සතුටු මන්තර 05

පෙර පාසල නිමා වන වෙලාව අල්ලා එහි යනු වස් සයුරංගනා හැඳ පැළඳ ගත්තා ය. සුදු ඇඳුමක් අඳිත්දී අලුතෙන් ම පපුව දැවෙනවා වාගේ දැනුණ ද ඒ ඔස්සේ දුරට දිගට හිතන්නට නොයා ඉන්නට ඇය උත්සාහ කළා ය. හිතුවා ය කියා, දුක් වූවා ය කියා, හැඬුවා ය කියා, අතීතය සිහිපත් කළා ය කියා කිසිදු වෙනසක් සිදු නොවෙන බව, එසේ කිරීමෙන් ම දැන් ඇය වටහා ගෙන සිටින්නී ය. ගිම්හාන් ජීවිතක්ෂයට පත් වීමෙන් පසු ගෙවී ගිය දින දහයක කාලය විසින් ඇයට ඒ පාඩම ඉගෙන ගන්නට සැලැස්වී ය. සුසානයක් සේ හද සන්තානයේ පැතිර ඇති ශෝකී පාළුව දැනට එහෙම ම තිබේ. ඊට එබිකම් නො කොට පිටස්තරින් හිඳ දවසට මූණ දිය යුතු ය. ජීවත් වෙනවා කියන්නේ මහා ලොකු දෙයක් නොව දවසට මූණ දෙන එක පමණක් ය යන්න මේ දින කිහිපය ඇයට ඉගැන්වූ ලොකු ම පාඩමයි.

පෙර පාසල ගිම්හාන් ගේ මරණය ගැන දැනගෙන තිබුණේ පාසල් සේවා වෑන් රියෙනි. පාසලේ ගුරුවරියන් සේ ම දෙමව්පියන් විශාල සංඛ්‍යාවක් ද මළ ගෙදර පැමිණ ගිම්හාන් ට අවසන් ගෞරව දක්වා ගියහ. එසඳි පෙර පාසල් යන්නට ගෙන තවම වාරයකි. ඒ කෙටි කාලයේ දී සයුරංගනා ට වැඩිය පෙර පාසලට හුරු ගිම්හාන් ව ය. රැකියාවට යන ගමන් හැම උදයක ම එසඳිව එහි ගෙන ගියේ ඔහුයි. ඇය යළි ආවේ වෑන් රියෙහි ය. සයුරංගනා පෙර පාසලට ගොස් ඇත්තේ වතාවක් දෙකක් පමණ ය. අම්මලා අතරින් වැඩි දෙනෙක් මුලින් ම ඇයව දුටුවේත් මළ ගෙදර දී ය. එසඳි වෙනුවෙන් ගුරුවරිය සමග කතා බහ කොට, අම්මලා ට ද ස්තූති කොට පැමිණිය යුතු යයි තීරණය කළේ සයුරංගනා තනිව කල්පනා කොට ය.

“මේ කොහෙ යන්නද…”

ඇය සූදානම් වී කාමරයෙන් පිටතට ආ ගමන් තිලකා විමසුවා ය. ඇය සිටියේ ජයරත්න සමග තේ කෝප්පයක් තොල ගාමිනි.

“නර්සරි එකට. ටීචත් එක්ක කතා කරල එන්න ඕනෙ කියල හිතුණා”

“හරි ශෝක්. මළ ගෙදර උණුහුම ගියෙ නෑ තාම. තමුංගෙ මිනිහයි මැරුණෙ. ඉතිං ඔහොම ඇවිදින්න යන එක හොඳද…”

“ඇවිදින්න කියන්නෙ…විනෝද ගමනක් යනව නෙවේනෙ අම්මෙ. මෙහෙම දේකින් පස්සෙ නිකංම ළමයව යවල හරි නෑනෙ. පොඩ්ඩක් දුව ගැන බලන්න කියල ටීචට කියල එන්න ඕනෙ. ගිම්හාන් නැති එක ගැන දැන් තමයි එසඳි ප්‍රශ්න අහන්නෙ. එයාගෙ චූටි හිතට බරක් නොවෙන විදිහට මට වැඩිය හොඳට ටීච එයත් එක්ක ඒ ගැන කතා කරයිනෙ”

“දුව කියන කතාව හරි”

කියමින් ජයරත්න හිස් තේ කෝප්පය තිලකා අතට දුන්නේ ය. ඇය රවා බලනු නොදුටුවා සේ ඔහු ලේලිය ගේ මූණ දෙස බැලුවේ ය.

“ඉතින් දුව දැන් කොහොමද යන්නෙ…ත්‍රීවීල් එකකද…”

“බස් එකේ යනව අප්පච්චි . එසඳිව බස් වල අරං ඇවිත් පුරුදු නැති නිසා එනකොට ත්‍රීවීලර් එකක එනව”

“හ්ම්. යංකො. මං බස් එක ළඟට එනකල් දූගෙ තනියට එන්නංකො”

“අනේ ඉතිං අප්පච්චි ආයෙ පයිං එන්න වෙනවනෙ”

“ඒකනං මොකද්ද…මහ ලොකු දුරක්යැ”

තිලකා කේන්ති වැඩි කමට වචනයක් හෝ කතා නොකොට පුම්බා ගෙන සිටියේ, ආපසු ගෙදර පැමිණි විට ජයරත්න ව අල්ලා ගෙන දෙහි කැපීමේ අදහසිනි. 

“ත්‍රීවීලර් එකක යන්න පුළුවන් අප්පච්චි. ඒත් දැන් අපි ඉන්නෙ අතේ තියන කීය හරි නාස්ති කර ගන්න පුළුවන් තත්වෙක නෙවෙයිනෙ”

ගේට්ටුවෙන් පිටතට වන් කල සයුරංගනා හුඟක් දවසකට පස්සේ කතා කරන්නට පටන් ගත්තා ය.

“තාමත් මට හීනයක් වගේ. ඒත් මේක හීනයක් නෙවේ ඇත්ත කියල මං දන්නව අප්පච්චි. ගිම්හාන් මාව කඩේකටවත් යවල නෑ. ඕන කරන හැම දේම ගෙදරට අරං ආව. ඒත් තව දුරටත් එහෙම නෑ. මට හැම දේම කර ගන්න වෙනව. දරුව හදා ගන්න වෙනව. අපිට ජීවත් වෙන්න ආදායමක් එන දෙයක් කරගන්නත් වෙනව. මං කවදාවත් ජොබ් එකකට ගිහිං නෑ. ඒත් දැන් නෑ බෑ කියල බෑනෙ. මොනා හරි කරල දරුවගෙ වැඩ කරගන්න ඕනෙ. එයාගෙ ජීවිතේ වගකීම එහෙම පිටින්ම මගෙ ඔළුව උඩ පැටවිලා තියෙන්නෙ. ඉස්සරහ ගැන හිතන්න ගියොත් මට පිස්සු හැදෙනව. ඒ නිසා මං දුරට දිගට හිතන්නෑ අප්පච්චි. මේ ළඟ දවස් ගැන විතරක් හිතනව. ගිම්හාන් අපිට ඉන්න තැනක් හදල දීල තියනව. සල්ලි ටිකකුත් ඉතුරු වෙලා ඇති අකවුන්ට් එකේ. ඉන්ශුවරන්ස් එකේ සල්ලි වගේකුත් අකවුන්ට් එකට දානව කිව්ව. ඒ සල්ලි ටික ඉවර වෙනකොට මොනාද කරන්න ඕනෙ කොහොමද ජීවත් වෙන්නෙ කියල මං හිතල තියන්න වෙයි. තාමත්නං මට කිසි දෙයක් පැහැදිලිව හිතන්න බෑ අප්පච්චි. අපේ තාත්ත අපිව ගෙදර එක්කං යනව කිව්ව තුන්මාසෙ දානෙන් පස්සෙ. ඒත් මෙහෙට හුරු වෙච්ච එසඳිව එහෙ ගෙනිහිං කොහොමද කියල මට හිතා ගන්න බෑ”

කෙතරම් හිත තද කර ගෙන කතා කරන්නට පටන් ගත්ත ද සයුරංගනා ගේ හඬ බිඳී ගියේ ය. අත වූ පුංචි ලේන්සුව ඇස් වලට ඔබා ඕ කඳුළු වල තෙත මාත්තු කළා ය.

“දුව…”

උගුරේ රැල් බුරුල් හැර ජයරත්න කතා කළේ ළෙංගතු ස්වරයකිනි.

“මගෙ පුතයි දුවයි එක්ක මං මුල ඉඳංම හිටියෙ මෙහෙ. දුව මට සැලකුවෙ ඔයාගෙම අප්පච්චිට වගේ. ඉතිං මං දුවයි අර කිරි සප්පයයි අත්අරිනවද…නෑ. පැන්ශන් එකත් තියනවනෙ පුතේ. අපි කොහොම හරි අල්ලගෙන ඉමු. හැමදාම එකවගේ වෙන්නෙත් නෑ. මොකක් නමුත් වෙයිනෙ. දරුවත් අරං ගමේ යන එකක් ගැන හිතන්න ඕනෙ නෑ”

“අප්පච්චිට පින් සිද්ද වෙනව. මේ වෙලාවෙ මට වෙනස් කමක් නොකරනවට…”

“අපි කොහොමහරි මේ දේවල් වලට මූණ දෙමු. දැං ඔය අනං මනං හිතන්නැතුව සිහි කල්පනාවෙන් බස් එකේ යන්න. ඔය කඳුළු පිහිදාගෙන බස් එකට නගින්න”

සයුරංගනා බසයෙහි කවුළුවක් අයිනේ හිඳ ගත්තා ය. මේ ඇය බසයක යන්නේ විවාහයෙන් පසු ගෙවී ගිය වසර පහකට පස්සේ ය. වේගයෙන් පාර දෙපස වන ගොඩනැගිලි පහු වෙන හැටි ඇය ඔහේ බලා සිටියා ය. හැර දැමූ වීදුරු කවුළුවෙන් තද සුළං හමා එයි. ඇගේ හිස කේ අවුල් වේ. ඒත් ඇය ඔහේ සිටියා ය. බස් රිය නගරයට සේන්දු වන විට ඒ හුළඟට හිත ද වියළී ගිහින් ඇති සේ ඇයට දැනිණ.

පෙර පාසල තිබෙන්නේ නගරයේ ම ය. පර වුණු මලක් වන් ඇගේ මඳහස් වත දුටු ගුරුවරියෝ ද අම්මලා ද සයුරංගනා වට කොට ගෙන ඇගේ හිත හැදෙන්නට බොහෝ දේ කීහ. ඇගේ වාගේ ම සැමියා මිය ගිය ඔවුන් දන්නා තරුණ මව්වරුන් ගැන කීවෝ ය. එය ඇයට පමණක් නොව තව බොහෝ කාන්තාවන්ට මුහුණ දෙන්නට සිදු වී ඇති කටුක අත්දැකීමක් බව පැහැදිලි කළහ. සයුරංගනා ගේ හිත යම් පමණකට සන්සුන් කරන්නට ඒ කතා බහට හැකි වූයේ ය. අප තනිව සිටියදී අපට පමණක් වී ඇතැයි දැනෙනා යමක්, සමූහයක් අතරේ දී පොදු අත්දැකීමක් යයි අවබෝධ කොට ගත හැකි වේ.

පෙර පාසලේ සිට එසඳි ගේ අතින් අල්වා ගෙන ඇවිද විත්, සයුරංගනා නගර මධ්‍යයෙහි වන සුපිරි වෙළඳ සැලට ගියා ය. ගිම්හාන් ගෙදරට වැඩිපුර බඩු ගෙනෙන්නේ මෙතැනිනි. එසඳි ගේ කෑම පෙට්ටියට දමා යැවීම සඳහා පැස්ටා පැකට් එකක් ද බටර් හා චීස් පැකට් එකක් ද එළවළු දෙක තුනක් ද ඇය කූඩයට දමා ගත්තා ය. සාමාන්‍යයෙන් සයුරංගනා ට මේ විදිහට බඩු මිල දී ගැනීමේ අවස්ථාවක් ලැබී ම නැත. හැම දේ ම ගෙන එන්නේ ගිම්හාන් වන බැවිනි. ඇය වෙළෙඳ සංකීර්ණය පුරා ම රාක්ක අතරේ ඇවිද යමින් විවිධ දෑ අතට ගෙන ඒවායේ මිල බලා යළි රාක්ක වල ම තැබුවා ය. භාණ්ඩ වල මිල ඉතා ඉහළ ය. ගිම්හාන් බැංකු නිලධාරියෙකු ලෙස පෞද්ගලික බැංකුවකට සම්බන්ධව සේවය කළ නිසා ඔවුන්ට කිසිදු අඩුවක් නො දැනෙන සේ සියලු අවශ්‍යතා සපුරා ලන්නට හැකි වන්නට ඇත. ගිම්හාන් ගේ මාසික වැටුප කීයද කියා හෝ සයුරංගනා දන්නේ නැත. ඇය ඉදිරියේ දැවැන්ත අභියෝගයක් වන බව, සුපිරි වෙළෙඳසැල රාක්ක අතරේ රවුමක් යාමෙන් පසු සයුරංගනා වඩාත් හොඳින් වටහා ගත්තා ය. එසඳි ට අයිස් ක්‍රීම් කෝන් එකක් ද ගෙන මුදල් ගෙවා පිටතට එත්දී, ඇගේ හිතට අමුතු හැඟීමක් දැනෙමින් තිබිණ. එය ආත්ම තෘප්තියට සම්බන්ධ එකකි. ආත්මීය නිදහසට සම්බන්ධ එකකි. 

එසඳිත් එක්ක නගරයේ පාරවල් වල ඇය ටිකක් වෙලා ඇවිද්දා ය. අලුත් ජීවිතයක් ඇය ඉදිරියේ නිරාවරණය වී තිබේ. අලුත් ලෝකයක් ඇය වෙනුවෙන් විවර වී තිබේ! 

ත්‍රීරෝද රියක නැගී ඔවුන් ගෙදර එන විට ගේට්ටුව ඉදිරියේ යතුරු පැදියක් නැවතී තිබිණ. වැරැන්ඩා පුටු වල කාන්තාවක් හා පිරිමියෙකු ද ජයරත්න හා තිලකා ද අසුන් ගෙන සිටියහ.

“කොහෙද මෙච්චර වෙලා ගියේ…මගෙ අම්මේ මොන්ටිසෝරියෙ ඉඳං දහ ගමනක් එන්න වෙලා”

සයුරංගනා දුටු ගමන් තිලකා වචන විසි කළේ නො රිස්සුමෙනි.

“බඩු ටිකක් ගන්න ගියා”

සයුරංගනා නො සැලකිලිමත් ලෙස නැන්දම්මාට පිළිතුරු දෙමින් අමුත්තන් දෙස මඳහසකින් බැලුවා ය. ජයරත්න එසඳි ව තමන් වෙතට ලං කොට ගත්තේ ය.

“මේ ශක්‍යා බැඳපු ළමයගෙ ඔෆිස් එකේ යාළුවෙක්. මළ ගෙදරත් ආව”

තිලකා සයුරංගනා ට සිය බෑණා ගේ මිතුරා හඳුන්වා දුන්නා ය.

“කාරෙකේ යතුර කෝ…මං හැම තැනම හෙව්ව. කෝල් එකක් ගත්ත ෆෝන් එක වැඩ කළෙත් නෑ”

“ඇයි අම්මෙ කා එකේ යතුර හෙව්වෙ…”

“මේ ළමයි කැමතියි කාරෙක ගන්න. සාධාරණ ගාණකට ගනී”

සිය දෙපා වෙව්ලා ගියා සේ සයුරංගනා ට දැනිණ. ඇය ඉතා හෙමිහිට පියවරක් දෙකක් තබා ගෙට ගොඩ වී ප්‍රධාන උළුවස්ස අල්වා ගත්තා ය. මේ ලොකුවට හිත හිතා හිටිය හැකි වෙලාවක් නොවේ. එසඳි හා තමන් ගේ ස්වාධීනත්වය වෙනුවෙන් පළමු පියවර තැබිය යුත්තේ මෙතැනින් යයි සයුරංගනා ගේ ආත්මයේ ම කොටසක් ඇයට අවධාරණය කොට කීවා සේ ය.

“නෑ. කා එක විකුණන්නෑ”

ඇය නැන්දම්මා ද අමුත්තන් ද දෙස ඍජු බැල්මෙන් මාරුවෙන් මාරුවට බැලුවා ය. තිලකා ගේ ඇස් දෙක අතරින් හට ගත් රැල්ලක් නළල දෙසට විහිද ගියේ ය.

“යකෝ මේක මාර කතාවක්නෙ. ඕක ඔතන තියල දිරල ගියාම යකඩ වලට කිලෝ ගාණට විකුණන්නද…කවුද දැන් මේ ගෙදර කාර් පදින්න ඉන්නෙ…ඒක මගෙ පුතාගෙ කාර් එක. අපිට අයිතියක් තියනව ඒක ගැන තීරණයක් ගන්න. ඔය ළමය ගිහිං යතුර ගෙනත් දෙන්න”

“තිලකා”

ජයරත්න ට උවමනා වූයේ සිය බිරිඳ ගේ අනුවණ තර්කය ඔතැනින් නවතා දමන්නට ය. නමුත් ඇය ඔහු ට සවන් දෙන්නට සූදානම් බවක් හැඟවූයේ නැත.

“මේ මිනිස්සුංව රස්තියාදු කරල යවන්න බෑ”

“කා එක විකුණන්නෙ නෑ අම්මෙ. මං ගිම්හාන්ගෙ වයිෆ්. එයා ඉතුරු කරල ගිය දේවල් විකුණං කන්න තාම මං ලෑස්ති නෑ. සොරි ඕගොල්ලො රස්තියාදු වුණාට”

කියමින් අමුත්තන් දෙස බලා සිනහවක් පා සයුරංගනා කාමරයට ගියා ය. යහන මත හිඳ ගත් ඉක්බිති ඇගේ හුස්ම වැටුණේ වේගවත්ව ය. නමුත් ඇය  අභිමානය ගැන හැඟීම් මාත්‍රාවක් අත්විඳින්නට වූවා ය.

💜️පිරිමියෙකු ගේ ඇල්ම බැල්ම රැකවරණය හදිසියේ ම අහිමි වන සයුරංගනාලා වෙනුවෙන් ඔබේ මානුෂීය හැඟීම් ලියා තියා යන්න. ඒ නැතත් සතුටු මන්තර වෙනුවෙන් ඔබේ අදහස ලයික් බොත්තම මතින් සලකුණු කොට යන්න.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles