සාගර තරංගා – 33

0
6041

“හෙලෝ තරංගා, ඔයා ඇවිත් බබාව එක්කරගෙන ගියාද?” කියා දුරකතන ඇමතුම ආවේ කින්ඩර්ගාට්න් එකේ සනුකි භාර පංතියේ ගුරුතුමියගෙනි. තමන්ම උදේ ගෙනගොස් කින්ඩර්ගාට්න් එකට, ගුරුතුමියගේ අතටම ඇරලවා ආ දරුවා ගැන මෙහෙම දෙයක් අහන්න නම් යම් කිසි ව්‍යසනයක් සිදු වී ඇති බව තේරුම්ගන්න තරංගාට ගියේ තප්පර ගාණකි. ඇස්වලට කඳුලු ආවේ නැති එක ඇත්තකි. ඒත් හිතෙන් නැගී ආ යම් ගින්නක් මුලු ඇඟම පුච්චනවාක් මෙන් දැනිච්ච ඒ හැඟීමෙන් මිදෙන්න තරංගාට හැකිවුණේ නැත. 

“නෑ ටීචර්, මම තාම ගෙදර, අනික තාම එකොලහට දහයයිනෙ. දොලහටනෙ ඉවර වෙන්නෙ” තරංගා ඇසුවේ කලබලයෙනි. ඒ වචන වල රැඳී තිබිච්ච ඕනවටත් වඩා වැඩි කලබලය හන්දාම නොවිය යුත්තක් වී ඇති බව එහා පැත්තෙන් ඇමතුමට සම්බන්ධ වී උන් ගුරුවරියට පවා තේරුම් ගියාය.

“අනේ තරංගා, සනුකි නැහැනෙ. කවුරුහරි ඇවිත් එයාව එක්කරගෙන ගිහින් තියෙනවා” 

“මොකද්ද? කවුරුහරි ඇවිත් දරුවව එක්කරගෙන ගිහින්? මාර කතාවක්නෙ ටීචර් ඒක. මම දරුවව භාරදීලා ගියේ ඔයාලට. ඔයාලා කොහොමද කියන්නෙ දරුවා මිසින් කියලා” තරංගා දුරකතන ඇමතුම තිබ්බේ හැකිතාක් ඉක්මනින් එතනට යන්න හිතාගෙනය. ඇස්වලින් කඳුලු ගලන්න පටන් ගත්තේ ඒ වෙලාවේය. 

“දෙයියනේ මහ පුදුම මිනිස්සුනෙ. එහෙම දරුවො අන්තරස්දාන වෙනවද? මං උදේ භාරදීලා ගිය දරුවනෙ. අනේ පුතේ” කියා අඬමින් එහෙන් මෙහෙන් ඇඟලුමක් ඇඟ ලා ගන්න ගමන් ම තරංගා සාගරගේ දුරකතනයට අරගත්තේ මේ වෙලාවේ තමන්ට පිහිට වෙන්න ඉන්න එකම කෙනා ඔහු පමණක් බව දන්න හන්දාය. තරංගාගේ ඒ ඇමතුම එද්දී සාගර උන්නේ ඉස්පිරිතාලයේය. මෙවන් අවේලාවක තරංගා අමතන්නේ නැති බව දන්න හන්දාම සාගර මේ යම් හදිසි අවස්තාවක් බව තේරුම්ගත්තේ ඉවෙන් ය. එහෙත් තමන් සහ තරංගා සම්බන්ධ කල ඒ ඇමතුම එහා පැත්තෙ හිත කීරි ගස්සන සනුකි ස්මබන්ධ පණිවිඩඩයක් තිබෙන බව සාගර කීයටවත් අපේක්ෂා කලේ නැත.

“හෙලෝ තරංගා, කියන්න”

“අනේ ඩොක්ටර්, සනුකි… සනු….කි”

“කියන්න තරංගා මොකද්ද සනුකිට?” කියන අතරම සාගර කාරයේ යතුර අතට ගත්තේ තමන් මේ වෙලාවේ ඉන්න ඕන ඉස්පිරිතාලේ නොවන බවත් තරංගා ලඟත් බව හිතිච්ච හන්දාය. 

“අනේ ඩොක්ටර් මම සනුකිව උදෙ කින්ඩර්ගාට්න් එකට දාලා ආවා. ඒ ටීච දැන් කතා කරලා කියනවා සනුකිව කවුද ඇවිල්ලා අරගෙන ගිහින් කියලා.අනේ ඩොක්ටර්, මට පිස්සු වගේ. මං මං දැන් මොකද්ද කරන්න ඕන, අනේ දෙයියනේ මගෙ දරුවා” කියා තරංගා එහා පැත්තෙන් හොඳටම අඬද්දී සාගර මොහොතක් කල්පනා කලේය. මේ කලබල විය යුතු අවස්තාවක් බව දන්නවා වුණත් කලබල වෙලා මෙහෙම වෙලාවක තීරණ ගන්න බැරි බව සාගර තමන්ගේ හිතට කිව්වේය. කලබල වීමෙන් වෙන්නේ කරදර එක දෙක වෙනඑක බව සාගර ජීවිතයේ මෙතෙක් කාලයක් ලබාගත්ත අත් දැකීම් වලින් විඳ තිබුනේය. ඒ නිසා මේ වෙලාවේ කරන්න ඕන එකම දේ කලබල නොවී ඉන්න එක බව සාගර හිතට ආයෙ ආයෙ කිව්වේය.

“හරි, තරංගා, තරංගා ඔයා දැන් කලබල වෙන්න එපා හරිද? ඔයා රෙඩි වෙන්න මම විනාඩි දහයෙන් ඔතනට එන්නම්. අපි ඉස්සෙල්ලා කින්ඩර්ගාට්න් එකට ගිහිල්ලා බලමු”

“අපි අප්පි, පො..ලි..සි..ය..ට යන් ඩෝක්..ඩොක්ක්ටර්” කියමින් කඳුලු වාවගන්නට තනන අතරේ තරංගා කිව්වේ වෙව්ලමිනි. දුරකතන ඔස්සේ ඇහිච්ච ඒ වෙව්ලන කටහඬ කීරිගැස්සුවේ මෙහා පැත්තේ රැඳී උන්නු සාගරගේ හිතය. 

“අපි පොලිසියට යන් තරංගා. බයවෙන්න එපා. ඔයා කෝකටත් ඔයාගෙ ලෝයර්ටත් මේ ගැන කතාකරලා කියන්න. මම එන ගමන්. ඔයා රෙඩි වෙලා පල්ලෙහට ඇවිත් ඉන්න. බයවෙන්න එපා. මම දැන් එනවා. සනුකිට මුකුත් වෙන්නෙ නෑ” කියන ගමන් වයස අමතක කල සාගර කාරයේ යතුරත් අරගෙන දුවගෙන දුවගෙන ගියේය. සාගර වැනි බොහෝ ඉවසිලිවන්ත මනුස්සයෙකුගෙන් මේ වගේ හැසිරීමක් දැකීම අමුත්තක් හන්දාම රෝහල් කොරිඩෝවේ රැඳී උන්නු හෙදවරියන් සහ ඇටෙන්ඩන්ට් වරියන් පවා බලාගෙන උන්නේ දෙනෙත විසල් කරගෙනය. එහෙත් ඒ කිසිවක් ඒ මොහොතේ සාගරට වගක් වූයේ නැත. මතක් වෙච්ච එකම දේ තරංගාත් සනුකිත් පමණකි.

සාගර පල්ලෙහට වී ඇවිත් ඉන්නැයි කිව්ව හන්දාම කඩිමුඩියේ ඇඳ පැලඳගත්ත තරංගා උඩු මහලේ සිට පල්ලෙහට එන පඩිපෙල බැස්සා නොව කෙලින්ම උඩ පඩියේ සිට පල්ලෙහා පඩියට පැන්නාය. ඇස් වලින් කඳුලු වක්කරගෙන දුවගෙන මෙන් එන තරංගාව දැක්ක වීරසිංහ මහත්මිය වියපත් දෙපා වලට හිතේ හයිය ගෙන තරංගා වෙත දුවගෙන ගියේ මොකක් හරි ප්‍රශ්නයක් බව තේරිච්ච හන්දාය.

“ඇයි දුව මොකද්ද වෙලා තියෙන්නෙ? බබාට සනීප නැද්ද?”

“අනේ ආන්ටි, බලන්නකො බබාගෙ කින්ඩර්ගාට්න් එකෙන් කතා කරලා කියනව කවුද ඇවිල්ලා බබාව එක්කරගෙන ගිහිල්ලලු. අනේ මට පිස්සු වගේ ආන්ටි” කියා තරංගා අඬන ගමන්ම කියද්දී වීරසිංහ මහත්මිය “සෙනේ” කියා වීරසිංහ මහතාට කතා කලේ මෙවන් වෙලාවක පොලිස් මැදිහත්වීමක් අවශ්‍යම බව මතක් වෙච්ච හන්දාත් මේ තරුණ කෙල්ලකට තනිපංගලමේ එහෙම තනියම පොලිසි ගාණේ රිංගන්න බැරි බව දන්නා හන්දාය.

“අනේ බලන්නකො සෙනේ, මේ දූ බබාව මොන්ටිසෝරි එකෙන් දාලා ආවට පස්සෙ ඒ මිනිස්සු කතා කරලා කියනවලු බබාව කවුද ඇවිත් අරගෙන ගියා කියලා”

“ආහ්, මාර කතාවක් නෙ ඒක, එහෙම අරගෙන යනවද දරුවන්ව ඉස්කෝල වලින්. අනික ඔය වගේ පොඩි දරුවො ඉන්න තැන්වල කොහොමත් ස්පෙශල් සෙකියුරිටි සිස්ටම් එකක් තියෙනවනෙ. අනික ඕක ඔය ගෙවලා යන තැනක් නේද? දූට හොඳටම ශුවර්ද කාගෙ හරි නොහොබිනා විහිලුවක් නෙවෙයි කියලා ඕක”

“අනේ නෑ අංකල්, ඇයි අංකල් කවුරුවත් මගෙ අසනීප දරුවා ගැන ඔහොම විහිලුවක් කරන්නෙ, අනික කතා කලේ දරුවගෙ ටීචමයි”

“දැන් දූ මේ එහෙට යන්නද ලෑස්තිවෙලා ඉන්නෙ? මාත් එන්නද?”

“මං බබාගෙ ඩොක්ටර්ට එන්න කිව්වා අංකල්, ඩොක්ටර් දැන් එනගමන්, මම දැන් එතනට ගිහිල්ලා බලන්න යන්නෙ

“හරි පුතා දූ ගිහින් බලලා මොකද්ද වෙලා තියෙන්නෙ කියලා මට කෝල් කරන්න. මෙහෙ පොලිසියෙ දැන් ඉන්චාර්ජ් ඉන්නෙ මගෙන් ඉගෙන ගත්ත ගෝලයෙක්. මම ඒ දරුවට කෝල් එකක් දීලා විස්තරේ කියලා තියන්නම්. දූ බයවෙන්න එපා”

“අනේ ඔව් පුතේ, අපි කාටවත් වරදක් කරපු අයට නෙවෙයිනෙ. දෙයියන්ගෙ පිහිටෙන්. දරුවගෙ තාත්තා ඇවිල්ලා එක්කරගෙන ගියාද දන්නෙත් නැ. ඉස්සෙල්ලා හොඳම දේ කින්ඩර්ගාට්න් එකට ගිහිල්ලා බලන එක තමයි” කියා වීරසිංහ මහත්මිය වචන අවසන් කරද්දීම වගේ වේගයෙන් ඇදී ආ සාගරගේ කාරය බරාස් ගා ගේට්ටුව ලඟ නතර කරේය. තරංගා දුවගෙන මෙන් එහි යද්දී වීරසිංහ යුවලත් ඒ අසලට ගොස් සාගරට තරංගාට කිව්ව දේම කිව්වහ. තරංගා උන්නේ අඬමිනි. සාගරව දැක්කාට පස්සේ අඬන්න ඕන තරම් නිදහස එතන තියන හන්දාම මෙච්චර වෙලා හිත අස්සේ හිරකරගෙන උන්නු කඳුලු බිංදු ඔක්කොම වැස්සක් වගේ වගුරුවාලන්න තරංගාට ඉඩකඩත්, නිදහසත් තිබුණාය. සාගර කාරෙක හරවාගත්තේ වේගයෙනි. 

“අනේ ඩොක්ටර්, මොකද්ද අපි දැන් කරන්නේ?” කියමින් අඬා වැලපෙන තරංගාගේ අතින් එක අතකින් අල්ලාගත්ත සාගර තනි අතෙන් වාහනය පදවන ගමන්ම තරංගාගේ හිත හැදෙන්න බොහෝ දේ කිව්වේය.

“බයවෙන්න එපා. ඔයා මේ වෙලාවෙ ඔක්කොටම වඩා හයියට ඉන්න ඕන තරංගා. ඔයා කඩං වැටුණොත් ඔක්කොටම වඩා අමාරුයි.අපි ඉස්සෙල්ලා එතනට ගිහිල්ලා බලමු. ඊටපස්සෙ වෙච්ච් දේබලලා අපි පොලිසියට යනවද මොකද කියලා බලමු.

ඒ අතරවාරෙ ඔයාට හිතෙන්නෙ නැද්ද තරංගා කෝකටත් මේධංගට කතා කරලා බැලුවනම් හොඳයි කියලා එයාවත් ඇවිත් සනුකිව එක්කරගෙන ගියාද කියලා. අපි දන්නෙ නෑනෙ නේද ඔයා එක්ක තියෙන තරහට එයා එහෙම දෙයක් කරාද කියලත්”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here