හිමගිරි අරණ – 4

රවිඳුගේ හිස වෙළුම් පටි වලින් වෙලා තිබිණ.අතක අස්ථි වලට හානි වී තිබූ අතර සිරුරේ බොහෝ තැන්වල තුවාල තිබිණ.ඔහු දුටු වහා පාරමී හුස්ම ඉහළට ගත් අතර ඈ හිමාෂාගේ අත තදින් අල්ලා ගත්තා ය.

“මොනවද අනේ මේ කරගන්නේ?”

ඇය රවිඳුගෙන් ඇසුවේ තරහිනි.ඔහු ප්‍රේමයකින් වග ඇය දැන නොසිටියා ය.ඇගේ ආදරය සෑම මොහොතකම රවිඳුට හඟවා තිබියදී ඔහු මේ කොහේවත් ඉන්නා කෙල්ලෙකු නිසා ජීවිතය නැති කරගන්නට යාම ගැන පාරමීට ඇති වූයේ කෝපයකි.

“කෙල්ලෙක් හින්දා මැරෙන්න යන්න ඔයාට පිස්සුද රවිඳු? අනික මේ ඔයා ගැන බිංදුවක්වත් නොහිතපු කෙල්ලෙක් වෙනුවෙන්? “

පාරමී හෑල්ල පුරන්නට වූවා ය.හිමාෂා ඇය දෙස හෙළුවේ තද බැල්මකි.අතිශය හිත් වේදනාවකින් සිටින මොහොතක ඒ ගැන වැඩිදුර හාරාවුස්සා බැලීම අතිශය සිත් පීඩා ඇති කරන්නක් වග ඇය අත්දැකීමෙන් දැන සිටියා ය.එනිසාම රවිඳු සමඟ මේ මොහොතේ ඔහුගේ පෙම්වතිය ගැන කතා කිරීම අනවශ්‍ය වග හිමාෂා තේරුම් ගෙන සිටියා ය.ඒ තද බැල්ම පාරමීගේ වචන නැවතූ අතර රවිඳු හිමාෂා දෙස බැලුවේ මුදු සිනාවකිනි.ඔහුගේ වතෙහි ඇඳෙන ඒ සිනාව දුටු හිමාෂා ද සිනාවක් කැන්දා ගත්තා ය.

“කොහොමද රවිඳු දැන් ඔයාට?”

මේ කාරුණික හඬ ඇසෙද්දී වේදනා අමතකව යන වග කියන්නට රවිඳුට සිතේ.පාරමී තමන්ගේ ජීවිතයට බලහත්කාරයෙන් පිවිසෙන්නට හදද්දී නොදැනෙන හැඟීමක් හිමාෂාගේ කාරුණික හඬත් ළතෙත් දෑසත් දකිද්දී දැනෙන බව රවිඳුට සිතේ.ඔහු හිඳින්නේ කියන්නට බැරි තරමේ ශෝකයෙනි.ආදරය කළ යුවතිය වෙනත් මිනිසෙකු හා සරණ යන්නට හිත හදා ගැනීම හදවත පහසුවෙන් සකසා ගත නොහැකි තරමට වේදනාවක් ඔහුට උරුම කර හමාර ය.

ආගිය තොරතුරු ද කාර්යාලයේ විස්තර ද හැරෙන්නට ඒ යුවතිය ගැන කිසිවක්ම නාසන්නට හිමාෂා ප්‍රවේසම් වූවා ය.ඇයට කතා කරන්නට ඉඩ නොතබාම පාරමී කියවද්දී ඒ මාතෘකාවලින් පිටත දෙයක් කතා කරන්නට පාරමීට ඉඩ නොතබන්නට හිමාෂා ප්‍රවේසම් වූවා ය.රවිඳුට ඒ මිනිත්තු කිහිපය විශාල මානසික සහනයක් ගෙන ආවේ එනිසා ය.

“හිමා..ඔයා එක්ක මට ටිකක් කතා කරන්න ඕන.”

රවිඳු දෙමිතුරියන් සමු ගන්නට යද්දී හිමාෂාට පැවසී ය.ඒ අසා පාරමීගේ මුහුණ අඳුරකට හැරුණ ද හිමාෂා රවිඳු දෙස බැලුවේ සුහද දෑසකිනි.

“ඇයි රවිඳු?”

මේ මොහොතේ රෝහලේ රැඳෙන්නට කාලය ප්‍රමාණවත් නොවේ. නමුත් දැඩි මානසික පීඩාවකින් පෙළෙන රවිඳුට කාලය නොදී හිඳින්නට හිමාෂාට අසීරු ය.

“මට මේ ප්‍රශ්නෙ පුදුම තරම් අමාරුයි හිමා.ඇත්තටම ජීවත් වෙලා මොකටද කියලා හිතෙන තරම් අමාරුයි.මං ඔයා එක්ක ඒ ගැන කතා කරන්න හිතුවේ ඔයා මේ වගේම ප්‍රශ්නෙකින් ගොඩ ගිය නිසා. එක ජාතියේ කුරුල්ලන්ට එකට පියාඹන්න ලේසියි කියනවනෙ. මට ඕන වෙනුරි ගැන දැනෙන හැම දේම කාත් එක්ක හරි බෙදා ගන්න.මං සනීප වෙලා ගෙදර ගියාම මාත් එක්ක ටිකක් කතා කරන්න පුලුවන්ද?”

හිමාෂා හිස වැනුවා ය.ඇය සමඟ කතා කරන කාරණාව තමන් සමඟ බෙදා ගන්නට රවිඳුට නොහැකි ඇයිදැයි පාරමී සිතුවේ කණස්සල්ලෙනි.ඇයට ඔහුගේ දුක තුනී කර ඔහුට සිනාව සොයා දෙන්නට හැකි ය.නමුත් රවිඳු තමන්ගේ දුක කියන්නට තෝරාගෙන ඇත්තේ හිමාෂා ය.විවාහයකින් වෙන්ව වෙසෙන ඇය තමන්ට වඩා ඒ සඳහා සුදුසු වන්නේ ඇයිදැයි පාරමී සිතන්නට ගත්තේ අවුල් වී ගිය සිතුවිලි දාමයකිනි.

“රවිඳුට ඇයි මාත්තෙක්ක ප්‍රශ්න බෙදා ගන්න බැරි?”

ඇය ඒ වේදනාව වචන කළේ රෝහලින් පිට වූ විගස ය.හිමාෂා හිනැහී මිතුරියගේ අතකින් අල්ලා ගත්තා ය.මේ තත්ත්වයට මුහුණ දෙන්නට සිදුවන වග ඇය කල් තියාම දැන සිටියා ය.

“එයා ඉන්නේ ආදරේ කරපු ගෑනු ළමයා එයාට පිටුපාපු වේදනාවෙන් පාරෝ.ඉතිං රවිඳුට ඕන ඇති ඒ වගේම වේදනාවක් ඊටත් වඩා කරදර ගොඩක් එක්ක උහුලගෙන මං තාම ජීවත් වෙන සාත්තරේ දැන ගන්න.එයා මගෙන් ඉල්ලන්නෙ උදව්වක්.මං වගේම වුණු මනුස්සයෙක්ට ඒ උදව්ව නොකර ඉන්න මට බෑ.”

දියණියකට උපත දී තෙවසරක් ගෙවී ගිය ද හිමාෂා තවම තාරුණ්‍ය උතුරා යන රූමත් කෙල්ලකි.ඒ උදව්ව කොතැනින් කොහොම කෙළවර වේදැයි පාරමීට දැනුණේ බියකි.රවිඳුට සමීප වන්නට මීට වඩා හොඳ මොහොතක් නැතැයි ඇය සිතා හුන්නා ය.නමුත් රවිඳු මේ මොහොතේවත් ඇයට සමීප වන අදහසක නැත.

“අනේ මන්දා අප්ප.”

මිතුරිය ගැන ඊර්ෂ්‍යාවක් ඇති වෙද්දී පාරමී මිමිණුවා ය.රවිඳු ඇය හා පවසන සියලුම දෑ හිමාෂාගෙන් අසා දැන ගන්නට ඇය අනතුරුව තීරණය කළා ය.

“මං ඔයාට පොඩි දෙයක් කියන්නං.ඔයා මගෙ හොඳම යාළුවා නිසා.”

හිමාෂා ඇසුවේ කාර්යාලයට යන්නට තුන් රෝද රියකට ගොඩ වූ පසුව ය.පාරමී හිස වැනුවා ය.ඇතැම්විට ඇය කියන්නට යන්නේ රවිඳු තමන්ට නොගැළපෙන වග නම් ඒ වෙනුවෙන් කියන්නේ මොනවාදැයි ඇය අනතුරුව සිතුවා ය.

“සෑහෙන්නම හිත කැඩිලා ඉන්න කෙනෙක්ට ආපහු ආදරේ කරන්න,කසාද බඳින්න කියලා බල කරන්න නරකයි.කෙනෙකුට ආයේ ගොඩ නැගෙන්න කාලයක් දෙන්න ඕන.ඒකට සමහරුන්ට යන්නේ හරිම පොඩි කාලයක්.සමහරුන්ට සෑහෙන කාලයක් යනවා.ඒ කොහොම වුණත් ඒ කාලේ ගන්න ඒ කෙනාට ඉඩ දෙන්නෝන.”

හිමාෂා ඒ වචන කියන්නේ ඇගේ ජීවිතය ඇසුරෙන් වග පාරමී දන්නී ය.ඊළඟට කියන්නට යන දෙයින් හිමාෂාට රිදුමක් ඇති වන්නට ඉඩ තිබුණ ද ඒ වචන නොකියා හිඳින්නට පාරමීට නොහැකි විය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles