පෙමාතුර – 16

රාත්‍රී ආහාරය සඳහා ඉඳි ආප්ප ගෙන්වා ගැනිණ. ඒ සඳහා ව්‍යාංජන ගෙදර පිළියෙල කෙරිණ. අම්මා පොල් මැල්ලුමක් ද නදීරා මිරිස් මාළුවක් ද පුංචී අල කිරි හොද්දක් ද සැකසූහ. ඉෂිනි යන්නට ම හැදුවත් නදීරා ඇය ව බලයෙන් වාගේ කෑමට නවතා ගත්තේ රෑ වී බෝඩිමට ඇරලවන බව කියමිනි. නමුත් කරන්නට වැදගත් වැඩක් ඇති බව කියමින් විසල් නික්ම ගියේ ය.

“මාත් එන්නද ඔයාගෙ තැන බලන්න….”

ඔහු යන්න හදත්දී ඉෂිනි සතුටෙන් ඇසුවා ය. නමුත් ඔහු කළේ “පිස්සුද”  අසමින් ඇය ට රවනා එක ය. 

“විසල්ට කේන්ති ගිහින් ද මන්දා ඉෂී. අපිත් එක්ක තරහ වෙයිද මන්දා”

උයන ගමන් නදීරා කීවා ය. 

“විසල් දන්නව ඉතිං අපේ ගෙදර අනාරක්ෂිත කමක් නෑ කියල ගෑනු ළමයෙක්ට”

“එහෙම දේකට නෙවෙයි අනේ. එයාගෙ හැටි තමයි ඔය”

මා පෙරුම් පුරා බලා සිටි තැනක් වෙත ඉෂිනි කතාව ගෙන ආවා ය. විසල් යනු කවුද කියා ඉෂිනි ගේ ම සිතින් දැන ගන්නට මම පුන පුනා බලා සිටියෙමි.

“හැටි කිව්වෙ…”

ඕන දේකට රවල ගොරෝල පැත්තකට වෙන්න තමයි බලන්නෙ. ගෙදර ගියාම කියනෝ මං අම්මලටයි නැන්දලටයි ඔක්කෝටම…මෙයාට මාව රුස්සන්නෙ නෑ කියල”

ඇය මගේ හිතේ හරස් පද ප්‍රහේළිකා අඳිමින් සිටියා ය. කෙසේ වෙතත් ඒ අවසාන වැකිය මා තුළ යම් කිසි සැනසීමක් දැනවූයේ නැත කියා කීවොත් මුසාවකි. 

“කොල්ලො ඔහොම තමා ඉතිං. ගෑනු අපි වගේ තොඳොල් වෙවී ඉන්න කැමති නෑනෙ. ඒ වුණාට විසල් කියන්නෙ දාහකින් හොයා ගන්න බැරි විදිහෙ හොඳ කොල්ලෙක්”

“ලෝකෙට පරකාසෙ ගෙදරට මරගාතෙ කියන්නෙ ඕවට තමා”

“ඒ කියන්නෙ..”

“නෑ ඉතිං…එයාව හැමෝටම හොඳයි. එයාටත් හැමෝම හොඳයි. මාව තමා ඇලජික්”

ඇය එසේ කියත්දී නදීරා හඬ නගා හිනැහුණා ය. නමුත් එසේ හිනැහුණ එක වැරදියි කියා සිතී ද මන්දා ඇය වහා සිනහව ගිල ගත්තා ය.

“දැන් ඕක ප්‍රපෝසල් එකක්ද…”

අපේ අම්මා සන්සුන් ලෙස ඇසුවා ය. මේ නන්නාඳුනන කෙල්ලගේ පෞද්ලිකත්වය විමසන්නට මේ ගැහැනුන් පෙළ ගැසී සිටින්නේ ඇයි කියන පැනය මවෙත විය. සමහර විට හරසරින් අපේ සමාගමයට පිළිගැනුණ ඇය ගැන සියලු පුවත් දැන සිටීම මැනවැයි සිතුණ නිසා විය හැක.

“අනේ මන්දා අප්පා. ඒක මොකද්ද කියල වෙලාවකට මටත් තේරෙන්නෑ”

ඒ නම් හැඬුම්බර ස්වරයකි.ඒ මොහොතේ දී ඉෂිනි ආත්ම අසරණකමකින් පෙළුණා කියා සිතමි. ගැහැනු ගෙදර ගැහැනු උනුන් ගේ මුහුණු බලා ගෙන නිහඬ වූහ. තව දුරටත් මේ ගැන විමසා ඇය වෙහෙසීම නොකළ යුතු යයි ඔවුන් නිහඬ සම්මුතියකට එළඹුණා කියා සිතමි.

“ගෙවල් දෙකේ අය අපි පොඩි කාලෙ ඉඳලම හිතන් ඉන්නෙ එහෙමලු. කවදා කවුරු ඔළුවට දැම්මද කියල මටත් හරි මතකයක් නෑ. හැබැයි ඉස්කෝලෙ යන කාලෙ ඉඳලම මං දැනං හිටිය දවසක මං බඳින්න ඕන එයා කියල. විසල්ලයිය ඒ ගැන මට පැහැදිලිව හිතන්න දෙයක් කියල නෑ. හැබැයි කොළඹ ආවට පස්සෙ එයා වෙනස්. මාත් කොළඹ ආවෙ එයා ඉන්න නිසා. මේ ළඟකදි ඉඳල එයා හුඟක්ම වෙනස්. කොහෙං හරි කෙල්ලෙක් පටලෝගෙන ඉන්නවද දන්නෑ”

ඇගේ ස්වරය මා දෙදරවීමට සමත් විය. ගැහැනු ගෙදර ගැහැනුන් සිය අතීතය ගැන සිහි කරමින් කතා කරත්දී මා තුළ ඇති ව පුරුදු කම්පනය ම මේ මොහොතේත් දැනුණ බව පිළිගත යුතු ය. ආදරය කියන්නේ එහෙව් යමක් ද? නිතර ම තමන් ගෙන් මිදී වෙනත් කෙනෙකුට හිමි වෙතැයි අප බියෙන් හා සැකයෙන් හිඳිනා යමක් ද?

ඉෂිනි ගිය පසුත් පැහැදිලි කොට ගත නො හැකි බරක් මගේ පපුව මත පැටවී තිබිණි. විටෙක එය දැවිල්ලක් සේ සිරුර පුරා පැතිර ගියේ ය. ඇතැම් විටෙක හුස්ම හිර කරවීමේ තත්වයක් ද ඇති කරන ලදී. 

එක ගැහැනියකට වේදනාවක් වන ප්‍රේමය තවත් ගැහැනියකට සැනසීම සදයි!

කෙසේ වෙතත් ඉනික්බිති නිතර දෙවේලේ ඉෂිනි අපේ ගෙදර දී දකිත හැකි විය. කොළඹ නේවාසික වී රැකියාවක් ද නො කරමින් සිටි ඇය ට මෙතෙක් තිබි එක ම පිළිසරණය විසල් ය. නදීරා හරහා දැන් ඇය ට හිතවත් පවුලක් ම හමු වී තිබේ. ඇගේ පැත්තෙන් එය විශාල දෙයක් වන්නට ඇත. නමුත් ඇය වැඩිපුර අපේ ගෙදරට නැඹුරු වූයේ විසල් මෙහි ඉන්නා නිසාවෙනැයි සිතන්නට මම කැමති වීමි.

නදීරා ගේ හිතවත් කමට අපේ ගෙදරට ආ ඇය ඉක්මනින් ම මට වඩාත් සමීප වූවා ය. ඒ අප ආසන්න වශයෙන් සම වයස් සේ පෙනුණ නිසා විය හැක. මේ ඇසුර ඇතැම් විට මට සතුටක් වී ද ඇතැම් විටෙක මගේ හුස්ම හිර කරවනා හේතුවක් වූයේ ය.

මේ කාලයේ දී දිගින් දිගට ම විසල් මා මග හැරියා කියා සිතමි. ඊට ඔහු ගේ පැත්තෙන් බලපෑ හේතුව ඉෂිනි ද විරංග ද කියන්නට මට හරි හැටි තේරුමක් නැත. ඒ කුමක් වුව ද මා පසු වූයේ මඳ අසහනකාරී තත්වයක ය. එය උත්සන්න වූ අවස්ථා කිහිපයක ම, පාලනය කර ගෙන සිටි සිත පාලනයෙන් මිදුන අවස්ථා කිහිපයක ම මම ඔහු ට ස්ටිකර හා ඉමෝජි යැව්වෙමි. එයින් මට උවමනා වූයේ මට ඔහු සිහි වන බව හැඟවීම ය. නමුත් ඉන් එපිටට පියවරක් තබා ගත නො හැකි ලෙසින් ඉෂිනි මා ඉදිරියෙහි සිට ගෙන සිටියා ය.

කෙසේ වෙතත් ඒ ඉමෝජි සලකුණු ඔහු විසින් දකිනු ලැබූ බව පෙනෙන්නට තිබිණි ද ඔහු ප්‍රතිචාර දැක්වීමෙන් වැලකී සිටියේ ය. වඩාත් මා රිදවූයේ එයයි. විසල් එසේ කරන්නට කරන්නට මම තව දුරටත් ඉෂිනි ට සමීප වන්නට ද වූයෙමි.

ආසන්න ශනිදාවක, වැස්සකින් පසු අහස පැහැදිළි වෙමින් තිබි දහවලක මම මගට බැස්සෙමි. නිශ්චිත අරමුණක් නොවූවත් කර ගන්නට වැඩ කිහිපයක් ම හිතේ වූයේ ය. සියල්ලට වඩා වූයේ ගෙදරට වී ඉන්නට හිත් නො දුන් අසහනකාරී බවයි. 

මා ගුරු පාරෙන් මහ පාරට අවතීර්ණ වෙනකොට ම මහ පාරෙන් ගුරු පාරට විසල් ගේ රිය හැරවිණි. ඔහු නතර වෙතැයි මා සිහිනයෙනුදු නොසිතුව ද රිය නතර කොට ඔහු පැති වීදුරුව පහත් කළේ ය.

“කොහෙද යන්නෙ…”

මම මඳහසකින් රිය වෙත සමීප වීමි. 

“පොඩි පොඩි වැඩ ටිකක් තියනව. පොතක් හොයා ගන්න බුක් ශොප් එකකට යන්නයි…තව ඔය ඒව මේව වගේකුයි”

“කවුරුත් එක්ක යන්න නෙමේනං ඉන්නෙ නගින්න”

“බස් එකේ යන්න ආවෙ. ඒත් ඔයා මේ යන්නෙ ගෙදරනෙ…”

ඔහු කතාවකින් තොර ව අනිත් පසට බර වී රිය දොර ඇරියේ ය. තවත් ඇරයුම් කිරීමකට පෙර මම ඉක්මනින් නැග ගතිමි. ඔහු එතැනින් ම රිය හරවා ගත්තේ ය.

මගේ හදෙහි සතුට දිය බුං ගසන්නට විය. මම දෙතොල් තදින් තද කොට ගෙන මාර්ගය දෙස බලා ගෙන සිටියෙමි. ඔහු කතාවකට අනුබල නොදුන්නෙන් මට ද නිහඬ ව ඉන්නට සිදු විය. එසේ වූවත් ඒ මොහොත ප්‍රීතිය දනවන්නක් වූයේ ය. 

“ඔය ඉෂිනි මොනා කියලද කියල මන් දන්නෑ. හැබැයි එයා මගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් නෙවෙයි”

එහෙව් නිහැඬියාවක අතර මග දී ඒ වගේ වචන ටිකක් කියන්නේ කාල බෝම්බයක් පත්තු වූවා වගේ දෙයකි. ඒ පිපිරීමේ කම්පනයෙන් මම දෙනෙතු විදා ගෙන ඔහු දෙස බලා ඉන්නට වීමි. නමුත් විසල් යන්තම් හෝ මදෙස බැලුවේ නැත. 

ඔහු දැන් එහෙම කියන්නේ ඇයි? මීට පෙර පුංචිලා ඔහු ගේ පෙම්වතියක ගැන කතා කළ අවස්ථා වල විසල් හැසිරුණේ සිනහවකින් බව මට මතක ය. ඒ සිනහවෙන් කියවුණේ ඔහු ඒ යෝජනාව පිළිගන්නා බව නොවේ ද?

තමන්ට බිරිඳක සිටියදී තවත් ගැහැනියක මුලා කොට ගත් සිය සැමියා ගැන මම නදීරා ගෙන් අසා ඇත්තෙමි. එවේලේ ඇය කීවේ එම පිටස්තර ගැහැනිය අසරණ බවයි. ඇයට වඩා ඕ ශක්තිමත් බවයි. නමුත් ඇය කෙසේ කතා කළ ද නදීරා ගැන මට දැනුණේ දුකකි. අප අතරින් බොහෝ දෙනෙකු පෙරළුණ පිට හොඳයි කියන්නට කැමති අය වන්නෙමු. විශේෂයෙන් ම වඩා ශක්තිමත් යයි සිතා ඉන්නා අපි එසේ කරන්නෙමු. මේ මොහොතේ මා ඉෂිනි ගැන සිතුවේ නදීරා ගැන සිතනාකාරයෙනි. මම ටික කලක සිට විසල් ට පෙම් කරමින් සිටිමි. නමුත් ඉෂිනි ගේ පෙම්වතා දිනා ගන්නවාට වඩා මට ඒ ඒකපාර්ශ්වික ප්‍රේමයේ විඳවුම අගනේ ය.

විසල් ගේ ප්‍රකාශය ගැන තනිව හිතුවා මිස මම ඔහු ගෙන් හරස් ප්‍රශ්න අසන්නට නො ගියෙමි. මගේ නිහඬ බව ඔහු කෙසේ පිළිගත්තා ද කියා මා දන්නේ නැත.

“අපේ ගෙවල් වල මිනිස්සු අපි නොදන්න කාලෙම හිතන් හිටිය දේවල්ලු ඒ. ඒ ළමයගෙ ඔළුවටත් ඔය මනස්ගාත පටවල…”

මා කුමක් කියන්න ද මා කියනා දෙයක් තව කෙනෙකුට අසාධාරණයක් විය නො හැකි ද යන ප්‍රශ්නය මත මම දිගට ම මුණිවත රැකියෙමි. නමුත් විසල් මේ විදිහට මගේ පසෙකින් සිටීමේ ප්‍රීතිය මා දමා ගියේ ම නැත. 

මේ වෙලාවේ කතා නොකළා ට මට කරන්නට හිතුණ දේවල් බොහොමයකි. ඒ අතරින් වැදගත් ම දේ ඔහු ගේ ගෙලෙහි දෑතින් ම එල්ලී තදින් කොපුලක් සිප ගැනීම ය. ඉෂිනි එසේ කිරීම ගැන ඉසියුම් ඊර්ෂ්‍යාවක් ද මට විය. ඇය සිප ගත්තේ පා ඇඟිලි තුඩගින් එසවී යන්තම් කම්මුලක් ය. නමුත් මට ඔහු තදින් සිප ගන්නට ඕනා විය. ඒ සිතිවිල්ල මා පිස්සු වට්ටන්නට පෙර මා වෙනත් අරමුණකට යොමු විය යුතු ව තිබිණ.

“මාව ඔය ඉස්සරහ බුක් ශොප් එක ළඟින් දාල යන්න”

මම ඉක්මන් කොට කීවෙමි. යන්නට සිටි පොත් හල එය නො වුණත්, තව දුරටත් විසල් සමීපයේ රැඳීමෙන් හදවතෙහි ඇවිලෙන්නා වූ ප්‍රේම උණුහුමෙන් මා නොකළ යුතු යමක් මගේ අතින් සිදු වන්නට පෙර විසඳුමක් අවශ්‍ය කළේ ය.

“තෑන්ක්ස් විසල්”

කියා ගෙන රියෙන් බැස ගත් මම පොත් සාප්පුව තුළට රිංගා ඉක්මන් ගමනින් පිය ගැට පෙළ දිග දිව ගියෙමි. ලෑලි පිය ගැට පෙළ දඩ දඩස් හඬ නැංවී ය. මතු මහලේ දී මම හති දමමින් සිටියෙමි.

ඉංග්‍රීසි නවකතා පොත් අතරේ මම ආදර කතාවක් සෙව්වෙමි. ඉතා තදින් හදවතින් වැළඳ ගත හැකි, ඉතා උණුහුම් හැඟීමක් ලේ නහර පුරා රැගෙන යා හැකි ආදර කතාවක් මට උවමනා වී තිබුණේ ය. 

ඒ වෙලාවේ මතු මහලේ ඉංග්‍රීසි පොත් අංශයේ කිසිවෙකු සිටියේ නැත. අංශය භාර යයි සිතිය හැකි සාරි හැඳි තරුණියක් මේසයට හිස ගසා නිදා ගෙන සිටියා ය. මගේ ළඟින් ම කිසිවෙකු වන බව දැනුණ උණුහුමකින් මම හැරී බැලුවෙමි. වෙන කිසිවෙකු නොව ඒ විසල් ය. මට ඉතාමත් සමීප ව උන් හෙතෙම ඒ නිමේශයේ මට දැනුණේ ඉතා දැවැන්ත ආත්මයක් සේ ය. මා කුරු කුහුඹුවෙකු සේ ය. ඒ කුරු කුහුඹු බව ගැන කැමැත්තක් ද මට විය. කෙසේ වෙතත් ඇතුළාන්තයේ ක්ෂණික සුළි කුණාටුවක් ඇති වී තිබිණ.

ඒ සියල්ල ඇරඹුමේ ම පවතිත්දී පිටතින් ද කුණාටුව හමන්නට විය. විසල් ගේ විසල් දෑත් යුග අතරේ මා පොත් රාක්කයකට තද වූ බව මතක ය. ඒ සමගින් ම ඔහු ගේ දෙතොලට මගේ කොපුලක් තද විය. 

මොහොතකට ඇස් පිය වී ගියේ ය. ඊට ටික වෙලාවකට කලින් මගේ හදවතෙහි වූ ප්‍රාර්ථනය මේ විදිහට ඉටු වීම ගැන මම තුෂ්ණිම්භූත වූයෙමි. ඒ තුෂ්ණිම්භූත බව අතරෙහි ම ඔහු නික්ම යනවා පෙනුණේ ය. ඔහු ගේ පිය හඬ ලෑලි පඩි මත වැදෙනා හඬ ඇසුණේ ය.

හදවත දඩ දඩ ගා ගැහෙමින් තිබෙනා බව මට දැනුණේ ඒ වෙලාවේ ය. මම පොතක් තිබූ අතින් පපුව අල්ලා ගන්නා ගමන් අනිත් අතින් ඔහු තදින් සිප ගත් කම්මුල පිරිමැද බැලුවෙමි. අවසර ගැනීමකින් තොර ඒ ආක්‍රමණකාරී ප්‍රවේශය මඳහසින් ද උණුහුමින් ද පිළිගන්නා රැඩිකල් ගැහැනියක් මා තුළ සිටියා ය!

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles