මා හිස පිරිමැද 05

මගේ විසි එක් වෙනි උපන් දිනයට තිබුණේ දින කිහිපයකි. විසි එක් වන උපන් දිනය විශේෂ කර ගෙන ජෝගි නැටීම ඉහළ පාන්තික ප්‍රවණතාවයකි. අක්කා ගේ විසි එක් වන උපන් දිනය නිමිත්තෙන් අම්මා නැටූ ජෝගිය මට මතක තිබේ. මා දකින්නට හෝ ප්‍රිය නැති මැති ඇමතිවරු පිරිවරාගෙන, මධු විතෙන් පදම් වූ ඔවුන් ගේ පිළිකුල දනවන උස් සිනා හා කතා අසමින් එදා ගත කළ හෝරා කීපය මා තුළ ඔක්කාරය දනවන හැඟීමක් ඇති කළේ ය. මගේ විසි එක් වන උපන් දිනය මේ වගේ බහු රූ කෝළමක් කර ගන්නට අම්මා ට ඉඩ නොදෙන්නෙමැයි මා තීරණය කර ගත්තේ ඒ රාත්‍රියේදී ම ය. 

වසර කිහිපයකට පසු යළිත් ඒ දිනය උදා වීමට යයි. අම්මා මගේ උපන් දිනය මතක තියා ගෙන ඉන්නට ඇත්තේ ම මැති සබයේ මිතුරු කැළ සමග නාඩගමක් නටන්නට යයි සිතෙත්දීත් මගේ ලේ ධාතුව උණුහුම් වී මා කෝප ගැන්විණ.

“නෑ. මගෙ බර්ත් ඩේ එකට පාටි දාන්නෑ”

මා කීවේ ස්ථිරව ය. අම්මා මදෙස රවා බැලුවා ය.

“එහෙම කොහොමද…ට්වෙන්ටි ෆර්ස්ට් බර්ත් ඩේ එක ලොකුවට සෙලිබ්‍රේට් කරන එකයි සිරිත”

“සිරිත…කොහෙද අම්මෙ එහෙම සිරිතක් තියෙන්නෙ…මේ රටේ දරුවෙක්ට ඉපදෙන්නවත් සුදුසු පරිසරයක් දැන් ඕගොල්ලො ඉතුරු කරල තියනවද…මේ ලෝකෙ දකින්න ඇස් අරින පළවෙනි මොහොතෙම ඒ ළමය ලෝකෙට ණයකාරයෙක්. අඩු ගානෙ ඒ ළමයට ඕනමකරන බඩු මුට්ටු ටික හදා ගන්න එකත් දෙමව්පියන්ට කොච්චර බරක් වෙලා තියනවද කියල ඕගොල්ලො දන්නවද…”

“තිසුරි පුදුම කතාවක්නෙ කියන්නෙ. මට පුළුවන්ද රටේ ඉන්න ඔක්කොම ළමයි ගැන බලන්න…මට පුළුවන් මගෙ ළමයි ගැන බලා ගන්න”

අවඥාවත් සිනහවක් අම්මා ගේ මුහුණ ට ආවේ ය. මම ඊට නො දෙවෙනි අවඥාවකින් කෙළින් ඇගේ මුහුණ දෙස බැලුවෙමි.

“ඉතින් එහෙනං ඔයාට තිබුණනෙ ගෙදරට වෙලා අපි ගැන විතරක් බලා ගෙන ඉන්න. ජනතා නියෝජිතයො කියාගෙන ඕගොල්ලො පාලිමන්ට් ගියේ ඇයි…එහෙම ගියානං ඔයාට තියෙන්නෙ ඔයාගෙ ළමයින්ගෙ වගකීම විතරක් නෙවෙයි අම්මෙ. රටේ ළමයින්ටත් අම්ම කියල හිතාගෙනයි ඔයා ඒ ළමයි දිහා බලන්න ඕනෙ”

“තාත්ත එයාගෙ බහු බූත වලින් ඔයාගෙත් ඔළුව කුරුවල් කරල”

හැම කුණු ගොඩක් ම බේරේ වැවට යයි කියන්නා සේ මේ වහල යට සිදු වන ඕනෑ ම දෙයක වගකීම අවසාන වශයෙන් අම්මා පටවන්නේ තාත්තා මතට ය. අම්මා ට එරෙහි ව කතා කරන්නට අක්කා ට ශක්තියක් තිබුණේ නැත. නමුත් අම්මා කරන සියල්ල දෙස නිහඬ ව බලා ඉන්නට තරම් මට කොන්දක් නැත්තේ නැත.

“ජෝගි නටන්න තරං තත්වයක් දැන් මේ රටේ තියනවද අම්මෙ…ඕගොල්ලොන්ට ගාණක් නෑ. ඕගොල්ලොංව නඩත්තු කරන වගකීම මිනිස්සුන්ගෙ කර උඩ පටෝල ඕගොල්ලො ඩෙඟා නටනව. පාටි දානව. ක්ලබිං යනව. අබ්‍රෝඩ් ටුවර්ස් යනව. කන්න බොන්න තියා හුස්ම ගන්නවත් බැරි තරමට බදු බරක් මිනිස්සුන්ට පටෝල. පව් හිතෙන්නැද්ද අම්මෙ. ඉස්පිරිතාල වල බෙහෙත් ටික නෑ. ළමයින්ගෙ අධ්‍යාපනේ බල්ලට දාල. දෙයියංගෙ නාමෙට නිදහස් අධ්‍යාපනෙයි නිදහස් සෞඛ්‍යයි කියන දෙකවත් බේරල දෙන්නකො. වැඳල කියන්නං. දුප්පත් ළමයින්ට ගොඩ යන්න තියන එකම මාර්ගෙ ඔය නිදහස් අධ්‍යාපනේ. සනීප කරන්න පුළුවන් ලෙඩකින්වත් මිනිස්සු බේරගන්න දොස්තරලට බැරි වෙන තරමට ඉස්පිරිතාල වල බෙහෙත් නෑ. මේව සෙල්ලන්ද අම්මෙ…මේක හරිහමන් විදිහට නීතිය ක්‍රියාත්මක වෙන රටක් වුණානං ඕගොල්ලො ඔක්කොමලට විරුද්දව නඩු දාල හිරේ යවන්න පුළුවන් මේ කරන අපරාදෙට. එහෙම තත්වයක් රටේ තියාගෙන…අවුරුදු විසි එකක් වෙන එක ඕගොල්ලන්ට ජොලියක්. එක අතකට ජොලියක්නං තමයි…මේ වගේ නරුම දේශපාලනයක් එක්ක අවුරුදු විස්සක් ජීවත් වෙනව කියන එකම ජොලියක්”

ඒ තරම් ආවේගයකින් අම්මා ට චෝදනා කිරීමේ අදහසක් මා තුළ වූයේ නැත. නමුත් අන්තිමට මා සිටියේ මාව ම පාලනය කර ගත නො හැකි තත්වයක ය. එය එක්තරා ආවේශයක් සේ ය. අම්මා ද තරමක් ගැස්සීගෙන බලා සිටියා ය. මට කුමක් සිදු වන්නට යන්නේ ද යන ප්‍රශ්නය ඈ ඉදිරියේ දත් විළිස්සා ගෙන සිටින්නට ඇත.

“මේක මගෙ බර්ත් ඩේ එක. මට විසි එක ද තිස් එක ද ඒකට පාටි දානවද නැද්ද කියල තීරණේ කරන්නෙ මං. නැතුව ඔයා නෙවෙයි අම්මෙ. ඕගොල්ලන්ට ජෝගි දාන්න ඕනනං වෙන හේතුවක් හොයා ගන්න දෙයියංගෙ නාමෙට මාව අත්ඇරල. මගෙ බර්ත් ඩේ එකට පාටි නෑ. ඔය කොහෙවත් යන දේශපාලන හෝතම්බුවො එක්ක සමරන්න සතුටක් මට කොහොමටත් නෑ. ඕන්නං අක්කලටත් එන්න කියල අපි ගෙදර කට්ටිය එකට ලන්ච් හරි ඩිනර් හරි ගමු. දැට්ස් ඕල්!”

අවසාන වශයෙන් තීන්දුව ප්‍රකාශ කොට නිම වන විට මා සිටියේ මඳ වෙව්ලීමක් සමග ය. දාහයක් ද සිරුර ට දැනෙමින් තිබිණ. අම්මා ඇස් ලොකු කර ගෙන බලා සිටියා ය. කිසියම් අසරණ හැඟීමක් ඒ ඇස් වල තිබුණා යයි මම සිතමි. ඒ අසරණකම සිය සගයින් සමග විනෝද වන්නට තිබුණ හේතුව හා අවස්ථාව මගහැරී යාම ගැන විය යුතු ය. 

කෙසේ වෙතත් මම හුදෙකලා සතුටක් වින්දෙමි. ඒ මගේ මතය යටපත් කිරීමට අම්මා සමත් නොවීම ගැන ය. අරගලයෙන් ඇය පරාජය කොට මට ජය ගැනීමට හැකි වීම ගැන ය. නමුත් මෙවන් ඒකල අරගලයක් ජය ගත්ත ද මගේ අනාගතය ජයග්‍රහණයකින් තොර විය හැකි යයි මා සිහි කළේ එක්තරා භීතියකිනි.

එම සිදුවීමෙන් පසු උදව්වක් ඉල්ලන්නට ය කියා මා විදුර වරදත්ත ට කතා කළේ හිතේ කැළඹුම හොඳට ම සන්සුන් වූවාට පස්සේ ය. 

“මං දන්නෑ මෙහෙම රික්වෙස්ට් එකක් කරන එක කොයි තරං ප්‍රැක්ටිකල්ද කියල. බෑ කියල කිව්වට චුට්ටක්වත් මං තරහත් නෑ. ඒත් මේක මගෙ ආසාව. අඩු ගානෙ නිකමට ඒක කියන්න විතරයි ඕනෙ”

තත්පර වූයේ දැඩි නිහඬතාවයක් එක්ක ය. ඒ නිහඬ බව තුළ මගේ හෘද ස්ඵන්දනයේ හඬ ඝෝෂාවක් සේ මට ම ඇසිණ.

“කියන්නකො තිසුරි”

මඳ පමාවකින් ඔහු කීවේ ය. හිස මත මහ බරක් පටවා ගත් කෙනෙකු ගේ වන් හිරවීමකිනි ඒ වචන පිට වූයේ.

“මට කොෆී එකක් බොන්න ඕනෙ. ඒක මගෙ ට්වෙන්ටි ෆර්ස්ට් බර්ත් ඩේ එකට මං මටම දෙන ගිෆ්ට් එක. ඒක ඇත්තටම කරන්න පුළුවන්ද කියල මං දන්නෑ. සේෆ්ටි ෆර්ස්ට් කියල මං දන්නව. ඒත් පුළුවන්නං…සර්ගෙ ආරක්ෂාව ඇතුව…තැන ඩිසයිඩ් කරන්න සර්ට පුළුවන්. මං කියන ඕනම තැනකට එනව”

එවර නිශ්ශබ්දතාව පෙර දී ට වඩා දිගු වූයේ ය. එය එසේ විය යුතු බව මම දනිමි. කොහේදෝ සිටි කජු කිරි කෙල්ලක උන් හිටි ගමන් මතු වී මේ වගේ බොළඳ ඉල්ලා සිටීමක් කළාට ඔහු වන් ජ්‍යේෂ්ඨ හා අවදානම් කලාපයක පසු වන මාධ්‍යවේදියෙකු ට එසේ කළ නො හැකි විය හැකි ය.

“මොනාද තිසුරි මං ඔයාට කියන්නෙ…ම්…මොනාද කියන්න ඕන…”

දෙවියනි වෙන මොනවාවත් ම නැතිවාට කම් නැතැයි ඒ මොහොතේ මට සිතිණ. මට ඒ වචන ටික තදින් බදා ගෙන ඊළඟ ආත්මය තෙක් ගමන් කළ හැකි ය. ඒ වචන යටින් තිබූ හැඟීම තුරුලු කොට ගෙන ජීවත් වෙන්නට හෝ මියෙන්නට හැකි ය. 

“අනේ…කමක් නෑ. එහෙම ඕනෙ නෑ. මට ඒ ගිෆ්ට් එක ලැබුණ කියල හිතා ගන්න දැන් මට පුළුවන්”

ඇස් වල කඳුළු පුරවා ගෙන මම අසීරුවෙන් කියා ගතිමි. ඔහු පසු වූයේ ඊටත් වඩා අසීරුවක වන්නට පිළිවන.

“මං කියන්නද…මං ඔයාට කෝල් එකක් දෙන්නද…”

“හ්ම්”

ඔහු ඒ ඇමතුම නො දෙන බව මම එවෙලේ ම සිතුවෙමි. නමුත් මගේ යටි හිත නිදා නො නිදා ඒ දින දෙක ම බලා සිටියේ ය. අඩු තරමින් උපන් දිනය දා උදේ හෝ ඔහු ගෙන් සුබ පතනා ඇමතුමක් ඒවි යයි දුරකතනය අතේ තියා ගෙන ම සිටියෙමි. එක කෙටි පණිවිඩයක් හෝ ඒවියි බලා ගෙන සිටියෙමි. හිත ට දුක හිතෙන්නට හිතෙන්නට මුව මඳහසක් ඇඳ ගත්තේ ය. 

“කොහොමද මාව ශුවර් කරල එයා එහෙම ගමනක් එන්නෙ…මං කවුද කියල නොදැන කොච්චර වුණත් එහෙම කරන්නෙ කොහොමද…කෙල්ලෙක්ව ඉස්සරහට දාල කොහෙට හරි අරං ගිහිං වෙඩි තියල දාන්න වුණත් පුළුවන්නෙ”

මම මගේ හිතට ම පැහැදිලි කළෙමි. 

අක්කලා එන්නට නියමිත වූයේ රාත්‍රී භෝජනය වෙනුවෙනි. අපි බොල්ගොඩ ආශ්‍රිත සොඳුරු තැනෙක ඒ හමු වීම යොදා ගත්තෙමු. 

ඊට පෙර විදුර වරදත්ත දැකීමේ හීනය බොඳ කර ගන්නට මට ඕන වුණේ ම නැත. පෙර දැනුම් දීමකින් තොර ව ම කේක් එකක් ද ගෙන මම ජනරාව පත්තර කන්තෝරුව වෙත ගියෙමි. දැන් පිළිගැනීමේ නිලධාරිනිය මා හඳුනන නිසා තහංචියකින් තොර ව මට ඇතුළට යා හැකි ය. මා දුටු විදුර ගේ ඇස් වල වේදනාවක් කැටි විය.

“මේක ඔෆිස් එකේ අනිත් අයට කන්න. මං ගෙනාපු කේක් එකකින් වුණත් කන්න ශුවර් නැතුව ඇති කියල මට තේරෙනව. ඒත් මට මේ ගමන නෑවිත් බැරි වුණා”

එහෙම කියත්දී මා බලාපොරොත්තු නොවූ ලෙස ඇස් දෙකෙන් කඳුළු වැල් දෙකක් පිටතට පැන්නේ ය. ඒ කඳුළු බින්දු ටක් ගාමින් විදුර ගේ මේසය මත අතුල වීදුරු තලාව මතට වැටිණි.

“තිසු…රි…”

ඔහු ට එහෙම කියවිණ. ඒ වචනය ඇතුළේ අසීමිත ගැස්මක් ද තිබිණි. මම ඉක්මනට ටිශූ එකකට කඳුළු වල තෙත මාත්තු කොට ගෙන සිනහවක් නගා ගතිමි.

“ඉතිං මට හැපි බර්ත්ඩේ කියලවත් විශ් කරන්නැද්ද…”

“විශ් යූ මෙනි හැපි රිටර්න්ස් ඔෆ් ද ඩේ”

“ඉන්ෆෝම් නොකර ආවට සොරි. මං එහෙනං යන්නද…”

“ඉන්න මාත් එන්නං”

“කොහෙද…”

“ඔයත් එක්ක කොෆී එකක් බොන්න යන්න”

“බොරු කියන්නෙපා”

කේක් එක සහිත බෑග් එක අතින් ගෙන ඔහු ඉස්සරහාට ගියේ ය. මම ඔහු පසු පසින් ඇවිද ගියෙමි. එය වූ කලී ඇලිස් විස්ම ලන්තයට ගිය ගමන වාගේ එකකි. ඒ තරම් දිව්‍යමය චමත්කාරයක් එහි වූයේ ය. මා ගියේ ඊළඟට සිදු වන්නට නියමිත කුමක් දැයි නො දැන ය. දිව්‍ය ලෝකයට මතු නොව අපායට වුණත් ඔහු පසු පසින් මෙහෙම හීනයක් වගේ ඇවිද යන්නට පුළුවන් කම මට තිබිණ. විදුර කේක් පෙට්ටිය පිළිගැනීමේ නිලධාරිනියට දුන්නේ ය. 

“අද සූරි ගෙ බර්ත් ඩේ එකලු”

“අනේ ඇත්ත ද..”

ඇය මගේ කම්මුල් දෙක සිම්බා ය. මට ඒ කිසිත් දැනුණේ නැත. 

“ආ…ඉතිං මේ විදුර වරදත්ත කොහෙද දන්නෙ නෑ නේද යන්නෙ…”

“විදුර අයිය සෙලිබ්‍රේට් කරන්න යනව වගේ”

“නංගි බලාගෙන මේ අයිය කුකුළ හොඳේ”

අවට උන් පත්තර සගයෝ එක එක කතා කීවෝ ය. විදුර සිනහ වෙවී සිටියේ ය. මගේ කම්මුල් රතු වී පුපුරු ගසමින් තිබෙන්නට ඇත. ඔවුහු මගේ සුරත අල්වා සුභ පැතූහ. 

“මේ ළමය බය වෙලා ඇති උඹලගෙ  කටවල් වලට”

පිටතට යන්නට දොර අරින ගමන් විදුර මදෙස බලා එසේ කීවේ ය. මම මුලින් පිට වීමි.  ආවේ ඊළඟට ය. ඔහු මා කැටිව ගියේ පාර අනිත් පැත්තේ වූ පීසා හට් එකට ය. ඒ වෙලාවේ එහි සිටියේ එක් පෙම් යුවළක් පමණකි. 

“ඔයාගෙ බර්ත් ඩේ එකට මගෙන් ට්‍රීට් එකක්”

කියමින් ඔහු පීසා ඇනවුම් කළේ ය. මම මේසයක් අස හිඳ මගේ ම අතක් කොනිති ගසා ගෙන බැලීමි. මට රිදුණේත් නැති තරමි. ඒ තරමට මා අයිස් මිදීමකට ලක් වෙමින් ඉන්නට ඇත.

“ඉතිං…”

කියා ගෙන ඔහු අසුන් ගත්තේ මා හිඳ ගෙන උන් දිග යුගල පුටුවේ අනිත් කෙළවර ය. එහෙම කියමින් ඔහු කකුලක් ගෙන අනිත් දණහිස මතින් දමා ගත්තේ ය. ඒ පාදයේ වූ දුඹුරු පාට ලෙදර් සපත්තුව ගලවා තිබිණ. විදුර කියන්නේ සුදු පාට සමක් ඇත්තෙකු නොවී ද ඒ යටි පතුල් රෝස පාට මොලොක් ඒවා විය. අතකින් ඔහු ඒ කකුල අල්වා ගත්තේ ය. ඒ අතැඟිලි දිගු සිහින් ඒවා ය. අතැඟිලි පුරුක් මත්තේත්, වැලමිට තෙක් නැවූ කහ දුඹුරු කොටු කමිසයෙන් නග්න වූ අත් බාහු  මත්තේත් ඝණ කළු රෝම තට්ටුවක් විය. මට ඒ අතක් පිරිමැද බලන්නට සිතිණ. ඔබට දිව්රා කියමි. මට ඒ යටි පත්ල ඉතා තදින් සිප ගන්නට ඕනේ විය.  

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles