සීමා බිඳ දමමින් ලෝකය පුරා පියාසර කළ ගැහැණියකගේ කතාව

අද ලෝක කාන්තා දිනය.Break the bias මෙවර කාන්තා දින තේමාවයි.සීමා බිඳින ගැහැනුන් ලෝකයට බිහි වීම උදෙසා කලාවට කරන්නට හැකි දේ බොහොමයි.සිනමා නිර්මාණයකින් මිනිසුන්ගේ ආකල්ප නඟා සිටුවන්නට ඇති හැකියාව නිසාම කාන්තාවන් කේන්ද්‍රීය කරගත් බොහෝ චිත්‍රපටි ලෝක සිනමාවේ බිහි වී තිබෙනවා.

Neerja ඉන්දියාවේ බිහිවූ එවැනි විශිෂ්ටතම නිර්මාණයක්.

nerja

1986 වසරේ සැප්තැම්බරයේ සිදු වූ සත්‍ය සිදුවීමක් මෙම චිත්‍රපටියට පදනම් වී තිබෙනවා.ඒ ඉන්දීය ඉතිහාසයේ රන් අකුරින් ලියැවුණු වීරවරියක් වන නිර්ජා බානොට්ගේ කතාවයි.

ඉන්දීය නිරූපිකාවක සහ ගුවන් සේවිකාවක වූ නීර්ජා බනොට් සේවය කළ ගුවන් යානය මගීන් සමඟ පාකිස්තානයේ කරච්චි නුවරදී ත්‍රස්තවාදී ග්‍රහණයට ලක් වෙනවා.මුළු කාර්ය මණ්ඩලයටම පිටව යන්නට දැනුම් දුන්නත් නීර්ජා පිටව යන්නේ නැහැ.ඇය යානයේ රැඳී සිටිනවා.මඟීන්ට තමන්ගේ සේවය උපරිම ලෙස ලබා දෙනවා.අවසානයේ ඇය මඟීන්ගේ ජීවිත බේරා ගැනීමට සමත් වෙන නමුත් ඇගේ ජීවිතය ත්‍රස්තවාදීන් බිලි ගන්නවා.ඒ යානයේ ඉතිරි වූ කුඩා දරුවන් තිදෙනෙකු ගලවා ගන්නට නීර්ජා ක්‍රියා කළ මොහොතේදී.

නීර්ජා ත්‍රස්තවාදී තර්ජන හමුවේ නොසැලෙන අන්දම සහ නොබියව සටන් වදින අන්දම සැබෑ හෘද සංවේදී බව නොකියාම බැහැ.මරණය එක අතකින් ගෙන තවත් සිය ගණනකගේ ජීවිත වෙනුවෙන් සටන් වැදීම පහසු නැහැ.උපායශීලී වීම සහ නිර්භීත වීම ගැහැනියකට අසීරු නොවන බව මේ උදාර ගුවන් සේවිකාව අපට මනාව පසක් කරනවා.

මේ සත්‍ය සිදුවීමක්.සැබෑ නීර්ජා මේ බිහිසුණු සිදුවීමට මුහුණ පාන්නේ විසිතුන් හැවිරිදි සියුමැලි යුවතියකව සිටියදී.ගුවන් සේවිකාවක වැනි රැකියා සඳහා ගැහැනු ළමයින් යොමුවීම සම්බන්ධයෙන් ආසියාතික රටවල හොඳ ප්‍රතිචාර ලැබීම තවමත් සෘණ මට්ටමක පවතිනවා.හොඳ අධ්‍යාපන සුදුසුකම් සහිතව අසීරුවෙන් ලබා ගත යුතු රැකියාවකට විවිධාකාර අපහාස නගන්නන් ආසියානු රටවල විරල නැහැ.නමුත් නීර්ජා වැනි ධෛර්යමත් යුවතියන් ඒ තැන රැඳී සිටින බව නීර්ජා චිත්‍රපටිය අපට යළි යළිත් සිහි කරනවා.ඒ වීර ක්‍රියාවට මිය ගිය නීර්ජාට ඉන්දියාව,ඇමරිකාව සහ පාකිස්තානය යන රටවලින් වීරාභිමාන සම්මාන ද ලැබෙනවා.නීර්ජාගේ චරිතය නිරූපණය කළ සෝනම් කපූර්ට ද ෆිල්ම් ෆෙයා සම්මාන උළෙල විසින් හොඳම නිළියට ජූරිය පිරිනමන සම්මානය පිරිනමා තිබෙනවා.

neerja

Boxoffice වාර්තා තැබූ Neerja අධ්‍යක්ෂණය කළේ Ram Madhavani විසින්.මෙය නිකුත් වී තිබෙන්නේ දෙදහස් දහසය වසරේදී.

ගැහැනිය සොබාදහමේ විශිෂ්ටතම නිර්මාණයක්.අතිශය බැරෑරුම් මොහොතක පවා කළ යුතු හොඳම දෙය තම දිවිය ගැන නොසලකා ඉටු කරන්නට තරම් ඇය දයාවෙන් පිරී ගිය කෙනෙක්.ඇය සියුමැලි බව කවියන් කොතෙක් ලියා තැබුව ද ඇය අවැසි තැනක ගලක් මෙන් සවිමත්.නොසැලී දරා ගන්නටත් දරා ගනිමින් නොසැලෙන්නටත් ඇය වග බලා ගන්නවා.

neerja

තම සිහින මත ඇවිද යන දියණියන් ඒ සිහිනය වෙනුවෙන් ඕනෑම කැප කිරීමක් කරනවා.ගැහැනිය ගෙයකට සිරවී ඉඳුල් මත ජීවිතය දිය කළ යුතු නැහැ.ඇයට ඉගිලෙන්නට ඉඩ දෙන්න.නීර්ජා එවැනි නිදහසකින් ඉගිල ගිය කිරිල්ලක්.තම සියුමැලි තටුවලින් ජීවිත තුන්සිය පනස් නවයක් ආවරණය කර වීරවරියක්.ඉතිහාසයේ ඇගේ නම ස්වර්ණමය අකුරින් ලියවෙන්නේ ඒ නිසා.

නීර්ජා වැනි දියණියන් සීමා බිඳ දමමින් ලෝකය පුරා පියාසර කළ යුතු කාලයක් මේ.ජීවිතය දිගු විය යුතු නැති බවත් එය විශාල එකක් විය යුතු බවත් නීර්ජා මෙන් විශ්වාස කරන යුවතියක වී වැඩෙන්න.එවැනි ගැහැනියක වන්න.අවසාන මොහොතේ පවා යුක්තිය වෙනුවෙන් සටන් කරමින් දුර්වලයන් වෙනුවෙන් නැගී සිටිය යුතු බව ඔබේ දියණියට කියා දෙන්න.

අද කාන්තා දිනය! නීර්ජා වැනි සවිමත් ගැහැනුන් වඩවඩාත් ලෝකයට බිහි වේවා යන්න අපේ අද දවසේ ප්‍රාර්ථනයයි!

Related Articles

Don't Miss


Latest Articles