සාගර තරංගා – 37

0
6707

සාගරවත් තරංගාවත් වට කරගෙන උන්නේ ඉස්පිරිතාලයේ තිබූ වේදනාකාරී ඝෝෂාවන්‍ ය. හීන් සැරේ බීප් බීප් ගාන පරිගණක තිර ද, මිනිසුන්ගේ සුසුම් ලෑම් ද, එහෙ මෙහෙ දුවන හෙද හෙදියන්ගේ සපත්තු බිම ගැටෙන හඬ ද සාගරත් තරංගාත් වට කරගෙන උන්නද හිත අස්සේ තිබූ භයානක නිහැඬියාව බිඳ දමන්න ඒ සද්ද බද්දවලට පුලුවන් උනේ නැත. විටෙන් විට ඇහෙන තරංගාගේ සුසුම් ලෑම පමණක් සාගරගේ හිත මත්තේ හීන් හිරිවැටීමක් ගෙන ගිය බව ඇත්තකි. එහෙත් සාගර උන්නේත් නිහඬව සනුකිව තබා තිබූ ඇඳ අසල බංකුවක වාඩි වී කල්පනා කරන ගමන් ය.

“මං කාටවත් වරදක් කරලත් නැතුව ඇයි ඩොක්ටර් මටයි මගෙ දරුවටයි මෙහෙම දුක් විඳින්න වෙන්නෙ? දෙයියන්ට පේන්නෙ නැද්ද මේ අපි දෙන්නම විඳවන්නෙ අපි දෙන්නා නොකල වරදකට කියල” මෙච්චර වෙලා අඬමින් උන් තරංගා ඒ ඇසුවේ කඳුලු හිඳී ගිය බොර පාට දෙනෙත එක එල්ලේම ඇඳේ හාන්සි වී නිදාගෙන ඉන්න සනුකි දිහා බලාගෙනය. සනුකි තරම්ම තරංගා ඉන්නේත් කම්පා වී බව තේරුම්ගන්න සාගරට අපහසුවක් නැත. දරුවන්ගේ දුක් ගින්දර කොහොමත් වැඩිහරිය උහුලන්නේ අම්මලාය.

“ඔයා අහලා තියෙනවද තරංගා කතාවක් දෙයියොයි යක්කුයි දෙගොල්ලොම ඉන්නෙ අපි අතරෙ කියලා. ඒ වගේම තමයි දිව්‍යලෝකෙයි අපායයි තියෙන්නෙත් මේ මහ පොලොව උඩම තමයි. අපි හිතන සිතුවිලි වල තමයි තරංගා නිවනයි, සසරයි දෙකම හිතන්නෙ. සමහර මිනිස්සු කරන කියන දේවල් වලින් සංසාරෙ දික්කරගන්නව. තව සමහරු නිවන ලං කරගන්නවා. ඒක ඒ ඒ මිනිස්සු ගෙනාව පව් පින් හැටියට තමයි තීරණය වෙන්නෙ. ඔයාගෙවත් සනුකිගෙවත් වරදකට නෙවෙයි මේ අපි දුක් විඳින්නෙ. මේධංග සසර දික්කරගන්න කරන දේවල් නෙ මේ. වෙච්ච දේ හිතට බරක්, බයක්, වේදනාවක් කියන එක අමුතුවෙන් අපි ආයෙ කතා කරන්න ඕන නෑ. ඒත් දැන් අපි කරන්න ඕන ඒ වෙච්ච දේ ආයෙ නොවෙන විදියට වැඩ කටයුතු හදාගන්න එක. අපි හින්දා, අපි ගත්ත වැරදි තීරණ හන්දා අපේම දරුවො උනත් දුක් විඳින්න ඕන නෑ තරංගා. ඒ හන්දයි අපි සනුකිව පරිස්සම් කරගන්න ඕන. වෙච්ච දේවල් වෙලා ඉවර බව ඇත්ත, ඒත් සනුකිගෙ කන්ඩිශන් එකත් එක්ක එයා ශොක් වීමක් වෙලා නිසා ඉස්සර දවස් කීපය අපි එයාගෙ හිතේ සැනසීම ගැන හිතලා තමයි වැඩ කරන්න ඕන”

“බොහොම අමාරුවෙන් අපි කොච්චර මහන්සි වෙලාද ඩොක්ටර් සනුකිව ඔය ලෙවල් එකටවත් අරගෙන ආවෙ? ඇයි එහෙම එකේ මේධංග මගෙන් පලිගන්න මගෙ දරුවට කරදර කරන්න හිතුවෙ? ඇයි ආයෙම වතාවක් ඒ දරුවව උන්නු තැනටම ඇදලා දැම්මෙ? මට දරාගන්න අමාරු ඒක” අලුත් වෙච්ච කඳුලු පේලියක්  කම්මුල් දිගේ ගලාගෙන යද්දී තරංගා එක මොහොතකට ඇඳේ වැටී ඉන්න සනුකිගේ වතින් නෙතු ඉවතට අරගෙන සාගර දිහා මොහොතකට බැලුවාය.

“තාත්තා කෙනෙක් උනත් මේධංග කියන්නෙත් මනුස්සයෙක්නෙ තරංගා. අම්මල තාත්තල උනා කියල අපේ තියෙන මනුස්ස ගති නැතිවෙන්නෙවත් අපිට අපිව අමතක වෙන්නෙවත් නෑ. අම්මා තාත්තා කියන්නෙත් එක්තරා විදියක ටයිටල් එකක්නෙ. ඒ නිසා මං හිතන්නෙ මේධංග ගැන බලාගන්න වැඩේ නීතිය අතට දීලා අපි දැන් කරන්න ඕන දරුවව පරිස්සම් කරගන්න එක සහ එයාව රිකවර් කරගන්න එක. මේ වගේ පොඩි වයසක සහ ඕටිසම් තියෙන දරුවෙක්ට මේ වෙච්ච දේ ලොකු ශොක් එකක් වෙන්න පුලුවන්. පැනික් ඇටෑක් එකක් ඇවිල්ලා මේක නතර වෙච්ච එක ගැන අපිට සන්තෝස වෙන්න බෑ තරංගා. අපි හිතනවනෙ “අම්මෝ මීට වඩා ලොකු කරදරයක් වෙන්න තිබුනා, දෙයියන්ගෙ පිහිටෙන් එහෙම උනේ නෑ” කියලා. ඒ උනාට මෙතනදි අපිට අමතක කරන්න බෑ දරුවගෙ මෙන්ටලිටි එකට වෙච්ච බලපෑම ගැන.

දරුවෙක්ට ෆිසිකලි වෙන බලපෑමකට වඩා මෙන්ටලිටි එකට වෙන බලපෑමක් දීර්ඝ කාලීනව පවතිනවා. මොකද ඇඟට වෙන තුවාලයක් එලියට පේනවා සහ අපිට එතකොට ඒකට බෙහෙත් එහෙම දාලා සනීප කරන්න පුලුවන්. ඒත් මනසට වෙන තුවාලයක් අපිට ඒ විදියට පේන්නෙ නැ. ඒක එක්කො තියෙන කෙනාම තේරුම්ගන්න ඕන. එහෙම නැත්තම් එයාගෙ වටේ ඉන්න අය ඒක දැකලා එයාව ට්‍රීට්මන්ට් වලට අරගෙන යන්න ඕන. සනුකිගෙ මනසට වෙලා තියෙන බලපෑම කොච්චරද කියලා අපිට දැනගන්න පුලුවන් වෙන්නෙ  එයාගෙ ඉස්සර දවස් ටිකේ හැසිරීම එහෙම බලලා තමයි.

පුංචි කාලෙ දරුවන්ට වෙන මේ වගේ දේවල් එයාලා ලොකු වෙද්දි අමතක වෙයි කියල අපි හිතුවට ඒක එහෙම වෙන්නෙ නෑ තරංගා. ඒ මතක එකතු වෙලා එකතුවෙලා, ඒ වට හරියාකාරව ට්‍රීට්මන්ට්ස් නොකලම වෙන්නෙ ඒ මතක ඒ දරුවො ලොකු වෙද්දි ට්‍රෝමාස් බවට පත්වෙන එක. දෙමව්පියන්ගෙ ලොකුම වගකීම තමයි තරංගා දරුවන්ගෙ මනස ඇතුලෙ චයිල්හුඩ් ට්‍රෝමාස් වලට ඇතිවෙන්න හෝ පවතින්න ඉඩ නොදෙන එක. දෙමව්පියන්ට දරුවන්ට දෙන්න පුලුවන් ලොකුම තැග්ග, දායාදෙ වෙන්න ඕන ඒක. 

ඒ නිසා අපි ඉස්සර දවස් ටිකේම, ආයෙ සනුකි රිකවර් වෙන දවසක් එනකම්ම අපි කරන්න ඕන එයාව හින් සැරේ සනීප කරගන්න එක. මේ වෙච්ච කිසිම දෙයක් ආයෙ කවදාවත් වෙන්නෙ නැති විත්තිය එයාට තේරුම් කරවන එක

ට්‍රෝමාස් අපි හිතන තරම් ඉක්මනට ඔලුවෙන් අයින් කරගන්න බෑ. දරුවන්ගෙ ඇඟට වගේම මනසටත් වෙලාවයි නිදහසයි උවමනා වෙනවා මේ වගේ සිටුවේශන්ස් නිසා හීල් වෙන්න. හැබැයි මෙතන තියෙන වටිනම, හිත සතුටු කරන කාරණාව තමයි දරුවො අපි හිතනවට වඩා හයියයි. හරිම රෙසිලියන්ට්. හරි ට්‍රීට්මන්ට්ස්, ආදරේ, කෙයා කිරීම් එක්ක එයාලට ඉක්මනට හීල් වෙන්න පුලුවන් තරංගා.

ඒ විතරක් නෙවෙයි දරුවා විතරක් මෙතනදි හීල් වෙලා මදි. ඔයා හැමෝටම ඉස්සෙල්ලා රිකවර් වෙන්න ඕන. මේ වෙච්ච ප්‍රශ්න සහ අද වෙච්ච සිටුවේශන් එක නිසා මං හිතනවා ඔයාගෙ ලෝයර් උපරිම සපෝට් එක දේවි කියලා ඩිවෝස් එක ඉක්මන් කරගන්න සහ මං හිතනව අපිට මෙතන සාධාරණ ග්‍රව්න්ඩ් එකක් තියෙනවා කියල ඒක වෙනුවෙන්. කේතකී යන්න කලිනුත් කිව්වා අපි ප්‍රොටෙක්ශන් ඕඩර් එකක් ගමු කියලා. ඒත් මං හිතන්නෙ නෑ මේධංග නම් ආයෙම මෝඩ වෙයි කියලා මේ වගේ දෙයක් කරන්න”

“මට වෙලාවකට හිතෙනවා මං ගත්ත වැරදි තිරණ නිසා අන්තිමේ මගෙ දරුවා ෆේල් වෙලා ජීවිතෙන් කියලා ඩොක්ටර්”

“ඔයා කියන්නෙ කවදාවත් ඔයාගෙ දරුවව ෆේල් කරන්න පුලුවන් අම්මා කෙනෙක් නෙවෙයි තරංගා, මං දවසක් කිව්වා මතකද ඔයා කියන්නෙ ඇත්තටම මේ වගේ තත්ත්වෙක ඉන්න දරුවෙක්ට ලැබෙන්නම ඕන විදියෙ අම්මා කෙනෙක්. ඔයා හිතනවට වඩා ඔයා හයියයි සහ ඔයා දරුවට ආදරෙයි. ඒ නිසාමයි ඔයා හැමෝටම කලින් හීල් වෙන්න ඕන. දරුවන්ට ඕන නෑ තරංගා පර්ෆෙක්ට් දෙමව්පියො. එයාලට ඕන එයාලට උදව් කරන, එයාලට ආදරේ කරන, එයාල ගැන හිතන දෙමව්පියො. ඔයාට නොතේරුනාට ඔයා මේ වෙලාවෙ කරන්නෙත් ඒක තරංගා. ඒ හන්දා ඔයා කවදාවත් එයාව ෆේල් කරා කියලා හිතන්න එපා. මගෙ කටෙන් කියන නිසා නෙවෙයි මට හොඳටම විශ්වාසයි ඒක කවදා හරි සනුකිම ඔයාට කියාවි කියලා”

එදා රැයේ තරංගාත් සාගරත් නින්දක් නැතුව ඉස්පිරිතාල කාමරයේ වාඩි වී සනුකි දිහාම බලාගෙන ඉද්දී සනුකි අපහසු තැනක වුනත් සුවබර නින්දක හිඳිමින් හීන් සැරේ තමන්ගේ මනස සුවපත් කරන ගමනක යෙදී උන්නාය.

ඒ ඉස්පිරිතාල කාමරයක උනත් උවමනාවටත් වඩා ආදරයත්, රැකවරණයත්, කරුණාවත් පිරී තිබුණ බව පුංචි කෙල්ලකගේ හිතට වුනත් තේරුම් ගිය හන්දාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here