විහඟ පියාපත් 30

0
3596

බන්ධනා පිටපිටම දින දෙකක් අසනීප වග පවසා රූගත කිරීම් වලට සහභාගි නොවූ නිසා අකලංක ට සහභාගි වන්නට තිබූ රූගත කිරීම් වාර කිහිපයක්ම අවලංගු විය. අකලංක ඒ කාලය මිඩංගු කලේම, හෝටලයේ අහුමුළු වල ඇවිද විපරම් කරන්නටය. නිවැරදි විය යුතු කාරණා පිළිබඳව යම් දැනුමක් ලබා ගන්නටය. 

ශයිනිගේ උපදෙස් පරිදි සකස් කරමින් තිබූ අප ජල කලමනාකාරණ පද්ධතිය දෙසද ඔහු උනන්දු නොමැති බව පෙන්වමින්, එහෙත් විමසුම් බැලුම් හෙලුවේය. සියල්ල සකස් වෙමින් පැවතීම සැහැල්ලුදායි හැඟීමකි. එය ශයිනි සැහැල්ලුවෙන් පා කරන හැඟීමක් වීමම තවත් සැනසිලිදායකය. 

ශයිනි හෝටලයේ රැඳී සිටියා වුවද, ඇය පෙනෙන්නට පැමිණියේ නැති වීම නිසා සවස් වෙද්දී අකලංක යම් නොසන්සුන්කමක උන්නේය. ගෙවුණු දිනයම  අමයුරු දිසානායක ගිණුමට ඇයගෙන් කිසිඳු පණිවිඩයක් පැමිණියේ නැත. ඇතැම්විට ඇය සැලසුම් සමඟ කාර්‍යබහුල ව සිටිනවා විය හැකිය. එලෙසත් නොමැති නම් ඇය අමයුරු සමඟ ඇසුර දිග් ගස්සවන්නට අකමැතිවාද විය හැක.  

අකලංක කාමරය තුළට පැමිණියේ ප්‍රබාත් සමඟ ඇමතුමේ සිටියදිමය. ප්‍රබාත් හික්කඩුවේ  පවත්වන්නට නියමිත සංචාරක සැණකෙළියක් ආවරණය කිරීමට පැමිණෙමින් සිටින බව අකලංක ට කීවේ ඒ අතරය. අකලංක මිතුරා වෙනුවෙන් කාමරයක් වෙන් නොකර, තම කාමරයේම ඉඩ සකසා ගන්නට සිතුවේ, ඉන් ශයිනි හා දොඬමලු වන්නට තව ඉඩක් ලැබේවියැයි සිතමිනි. 

දෙවතාවක්ම ඇමතුවද ශයිනි පිළිතුරු නොදුන් නිසා අකලංක යළි ඇමතුමක් ගත්තේ නැත. එහෙත් ජංගම දුරකතනය පසෙක තැබූ පමාවෙන් එය නාද විය.

කලු පැහැති හදවතක් සහ සෙමිකෝලනයකින් ඇමතුමකි.

අකලංක අවශ්‍යතාවය ඇයට පැවසුවේය. අද රාත්‍රීය සහ අනිද්දා තෙක්  දිවා කාලය මිතුරා නවතාගැනිමට අවසර ගැනීම උදෙසා ඇමතූ වහ කීවේය. 

ශයිනි උන්නේ මනසෙහි අතිශය වෙහෙසකිනි. චරිත් ට රැකියාවක් සොයාගන්නට කීවාට, ඔහුගේ රැකියා අවස්ථාව “කින්ග් ස් විලා” හී වේවි යැයි සිහිනෙකුදු සිතුවේ නැත. අනෙක් අතට ඔවුන් එහෙම ලේසියකට පුරප්පාඩු සඳහා අයවලුන් ගන්නේද නැත. 

චරිත් එහි රාජකාරි ඇරඹීමෙන් පසු තමා බිඳ වැට්ටවීම සඳහා කල හැකි සියල්ලම කරන බව ශයිනි ඉන්තේරුවෙන්ම දන්නීය.  අනෙක් අතට කිංග්ස් විලා යනු ගෙවුණ කාර්තුවේ වැඩිම සංචාරක ආකර්ෂණය๬ දිනාගත්  නවාතැන් පලකි. එය ඉන් එපිටට ගෙනියන සාත්තරය බොහෝවිට චරිත් අල්ලනු ඇත. එවන් සාර්ථක ස්ථාන අති සාර්ථක කරන නාඩිය ඇල්ලීම ඔහුට මහ දෙයක් නොවේ 

ශයිනි වැඩි කතාවක් නැතිවම ඒ සඳහා අවැසි දෙයක් වේ නම් තිළිණි අමතා කරගන්නා ලෙස දැනුම් දී ඇමතුම විසන්ධි කලාය. අකලංක ට එය දැනුණේ දැඩි පහරල් ලෙසිනි. ඒ අතරේම ශයිනි උන්නේ යම් වෙහෙසකදැයි යන සිතුවිල්ලද ඔහුගේ සිතට ක්ශණිකව ආවේය.

අකලංක ට ඉන් එහා නිහඬව සිටීමට සිදු වනවා වුවද, අමයුරු දිසානායක ට දොඬමළු විය හැකිය. 

අකලංක වහා ඇයට පණිවිඩයක් යොමු කලේය. ජංගම දුරකතනය ඇය අතේ නිසා ඇය අනිවාර්යයෙන් පණිවිඩය දැකිය යුතුය 

“කොහේකද ?”

“හෝටෙල් එකේ ..”

“ඉතාම කාර්‍යබහුල දවස් දෙකක් තිබුණේ.. “

අකලංක කීවේය.

“මටත්… තවම වෙහෙසයි….”

“මොනවද වෙනස්  කල සැලසුම් ?”

“ඔක්කොම … වේස්ට් මැනේජ්මන්ට් එක මගේ ප්ලෑන් විදියටම කෙරෙනවා… මං චරිත් ට රිසයින් වෙන්නත් කීවා…”

මේ ශයිනි අමයුරු දිසානායක හා බෙදාගන්නට බලාපොරොත්තු වූ කාරණා නොවේය. එහෙත්, මෙවෙලෙහි ඔහුගේ පෙනී සිටීම පවා විසල් ශක්තියක් සේ දැනෙයි. 

“ඒක හොඳයි ..කොච්චරක් කිරි පෙව්වාත් නයා නයාමයි…”

අකලංක සැහැල්ලුවෙන් කීවේ නාග ස්ටිකරයක් ද අමුණමිනි. එහෙත් ශයිනි ට ඒ සැහැල්ලුව දැනුණේ නැත.

“මම එයාට කිව්වා හොඳ සර්ටිෆයි එකත් දෙන්නම් මාසයක් ඇතුලත ජොබ් එක්ක හොයාගෙන යන්න කියලා …”

“හොඳ කිව්වේ ?”

“මේ අවුල් ගැන නොසලකා… එයාගේ සර්විස් එකයි, ටැලන්ට්. ස්කිල් එක්ක විතරක් …”

“මොන විකාරයක් ද ඒක ?”

“මම ඒක තිළිනි වෙනුවෙන් තීරණය කලේ…”

“හරි ඉතින් දැන් ?”

“එයාට ඔෆර් එක ඇවිල්ලා තියෙන්නේ කිංග්ස් විල එකෙන් ..”

“ඉතින් ?”

“එතන  තමා මට ලොකුම කම්පිටිශන් එක දෙන්නේ… i am fed up … දැන් ආයෙම බින්දුවටම වැටිලා කියලා හිතෙන්නේ. ..”

අකලංක ද මොහොතකට නැවතුණේය. ඇය එතරම් වෙහෙසින් සිටීමට හේතුව එයය. මනසය වද දෙන කාරණාව එයය.

“මේ බලන්න… ඔයා කොහොමද ඔහොම හිතන්නෙ. මොණරවිල කියන්නේ ඔයාගේ නම… ඔයා හදපු නම…”

“චරිත්, තිළිණි දෙන්නා අවුරුදු ගානක් මා එක්ක ඉන්නවා…”

“ඔවු ..හරි ඇති.. උන් දෙන්නා විතරක් නෙවෙයි .. තව සෑහෙන්නම අය ඉන්න ඇති.. ඒත් හැම සැලසුමක් ම හැදුවේ ඔයා ?? එහෙම නෙවෙයි ද ? එයාලා ජොබ් එකක් කරේ…”

“ජොබ් එකට එහා දෙයක් කලා…”

“කමෝන් … කොහොමද තවම ඔහොම හිතන්නේ.. සමහරවිට , ඔයා මේ හැමදෙයකම රෙස්පොන්සිබිලිටිස් එයාලට බෙදන්නේ නැතුව හිටියා නම්, ඔයා සත්තකින්ම මීට වඩා දියුණු වෙලා තියෙන්න තිබුණා ශ…යි…නි…..”

අකලංක පණිවිඩය යොමු කලේ වරක් ශයිනි යැයි නම බර කර කීමෙන් පසුවය. ශයිනිද එය බරටම කියෙව්වාය. 

“චරිත් හොඳ ඇති…ඒත් ඔයා හොඳා……………යි..”

අකලංක ඉන් පසුව එලෙසද එව්වේය. ඉන් ශයිනිගේ හදවත පිම්බුණාය. එය එහෙමමටම වන අගය කිරීමක් නොවූනද, මේ නන්නාඳුනන පිරිමි පරාණයෙන් ලැබෙන ඇගයීමේ මොකක්දෝ එකක් තියෙන්නේය. 

ශයිනි කලු හදවතට සෙමිකෝලනයක් යැව්වාය.

“පුලුවන් ඉක්මනට චරිත් අයින් වෙන එක ඔයාට හොඳයි .. හෙමින් සිරුවේ හොයලා බලලා කෙනෙක් ගන්නකල්  වැඩ ටික මැනේජ් කරගන්න ..  හෙවි සීසන් වලට තව මාස දෙකක් විතට් තියෙනවා නෙහ්…..අඩුම මාසයක් ?”

“ඔව්…දැනට ටුවරිස්ලා ටිකක් ඉන්නව….රශියන්, පෝලන්ඩ් සෙට් එන්නේ තව මාසෙකින් වගේ….”

ඔහුගේ උනන්දුව ශයිනිට සිතා ගැනීමටද අපහසු තරමේය. මොහු නොදන්නේ මොනවාද ?

කොහෙන් පටන් ගත්තා වුවද, ඕනෑ දෙයක් ගැන  මොනවාම හෝ පැහැදිලිව කතා කරන්නට දන්නා පිරිමියෙක් ලියුම්කාරියගේ ජීවිතය තුලද සිටී. එවන් පිරිමියෙක් තුළින් විද්‍යාමාන වන සරාගී බව අන් කිසි කාරණාවක් නිසා සැපිරෙන්නේ නැති වග ලියුම්කාරිය දන්නේ අත්දැකීමෙනි. ඉතින් ශයිනිටද එය එලෙසින්ම දැනෙනවා ඇති වග වැඩිදුර සැක නැතුවම ලියා තියන්නට හැක.

“නියමයි නේ ඉතින් .. අපිට ටයිම් තියෙනවා ..”

ඉතින් ; ඒ ඉතා තදට පපුවේ වැදී පපුව තුළ ගිලෙන වචන වලින් ගැහැණු නවතින්නේය. 

ශයිනි උන්නේ නිහඬවය

“බය වෙන්න එපා…you are the best..ඔයා මේ ගේම ගහන්නම ඕනි…”

“ඔයා කවුද ?”

ශයිනි එක්වරම එලෙස ඇසුවාය. සැබැවින්ම ඔහු කවුරුන්ද  ?

ජීවිතය තුළ මෙතරම් ගැස්මක් හදන්නට ඔහුට හැකි වන්නේ කෙලෙසද ? 

පසුගිය දිනයේ පැයකට වතාවක් දෙවතාවහ් හෝ අමයුරු දිසානායක සිහි විය. 

ඔහුගේ පණිවිඩ කියවා බලන්නට සිත් විය.

මෙය කිනම් උමතුවක්ද .?

| අපේක්ෂා ගුණරත්න | 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here