සුහදිනී -58

අහස්ගේ නිවස සුන්දර තැනක් වූයේ එහි ගෘහ නිර්මාණ ශිල්පියාගේ දක්ෂ කමට ද නැතිනම් අම්මාගේ ආදරය හන්දාදැයි සකීට කිරා නොමැන්නා ය.එය එතරමට සිත් පැහැර ගන්නා තැනකි. නිවසේ අත් උදව්කාරියට උදව් දෙන්නට ඉඩ හැර අහස්ගේ අම්මා ආහාර පිසින්නට ගත්තා ය.මේ වෙද්දීත් ක්‍රිකට් තරගය පැවැත්වෙමින් තිබේ.එවැනි දවසට පහසුවක් වන්නට අම්මාට මුළුතැන්ගෙයි ද රූපවාහිනියක් තිබේ.

“හිත කඩාගන් නැතුව ආයේ හොඳට සෙල්ලම් කරන්න පුලුවන් වෙන්න කියලා මං බාර නම් කීයක් වුණාද?

අම්මා එසේ කියද්දී සකී ඇගේ සූරිකාන්ත මල් සිහි කළා ය.මේ ඇගේ ප්‍රාර්ථනාවේ බලය ද අම්මාගේ ප්‍රාර්ථනාවල බලය ද යන්න ද කිරා බලන්නට උවමනා ම නොවේ.ප්‍රේමයෙන් පිරී ගොස් කරන ප්‍රාර්ථනා වලට කොහොමටත් විශාල බලයක් තිබේ.

“දැන් මූව නවත්තන්න කාටවත් බෑ.මෙහෙම මෝඩ විදියට බැටින් කරන වෙලාවට නම් කවුරු හරි නවත්තන්නත් පුලුවන් හැබැයි.”

සියුම් පවසන්නේ අහස්ගේ පිතිකරණයේ ඇද පළුදු සොයමිනි.සකී ඔහුට රවා බැලුවා ය.අහස්ගේ අම්මා හිනැහෙන්නේ උස් හඬිනි.

“අහස් ස්කූල් ටීම් ප්ලේ කරන්න ගත්තු දවසෙ ඉඳලා එයාට හිත රිදෙන්නම කමෙන්ට් දෙන්නෙ මගෙ මේ ලොකු කොල්ලා තමයි.කොච්චර රණ්ඩු කරත් අපි ඕවට මැදිහත් වෙන්නෙත් නෑ.සකී පුතේ ඔයත් මැදිහත් වෙන්න එපා.කොහොම මරා ගත්තත් මේ අයියයි මල්ලියිනෙ.අන්තිමට ඒ දෙන්නට දෙන්න හොඳයි අපි වැරදි.”

අහස්ට වඩා දෙමසක් වැඩිමහල් වීම ඉතා ඉහළින් හිතන සියුම් අහස්ගේ ලොකු අයියා වීම ගැන සකීට ද ඇත්තේ තදබල ආදරයකි.නමුත් ඇයට කියන්නට වෙනත් කතාවක් තිබිණි.

“දැන් නම් අයියට හිත රිදෙන කමෙන්ට්ස් ඊට වඩා ගොඩක් ලැබෙනවනෙ අම්මෙ.ඒවා සියුම් අයියා කියනවා වගේ ඇත්ත කතාත් නෙමෙයිනෙ.”

අහස්ගේ අම්මා උදුනෙහි ගින්දර අඩු කර තත්පරයක් දෙකක් නිහඬව සිටියා ය.

“තමන්ගේ නොවෙන අය කියන දේවල් ගැන මොනම වෙලාවකවත් ඕනෑවට වඩා හිතන්න නරකයි.ඒ කවුරුවත්ම අපේ හිත රිදෙනවද නැද්ද කියලා හිතන්නේ නැතුව තමන්ට හිතෙන දේවල් කියනවා.ඒවයින් එයාලට ඕනේ හිත රිද්දන්න නං අපි මොකටද රිද්ද ගන්නේ.”

ඒ කතාව ජීවිතය තිබෙන තුරු මතක තබා ගන්නට සකි තීරණය කළා ය.අහස්ට ඒ ගැන අමතක වන සෑම වාරයක් පාසාම සිහිපත් කළ යුතු වේ.එය එතරමට වටිනා පාඩමකි.

 “දැන් තියෙන්නෙ වර්ල්ඩ් කප් එක හරියට ගොඩ දාගන්න තමා.”

තරගාවලිය සාර්ථකව නිම කළ සතුටින් ඉපිලෙන කණ්ඩායම දෙස බලමින් සියුම් කියද්දී සකී හිස සැලුවා ය.ලෝක කුසලානය ශ්‍රී ලංකාවේ පැවතීම සතුටකි.මොනතරමට ක්‍රිකට් වලට ඇලුම් කළ ද සකී එකම තරගයක්වත් බලන්නට ක්‍රීඩාංගනයකට ගොස් නැත.

“අපි මේ පාර මැච් බලන්න යං.දූටත් අපි එක්ක යන්න පුලුවන්නෙ.”

අහස්ගේ පවුලේ අය සමඟ ඔහු ක්‍රීඩා කරන තරග බලන්නට යාම එක්තරා අන්දමක සිහින සැබෑ වීමක් බව සකීට සිතේ.ඇය මුදු සිනාවක් නැඟුවා ය.සැබෑවටම මේවාට දෙන්නට ප්‍රතිචාර පවා ඇයට සිතා ගන්නට නොහැකි ය.ඇය ප්‍රීතිමත්ව හිනැහෙමින් සිටියා ය.ප්‍රීතියෙන් පිරී යාම යන වදනේ සැබෑ අර්ථය සකීට වැටහෙමින් තිබුණෙ මේ මොහොතේ ය.

අහස් තරගාවලිය නිමා කළ සන්තෝෂයෙන් ඈ අමතද්දී පුදුම කිරීම තිබුණේ සකී අසල ය.ඒ මොහොතේ ඇය සිටියේ අහස් ඔහුගේ ගමන ඇරඹූ දා පටන් දිනාගත් කුසලාන සමඟිනි.ඒවා ගැන අකුරක් නෑර දැන සිටි සියුම් ඒවා එකින් එක ගැන තමන්ගේ සහෝදරියට විස්තර කරමින් සිටියේ ය.මේ සියල්ලේ වටිනාකමට වඩා ඒවා දිනාගත් අහස්ගේ වටිනාකම ගැන සිතමින් සිටියදී ඔහුගෙන් ඇමතුමක් පැමිණීම තරම් සතුටක් සකීට තවත් නොවේ.

“ඔය ළමයා මොකද ඔය කරන්නේ?”

අහස්ට ද නොදන්වා සියුම්ගෙන් අහස්ගේ අම්මා ඉල්ලා තිබූ ඉල්ලීම ගැන සකී පැහැදිලි කළා ය.දැන් ඇය මේ නිවසට විත් හෝරා කිහිපයක් ගෙවී තිබේ.අම්මාගේ ආදරය මොන තරමට ද යන්න ඇය හඳුනාගෙන අවසන් ය.එහෙත් අහස් ට ඇත්තේ වෙනත් අදහසකි.

“ඔය සියුම් ඕව කරන්නේ අපිට ආදරේට නෙමෙයි.ඔයාට නම් මන්දා මට ආදරේට නෙමෙයි.මම ගෙදර නැති හැමදාම ඕකා කරන්නේ අපේ ගෙදර අස්සට ඇවිල්ලා අම්මට බොරු කියන එක.දැන් එයා හදන්නේ ඔයාවත් එයාගෙ සංගමේට ගන්න.”

කුඩා දරුවෙකු පරිද්දෙන් ආඩපාලි කියන ප්‍රේමවන්තයා දෙස මොන තරම් වේලාවක් බලා සිටිය ද  මදි බව සකීට සිතෙයි.ඇය ඔහුට හිනැහුණා ය.අම්මා සහ ප්‍රේමවන්තිය එකිනෙකාට ආදරය කිරීම ඕනෑම තරුණයෙකුට සතුටකි.දෙදෙනාගෙන් කෙනෙකු තෝරා ගන්නැයි කියන අම්මලා ද අම්මා පිටුදකින්නැයි කියන පෙම්වතියන් ද අඩුවැඩි සමාජයේ මව් දියණි බැඳීම රැක ගන්නා නැන්දම්මලා ලේලිලා සෙවීම උගහට බව සකී දන්නී ය.එහෙත් අහස් කැමති ඒ බැඳීමට ඉරිසියා බව පෙන්වන්නට ය.

“කොහොමත් ඔයා වැඩිය ගෙදර නෑනේ.ඒ නිසා අම්මා අපිට ක්ලෝස් වෙන එක නවත්තන්න ඔයාට බෑ.ඒ නිසා ඒ ගැන හිතන්නේ නැතුව ඔයා ගෙදර එන්න.”

සකී අහස්ට අණ කළා ය.ඒ අතරම ඇයට අසන්නට ප්‍රශ්නයක් තිබිණ.ඇය ඔහුගේ සිතුවමක් ඇඳ දුන්නා ය.එය ඔහුගේ වෘත්තීය ජීවිතයට අදාළ මතක සටහන් ඇති තැන තිබේ.නමුත් සූරියකාන්ත මල් සහිත සිතුවම එතැන නොවේ.

“ඔතන තියෙන්නෙ ෆෑන්ස්ලාගෙ තෑගි.ඔය චිත්‍රෙ මට දුන්නෙ සකී කියන ෆෑන්.ඒ වුණාට සන්ෆ්ලවර්ස් දුන්නෙ ෆෑන් කෙනෙක් නෙවෙයි කියලා මං දන්නව.දැනගෙන හිටිය.ඒක තියෙන්නෙ මගෙ රූම් එකේ.”

අහස් එසේ පවසා එය ඕනෑනම් දැක බලා ගන්නට සකීට සිහිපත් කළා ය.සකී හිස දෙපසට වැනුවා ය.ඔහුගේ කාමරයට යන්නට ඇයට ඕනෑ නැත.ඔහු නිවසේ නැති මොහොතක තනිව යන්නට කොහොමටත් ඕනෑ නැත.එහෙත් ඒ කතාව කතාව පැවසීම ගැන ඇයටම දොස් නඟා ගනිමින් සකී අහස් ට සමු දුන්නා ය.එවැනි කතා වලට ඔහුට ඇත්තේ මුහුණ රතු වී යන අන්දමේ පිළිතුරු ය.

සකී ඇගේ අලුත් අම්මාගෙන් සමු ගත්තේ ඉතා ඉක්මනින් නැවත ඈ දකින්නට එන්නට පිළිණ දී ය.ආපසු ගොස් නිම්නාට කියන්නට අටෝරාසියක කතන්දර දැන් ඇයට වේ.

එහෙත් ඇයට කියන්නට වෙනත් කතාවක් සිතේ තබාගෙන නිම්නා මඟ බලා සිටියා ය.

(සකීටත් අහස්ටත් ආදරය දෙන ඔබට ආදරයෙනි.ඔබේ ආදරය කමෙන්ට් එකකින් තබා යන්න.)

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles