් එකට ලොග් වී ඔෆිස් එකෙන් සහ ෆ්‍රී ලාන්ස් වැඩ වලින් සබ්මිට් කල වැඩ වලට චේන්ජස් හෝ අප්ඩේට්ස් එනවාද කියා බලාගෙන උන්නාය.

අනතුරුව සනුකිව ගෙදර එක්කරගෙන ආවට පස්සේ හොඳට බඩ පිරෙන්න කන්න දෙන්න හිතාගෙන කෑම ටිකක් හැදුවාය. ඉස්සර මේධංගගේ ගෙදර ඉද්දී සනුකි කොයි වෙලේ බැලුවත් උන්නේ අතේ හන්දා තමන් ආස දෙයක් කන්නට හදාගන්නවත් විදියක් තරංගාට තිබ්බේ නැත. අනෙක් අතට අම්මාත් මේධංගත් එකම ජාතියේ දේවල් කන හන්දා ඒ දෙන්නා කන්න ආස දේවල් හදා අවසානයේ, සනුකිටත් කන්න පුලුවන් ලුණු මිරිස් සැර අඩු කෑම හැදුවට පස්සෙ තමන් ආස දෙයක් හදාගන්න විවේකයක් තරංගාට තිබ්බේ නැත.

ඒ නිසාම සනුකි කින්ඩර්ගාට්න් යන්නට පටන් ගත්තට පස්සේ තරංගා කාලෙකට පස්සෙ තමන් ආස දෙයක් හදාගෙන කන්න පටන් ගත්තාය. මහන්සිය යන්නත් එක්ක තේකක් හදාගන්න තරංගා හිතුවෙ ඒ නිසාමය. හැමදාම එකම විදියට හදන තේ එක වෙනුවට ෆ්‍රෙශ් මිල්ක් ටිකක් භාජනේකට දමා රත්වෙන්න තබා ඒකට තේ කොළත්, කරදමුංගු ඇට ටිකකුත් තලා දැම්මාය. කිරි එක පැහෙන තුරු කෝප්පයක් අතට ගත්ත තරංගා ෆ්‍රිජ් එකේ තිබ්බ මිල්ක්මේඩ් ටින් එකෙන් උකු පිරුණ ටින් කිරි හැන්දක් අරගෙන කෝප්පෙ අඩියට එය දැම්මාය.

තේක පැහුණාට පස්සේ තේ කොල ටිකත් කරදමුංගු ටිකත් පෙරා තේ ටික කෝප්පේට වක්කල තරංගා තේක හැඳි ගාන්න ගත්තාය.

ඒ දෛවෝපගත දුරකතන ඇමතුම ආවේ ඒ මොහොතේය.

ඒ දුරකතන ඇමතුම එහා පැත්තේ මේ තේ එකේ රසය වියැකී යන අන්දමේ පණිවිඩයක් සැඟව තිබෙන බව තරංගා කීයටවත් හිතුවේ නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here