තමාට උරුම වී ඇත්තේ මේ ජීවිතයයැවා සිතා සිත හදා ගැනුමට අවසන දිනාරා තීරණය කළේ මුළු රාත්‍රියක් පුරාම නිදිවැරුවාට පසුවය.ගලප්පත්ති පවුල කොතරම් හොඳ වුවත් තමා වැන්නියක අකලංකට සුදුසුයැයි නොසිතණු ඇත.ඉන් සිදුවන්නේ අකලංක දුකට පත්වීමයි.තවකෙකුගේ ජීවිතයට එබී එහිවන සැනසුම අහිමි කරන්නට ඈ බියය.ඇගේ දෑස් ඉදිමී තිබිණ.ඒ වතෙහි වූයේ වෙහෙසකර බවකි.නුවර යාමට උදෑසන හය වද්දී වාහනය පැමිණෙන බව ප්‍රියංකා දිනාරාට පැවසූයේ පෙරදා රාත්‍රියේදීය. කුමාරි අක්කා ගමනට සූදානම්ව පැමිණියේ පාන්දරමය.දෙදෙනා එක්ව සැන්ඩ්විච් සකසනු දිනාරා බලා සිටියත් ඈ ඊට හවුල් වන්නට නොගියාය.තවමත් ඇයට සිතුනේ රිදී බිඳී ගිය සිතකි.
අවසන ඕ සුදු පැහැ ලෙගින් වර්ගයේ කලිසමත් විලුඹට මඳක් ඉහලට වන්නට තරම් දිගු වූ ලේස්කොට්න් වර්ගයේ ටොප් බ්ලව්සයකුත් එකත් ඇද ගත්තාය.මැදින් බෙදා පීරූ කොණ්ඩයට පෝනිටේල් එකක් දමාගත්තේත් සුදු පැහැයෙන්මය.
පොරොන්දු වූ පරිදිම වාහනය උදෑසන හය වනවිට පැමිණ තිබිණ.ප්‍රියංකා සිටියේ අන් කවරදාටත් වඩා සතුටකින්ය. ආසන පේලි හතරක් වූ වායු සමීකරණය කළ කේ ඩී එච් වාහනයේ යුවතිය ඉදගෙන උන්නේ පිටුපසම ආසනයේය.ඉදිරිපස අසුනේ ප්‍රියංකාත් කුඩා පුතුත් කුමාරි අක්කාත් විය.
දිනාරා සිය ජංගම දුරකථනයේ රහස්‍ය අංකය යොදා එය විවෘත කර ගත්තේ කොළඹ සීමාව පසු කරද්දීය.ඇයට ඕනෑ වූයේ දුරකථනයෙහි වූ ඒ සියලු මතක සඟවා තබන්නටය.දින කිහිපයක් තිස්සේම ඕ දහස් වාරයකට වඩා සමාජ මාධ්‍යවල සංසරණය වූ ඒ වීඩියෝව නරඹන්නට ඇත.එය දුරකථන වඩියෝ ගබඩාවේ වූයේත ඉදිරියෙන්මය.
එකම දේ ගැන යළි යළිත් සිතීම නැරඹීම සිත හදා ගැනීමට ඕ දැන උන්නේ අත් දැකීමෙන්මය.එනිසාම දිනාරා සූදානම් වූයේ දුරකථන ගබඩාවෙහි වූ වීඩියෝව මකා දමා සමාජ මාධ්‍ය වලිනුත් ඉවත් වන්නටය. තමා යළිත් වරක් මේ දෛවයේ සරදමට අභියෝග කරමින් නැගී සිටිය යුතුය.ඒ සොයුරා වෙනුවෙන්ය.එහෙත් පපුව හරහා ඇදී ගිය දුක්ඛ රේඛාවක් විදුලි සැරයක් සේ ඇයව නතර කරවන්නට සමත් වී.තවත් එක් වරක් වීඩියෝව නැරඹූ යුවතිය ආසනයට හේතු වූයේ දුරකථනය නිවා පසෙක තැබුවාට පසුවය..
“ මේ මතක කොච්චර කල් මාව රිදෙව්වත් කමක් නෑ..මං කොහොම හරි ජීවත් වෙනවා.මගේ මල්ලි වෙනුවෙන් මං ජීවත් වෙන්නම ඕනනේ..ටික කාලෙකින් ඔයාට මාව අමතක වෙයි අකලංක සර්…”
අවසන ඈ මුමුණා ගත්තේ තමාටමය.ගෙවී ගිය දවස් හීනයක් සේය.සැබෑවකි මේ ජීවිතයේ වන වටිනාම අහිමිවීමය.
පිරිස දළඳා මාලිගාවට ළඟාවද්දී උදෑසන නවය පමණ වී තිබිණ.හිතේ හැටියට මාලිඟාව වඳ පුදාගත් පිරිස යළි රිය අංගනයට පැමිණෙද්දී දහවල් වී තිබිණ.
“ පුතේ මගේ යාලුවෙක්ගේ හොටෙල් එකක් තියෙනවා හන්තානේ..අපි එහේ ගිහිල්ලා ලන්ච් එක අරගෙන ඊට පස්සේ අත්තම්මා බලන්න යමු..ඔයාට වෙලා මදි කියලා හිතෙනවනම් අද අපි නුවර නතර වෙමු..”
ප්‍රියංකා පැවසද්දී දිනාරා හිස වැනුවේ සිනහසෙන්නට වෑයම් කරමින්ය..ඔහු යළිත් වරක් හැරී දළඳා මාලිගාව දෙස බැලුවේ තෙත් වූ දෑස් වලින්ය.කලකට පසු ඒ සිත මහත් වූ සැහැල්ලුවක් දරමින් උන්නාය.තමාට හුරු පුරුදු වූ මේ නුවර මංමාවත් දිගේ අම්මාගේ අතෙහි එල්ලී ගමන් කළ අයුරු වරින් වර යුවතියට මැවී නොපෙනී යන්නට විය.පුදුමය..සිත රිදෙන මතක වූයේත් සිත හදන මතක වූයේත් මේ නුවරමය.
වාහනය හෙමි හෙමිහිට හන්තාන කඳු මුදුනට යන පාර ඔත්සේ ගමන් කරද්දී දිනාරා වූයේ දෑස් වසා ගෙනය.සිදුවූ සියල්ල මුලසිට අගටත් අග සිට මුලටත් ගලපන්නට ඇයට ඕනෑ විය. අකලංක සර් මේ විවේකී ඉරිදා දවසේ ඔහුගේ සතුටු පවුල තුල ආදරයෙන් සිටිනවා විය යුතුය.සැබවින්ම ඔහු වාසනාවන්තයෙකි.
වරින් වර ප්‍රියංකාට දුරකථන ඇමතුම් පැමිණෙනුත් ඈ කවුරුන් හෝ සමග රහසේ කතා කරනුත් දිනාරා බලාගෙනය.එහෙත් ඇයට ඒ කිසිවක වගක් වූයේ නැත. බොහෝ දිනකට පසුව නිවසින් පිටතට පැමිණුන සොහොයුරා සිටියේ සතුටින්ය.පෙරේදා අවසන් වරට අත්තම්මා හා කතා කරද්දී නිවසේ සිදුවන අඬදබර ගැන පවසමින් ඕ හඬා වැටුණාය. වලව්වට කවුරුන් හෝ මොනවා හරි කර ඇතැයි ඇය පැවසූයේ ඒ තරමටම එහි තත්ත්වය දරුණු වූ නිසා විය යුතුය.එසේ නොවීනම් ඕ යන්ත්‍ර මන්ත්‍ර හදි හූනියම් විශ්වාස කල අයෙකු නොවේ.අත්තම්මා වෙනුවෙන් තමාට ඉටු ඉටු කරන්නට යුතුකමක් ඇති බව ඕ සිතුවේ එවේලෙහිය.බොහෝ අඩු වයසකින් සීයා මිය යද්දී ඈ තම දරුවන් වෙනුවෙන් මවක ලෙසත් ගෘහණියක ලෙසත් ව්‍යාපාරිකාවක ලෙසත් සිය ජීවිතයේ විවිධ භූමිකාවන් රඟදක්වමින් සියල්ලටම සාධාරණයක් ඉටු කලේ දිරිය කාන්තාවක විලසින්ය.අම්මාගේ ප්‍රශ්නයේදී වුවද ඇය උපරිම සාධාරණ විය. එසේ වූ ගැහැණියකට අවසන හිමි විය යුත්තේ සැනසීමකි. නිවීමකි.එහෙත් දැන් ඈ සිටින්නේ අන් කවරදාටත් වඩා සිත රිදවා ගෙනය.මේ ඕ හඬා වැටෙනු දිනාරා දුටු දෙවන වතාවය.අවසන වාහනය නතර වෙද්දී ඕ දෑස් හැරියාය.තනිකඩ ජීවිතය තුල මේ යුතුකම් වගකීම් සමඟ කාලය ගෙවා දමන්නට දැන් ඕ තීරණය කර අවසන්ය.
එය සැබැවින්ම සුන්දර නිවාඩු නිකේතනයකි.බැලූ බැල්මට එහි නවාතැන් ගැනීමට විශාල මුදලක් අය වෙනු ඇතැයි දිනාරා සිතුවාය.සුද්දර නිවාඩු නිකේතනයට මුළු නුවරම පැහැදිලිව පෙනේ.රිය අංගනයෙහි තවත් වාහන කිහිපයක් නතර කර තිබුණත් දිනාරාට ඒ කිසිවක් ගැන අවධානයක් වූයේ නැත.ප්‍රියංකා ආන්ටි යළිත් දුරකථන ඇමතුමක් ලබාගෙන මඳක් එහාට වෙන අයුරු දිනාරා බලාගෙනය.
ඉන්පසු සියල්ලෝම නිවාඩු නිකේතනයේ උඩුමහලට නැගුණේ ඇය පසුපසින්ය.
ගෙවී ගිය දින කිහිපයේදී දිනාරාට කුසගින්නක හෝ කෑමෙහි අවශ්‍යතාවයක් නොදැනුණු තරම්ය.සමහර දිනක දවස ගෙවා ගැනීමට ඇයට එක වතුර උගුරක් පමණක් සෑහුණි.එනිසාම ඕ මදක් කෘෂව උන්නාය.ඒ වතෙහි පෙර වූ සිනහව වියැකී තිබිණ.දින ගණනක් තිස්සේ නිදි වැරූ වගට සාක්ෂි ඒ දෑස් කියා පෑවාය.
“ මූ ෆෝන් එක අරගෙන එහාට මෙහාට යද්දි මට ඒත් සැක හිතුනා අම්මා..මං හිතුවේ නෑ උනාට මූ මගේ සටන පාවලදෙයි කියලා..මටනම් ගැලවිල්ලක් නෑ මේ පවුලෙන්.”
ඒ හුරු පුරුදු කටහඬ දිනාරාට ඇසුණේ උඩුමහලේ අවසන් පඩි කිහිපය නගිද්දීය.ප්‍රියංකා ආපසු හැරී බලද්දී දිනාරා වූයේ එක තැනක නතරවය.ඒ දෑස් විසල්ව තිබිණ.
“ඇයි පුතේ…”
“ මට අකලංක සර්ගේ කටහඬ වගේ ඇහුනා..”
“ ඒ ඔයාගේ හිත.ඔයා උගුරට හොරා බෙහෙත් කන ගමන්නේ ඉන්නේ..”
එසේ පවසා සිනහසුණු ප්‍රියංකා දරුවාව වම් අතට ගෙන සිය දකුණත යුවතිය වෙත පෑවාය.ඇය ඉතිරි පඩි කිහිපය නැගුණේ ඒ අත අල්ලාගෙනය.
අකලංක පමණක් නොවේ ඔහුගේ පවුලේ සියල්ලෝම උඩුමහලේ වන සුවපහසු අසුන්වල අසුන්ගෙන සිටියහ.මිතුරන් දෙදෙනා සිටියේ අකලංක ඉඳ උන් පුටු වේම ඇඳි මතය.
“ ප්‍රියංකා ටීච..… දිනාරා..මේ අම්මා ඇයි…”
අකලංක නැගී සිටියේ කලබලයෙන්ය.ඔහුගේ දෑස් විසල් වී තිබිණ.
“මං කිව්වනේ අම්මා ඕනේ නෑ කියලා. ඇයි ඉතින් මේ..සොරි ටීච..අම්මා මේ..”
“‘මොනවද ඕනේ නැත්තේ..”
එවර ඇසුවේ නර්මදාය..කොළඹ සිට නුවර පැමිණෙද්දී කිහිප වරක්ම වමනය කිරීමට සිදු වූ නිසා ඈ සිටියේ හෙම්බත්වය..
“ ඔව්.. අක්කා අහපු දේට උත්තරයක් දෙන්න මොනවද ඔයාට ඕනේ නැත්තේ..ආ..”
“ එහෙම නෙමෙයි අම්මා..මං කිව්වනේ අම්මට දිනාරිට එහෙම කරන්න හේතුවක් තියෙනවා කියලා ඇයි මේ මිනිස්සුත් මෙතනට ගෙන්නලා කරදර කරන්නේ..මං ඕකේ..”
“ ප්‍රියංක ටීච ඔයාගේ ගෝලයට පැහැදිලි කරලා දෙන්න වෙන්නේ ඔයාටම තමයි.”
එසේ පැවසූයේ මහින්දය..ඔහුත් උන්නේ සිය වත මත්තේ සිනහවක් තබාගෙනය.
“ අනේ සොරි ටීචර්..මං හිතන්නේ අම්මා වෙන්න ඇති ටීචර්ට එන්න කියන්න ඇත්තේ..අනිත් එක බබා හොස්පිට්ල් ඉඳලා ආවෙත් ඊයේ පෙරේදා නේද..”
“ කාගේද බං මේ ළමයා..”
විශ්ව සිය සොහොයුරාගෙන් එසේ ඇසුවේ නර්මදා ඔහු දෙස රවා බලද්දීය.මෙතනට ආ වේලේ පටන් ඔහු කලේම අකලංකට බැණ වැදීමය.
“ ඉඳගන්න ප්‍රියංකා ටීච ..ඉඳගන්න දිනාරා..”
පිරිසට අසුන් පැනවූයේ තේජාය .දිනාරා උන්නේ ගැහෙමින්ය ඇගේ කොපුල්වලට ලේ උනි ඒවා රතුව තිබිණ.අකලංක උන්නේ යුවතියව නිරීක්ෂණය කරමින්ය.ඕ ඕනෑවටත් වඩා දුක් විඳ ඇත.
යළිත් ප්‍රියංකාගේ දුරකථනය නාද වූයේ එවේලෙහිය. ඔහු මදක් එහාට ගොස් ඊට පිළිතුරු දුන්නත් දිනාරාට ඒ කිසිවක් ඇසුණේ නැත.
“ පුතේ …තාමත් ඉස්සර වගේ දඟකමනං අතෑරලා නෑ නේද.ඔයා මෙහෙම කාටවත් නොකිය එද්දි මේ මිනිස්සු කලබල වෙයි කියලා පොඩ්ඩක්වත් හිතුනෙ නැද්ද..”
ප්‍රියංකා ඇසුවේ සිය ගුරු භූමිකාවේ රැඳී ගෙනය.
“ හිතුනා ටීච ඒ උනාට ඒ වෙලාවේ ඒ තිබුණු සිටුවේෂන් එකත් එක්ක මට මොනවද කරන්න ඕනේ කියලා හිතා ගන්න බැරි වුණා.මෙහෙම ආවේ නැත්නම් සමහරවිය මීට වඩා නරක දෙයක් වෙන්න තිබුණා.”
“ පුතා රෑ හදිසියේම හොස්ප්ට්ල් එකට ඇවිල්ල ගියා කියලා මට නර්ස් කෙනෙක් කිව්වා.”
ප්‍රියංකා ඒ පැවසූයේ සත්‍ය නොවේ.දිනාරා ඈ දෙස බැලුවේ තිගැස්සීගෙනය.
“නෑ ..මම…නැ..ටීච..”
“ නෑ කියන්න බෑ…දැන් ඉතින් ඔයාලා දෙන්නා නළුවෙකුයි නිළියෙකුයි වගේ මේ මුළු ලංකාවෙම ප්‍රසිද්ධ වෙලානේ ඉන්නේ..”
“ ඔව් ..ටීච මම හදිසියේ ආවා..මම හිතුවා ප්‍රියංක ටීචගේ කාටහරි කරදරයක් වෙලා කියලා..”
උඩුමහලට නැගුණු මිලීනා ජයසුන්දර පිරිස අතරට පැමිණියේ සිනහසෙමින්ය.දිනාරාගේ දෛවය ඇයට සාධාරණය ඉටු කරමින් සිටී.පෙරදා රාත්‍රියේ වූ හෝරාවකට ආසන්න දුරකතන සංවාදයකින් ඇයට මේ සියල්ල පැහැදිලි කර දුන්නේ ප්‍රියංකාය.මේ හමුව සිදුවිය යුතුව තිබුනේ වලව්වේදී වුවත් දැන් එහි එවැන්නකට සුදුසු පරිසරයක් නොවේ.
සියල්ලෝම නැගී සිටියේ ඇය උඩු මහළට පා තබද්දීමය.සැබැවින්ම ඇයට වූයේ දුටුවන් නෙත් වසඟ කරගන්නා තරම් තේජවන්ත රුවකි හැත්තෑ අටවන වියෙහි සිටියත් ඇය තවමත් තරුණ කාන්තාවක සේ ජව සම්පන්නය.
දිනාරා “ අත්තම්මේ….” යැයි පවසා ගෙන දුවගොස් ඇයව වැළඳ ගත්තේ හඬා ගෙනමය..මහා පිරිසක් මැද තනිවූවායැයි දැනී තිබූ සිතට තමාගේ අයෙකු හමුවූවා බඳු සතුටක් දැනෙන්නට වූයේ එතැන් පටන්ය.
මේ කිසිවක අගක් මුලක් නොදන්නා අකලංක විශ්වගේ , නර්මදාගේ මිතුරන් දෙදෙනාගේ මුහුණු බැලුවේ මාරුවෙන් මාරුවටය.
විශ්වාසය.ඒවායේ වූයේ අවඥා සහගත.සිනහවකි.
“ මහින්ද මහත්තයා මේ තමයි දිනාරාගේ ආත්තම්මා. මිලීනි ජයසුන්දර .තේජා විශ්ව පුතා, නර්මදා දුව ..මේ තමයි අකලංක පුතා..”
පිරිස හඳුන්වා දුන්නේ ප්‍රියංකාය.සිංහල ක්‍රමයට “ ආයුබෝවන්..” යැයි පැවසූ මිලීනා ජයසුන්දර අසුන් ගත්තේ මහින්දගේ වම් පස වූ පුටුවෙන්ය.
අකලංක නර්මදාත් විශ්වත් අසලට ලං වූයේ “ මොනවද බන් මේ වෙන්නේ…” යැයි අසා ගෙනය.
“තමන් කරපු පව් ගෙවන්න ලෑස්ති වෙලා ඉන්න..මෙයාව දඬු කඳේ ගහලත් මදි විශ්ව..”
එසේ පැවසූයේ නර්මදාය.
“ අකලංක පුතා…”
“ ටීච…”
“ දන්නවද මේ කවුද කියලා..”
ප්‍රියංකා එසේ ඇසුවේ තේජා අත උන් දරුවා පෙන්වමින්ය.ඔහු ආ හැටියේම තේජා දෑත් දිගුකර ඔහුව වඩා ගත්තාය.මිණිබිරියගේ මුහුණ ඇඹුල්ව ගියේ එවේලෙහිය.
“ ඔව්….”
“ කවුද…”
එසේ ඇසුවේ තේජාය.
ඔහු දිනාරා දෙස බැලුවේ එවේලෙහිය.ඒ දෑස් එකට පැටලුණු පළමු නිමේෂයේම දිනාරා බිම බලා ගත්තාය.අම්මා මේ කර ඇත්තේ හොඳක් නොවේ..ලැජ්ජාවත්, අසරණකමත් යුවතියගේ මුහුණෙන් ඕනෑවටත් වඩා දිස්වනවායැයි අකලංකට සිතුනේ එවේලෙහිය.මේ සියල්ලෝම ඉදිරිපිට ඇයට එසේ නොකල යුතුය.අකලංකගේ සිතෙහි අම්මා ගැන උපන්නේ ඇපැහැදීමකි.කෝපයකි..
“ කියහං දිනාරාගේ බබා කියලා…”
යළිත් වරක් ඔහුගේ සවනතකට ළං වී පැවසුවේ විශ්වය.ඔහුගේ මුව මත ඇඳී තිබුණේ අවඥා සහගත සිනහවකි.
“ ඇයි අම්මා මේ..එහෙම ඕන නෑ..”
“ ඇයි දැන් උඹ අම්මට කියලා තිබුනේ මේ දිනාරාගේ පුතා කියලා..”
විශ්ව පැවසුවේ උස් හඬින්ය.යුවතිය තිගැස්සෙණු ඔහු හොඳටම දුටුවේ ඈ දෙසම බලා උන් නිසාය.ඔහුට ඕනෑ වී තිබුනේ ඇගෙන් සමාව ගන්නටය.අකලංක එවර රවා බැලුවේ සිය සොයුරා දෙසය.
“ අන්න බබා මූ රවනවා…”
නර්මදාත් සිනහසුනේ කට ඇද කරමින්ය.
“ නෑ පුතා මේ දිනාරාගේ මල්ලි…ඔයා වැරදි වැටහීමක් ඇතිකරගෙන පුතේ මෙච්චර දුර ආවෙ..”
තේජා පැවසූවේ සිනහසරින්ය.
“ අම්මා මේ…”
“ ඇත්ත පුතේ. දිනාරා ඔයාව මැරි කරන්න බෑ කියලා තියෙන්නේ මෙන්න මෙයා නිසා.. එයා ජීවිතේට කිසි කෙනෙක් මැරි කරන්නේ නෑ කියලා තියෙන්නේ මෙන්න මේ දඟ කොල්ල නිසා. එයා මැරි කරන කෙනා එයාගේ මල්ලිව පිළිගන්න එකක් නෑ කියලා මේ කෙල්ල බය වෙලා.අනිත් එක දිනාරගෙයි මල්ලිගෙයි අතර තියෙන වයස් පරතරය නිසා එයා හිතලා මිනිස්සු වැරදි වැටහීම් ඇතිකර ගනී කියලා..”
“ තාත්තේ..මේ දේවල් දැනගෙන හිටියද.කලින්…”
එවර අකලංක හැරුනේ මහින්ද දෙසටය.තවමත් ඔහුට මේ සිදුවන සියල්ල අවිශ්වාසය.
“ නෑ ඊයේ තමයි හැම දෙයක්ම දැනගත්තේ.ඉවෙන්ට් එකෙන් පස්සේ කොහොමත් අපි ඔයා එක්කරගෙන ගිහිල්ලා දිනාරා දුවත් එක්ක කතා කරන්න බලාගෙන හිටියේ..”
අම්මාගෙත් තාත්තාගේත් ආශිර්වාදය ලද තරුණයා ඉන්පසු පැමිණ නතර වූයේ දිනාරා ඉදිරිපිටය.යුවතියගේ දෑස් තවමත් බිමට හැරවුණු ගමන්ය.ඒ දෙවුරහිස් ඉකිබිඳුමේ තාලයට ගැස්සෙමින් තිිබිණ.
“ ඇයි දිනාරා මට මේ දේවල් කිව්වේ නැත්තේ.ඔයා කොහොමද එහෙම හිතුවේ..මං ඔයාගේ මල්ලිව ප්‍රතික්ෂේප කරයි කියලා..ලස්සන දවස් ගොඩක් පහුවෙලා ගියා දිනාරා..”
එසේ මිමිණූ අකලංක යුවතියගේ දෑත් අල්වා ගත්තේ සියලු දෙනාම ඉදිරිපිට දීය .දිනාරා අත්තම්මා දෙස බැලුවේ ඒ කඳුළු අතරින්ය.
“ මගේ දිහා බලන්නේ මං බනී කියලා හිතුවද සුදු මැණිකේ.ඔයාගේ හිත සතුටින් පුරවන්න පුළුවන් දරුවෙක් ඔයාට හම්බ වෙනකල් තමයි මම බලන් හිටියේ නිදහස් වෙන්න.සල්ලිවලටයි, බල පුළුවන්කාරකම්වලටයි , පැලැන්තියටයි ආදරයක් , විශ්වාසයක් ගොඩනගන්න බෑ කියලා මං තේරුම් ගත්තේ මේ දවස් වල වලව්ව ඇතුලේ සිද්ධ වෙන දේවල් වලින්..හැමදේටම වඩා වටින්නේ මනුස්සකම්.ඔයා හරි වාසනාවන්ත දරුවෙක් සුදු මැණිකේ..මේ වගේ පවුලක් ඔයාට ලැබුනේ අන්න ඒ වාසනාව නිසා.
මේ ආදරේ අයිතිය ඔයාටම තමයි සුදු මැණිකේ…”
ඇයත් පැවසූයේ හැඬුම් මුසු හඬකින්ය.
“ අත්තම්මා මං ඔයාගේ මේ ආඩම්බර සුදු මැණිකෙව ඇස් දෙක වගේ බලා ගන්නවා…”
එවර අකලංක පැවසූවේ ඈ දෙස බලාගෙනය.
ඒ අවසරය ලද දිනාරා අකලංකගේ පපුවට වාරු වූයේ මෙතෙක් වේලා සිරකරගෙන උන් කඳුලටත් ඉකියටත් පිටව යන්නට ඉඩ දෙමින්ය.
“ අනේ මේ දෙන්නත් එක්ක පැත්තකට ගිහිල්ලා අඬනවද මෙතන අපිට කතා කරන්න ඕන තරම් දේවල් තියෙනවා…”
එසේ පැවසූයේ නර්මදාය.සිය නෑනන්ඩිය දෙස බලා සිනහවක් පා කළ තරුණයා මදක් එහායින් පෙනුණු සඳැල්ල වෙත ගියේ යුවතියවත් තුරුළු කරගෙනමය.
“ මේ බබාවත් ගෙනියපං…”
විශ්වගේ සරදම් සහගත හඬට හැරී බැලූ අකලංක “ දෙන්නම් උඹට ..” යැයි පැවසූයේ ව්‍යංගාර්ථයෙන්ය.
“ මොනවද හිතුවේ මං ගැන ආ….මං ඒ තරම් නරක කෙනෙක් කියලා හිතුවද…මං ඔයාව මගේ ජීවිතයට ලං කරගන්න හැදුවේ ආදරේම විතරක් දෙන්න නෙමෙයි කියලා හිතුනේ නැද්ද….ඔයාගේ ජීවිතෙන් නොලැබුණු හැම දෙයක්ම ඔයාට දෙන්නයි මට ඕන උකේ….කොහොමද එහෙම දරාගෙන හිටියේ..”
“”මං ගොඩක් බය වුණා..”
“ පිස්සු කෙල්ල ඔළුව උස්සන්න..බලන්න මෙතනට දළඳා මාලිගාව ලස්සනට පේනවා.දන්නවද පහුගිය දවස් හතර තිස්සෙම මම රෑ එළි වෙනකම්ම මෙතනට වෙලා හිටියා..මොන විදිහකටවත් මට ඔයාව අමතක කරගන්න බැරුව ගියා..අන්තිමට මං අහන්න හිටියේ ඔයාගේ ජීවිතේ බබාගේ තාත්තා නැත්නම් මට ඒ තැන දෙන්න පුළුවන් ද කියලා..”
“ මං ආදරෙයි අනේ ..හරි ආදරෙයි..ඒ ගැන කියන්න මම වචන දන්නේ නෑ..”
එවර යුවතිය මිමිණූයේ මද හඬකින්ය.ඇය කතා කලාට වඩා හැඬුවාය.
“ මං මේ මුළු ලෝකෙටම වඩා ඔයාට ආදරෙයි..මටත් වඩා ඔයාට ආදරෙයි..මගේ මේ හැම හුස්මකම ඔයා ඉන්නවා..අපි සතුටින් ඉමු..අපි හැමෝම…”
අවසන ඔහු මිමිණූයේ ඇගේ නළලත මත මෘදු හාදුවක් තබමින්ය.යුවතිය තව තවත් ඒ උණුසුමට තුරුළු වූයේ දෑස් වසාගෙනය.
( නිමි…)