මීදුම් මාරුත -6

තනි වූ ගැහැනියකගේ ඇස අග කඳුළු ඇති බවත් ඒවා සීතල බවත් වටහා ගන්නට බොහෝ දෙනෙකුට හැකියාවක් නොවේ.ඒ කඳුළු තමන්ගේ අභිමතයන් පහසුවෙන් ඉටු කරගන්නට පාරු පැදිය හැකි ගඟක්ව ගලන තුරු බලා සිටිනා වුන් ද අනන්ත ය.රූමත්කම පහව නොගිය වැන්දඹු තරුණිය කාර්යාලයේ දී රාජකාරි කරනවාට වඩා කල්පනා ලෝකයේ සැරිසරන බව වටහා ගත් උමේෂ් ඈ වෙත ළං වූයේ කල්‍ යල් බලා ය.

“කාව්‍යා,තාම අර හෙඩේක් එක තියනවද? එහෙම වෙලාවට ඉතින් අපෙන් උදව්වක් ඉල්ලන්න හොඳේ.ඕන දේකට අපි ඉන්නව..”

කාව්‍යා ඒ හඬට තිගැස්සී පියවි ලෝකයට ආවා ය.උමේෂ්ගේ දෑස් ඕනෑවටත් වඩා දීප්තිමත් බව ඇයට සිතේ.ඇය ඒ දෙස නොබලා බිම බලා ගත්තේ එනිසා ය.

“ඔයාට රිකවර් වෙන්න කල් ඕන තමා.ඒත් කල්පනා කර කර ඉන්නත් එපා.අපිටත් දුකයිනෙ..”

උමේෂ්ගේ පිවිසීම ගැන තේරුම් ගන්නට තරම් කාව්‍යාට පැහැදිලි මනසක් වූයේ නැත.නමුත් තමන්ට අනුකම්පාව හිමි වන ඕනෑම මොහොතක දැනෙන අපහසුවෙන් පීඩා විඳින්නට වූ ඈ දෑස් උස්සා උමේෂ් දෙස බැලුවා ය.

“මං කවුන්සිලින් යනවනෙ උමේෂ්.සෙනුරගේ මැඩම් කෙනෙක්මයි මාව බලන්නෙ.මට හෙමින් රිකවර් වෙන්න පුලුවන්.”

විශාදයෙන් මිදී ශක්තිමත් වන ගැහැනියට වඩා ස්වාමියාගේ වියෝවෙන් හඬමින් කම්පිතව හිඳින ගැහැනියක උගුලට හසු කර ගැනීම පහසු බව උමේෂ් සිතී ය.”දුක අහන අයියා” කෙනෙකු වීම ගැහැනියකට ළං වන්නට ඇති පහසුම මාර්ගය ය.

“නිකං බෙහෙත් බිබී දුක් විඳින්න ඕන නෑනෙ ළමයො.ඔයාගෙ වැරැද්දකින් සෙනුර නැති උනායැ.ඔයා මොකද මේ ලෙඩ වෙවී දුක් ගන්නෙ.දැන් ඔයා හිත හදාගන්න ඕන කාව්‍යා.මොකද ඔයා බබාලා ඉන්න අම්මෙක් කියලයැ.ලස්සන පොඩි කෙල්ලනෙ..”

කාව්‍යා අපහසුවෙන් වටපිට බැලුවා ය.උමේෂ් කියනා තරමට හිත හදා ගන්නට පහසු නැති බව නොකියා ඇය පරිගණක යතුරු පුවරුව නිස්කාරණව ඔබන්නට වූවා ය.

“ප්‍රශ්න හැමෝටම තියනව කාව්‍යා..අපි කියල සන්තෝසෙන් ඉන්නව කියලයැ..”

දුක කියන්නට කාව්‍යා සූදානම් නැති තමන්ගේ දුක ඇයට කියන්නට උමේෂ් සිතී ය.ඒ පියවර සාර්ථක වන ඉඩ වැඩි ය.

“අපි උනත් කසාද ජීවිතේ ඇතුළෙ සතුටින් කියලයැ.අපිත් මෙහෙම හිටියට ඇවිදින මළ කඳන් තමා.වයිෆ් බබා එයාගෙ ලෝකෙ කරගන්නව.අපි දිහා ඇහැක් ඇරල බලන්නෑ.නොකීවට අපි කවුරුත් ආදරේ හින්දා දුක් විඳින මිනිස්සු කාව්‍යා..”

තමන් ආදරය කරන කෙනා ගැන වැරදි අඩුපාඩු කියන මිනිසුන්ට කාව්‍යා දැඩිව අප්‍රිය කරන්නී ය.තමන්ට සමීප වන ඕනෑම පෙම්වතෙකුගේ අඩුලුහුඬුකම් ගැන රස කරමින් කියන භාවනා ඇගෙන් හිසේ කෙස් ගණනට දෝස් මුර අසා ඇත්තේ එනිසා ය.තමන් වෙනුවෙන් දරුවෙකු බිහි කළ ඒ දරුවා වෙනුවෙන් කැප වී හිඳින බිරිඳ ගැන වගපල කියන උමේෂ් ගැන කාව්‍යා තුළ අප්‍රසාදයක් හට ගත්තී ය.ඇය හුනස්නෙන් නැගිට එතැනින් නික්මුණේ එනිසා ය.

“මොනවද කවී අර උමේෂ් කියන්නේ?”

දුලාරි කාව්‍යා වෙත ආවේ එසේ අසමිනි.මිතුරියගේ ජීවිතයේ අතිශය සුන්දර දවස් ගැන සතුටු වෙමින් හුන් දුලාරි කාව්‍යාට ඇසිපිය සලන වේගයෙන් සිදු වූ විප්පයෝගය ගැන තිබුණේ හද කකියවන ශෝකයකි.සෙනුර වැනි සුන්දර මිතුරෙකු අහිමි වීමේ ශෝකය ද එයට කලවම් කරගත් ඈ කාව්‍යාගේ වේදනාබර දවස් බෙදා ගන්නට සෙවණැල්ලක් වූවා ය.

“දුකින් ඉන්නෙපාලු..”

කාව්‍යා එපමණක් පවසා නිහඬ වූවා ය.

“කතාව නම් ඇත්ත.දුකින් ඉන්නෙක අපි ටික ටික අඩු කරගන්නෝන තමා.ඒක උමේෂ් වගේ මිනිහෙක් කියනවටයි මං ආස නැත්තේ..”

දුලාරි එසේ කියන්නේ මැඩගත් කෝපයෙනි.උමේෂ්ගේ හැසිරීම් රටාව ගැන ඇයට වැටහේ.එය ඕනෑම තරුණියකට පහසුවෙන් වටහා ගත හැකි හැසිරීමකි. තමන් අවට ඇති ලෝකය සහමුලින්ම අතැර දමා නැතිනම් කාව්‍යාට ද උමේෂ් ගැන වටහා ගන්නට නොහැකි නොවේ.නමුත් ඇගේ මනස එවැනි කුඩා සිදුවීමක් පවා වටහා ගත නොහැකි තරමට රිදී බිඳී ගොස් ය.

“කවී..දැන් තියන ලොකුම ප්‍රශ්නයක් කෙල්ලෙ ඕන්න ඕක..”

දුලාරි කාව්‍යාට ඇමතුවේ කරුණාබර හඬකිනි.මේ ගැටලුව මිතුරිය සමඟ සාකච්ඡා කළ යුතුම බව ඇය සිතුවා ය.

“ඔයා දැන් ඉන්නෙ තනියම කියල තේරුණාම උමේෂ්ලා වගේ ගෝත නිල මැස්සෝ ඔයා වටේ කැරකෙයි.පරිස්සමින් කවී.අවුරුදු දාහතේ විතර ඉඳන් සෙනුර එක්කම හිටපු ඔයාට මේ සමහර පිරිමි එන පොට තේරෙන එකක් නෑ.ඒත් පරිස්සමින්..”

දුලාරි එසේ කියද්දී කාව්‍යා මිතුරිය දෙස බැලුවේ විසල් කරගත් දෑසිනි.

“ඔයා ආයේ මැරි කරන්න ආදරේ කරන්න ඕන තමයි කවි.ඒත් අර සින්දුවක තියනව වගේ තිබහට බොර වතුර බොන්නෝනෙ නෑ.ඔයා සීතල උල්පත් වතුරක ගිලිලා හිටිය කෙල්ලක්..”

සෙනුර ගැන මතකයෙන් ද දුලාරි පවසන කාරණාවෙන් ද කම්පනයට පත් කාව්‍යා මිතුරිය දෙස මොහොතක් බලා සිටියා ය.

“මට..මට..ආයේ මැරි කරන්න ඕන නෑ.සෙනූ මං ගාව ඉන්නව.”

එසේ කී කාව්‍යා හඬාගෙන දිව ගියා ය.සේදුම් කාමරයට ගිය ඈ දැන් බොහෝ වෙලාවක් එතුළට වී හඬන බව දුලාරි දන්නී ය.ඇය සුසුම් ලමින් කාව්‍යා එනතුරු රැඳුණා ය.

“මිනිස්සුන්ට මෙච්චර රිදෙන්න හොඳ නෑ.අනිත් එක කාටවත් වරදක් නොකරපු කාව්‍යාට මෙහෙම දඬුවමක් දෙන්න සොබාදහමට මොකට හිතුණද මන්දා..”

දුලාරි එසේ මුමුණා ගත්තේ තමන්ටම ය.උමේෂ් වැනි විකාරකාරයන් නොව සෙනුර තරමටම සුන්දර මිනිසෙකු මුණ ගැසුණ ද කාව්‍යා යළි විවාහ වන්නට ඇති ඉඩ අල්ප ය.ඈ කිසිවෙකුට ආදරය කරන්නට පෙර නැවත ඇයට ආදරය කළ යුතු බව දුලාරි සිතුවා ය.කාව්‍යා ඒ තරම් දුරක් රැගෙන එන්නට මනෝ වෛද්‍යවරිය කොපමණ කාලයක් වැය කරාවිදැයි සිතමින් දුලාරි කල්පනාවට වැටුණා ය.

වසංගතයක් නිසා කඳුලක් ව ගිය ආදර කතාවක සංවේදීම තැන් දරා හිඳින්නට තරම් තමන් සතුව ද මේ වෙද්දී ශක්තියක් ඉතිරි වී නැතැයි දුලාරි සිතුවේ සංවේගයෙනි.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

මුතු බෙලි හදවත – 21 වන කොටස

ආදිත්‍යා ට මුලින් ම දැනුණේ සිය දෙපා සීතල වෙනවා ය. ඒ සීතල වීමත් එක්ක අයිස් සේ ගල් වීමක් ද සිදු විය. ඇගේ...

මතක දිගහැරුම 74 – අප්සාරි සිංහබාහු තිලකරත්න

හැත්තෑ හතරවන දිගහැරුම ,කණ්ඩායමෙන් ඉවත් කිරීම නිසා දැඩි ලෙස මානසිකව පීඩාවට පත්වී සිටි හෂාන්ට ධෛර්ය දීම සඳහා දෙමව්පියන්...

මීදුම් මාරුත -18

"දඟම කාලේ නේද උදාරා දැන්.."මොළකැටි සිනා නගන බිළිඳියගේ සුරතලය දෙස බලා ඉන්නා අතර කාව්‍යා ඇසුවේ ආදරයෙනි.උදාරා ද ඒ...

හිත ගිය තැන්

අශානි ඉක්මන් ගමනින් ගේට්ටුව ඇරගෙන ඇවිත් මහ ගෙදරට ගොඩ උනා.ඇගේ පැමිණීම බලාපොරොත්තුවෙන් කල්‍යාණි බලාගෙන හිටියේ දොරකඩට වෙලා." පයින්...

මවකගේ ලෝකය – 7 වන කොටස

පවුලේ ඥාති දියණියකගෙ විවාහ මංගල උත්සවයකට යන්න අපි ලකලැහැස්ති වුණේ උනන්දුවෙන්. දුවට ගැලපෙන විදිහට ලස්සන විලාසිතාවක ඇඳුමක් තෝරල දෙන්න මං හුඟක් මහන්සි...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content