සීත මාරුතේ – 59

සිනහ තෙපුල් ද ගීත ගායනා ද පරණ කතා හා විහිළු කතා ද අතරේ කාලය ගෙවෙමින් තිබිණ. නමුත් මගේ හදෙහි පහුරු ගෑමක ක්ෂුද්‍ර වූ තුවාල ද තැන් තැන් වලින් මතු වූ රුධිර බින්දුවක් දෙකක් ද තිබිණි. 

ජීවිතයේ වූ කලී සුඛ විහරණයක් ම නොවේ. ධාරා ගේ ඉරණම, මේ මොහොතේ මා තුළ රිදුම් ඇති කරන්ට සමත් ව තිබිණි ද එය හුදු ඇය වෙනුවෙන් උපන් රිදුමක් පමණකැයි කිව නො හැකි ය. ඒ සන්තාප වේදනා ගැහැනු අප සියලු දෙනා වෙනුවෙනි. ගෑනු ළමයෙකු වශයෙන් පිරිමි ආත්මයක් මැනවින් විශ්ලේෂණය කරන්නට මා උපතින් ම අසමත් වනවා ඇත. නමුත් මට වඩා හොඳින් ස්ත්‍රී ඇතුළාන්තයක් දකිත හැකි ය. 

ධාරා අත්විඳි ප්‍රතික්ශේපයේ වේදනාව හා මුණවර ට මා අමතක ව යාම යන දෙක ම මට නම් එක වාගේ මරු පහරවල් ය. මෙහිදී මගේ ප්‍රතිවාදියාව ප්‍රතික්ෂේප විණැයි කියා සතුටු වන්නට තරම් ප්‍රාථමික හා නො මේරූ මනසකින් ක්‍රියා කරන්නට මට නුපුළුවන. කෙනෙකුට සිය අතීතය අමතක ව යාම නිසා ඒ අතීතයේ කිසිවෙකු උන් තැන අහිමි වීම, කවරාකාරයකින් විග්‍රහ කළ යුතු දැයි සිතා ගැනීම ද අපහසු ය. අප දැනුවත් ව අප සන්තකයේ සුරක්ෂිත ව තිබූ යමක් අදිසි ලෙස හොරු අරන් ගියා වන් තත්වයකි එය. මුණිවර  රෝහලේ දී සිහි ලද වෙලාවේ, මා හැරෙන්නට අන් සියල්ලන් හඳුනා ගෙන ඔහු මා ප්‍රතික්ෂේප කරත්දී පණ පිටින් දැවෙනවා වන් පීඩාවක් මම අත්වින්දෙමි. එය මෙතෙක් මා විඳ ඇති කිසිදු සංවේදනයකට සම කළ නො හැකි ය. සති ගණනාවක් ගෙවී යන තුරා ඒ ප්‍රතික්ෂේප වීමේ දරුණු වේදනාව රුදුරු ලෙස මා පෙළමින් තිබිණ. දැනුදු එය වෙනත් ස්වරූපයක් ගෙන ඇතිවා මිස මුළුමනින් පෙර තත්වයට පැමිණ නැත්තේ ය. 

කෙසේ වී ද අපි ජීවිතයට මුහුණ දිය යුත්තෝ වෙමු. ප්‍රතික්ෂේපයක දරුණු තුවාල සමග ජීවිතයට මුහුණ දීම පහසු නැත. ඊට ඔරොත්තු දිය නො හැකි බොහෝ අය දිවි නසා ගනිති. උන්මත්තකාගාර වල නවතිති. විශාධයට දීර්ඝ කාලීනව ඔසු හා උපදේශන සේවා ලබා ගනිති. මතට ගොදුරු වෙති. ඒ ඒ පාර වල ගමන් ගන්නේ තම තමන් ගේ මානසික ශක්ති ප්‍රමාණය මත ය. අපට ඒ කිසිවෙකු ගන්නා තීරණය හෝ ඔවුන් එළඹෙන තත්වය ගැන විචාරයන් කළ නො හැකි යයි මා සිතන්නේ මෙය උනුන්ට පෞද්ගලික වන ආවේණිකත්වයක් වන නිසා ය. 

වඩා සංවේදී ගෑනු ළමයෙකු වී ද විවාපත් වන්නට පිළිණ දුන් පෙම්වතා ට මා අමතක වීම යන අගාධයට වැටුණ මතින් ඉන් ගොඩ වී ගන්නට මට ඕනෑ විය. තනි ව හැඬුව ද ඒ කඳුළු අම්මා අප්පච්චි ගෙන් සඟවා ගන්නට මම හැකි තාක් වෙර දැරීමි. අනතුරකදී මිනිස් සිරුර විසින් ශ්‍රාවය කරනු ලබන ඇඩ්රිනලින් නම් හෝමෝනය සටන් වැදීමේ හෝ පලා යාමේ ප්‍රතිචාර දක්වයි. මගේ ඇඩ්රිනලින් කළේ සටන් වැදීමට උත්සාහ කිරීම ය. සැබවින් අවසාන වශයෙන් ගාල්ලේ සමුද්‍රාසන්න හෝටලයට යන තෙක් ම මම සටන් කළෙමි. අවසන ඇඩ්රිනලින් කෙසේ වී ද මම පලා ගියෙමි. ඒ තව දුරටත් සටන් වදින්නට තරම් දිරිය තිබුණත් එය නිෂ්ඵල බව මට අවබෝධ වෙමින් තිබි නිසා ය.

මුණිවර අලුතෙන් මට පෙම් කරන්නට පටන් ගෙන තිබීම ද මා එය නො තේරුණා සේ සිටීම ද වෙනම කාරණයකි. ධාරා ප්‍රතික්ෂේප වී පළා ගිය එක දැන් මට දැනෙන්නේ මට සිදු වූ දෙයක් සේ ය. ලොකු තාත්තා හැරෙන්නට ඇය මෙහි පැමිණ ගිය බව කිසිවෙකු දන්නේ නැත. ඇය හෙට උදය වන විට මේ අහස යටින් සමු ගෙන යන බව ලොකු තාත්තා ට වුව මා කීවේ නැත..එය දැන ගැනීම මගේ මිතුරියන් ඇතුළු සියලු දෙනාට ජය පැන් බොන්නට තරම් හේතුවක් වන බව මම දනිමි. නමුත් මට එහෙම නැත.  යන බව කීවාට කිසිවෙකු ඇය වලකන්නට උත්සාහ කරන්නේ නැත. එහෙව් එකේ ඇය යන බව ඒ කිසිවෙකු නො දැනගන්නා එක හොඳ ය. ආදරය කිරීම යනු ගෑනු ළමයෙකුට අනෙකුන් ගේ අනුකම්පාව ලැබිය යුතු විදිහේ දුර්වලතාවයක් නොවේ. ඒ නිසා ඇය ඇගේ ආදරයත් දුකක් දෙක ම තනිව දරා ගෙන නික්ම යන එක හොඳ ය. 

ගිලෙනවාට වඩා පිහිනන එක පහසු බව දැන් මම පසක් කර ගෙන හිඳිමි.

රාත්‍රිය චමත්කාරජනක වූයේ ය. අසිරිමත් ලෙස වැස්ස ද අත්හිටවී තිබිණ. ගෑනු ළමයින් ගේ හා පිරිමි ළමයින් ගේ වචන වල වූ මිත්‍රශීලී බව ද, විහිළු තහළු ද, දෙබිඩි අරුත් ද සියලු හදවත් උණුහුම් කොට තිබෙන්නට ඇත. ඕනෑ ම මොහොතක ඕනෑ ම දෙයක් සිදු විය හැකි ය යන්න යළි යළිත් මට පසක් කරමින් අප්පච්චි මුහුණේ මස් පිඬු හකුළුවමින් පපුව අල්ලා ගත්තේ රෑ මැදියම ය. 

“පපුව ටිකක් රිදෙනව වගේ”

ඔහු සාමාන්‍ය තත්වයට පත් වෙන උත්සාහයක් දරමින් කීවේ ය. මම ඉක්මනින් පැන වතුර වීදුරුවක් ගෙන අප්පච්චි ගේ මුවට ලං කළෙමි. එක තත්පරයක දී මගේ හද ගැස්ම හොඳට ම වේගවත් වී තිබුණ ද අප්පච්චි ට කිසිත් වන්නේ නැතැයි හිත සවිමත් කර ගන්නට හිතේ එක පැත්තක් වහ වහා කටයුතු කරමින් තිබිණ.

වතුර උගුරක් බොන්නට ද පෙර අප්පච්චි ගේ හදවත් රිදුම උත්සන්න විය. “ආ…හ්” කියා ගෙන ඔහු පසෙකට ඇල වී ගත්තේ ය. 

“අනේ අප්පච්චි”

මට කෑ ගැසිණ. අම්මා අප්පච්චි ව සිය උරයට වත්තම් කර ගනිමින් සිටියා ය.

“අප්පච්චි…කතා කරන්නකො අප්පච්චි…මොකද වුණේ…අනේ ලොකු තාත්තෙ ඉක්මනට මොකක් හරි කරන්නකො. මුණිවර..අප්පච්චිව හොස්පිට්ල් ගෙනියමු ඉක්මන්ට..අනේ අදීශ්…දසුන් අයියෙ…”

දෙවියන්ට බුදුන් ට කියනවා සේ මම ඔවුන් සැමකෙකු වෙතින් පිහිට අයැද සිටින්නට වීමි. නංගී ද මල්ලී ද අම්මා ද කලබලයටත් බියටත් පත් ව විලාප තබන්නටත් කෑ ගසන්නට ත් පටන් ගෙන සිටියහ. එක මොහොතකින් සියල්ල වෙනස් ව ගියේ ය.

මුණිවර ගේ රියෙහි අප්පච්චි හා අම්මා ව පිටුපස නංවා ගැනිණ. දසුන් අයියා අප්පච්චි ව ඔසවා අම්මා ගේ උකුලේ ඔහු ගේ හිස පවතින ලෙස වැතිරුවේ ය. ලොකු තාත්තා ඒ රියෙහි ඉදිරි අසුනට ගොඩ වූයේ ය.

“අනේ මටත් යන්න ඕන අප්පච්චි එක්ක”

මගේ කම්මුල් දිගේ කඳුළු ගලා යන්නට විය. අදීශ් වහා ඔහු ගේ රියට නැගුණේ ය. නංගී මල්ලී ව කසුනි ලා ගේ භාරයට පත් කළා ය. දසුන් ද සමගින් අපි සිව් දෙන රැගත් අදීශ් ගේ රිය ද මුණිවර ගේ රිය පසු පස ඉගිල ගියේ ය. මගේ හිත ඊට වැඩි වේගයකින් දුවමින් තිබුණා කියා සිතමි. මම හැම දෙවියන් වෙතින් අප්පච්චි ගේ ජීවිතය යදිමින් සිටියෙමි. මීට පෙර කිසි දා ඔහු හදවත් වේදනාවක් ගැන පැමිණිලි කොට නැති බව මට විශ්වාස ය. මෙහෙම සතුටු නිමේශයක එවැන්නක් ඔහු සොයා එන්නට නියමිත ව තිබුණා යයි කෙසේ සිතන්න ද? එක අතකට ජීවිතය වූ කලී එවන් අවිනිශ්චිත වූ යමකි. ඒ තුළ දී සිදු විය නො හැක්කක් නැත්තේ ය. 

අප්පච්චි ගිලන් විය හැකි යයි කවදාවත් මා සිතා කිබුණේ නැත. පාසල් වියේ දී ද ඉන් පසුව ද මම මිතුරියන් ගේ දෙමව්පිය වරුන් අසනීපයෙන් සිටිනා බව අසා ඇත්තෙමි. ඔවුන් ගේ අවමංගල කටයුතු වලට සහභාගී වී ඇත්තෙමි. ඒවා මට සාමාන්‍ය තත්වයන් පමණක් විය. ඉපදෙනා ඕනෑම කෙනෙකු ගිලන් විය හැකි බව ද මහළු විය හැකි බව ද මරණයට පත් විය හැකි බව ද මම දැන සිටියෙමි. ධර්මානුකූලව උගෙන ද සිටියෙමි. නමුත් කිසි දා ක මගේ දෙමවිපියන් අරබයා එසේ සිතන්නට හෝ ඔවුන් ව ඒ තැන් වලට ආදේශ කොට බලන්නට මා පෙළඹී නැත. ඇතැම් විට එසේ කිරීමට අවැසි වී ද එසේ කිරීමට තරම් ආත්ම ධෛර්යයක් මට නො වන්නට ඇත.

මගේ අම්මා අප්පච්චි මිය යන්නේ නැත යන මායාව තුළ, මවිසින් අටවා ගන්නා ලද මායාකාරී කවචය තුළ ආරක්ෂාකාරී වීම මෙතෙක් මා පැවත ගෙන ආ ක්‍රමය විය.

රෝහල් ට්‍රොලියට දමනා විට අප්පච්චි මඳ සිහි තත්වයක සිටියේ ය. මම විගස අදීශ් ගේ රියෙන් බැස ට්‍රොලිය වෙත දිව ගොස් අප්පච්චි ගේ අතක් අල්ලා ගතිමි.

“බය වෙන්න එපා අප්පච්චි. අප්පච්චි දැන් ඉන්නෙ හොස්පිට්ල් එකේ. මෙතනදි ඉක්මනට ට්‍රීට්මන්ට්ස් කෙරෙනවනෙ. ඒ නිසා අප්පච්චි ඉක්මනට සනීප වෙනව. මුකුත් හිතන්නැතුව ඉන්න අප්පච්චි”

මම හිතේ නැති හයියකින් කියවා ගෙන ගියෙමි. අප්පච්චි හ්ම් කියනු තබා මදෙස ඇහැක් ඇර බැලුවේ හෝ නැත. ඇස් පියා ගෙන උන්න ද ඒ වෙලාවේ අප්පච්චි සිටියේ සිහිය තුළ බව මට විශ්වාස ය. 

රෝහල් සේවකයෝ ඉතා යුහුසුළු ලෙස අපව ද පසෙකට කරමින් අප්පච්චි රැගත් ට්‍රොලිය ඇතුළට තල්ලු කරගෙන ගියහ. මට දැනුණේ මගේ හදවතෙන් කොටසක් කවුරුන් විසින් හෝ 

රජයේ රෝහලකට ඒ වෙලාවේ පිරිසකට ඇතුළු වීමට දෙන්නේ නැත. අම්මා හඬමින් වැළපෙමින් සිටියා ය. නංගී ඇය වත්තන් කර ගනිමින් ම හැඬුවා ය. මේ අප කිසිවෙකු බලාපොරොත්තු වූ තත්වයක් නොවේ. නමුත් මේ මොහොතේ සිහි කල්පනාවෙන් හිස කෙලින් තබා ගෙන කටයුතු කළ යුතු යයි මම තදින් සිතුවෙමි.

අප්පච්චි සමග ඇතුළට එන්නට කීවේ පිරිමින් දෙදෙනෙකුට පමණි  එද රෝහලට ඇතුළත් කිරීමේ පෝරම පුරවන්නට ය. මුණිවර හා දසුන් අයියා ඇතුළට ගිය අතර අපට රිය වෙත යන්නට සිදු විය.

පියෙකු එවන් හදිසි රෝග තත්වයකට මුහුණ දීම දුවකට කොහොම දැනෙනවාද කියා හරියට වටහා ගනු ඇත්තේ එහෙව් තත්වයකට මුහුණ දී ඇති දුවක පමණකි. මම හඬන්නේ නැතිව ඉන්නට හැකි තාක් වෙර දැරුවෙමි. ඇතැම් විට එය සාර්ථක වී ද ඇතැම් විටෙක මට නො දැනී ම ඇස් වලට කඳුළක් ඉනුවේ ය. ඒ කඳුළු කෙතරම් ගිනියම් ද යතොත් ඇස් පිච්චී යන තරම ය. 

“අඬන්නෙපා අනේ. අප්පච්චි හොඳ වෙනවනෙ”

විටෙක මම නංගී ට සැර කළෙමි. මල්ලී ට තවම මේවා ගැන අවබෝධයක් නැත. නංගී වුව තව ම පොඩි ය. අවබෝධයෙන් කටයුතු කළ යුත්තේ මා යයි මගේ යටි හිත තීරණය කොට තිබුණා සේ ය. 

ඝණ අඳුරු සීතල රාත්‍රියක් රෝහලක් ඉදිරියේ මග අයිනේ රියකට වී පියෙකු වෙනුවෙන් දෙවියන් ගෙන් ජීවිතය ඉල්ලා සිටිනා දූවරුන් ගේ හදවතක හෙවනැල්ල හෝ කිසිවෙකු දුටුවා ද කියා නො දනිමි. මම සීතලේ පාරේ ඒ මේ අත සක්මන් කළෙමි. මුණිවර ලා දැන් දැන් එතැයි රෝහල් තාප්පය මතින් ඉස්සි ඉස්සී බැලුවෙමි. අවසන පදික වේදිකාව මත බිම හිඳ ගෙන දෙදණහිස ම නිකට රඳවා ගතිමි. මට මහත් බියක් දැනෙමින් තිබිණ. අම්මලා ට අඬන්නට එපා කීවා ට මගේ ඇතුළු හද ගැබ දැඩි භීතියක ගිලී තිබුණේ ය. අප්පච්චි සුව වෙනවා යයි මේ ටිකට සිය වරකට වඩා මා මුවින් මුමුණන්නට ඇත. නමුත් මගේ හිත අප්පච්චි ගේ මළගම සිතිවිලි වලට නගමින් සිටියේ ය. එ් මළගම අනපේක්ෂිත එකකි. මා ඒ තුළ හැසිරුණේ වෙනත් ග්‍රහ ලෝකයකින් උන් හිටි ගමන් කඩා පාත් වූ ජීවියෙකු මෙනි. අප්පච්චි නැති ජීවිතයක අප කෙබඳු අනාරක්ෂිත තත්වයකට පත් වේවිද කියා මට සිතුණේ නැත. අප්පච්චි නැති පාළුව දරා ගන්නේ කොහොමද කියා සිතමින් මම තැවුණෙමි. 

“දුක් වෙන්නෙපා..අප්පච්චිට මුකුත් වෙන්නෑ”

අඩි බාගයක් තරම් පරතරයක් ඇති ව පදික වේදිකාවේ මට සමීපයෙන් හිඳ ගනිමින් අදීශ් මිමිණුවේ ය. මා සිටින්නේ පාෂාණිභූතව බව මට දැනුණේ එතකොට ය. සිතේ සිතිවිලි ඕනෑ තරම් තිබුණාට මුවෙහි වචන වූයේ නැත. මම හිස සලන්නට ගියෙමි. එසේ කර ගත හැකි වූයේ ද නැත. හැඬුවා නම් මේ පීඩනය නිම වේවියි සිත කීවේ ය. නමුත් මට හැඬුණේ ද නැත. අප්පච්චි මිය ගොස් ඇතය කියා සිතනා මායා ලෝකයක් තුළ මට හැඬුණේ නැත ය කියා කෙසේ නම් විශ්වාස කරන්න ද?

දැන් මෙඩිසින් කියන්නෙ ගොඩක් දියුණු දෙයක්. බරපතල විදිහට අසාධ්‍ය වුණ ලෙඩ්ඩු පවා හොඳ කරනවනෙ”

“ඔහු ට ඕනෑ වන්නට ඇත්තේ මට බලාපොරොත්තුවක් දෙන්නට ය.

“අපි සර්ව ඉක්මනටම හොස්පිටලයිස් කළානෙ. මෙලහකටත් ට්‍රීට්මන්ට්ස් පටන් අරං ඇති. දැන් මුණිවරල එයිනෙ”

ඔහු හැරී මඳක් එසවී රෝහල දෙස බැලුවේ ය. පපුව ඇතුළේ සුළි සුළඟක කැළඹීමක් වන බව මට දැනිණ. අප්පච්චි මිය ගියා ය යන ආරංචිය රැගෙන මුණිවර එන එක තව පමා වනවා නම් හොඳ යයි හිතේ එක පැත්තක් කීවේ ය. අනිත් අතට සිදු වූ දෙයක් ඉක්මනින් දැන ගන්නා එක හොඳ යයි හිතේ අනිත් පැත්ත කම්පනයකින් යුතුව සිතුවේ ය. මගේ මිතුරියන් ගේ මව් පිය වරුන්ගේ මළ ගෙවල් මට මැවි මැවී පෙනෙන්නට විය. කිසි දා ක එවැන්නක් අපේ ජීවිත වලට ආදේශ කොට ඇත්තට මුහුණ නොදී යථාර්ථයෙන් මුවහ වෙමින් සිටි මා මේ සියල්ලට වැරදිකාරයා ලෙස මම චෝදනා කළෙමි.

“මුණිවරල එනව”

මා ඉද්ද ගැසුවා සේ නැගී සිටියේ ය. අම්මා හා නංගී ද ලොකු තාත්තා ද රියෙන් බැස අප වෙත පැමිණියහ. මම දුර තියා ම මුණිවර ගේ මුහුණේ ඉරියව් විනිශ්චය කිරීමේ උත්සාහයක පසු වීමි. ඒ මුහුණු ශෝකාකූල ය. සියලු හදවත් වල ස්ඵන්දන වේගය තීව්‍ර වී තිබෙන්නට ඇත. 

“සර්ට…හාට් ඇටෑක් එකක් ඇවිත්”

අම්මා ට හීල්ලිණ. තව දුරටත් මගේ දෙපා වල සවියක් වූයේ නැත. මම පදික වේදිකාව මතට යළිත් වැටුණෙමි. අත් දෙකෙන් කන් දෙක වසා ඇස් දෙක තද කොට පියා ගතිමි. කන් වලින් දුම් දමනවා බඳු උණුහුමක් දැනෙන්නට විය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles