ස්මාර්ට් විදියට රස්සාව කරන්න ටිප්ස් 5ක්

Smart Lady වෙබ් අඩවියට පිවිසී සිටින ඔබ දැනටමත් ස්මාර්ට් තීරණයක් ගත් කාන්තාවක් බවට පත්වී අවසන්. ඒත් ඔබේ කඩවසම් බව, ඔබේ දිදුලන පෞරුෂත්වය කාර්යාලයේ දී කිසිවෙකුට නොදෙවැනි වෙන්නට පවත්වා ගන්නට ඔබ ඇත්තටම සමත් වී සිටිනවාද? මේ ලක්ෂණ ඔබ සතුව පවතිනවා නම් සැබවින් ම ඔබ ඔබේ ආයතන ප්‍රධානියාට නැතිව ම බැරි, ඔබේ ආයතනය සක්‍රීයව පවත්වාගෙන යන්නට අනිවාර්යයෙන් ම අවශ්‍ය වන පුද්ගලයෙක් විය හැකියි.

සියල්ල ම දන්නා බව හිතන්න එපා

ඔබ ඔබේ රැකියාව තුළ සියල්ලන්ට ම වඩා ඉදිරියෙන් සිටිනවා විය හැකියි. එහෙත් ඔබේ අධ්‍යාපන සුදුසුකම්, සේවා පළපුරුද්ද, අත්දැකීම්, සමාජ පසුබිම, සේවා කාලය ඔබ සියල්ල දන්නා සර්ව සම්පූර්ණ කෙනෙක් යැයි සිතන්නට කිසිදිනෙක ප්‍රමාණවත් වන්නේ නැහැ. ආයතන ප්‍රධානීන් තමන්ගේ සේවාදායකයින් බුද්ධිමතුන් වනවාට කැමැති වුණත්, ඔවුන් සියල්ල දන්නා පණ්ඩිතයින් ලෙස කටයුතු කරනවාට නම් කොහොමටවත් කැමති වන්නේ නැහැ.කාර්යාලය තුළ දක්ෂ නායකයෙක් වෙන්න. ඔබේ ආයතනයේ අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය තුළ ඔබේ දැනුම බැබළෙන්නට ඉඩ සලස්වන්න. ඔබේ මිතුරු සේවක පිරිසට හැකි හැමවිට ම සහාය ලබාදෙන්න.

ඉගෙනගැනීම දිගටම කරගෙන යන්න

ආයතනයක සංවර්ධනය රඳාපවත්වාගන්නට සේවක වටිනාකම වැඩිකරගැනීමේ දිරිගැන්වීම් වැඩසටහන්, පුහුණු වැඩසටහන් බොහෝ ක්‍රියාත්මක කරනවා. එවැනි වැඩසටහන් මඟහරින්නට එපා. ඔබේ බැබළීම ආයතනයට දැනෙන්නට නම් ඔබ එවැනි දිරිගැන්වීම් සමඟ නිරන්තරව සම්බන්ධව සිටිය යුතුයි. එවැනි දේට සම්බන්ධවීමේ දී ආයතනයේ අන්තිමයා වෙනුවට පළමුවැනියා ලෙස කැමැත්ත පළ කරන්න.

දැනුම ආයතනයට ගළපාගෙන සමඟ ස්මාර්ට් වෙන්න

ඔබ බොහෝ ක්ෂේත්‍රයන් ගැන පරිණත අත්දැකීම් ඇති කෙනෙක් විය හැකියි. එහෙත් ඔබේ සේවා ආයතනයට අවශ්‍ය දැනුම තෝරා බේරා වෙන්කරගැනීමට ඔබ බුද්ධිමත් විය යුතුමයි. ශේක්ස්පියර ගැන ඔබ දන්නා දේ සමහරවිට ඔබේ ආයතනයට ගළපන්නට නොහැකි විය හැකියි. ඔබේ පුළුල් දැනුමෙන් ආයතනයට සෘජුව දායක වන කොටස කාර්යක්ෂමව, වේගවත්ව මතුකර පෙන්වන්නට උත්සාහ ගන්න.

ඔබේ  කාර්යාලයේ දිරිගැන්වී සිටින්නන් හඳුනාගන්න

පලදායී ලෙසත්, ධනාත්මක ලෙසත් ඔබේ කාර්යාලයේ දැනටමත් දිරිගැන්වී සිටින සේවකයින් සමඟ කටයුතු කරන්න. සමහරුන් තමන්ගේ රැකියාව තුළ ගැටළු ඇතිකරගන්නේත්, සමහරවිට රැකියාව අතරමඟ අතහැර දමන්නේත් සෙසු සේවකයින් සමඟ කටයුතු කරන්නට ඇති නොහැකියාව නිසයි. කාර්යාලය තුළ දේශපාලනිකව විවිධ මත දරන්නන්, විවිධ ආකල්ප අනුව කටයුතු කරන්නන් සිටිය හැකියි. එහෙත් ඔවුන්ගේ මත ඉවසන්නට ඔබ ශක්තිමත් විය යුතුමයි. ඔබේ රාජකාරී කටයුතු නිවැරදිව අප්‍රමාදව ඉටු කරන්න. සෙස්සන්ට ඔබේ සහාය අවශ්‍ය වන අවස්ථාවල ඔවුන් වෙනුවෙන් ඉදරිපත් වෙන්න.

අන් අය මත රඳා නොපවතින්න. සන්නිවේදනය ශක්තිමත් කරගන්න

හෘද සාක්ෂියට එකඟව හැමවිට ම කටයුතු කරන්න. ඔබේ සේවා ආයතනය තුළට පැමිණෙන ‍‍සේවාලාභීන්‍ සමඟ පැහැදිලි සහ නිවැරදි සන්නිවේදනයක යෙදෙන්න. සේවා දායකත්වය තුළ ඔබ අසමත් වන තැන්, දුර්වල වන තැන් නිවැරදිව හඳුනාගන්න. ඔබේ නොහැකියාවන් වසාගන්නට අන් අය මත රඳා පවතින්න එපා.  ඔබ ඔබ තුළ ම නිවැරදි වෙන්න. කාර්යශූර වෙන්න.

ඇඳුම, කතාබහ, ගමන, ඉරියව්, පෞරුෂත්වයට හානි නොවන අයුරින් පවත්වාගන්න

ඔබේ ඇඳුමේ ස්වභාවය, ඔබ තෝරාගන්නා වර්ණ සහ ඒවායේ ගැළපීම ඔබේ හිතිවිලි, සහ ඔබේ ජීවිතය ගැන බොහෝ ඉඟි සපයන බව සිහි තබාගන්න. රැකියා ස්ථානයට ගැ‍ළපෙන අයුරින්, ඔබේ කඩවසම් බව කැපී පෙනෙන අයුරින් අඳින්න. ඔබ ගමන් කරන අයුරු, ඔබ ඉරියව් පවත්වා ගන්නා අයුරු සැලකිලිමත්ව සිදුකරන්න. විශේෂයෙන් ම ඔබේ කතාබහ, ඔබ යොදාගන්නා වචන, කතාකරන ශෛලිය ඔබ සෙස්සන් අතර ජනප්‍රිය වන්නට හෝ අප්‍රසාදයට පත්වන්නට හෝ දැඩිව ම බලපාන බව මතක තබාගන්න.

ආයතන ප්‍රධානියා හෝ සේවාදායකයින් විවේචනය නොකරන්න

ආයතනයක රාජකාරී කටයුතු සිදුකරන විට ඔබේ අදහස්, ඔබ දරන ආකල්ප නිරන්තරයෙන එහි පරිපාලන කටයුතු සමඟ ගැළපෙන්නට අවශ්‍ය නැහැ. ආයතන ප්‍රධානියා සහ ඔබ යනු දෙදෙනෙක් බව මතක තබාගන්න. ඔබ රැකියාව කරන ඔබේ සේවා දායකත්වයට මිළක් ලබා දී ඔබ සම්බන්ධ කරගෙන සිටින ආයතන ප්‍රධානියා වෙනුවෙන් ඔබ ඉටු කළ යුතු යුතුකම් සහ වගකීම් හඳුනාගන්න. සෙස්සන් සමඟ ප්‍රධානියා විවේචනය වහාම නතර කරන්න. එමෙන්ම ඔබ ලෙසින් ම ආයතනයට සේවා දායකත්වය සපයන සෙසු සාමාජිකයන් සමඟ හැකිතාක් සුහදශීලී වෙන්න. එකිනෙකා සමඟ ඔවුන් විවේචනය කිරීමත් වහාම නවත්වන්න.

හැකිතාක් සුහදශීලී වන්න

කේලම් කීම, ඊර්ෂ්‍යා කිරීම, පළිගැනීම, වැරදි මතුකිරීම, අනුන් පාලනය කිරීම වැනි දුර්ගුණ සියල්ල රාජකාරී ස්ථානවල ඇතිවන්නේ සුහදශීලී සම්බන්ධතාවක් එකිනෙකා අතර ගොඩනඟාගන්නට අසමත් වීම හේතුවෙනුයි. මේ නිසා අභ්‍යන්තරික නොගැළපීම් කොපමණක් තිබුණත් සියලු දෙනා සමඟ සුහදශීලීව කටයුතු කිරීම හොඳ නිසා කැපී පෙනෙන උතුම් පුද්ගලයන්ගේ ලක්ෂණයයි.

නිරංජලා –

Related Articles

Don't Miss


Latest Articles