මලිතුයි චංචලයි දෙන්න කසාද බැඳලා දැන් අවුරුදු පහක්. ආදරේ කරලා තමයි දෙන්නම කසාද බැන්දෙ. මලිත් පුංචි කාලෙම තමයි එයාගේ තාත්තා එයාලාව දාලා ගියේ. ඉන්පස්සෙ අම්මා දහසක් දුක් විඳලා තමයි මලිත්වයි එයාගෙ අයියා ලලිත්වයි බලාගත්තෙ සහ දෙන්නටම හොඳට උගන්නල කරලා හොඳ තැන්වලට අරගෙන ආවෙ. දරුවො දෙන්න ගැන හිතලා කොච්චර තරුණ වයසෙදි උනත් වෙන කසාදයක් ගැන හිතුවෙ නැති මලිත්ගෙ අම්මා උන්නෙත් මලිතුයි චංචලයි එක්ක එක්කම ගෙදර.
“අම්මා තමයි බබා තාත්තා අපිව දාලා ගියාට පස්සෙ අපිව බලාගත්තෙ. අම්මට සෑහෙන දුක් විඳින්න උනා මාවයි අයියවයි බලාගන්න, උගන්නන්න. ඒකමයි මට අම්මව තනියම දාලා වෙනම ගෙදරක පදිංචි වෙන්න යන්න බැරි” කියල මලිත් ආදරේ කරන්න පටන් ගත්ත කාලෙම කිව්ව හන්දා චංචලා ඇත්තටම ඒක දැනගෙන තමයි මේ සම්බන්දෙට ඉන්පස්සෙ කසාදෙට කැමති උනේ.
මුල් දවස් වල නම් ලොකු අවුලක් නැති උනාට නැන්දම්මා ලේලි නොහොඳ නෝක්කාඩු පටන් ගන්න ගත්තෙ මලිතුයි චංචලයි දෙන්නා තනියම කොහෙ හරි යන්න දාගත්තම ඒ මැදට පනින්න නැන්දම්ම බලන් උන්නු හන්දා.
දෙන්න ට්‍රිප් එකක් යද්දි, ඩේට් නයිට් එකක් යද්දි, ෆිල්ම් එකක් බලන්න යද්දි නැන්දම්මත් බලෙන්ම වගේ මැදට පනින්න ගත්තම මුල් දවස්වල ඉවසුවට තමන්ට හැමදාම එහෙම ඉවසන්න බෑ කියන එක චංචලාට තේරෙන්න ගත්තෙ ටික දවසක් ගියයින් පස්සෙ.
“අපි දෙණියායෙ යන ට්‍රිප් එකටත් අම්මා එයිද දන්නෙ නෑ නේද?” කියල මුලින් මුලින් චංචලා යාප්පුවෙන් වගේ මලිත්ගෙන් ඕක ඇහුවට මලිත් සද්ද කරේ නෑ. ඇත්තටම මලිත් උන්නෙත් කරන්නෙ මොකද්ද කියලා හිතාගන්න බැරුව.
ගිය සතියෙ ස්කෝප් එකෙන් පෙන්නපු වීර් සාරා ස්පෙශල් රිලීස් එක බලන්න චංචලා එක්ක යන්න දාගත්තම අම්මටත් එන්න ඕන උනා. හැව්ලොක් මෝල් එකේ ස්කෝප් එකේ ඩිරෙක්ටර්ස් ලෞන්ජ් පුටු දෙකක හාන්සිවෙලා, මලිත්ට තුරුලු වෙලා ෆිල්ම් එක බලන්න හිටපු චංචලාට උනේ තමන්ගෙ පුටුවෙ තනියම වාඩිවෙලා මලිත්ගෙනුත් ඇත්වෙලා ෆිල්ම් එක බලන්න. ශාරුක් කාන් සාරා වෙනුවෙන් තමන්ගෙ දෙමව්පියො, ගමේ මිනිස්සු විතරක් නෙවෙයි තමන් ආසාවෙන් කර කර උන්නු රස්සාවත් දාලා එද්දි මලිත්ට තමයි තමන් එක්ක තනියම කොහෙවත් යන්නවත් බැරි කියන තරහවත් චංචලාගේ හිතේ හීන් සැරේ ගොඩ ගැහුනා.
හැබැයි දෙපැත්තෙ තමන්ගෙ ජීවිතේ ඉන්න වටිනම ගැහැණු දෙන්නව දෙපැත්තෙන් තියාගෙන දෙන්නම සන්තෝස කරන්න මහන්සිවෙන තමන් කොච්චර තැලෙනවද කියන එක ගැන මලිත්ගෙ පැත්තෙන් හිතන්න අම්මවත් චංචලාවත් මහන්සි උනේ නෑ.
“ඔයාලා දෙන්න නම් රස්සාවලට හරි එලියට යනවා, මං මුලු දවසෙම ගෙදරට වෙලා ඉන්නෙ, එහෙම එකේ වීකෙන්ඩ් එකේ ඔයාලා ෆිල්ම් බලන්න යනවනම් මාවත් අරගෙන යන්න, මම කොච්චර දේවල් ඔයාලා වෙනුවෙන් තරුණ කාලෙ කැපකරාද?” කියලා අම්මා අඬ අඬ අහද්දියි,
“මොකද්ද මලිත් මේ මැරේජ් එකේ තේරුම? අපි යාලුවෙලා ඉන්න කාලෙත් මීට වඩා සන්තෝසෙන් හිටියනෙ. මට දැන් එපා වෙලා තියෙන්නෙ. අපි දෙන්නට නිදහසේ කොහෙවත් යන්න නෑනෙ” කියල චංචලා කුණු කුණු ගාද්දියි මලිත් උන්නෙ ඇත්තටම හැම පැත්තෙන්ම හිරවෙලා.
තමන් මේක ගැන දෙන්නට කොච්චර තේරුම්කරලා දුන්නත් වැඩක් නෑ කියලා හිතුණ තැනමයි මලිත් චංචලා එක්කම කවුන්සලින් වලට ආවෙ.
“මට අම්මගෙවත් චංචලාගෙවත් දෙන්නගෙන් එක්කෙනෙක්ගෙවත් හිත රිද්දන්න ඕන නෑ. මට ඕන ඒ දෙන්න මාව තේරුම්ගන්නව දකින්න. මම ඒ දෙන්නවම සන්තෝසෙන් තියන්න උපරිම මහන්සි වෙනවා. අම්මා තේරුම්ගන්නෙ නෑ මටයි චංචලාටයි කියලත් පර්සනල් ස්පේස් එකක් තියෙන්න ඕන කියන කතාව. චංචලා තේරුම් ගන්නෙ නෑ එයා බලාපොරොත්තු වෙන විදියට මට, අපි පුංචි කාලෙ ඉඳලා බලාගන්න අනන්ත දුක් වින්ද අම්මව සම්පූර්ණයෙන්ම කට් ඩවුන් කරන්න බෑ කියන එක. ඇත්තටම මම සෑහෙන අසරණ වෙලා ඉන්නෙ. මට එපා වෙලා ඉන්නෙ, මොකද්ද කරන්න ඕන කියලා හිතාගන්න බැරුව”
මේ වගේ සිදුවීම් ඕන තරම් පවුල් ජීවිත ඇතුලෙ සිදුවෙනවා. සමහර වෙලාවට කොහොමත් ගැහැණියකගේ සිත ඉක්මනට සංවේදී වෙන නිසා මෙතනදි චංචලා ඉක්මනට හිත රිද්දගත්ත එක සාමාන්‍යයි කියන්න අපිට පුලුවන්.
චංචලා හිතුවෙ “මලිත්ට මාව වැදගත් නෑ, එයාට වැදගත් අම්මාව විතරයි. මං ඒත් කිව්වා ඕන නම් අපි දෙන්නා මැද්දෙන් නිදිකරමු කියලත්”
ඒත් චංචලා සහ අම්මා අතරෙ, දෙන්නම සන්තෝස කරන්න වීම කියන කාරණාව, දෙන්නටම සමානව සලකන්න ඕන කියන කාරණාව ඇතුලෙ මලිත් කොච්චර මානසිකව වැටිලද කියන එක තේරුම්ගන්න පුලුවන් උනේ නෑ.
සමහර වෙලාවට මේ වගේ අම්මා සහ බිරිඳ අතරෙ හිරවෙලා ඉන්න කෙනෙක්ට සම්පූර්නයෙන්ම එතනින් එක්කෙනෙක්ගෙන් මිදෙන්න බැරි මානසික, සාධාරණ, මානුෂීය හැඟීමක් තියෙන්න පුලුවන්. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා වගේ දෙන්නටම සමානව සලකන එකත් කරන්න අපහසු වෙන්න පුලුවන්. එහෙම වෙලාවක අපි කල යුතු දේ තමයි “මගේ හස්බන්ඩ් ට එයාගෙ අම්මා ගැනත් බලන්න වෙනවා” කියන එක වගේම “මමත් ඔලුවට කරදර දාන එක එයා මානසිකව වැටෙන්න තව හේතුවක්” කියන දේ තේරුම්ගන්න එක. සමහර වෙලාවට අම්මල තාත්තලා වගේ වයසක මිනිස්සුන්ට මේ කාරණාව තේරුම්කරල දෙන්න අමාරුයි. ඒත් ඔයාලා දෙන්නට එකතු උනොත් පුලුවන් හීන් සැරේ කාටවත් නොතේරෙන්න පොඩි ට්‍රිප් එකක් දාගන්න, ඩේට් නයිට් එකක් දාගන්න, මූවි එකක් බලන්න යන්න දාගන්න. සමහර වෙලාවට ඒක අම්මට “ඔෆිස් එකේ වැඩක්” වගේ පොඩි බොරුවක් කියලා යන ගමනක් වෙන්නත් පුලුවන්.
රණ්ඩු වෙනවට, එකිනෙකාගෙ මානසික නිදහස නැති කරන හේතුවක් වෙනවට වඩා මෙන්න මේ වගේ පොඩි දේකින් ආදරෙත් පරිස්සම් කරගෙන, හිතත් හොඳට තියාගන්න පුලුවන් කියන එක අමතක කරන්න එපා!