Not Without You – 42

0
6658

කල්පනී මැදගෙදර

ඔෆිස් එකේ ඉඳල බෝඩිමට ආවට පස්සෙ වුණත් මට ඒ කෝල් එක අමතක කරන්න පුළුවන් වුණෙ නෑ.  මගෙ බඩේ බෝම්බයක් බැඳල තියනව වගේ මං පුදුම ගැස්මකින්, කම්පනේකින් හිටියෙ. ඒ ඇයි කියල හරියට ම මට තේරුණෙත් නෑ. බඩ ඇතුළෙ දැවිල්ලක්, ගින්දරක් වගේ දෙයක් ඇවිළුණා.

බෝඩිමට ආපු ගමන්  මං කළේ ආදිල් ට කෝල් එකක් ගන්න එක. ඕනනං එන ගමන් දෙහිවලට ගිහින් එයාව හම්බවෙලාම එන්න පුළුවන්කම තිබුණත් එහෙම කරන්නත් උනන්දුවක් නැති තරමට මගෙ ඇඟ පණ නැතිවයි තිබුණෙ. මට ඕන වුණේ එයාගෙ අලුත් ගර්ල් ෆ්‍රෙන්ඩ් මට හොඳට ම බැනල තර්ජනේ කළා කියල අඬ අඬා ආදිල් ට කියල එයාගෙ හිත ටිකක් මං ගැන මෙළෙක් කරගන්න. ඒ වුණාට මට ඇඬුණෙනං නෑ. ඇඬුව වගේ රඟපෑව. ආදිල් මගෙ රඟපෑමට ටිකක් අහුවුණා කියලත් මට දැනුණා. හැබැයි හිතට කිසිම සැනසීමක් තිබුණෙ නෑ. මහ මූසල ගතියක් මාව වහගෙන වගෙයි තිබුණෙ. එහෙම හිටියහනං ඒ කාමරේ ඇතුළෙම මට දිවි නසාගන්න වුණත් හිතෙන්න පුළුවන්. ඒ හිතිවිල්ල බලවත් වෙන්න කලින් නැගිටල මං කාමරෙන් පිටවුණා.

“දුව කොහෙහරි යනවද ඔය… අද රෑ එන්නැද්ද…”

කියල මිදුලෙ හිටපු බෝඩිමේ ඇන්ටි ඇහුව. ඒ ගෑනිනං ඕපදූප මල්ලක්.

“එනව”

කියල කියන ගමන් මං යන්තං හිනාවුණේ හිත යට කේන්තියෙන්. බොරලැස්ගමුවෙ ඉඳං පිළියන්දල පැත්තට මං ඇවිදං ගියා. ඒක සිහියෙං ඇවිදීමක් නෙවෙයි හීනෙං ඇවිදීමක් ගානයි. දකින පේන කිසි දෙයක් ගැන මට නිනව්වක් තිබුණෙ නෑ. තව වැඩි දවසක් මට ආදිල් කියන පාරෙ යන්න බෑ කියල පැහැදිලියි. සකීගෙ ගෙදර මිනිස්සු පොලීසි ගියොත් කියන බය මගෙ ඇඟ පුරා දුවමින් තිබුණ. පොඩි කාලෙ ඉඳලම ඇයි මන්දා මං පොලීසියටනං බයයි. පොලිස් අත්අඩංගුවට පත් වුණාට පස්සෙ ගුටිකන්න වගේම මැ රුම් කන්න වුණත් සිද්ද වෙන්න පුළුවන් කියලයි මගෙ මනසෙ තහවුරු වෙලා තියෙන්නෙ. අනිත් අතට ආදිල් පස්සෙ ඔය තරමට යන්න ඕනද කියන අප්පිරියා සහගත හිතිවිල්ලකුත් අලුතෙන් ම මං තුළ ඇති වෙලා වගෙයි. අර මං හොයමින් ඉන්න මං නොදන්න දේ ආයෙමත් හිතේ මතුපිටට ආව. ඒ වගේ මාව සතුටෙන් තියන්න පුළුවන් දෙයක් හරි කෙනෙක් හරි ඉන්නවනං ආදිල් කියන්නෙ මට අමතක කරගන්න බැරි කෙනෙක් නෙවෙයි. මං ගිලෙන්න යන මනුස්සයෙක්නං, දැනට මට තියන පිදුරු ගහ එයා. එච්චරයි.

ඒ කොහේදිද කියන්න මං දන්නෑ. ඊට ටිකකට කලින් වේරහැර පහුවුණා. පස්සෙන් පස්සට ආපු වාහනයක් මං ළඟ දි හෝන් කළා. බලන්න තරං සිහියක් වුණත් මට තිබුණ නො තිබුණ ගානයි. ඊළඟට වාහනේ ඉස්සරහ වීදුරුව පහත් වෙලා  “කල්පනී” කියල කතා කළා. කළු කණ්ණාඩි දාපු සැප සනීප පාටක් තියන පිරිමි කෙනෙක් තමයි ඒ. ටිකක් මහතයි. බඩත් ටිකක් ඉස්රහට නෙරල තිබුණ. අත් කොට ප්‍රින්ටඩ් කමිසයක් ඇඳං හිටියෙ. රත්තරන් පාට ඔරලෝසුවකට අමතරව අතේ ඔරලෝසු පටිය වගේම මහත රත්තරං බ්‍රේස්ලට් දෙක තුනක් තිබුණ. බල්ලෙක්ගෙ දංවැල තරං මහත චේන් එක දැක්කෙ ඊටත් පස්සෙ.

“අඳුරගන්න බැරිද මාව… ඔයා දැං කොළඹද ඉන්නෙ…”

කියල අහන ගමන් එයා කළු කණ්ණාඩි හිස් මුදුනට කළා. දෙයියනේ එතකොටයි මං ඒ හිනාව ඇඳිරුවෙ.

දුලාජ්!

සකී ආන්‍යා තඹරවිල

මගේ හිත රිදී තිබිණ!

නමුත් මා වරදක් කොට නොමැති බැව් මම දනිමි. මා කළේ ආදිල් ට පෙම් කරනා එක පමණකි. එද ඔහු වෙනත් ගැහැනියකගේ පෙම්වතෙකු නොවෙනා බව දැනයි. අතරමගකින් අපතරට කඩා වැදුණු ඔහු ගේ පැරණි පෙම්වතියක නිසා අප දෙදෙනා අතරේ වූ සාමය දෙදරා යන්නට පටන් ගෙන තිබේ. ප්‍රේමය තිගැස්සී මුළුගැන්වී තිබේ. මුළු රැය ම නින්ද නොගියෙන් මම අළුයම යහනෙන් නැගී සිටියෙමි  හතරයි හතළිහ ලෙස වෙලාව සනිටුහන් වී තිබිණි.

පිරිසිඳු කිරීම් වලින් පසු මා හැඳ පැළඳ පහළට එන විට මානෙල් අවදි වී සිටියා ය. මා දැක ඕ තරමක වික්ෂිප්ත භාවයකට පත් වූවා ට සැක නැත.

“සකී බබා මේ පාන්දරම කොහේ යන්නද…”

“මං පොඩ්ඩක් එළියට යනව. ආච්චට කියන්න බය වෙන්නෙපා කියල”

“සකී බබා තේ බීල යන්න. ආදිල් මහත්තය එක්ක නේද යන්නෙ…”

“නෑ නෑ මං තනියම යන්නෙ මානෙල් අම්ම. දැං තේ ඕන නෑ”

හඬ නො නැගෙන සේ මහ දොර විවර කොටගෙන විත් මා රියට නැඟුණේ හැකි ඉක්මනින්  නික්ම යාමේ අවශ්‍යතාවයෙනි. තව දුරටත් මේ වහල යට ම සිටියා නම් මා උමතු විය හැකි බව මට දැනිණ. මට ඕනෑ වූයේ ඉක්මන් ඈත් වීමකි. ඒ ආදිල් ගෙන් විතරක් නොවේ. මට සමීප කවයේ සිටිනා සියලු දෙනාගෙනි. මගේ හිතත් එක්ක පමණක් තනි වන්නට මට ඕනෑ විය.

එහෙව් දරා ගත නො හැකි පීඩනයක දී හිත සැහැල්ලු වෙන තුරු ඇවිදීම මට පුරුදු දෙයකි. අම්මා නැති වුණ අලුත ද තාත්තා නැති වුණ අලුත ද හසන්ත ගෙන් වෙන් වූ මුල් දින වල ද මම එහෙම ඉබාගාතේ ඇවිද ඇත්තෙමි. යන්නේ කොහේදැයි අරමුණකින් තොරව රිය පදවා ඇත්තෙමි. අධිවේගී මාර්ග වල ගමනාන්ත කරා ගොස් නැවත පැමිණ ඇත්තෙමි. එහෙමත් නැත්නම් මා පයින් ඇවිදින්නේ ගාලු මුවදොර අවකාශයෙහි ය.

අදත් මා නො දැනුවත්ව ම ගිහින් තිබුණේ ගාලු මුවදොර වෙතටයි.  ඊට පෙර රියෙහි දී මගේ ජංගම දුරකතනය ට ආදිල් ගේ නමින් ඇමතුමක් ආවේ ය. අසුන මත වූ දුරකතනය දෙස බැලී ද මට ඊට පිළිතුරු දෙන්නට ඕන වුණේ නැත. මා මේ සොයා යනුයේ අභ්‍යන්තර සාමයයි. මට මා තුළ නිවීමක දැඩි අවශ්‍යතාවයක් දැනේ. මේ ඇමතුමට පිළිතුරු දීම තුළ ඒ සැනසීම මුළුමනින් බිඳී යාමට පිළිවන. ඒ ගැන බියක් මට දැනිණ. එබැවින් දුරකතනය හැඬවී අවසාන වන තුරු මම නිසසලව රිය පැදවීමි. එය හැඬවී නිමා වූ ගමන් ක්‍රියා විරහිත කොට දැමුවෙමි.

දැන් මා නරක පෙම්වතියක ද කියා මා දන්නේ නැත. මේ වෙලාවේ මට හොඳ පෙම්වතියක වීමට ද උවමනා නැත. මට ඕනේ මා වී ඉන්නටයි. වෙන කිසිවෙකුට රිදවන්නට බැරි පරිදි මා නමැති ආරක්ෂක කවචය තුළ සැඟවී ගන්නටයි. මට හැකි උපරිමයෙන් මම එසේ මා රැකගනිමි. මේ මොහොතේ මා සිතිය යුතු වන්නේ මා ගැන ම පමණකි.

උදය නිසා තද සූර්ය තාපයක් නැත. තල් ගස් සෙවනේ, තෙත්බර ලුණු සුවඳක් තැවරුණ මුහුදු සුළඟ අතරේ, සීමා මායිම් නැති සයුරක දර්ශනය පසෙක දිස් වන සීමාවක මම ඔහේ ඇවිද ගියෙමි. තේ බීවේ නෑ කියා සිහි කළ තුනී කුස ගින්නක් හමුවේ කොළ කැඳ විකුණනා ගැහැනියක වෙත සමීප වී හාතවාරිය හැඳ බඳුනක් මිල දී ගතිමි. සිමෙන්ති බැම්මක් මත වාඩි වී උණු උණුවේ ම කොළ කැඳ තොල ගාත්දී, මා මේ විශ්වයට අයත් අංශු මාත්‍රයක් බව මට දැනී යන්නට ඇත. කිතුල් හකුරු කීවාට මේ පොල් හකුරු යයි ආච්චා කියනු ඇත. නමුත් ඒ හකුරු කැබැල්ල මට නම් මී පැණි හකුරු වාගේ රසට දැනිණ.  දැන් ගෙදර අය යම් තරමකට කලබල වී ඇතිවා විය යුතු ය. ගෙදර අය කීවාට ආච්චා නම් මා ගැන කලබල නොවන බව දනිමි. මොහොතකට නො සන්සුන් වූව ද යළි ඉක්මනින් ම මා නිවෙනා වග ඇය දනී. ආදිල් නම් ඊයේ රෑ සිදුවීම මත ටිකක් කැළඹී ඇතිවාට සැක නැත. ඇතැම් විට ඔහු මගේ මිතුරියන්ට ද කතා කොට මා ගැන විපරම් කරන්නට ඇත. පීහු හා මුද්‍රා ද තරමක් කළබල වනු ඇත. ඔවුන්ටවත් නො කියා මා කොහේ සැඟවී ගියේ දැයි ඔවුන් බිය වනු ඇත. නමුත් දුරකතනය ක්‍රියාත්මක කරන්නට මට සිත් දුන්නේ නැත.

හෝරා ගණනක් බැම්ම මත වාඩි වී මම මුහුද දෙස බලා සිටියෙමි. කුණාටු ද සුළි සුළං ද පහව ගොස් හිත සන්සුන් වෙමින් තිබිණ. කුස ගිනි දැනෙනා වෙලාවට ‘ස්ට්‍රීට් ෆූඩ්’ වර්ගයක් ගෙන මහත් අභිරුචියකින් කෑවෙමි. පෝෂ්‍ය ගුණයෙන් අනූන ගෙදර පිසිනා ආහාර ගැන විශ්වාසය තිබී ද ඉඳහිට ඒ වාගේ කෑමක තිබිය හැකි අයහපත ගැන නො සිතා කන එක අමුතු රසයක් ගෙන දෙයි. ඒවා හදනා අමුද්‍රව්‍ය වල ගුණාත්මක භාවය ගැන ද ඒවා තනනා මිනිසුන් ගේ දෑත් වල අපිරිසිඳු බව ගැන ද ඒවා පිළියෙල කරනා වතුර කොහෙන් ගන්නවා ඇත්ද කියා ද නො සිතා  කන විට පහසු ය. කුසගින්නක් ඇති විට ද නැති විට ද මම ඒ ලාභ රෝටී, ඉස්සො වඩේ, තෙම්පරාදු කඩල මුල් ආදිය කෑවෙමි. ඒ අතරේ මම අම්මාත් තාත්තාත් සිටි කාලයේ  උන් ගෑනු ළමයා තරමට සැහැල්ලු වී සිටි බව නො කිවමනා ය.

දුරකතනය ක්‍රියා විරහිත කොට එක දවසක් තමන් සමග තනි වී සිටීමේ දී අමතක වී අතරමං වී සිටි තමන්ව ම යළි සොයා ගැනීමේ අවස්ථාව උදා වෙයි!

දැන් ඉතින් ගෙදර යා යුතුයි කියා සිතමින් ද දුරකතනය ක්‍රියාත්මක කොට ආච්චා ට සාමාන්‍ය ලෙස ඇමතුමක් ගත යුතුයි කියා සිතමින් ද සිටියදී මට ලංව මගේ වම් පසින් ද දකුණු පසින් ද පිරිමින් දෙදෙනෙකු හිඳගත්හ. ඒ සුවඳ දෙක වෙන වෙන ම මම හඳුනමි. වම් පැත්තේ හිටියේ ආදිල් ය. දකුණු පැත්තේ සචින් අයියා ය.

“මං හිතුව වෙන කොහෙවත් නෑ කියනකොට මෙතන ඇති කියල”

සචින් ජයග්‍රාහී ස්වරයකින් ද ආදරණීය බැල්මකින් ද යුතුව කීවේ ය. එතුවක් මිදෙන්නට හැර තිබූ හැඟුමන් සියල්ල උදම් රළක් සේ ඉහළ නැගී ආවේ ය. “අයි…යෙ” කියමින් මම ඔහු ගේ උරහිසට බර වුණෙමි. සචින් අයියා මගේ උරහිස වටා අතක් දමා අනිත් අතින් මහිස පිරිමදින්නට වූයේ ය. මට ඉකිබිඳී හැඬිණි. මා පාලනය කරගන්නට කිසි සේත් මට ඕන වුණේ නැත. එච්චර ලොකු හැඬීමේ ඕනකමක් මා තුළ සැඟවී තිබි බැව් හෝ මට වැටහුණේ ඒ වෙලාවේ දී ය.

“මට ටිකක් තනියම ඉන්න ඕනවුණා අයියෙ”

ඉකි බිඳිමින් ම මම පවසා ගතිමි.

“හරි හරි ඉතිං. ඒක වරදක් කියල අපි කවුරුත් කිව්වෙ නෑ. හරියට ශුවර් කරගන්න ඕන නිසා මේ ආවෙ. තව ඕන තරං වෙලාවක් නංගි මෙතනට වෙලා ඉන්නකො. අපිත් ඉන්නවනෙ. මේ ආදිල් බයවෙලා ඔයාගෙ ෆෝන් එකත් ඕෆ් නිසා. ඒකයි මං මෙතන්ට එක්කං ආවෙ”

අතිශය තනිකමක් දැනුණු හා බරපතල විඩාවකින් පෙළුණු අවස්ථා වල මා මෙතැනට පැමිණි බව සචින් අයියා දනී. ඔහු විතරක් ම දනී. සමහර විට අපට ප්‍රේමයෙන් හෝ ආත්මයෙන් ලං වෙන මිනිසුන්ට වඩා මිත්‍රත්වයෙන් සහෝදරත්වයෙන් ලං වෙන මිනිසුන් අපේ හදවත් විනිවිද දකී!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here