සාගර තරංගා – 38

0
7016

සනුකි තරංගා එක්ක මොන්ටිසෝරි එකට යන බව මං දැනගත්තෙ මගෙ යාලුවෙක්ගෙ නංගි කෙනෙක් මාර්ගෙන්. ඒ නංගි එතන වැඩ කරන ටීච එකෙන්. ඒ ටීචගෙ ක්ලාස් රූම් එකට තමයි සනුකිව වැටිලා තිබුනෙත්. මං දවස් ගාණක්ම බලාගෙන හිටියා තරංගා සනුකිව මොන්ටිසෝරි එකෙන් දාලා ගෙදර යාවි කියලා. ඒත් තරංගා ලැප්ටොප් එක එහෙමත් අරගෙන එතන වැඩකරනවා දැක්කයින් පස්සෙ තමයි මට තේරුනේ වෙන ප්ලෑන් එකක් ගහන්න වෙනවා කියලා” මේධංග අවසානයේ වෙච්ච සියල්ල වුණ ආකාරය ගැන කියන්න පටන් ගත්තේ තමන්‍ට කොහොමත් දැන් ගැලවීමක් නැති එකේ තව බොරුවක් කියන එකෙන් තේරුමක් නැති බව දන්න හන්දාය.

“යාලුවා තමයි එතකොට උදව් කරේ බබාව කිඩ්නැප් කරගන්න? ඒක කොහොමද උනේ?”

“මං කාටව්ටහ් කිව්වෙ නෑ තරංගයි මායි අතරෙ ප්‍රශ්නයක් වෙලා තරංගා ළමයා අරගෙන ගෙදර ගියා කියලවත් තරංගා මට විරුද්ධව ඩිවෝස් කේස් එකක් දාලා කියලව්ටහ්. මං කිව්වෙ තරංගා වෙන මනුස්සයෙක් එක්ක යාලු වෙලා දැන් මගෙන් අයින්වෙන්න හදනව, ලමයවත් මගෙන් ඈත් කරන්න හදනවා කියලා.

මගේ යාලුවා කලින් අවස්තා කීපෙක දැකල තිබුනා තරංගා ඔය එයා දැන් යාලුවෙල ඉන්න ඩොක්ටර් එක්ක වාහනේ නැගලා යනවා. යාලුවා ලොකුවට තරංගාව දන්නෙ නෑ. බබාට ටිකක් සනීප නෑ කියන එක හැබැයි දැනගෙන ඉඳියා. මට ඕන උනේ සනුකිව එලියට අරගන්න විතරයි”

“තරංගා දරුවව දාලා එතනින් යන්නෙ නෑ කියලා දැනගත්තම කොහොමද මේක ප්ලෑන් කරේ?”

“මගෙ යාලුවගෙ නංගි මෙවිනි, එයා තමයි සනුකි උන්නු ක්ලාස් එකේ ක්ලාස් ටීච උනේ. මම මගෙ යාලුවා ලව්ව එයාට කතා කරලා කිව්වා මෙහෙම තරංගා දරුවව මගෙන් ඇත් කරන්න හදනවා. මට ඕන සනුකි එක්ක පොඩ්ඩක් වෙලා කතා කරන්න විතරයි. එයාව සර්ප්‍රයිස් කරන්න මම තෑගි ටිකක් එහෙම අරගෙන එනවා. තරංගාට පේන්නෙ නැතිවෙන්න වැඩේ කරගන්නෙ කොහොමද කියලා”

“ඊටපස්සෙ?”

“ඊටපස්සෙ මෙවිනි තමයි තරංගාට කියලා තිබුනේ ඕටිසම් බබාලට එහෙම නිතරම අම්මාව පේන්න ඉද්දි එයාලා ඉන්ඩිපෙන්ඩන්ට් වෙන්න පුරුදු වෙන්නෙ නෑ. ඒ මොන්ටිසෝරි එකේ කොහොමත් ගොඩක් බබාලා ඉන්න නිසා දැන් එයාට පුරුදුයි එතන. තරංගාට දැන් හිත කරදර කරගන්න දෙයක් නෑ කියලා. තරංගා ඉන්න දවස්වලත් මම පාර අයිනට ආවම මෙවිනි එයාලගෙ ප්ලේ ඒරියා එකේ දැල් ගහපු තැනින් සනුකිට මාව පෙන්නල බායි කියල එහෙමත් තියෙනවා. මං චොකලට් එහෙමත් ගෙනත් දීලා තියෙනවා. මොකද මම බයවුනා සනුකිට මාව පුරුදු නැති හන්දා මං එයා ලඟට ආවොත් එයා අඬාවි කියලා. මං සති දෙකක් විතර එහෙම කරා. සනුකි මං කියන කිසිම දේකට රියැක්ට් කරේ නෑ. ඉස්සර නම් එයා අඬනව. හැබැයි ඉස්සරත් මං එයා දිහා බලාගෙන ඉද්දි එයා කරන්නෙ කිසිම සද්දයක් නැතුව මං දිහාව බලාගෙන ඉන්න එක. මං ඒකමයි බය නැතුව එයාව එදා ඇවිත් වඩාගෙන ගියේ. මම එනවා කියලා කලින් කියල තිබුණ හන්දා මෙවිනි සනුකි එලියට යනකම් ඉඳලා අනිත් බබාලා එක්ක කතා කර කර හිටියා. එයාලගෙ සෙකියුරිටි එකේ අංකල් ඒ වෙලාවට ඉස්සරහ කඩේට තේ බොන්න යනවා කියන එකත් මෙවිනිම තමයි මට කියලා තිබ්බෙ”

“හදිසියේ හරි ඔයා බබාව උස්සගෙන යද්දි බබා අඬන්න පටන් ගත්ත නම් ඔයා මොකද්ද කරන්න හිතුවෙ?”

“මං ඒක ගැන හිතුවෙ නෑ ඔෆිසර්. මං හිතුවා සනුකි ඉස්සර වගේම සද්ද නැතුව ඉඳීවි කියලා. මම ඒකමයි කිසිම බයක් නැතුව ඇවිත් එහෙම කලේ”

“මොන්ටිසෝරි එකේ සීසීටීවී තියෙනව කියලා දැනගෙන හිටියෙ නැද්ද?”

“දැනගෙන හිටියා”

“එතකොට ඒවයින් කොහොමත් මේක අහුවෙන විත්තිය දන්න එකේ බය නැතුව ඇයි එහෙම දෙයක් කලේ?”

“මං හිතුවෙ ඒවා බලල තරංගා බයවෙලා ආපහු ඒවි කියලා. එයා දරුවට ආදරෙයි කියන එක මම දැනගෙන හිටියා, මම ඒනිසා කවදාවත් හිතුවෙ නෑ එයා පොලිසියට යාවි කියලා. මං හිතුවෙ එයා කෙලින්ම අපෙ ගෙදරට ඇවිත් මගෙන් සමාව අරගෙන ඩිවෝස් කේස් එක අයින් කරගනිවි කියල. මට සනුකිව කිඩ්නැප් කරගන්න උවමනාවක් තිබ්බෙ නෑ. මට උවමනා උනේ තරංගාව මං ලඟට ගෙන්න ගන්න. සනුකි මං ගාවට ගන්න එක විතරයි තරංගාව මං ලඟට ගෙන්න ගන්න පුලුවන් එකම විදිය කියලා හිතපු හන්දා තමයි මං එහෙම දෙයක් කලේ”

“මොන්ටිසෝරි එක ලඟ ඉඳලා බබාව ගෙදරට අරගෙන ආවෙ කොහොමද?”

“මම මගේ කාරෙකේ එදා ගියේ. මං සනුකිව කාරෙකේ දාගෙන එද්දිත් එයා පොඩි වෙලාවක් යනකම් සද්ද නැතුව හිටියා, මහ අමුතුම විදියට බලාගෙන හිටියෙ. අනික මම වේගයෙන් ආවා. ගෙදර ගෙනැල්ලත් ටිකක් වෙලා යනකම් සනුකි අඬන්නෙ නැතුව හිටියා, පස්සෙ පස්සෙ තමා එයා අඬන්න පටන් ගත්තෙ. මං ඒක ලොකුවට ගණන් ගත්තෙ නෑ. මං හිතුවෙ එයා ඉස්සරත් අඬනවනෙ කියලා. ඒ උනට අන්තිමේ මෙහෙම දෙයක් වෙයි කියල මම කවදාවත් හිතුවෙ නෑ

මම ගෙදරට ගියාට පස්සෙ තමයි මෙවිනිට කිව්වෙ තරංගාට කෝල් එකක් දීලා මේ විත්තිය කියන්න කියල. මට ඕන උනේ මං සනුකිව ගෙදරට අරගෙන ගියාට පස්සෙ තරංගාට මේක ඉන්ෆෝම් කරන්න. ඒ විදියට තමයි මෙවිනි තරංගාට කෝල් කරලා කියලා තිබුනෙ කවුරුහර් ඇවිත් බබාව අරගෙන ගියා කියලා”

“ඉතින් එවෙලෙ ඒ ටීචට හිතිලා නැද්ද තමන් අහුවෙයි කියලා”

“සීසීටීවි වලවත් කොහෙවත් එයා ඇවිල්ලා මට ලමයව භාරදෙන සීන් එකක් නැති හන්දා අපි හිතුවෙ නෑ මෙවිනිට ප්‍රශ්නයක් වෙයි කියලා. අනික මම හිතුවෙත් නෑ තරංගා කීයටවත් පොලිසියට යයි කියල. සීසීටීවි දැක්කමත් ඒ මම කියල දැක්කම එයා කෙලින්ම මාත් එක්ක කතා කරන්න එයි කියලා තමයි මම හිතුවෙ. ඒ උනාට අන්තිමේ…”

“අන්තිමේ තමුන් දෙන්න එක්කහු වෙලා ගහපු ගේම් එක නතර උනේ පොලිසියට ඇවිල්ලා නේද? හරි දැන් මෙන්න මෙතනින් අත්සනක් දාන්න. තමන් කිව්ව ඔක්කොම දේවල් අපි ලියාගත්තා. ආයෙ නිකන් ගැලවෙන්න හිතාගෙන බොරු කට උත්තර නම් ගොතන්න හිතන්න එපා මහත්තයො. ඒ ළමයා පොඩි කාලෙ ඉඳලා තමන් කරපු කෙණිහිලිකම් ඔක්කොම ගැන අපි දැන් දන්නවා. එහෙම එකේ ළමයගෙ තාත්තනෙ වගේ බයිලා ගහලා තමුන්ව නිදහස් කරන්න නම් අපේ කිසිම බලාපොරොත්තුවක් නැති බව හොඳට මතක තියාගන්න”

මේධංග ගුණරත්නටත්, දරුවාව පැහැරගැනීම සඳහා මේධංගට ඔත්තු සැපයී මෙවිනි පෙරේරාත් උසාවියට කැඳවුනේ ඒ අනුවය.

“අනේ මං මෙහෙම දෙයක් වෙයි කියලා හිතුවෙ නෑ මැඩම්. මං හිතුවෙ අයියගෙ යාලුවා හන්දා එයා කිව්ව හැමදේම ඇත්ත, මට පව් කියල හිතුන හන්දයි මම උදව් කරේ” කියා මෙවිනි කොපමන හඬා වැටුණත් නීතිය ඉදිරියේ ඒ කඳුලු හෝ දිනාගන්නට හැදූ අනුකම්පාවෙන් කිසිත් ප්‍රයෝජනයක් ලැබුනේ නැත.

මේධංග ගුණරත්නට එරෙහිව තරංගා විසින් දමන ලද දික්කසාදය විභාග කරද්දී මේ දරුවා පැහැරගැනීමේ සිද්දියත්, මේධංගගේ පැත්තෙන් ඔහු විසින් දරුවාට රිදවන්නට කල බොහෝ සාක්කි අතරට එකතු කරගන්නට කේතකී මහඉලුක්කුඹුර අමතක කරේ නැත.

“මෙවිනි දැන් ඇවිල්ලා උසාවි ගානෙ කොච්චර ඇඬුවත් එයා කලේ දරුවට වගේම එයා වැඩ කල ආයතනයේ ගෞරව නාමයටත් කැලලක් වෙන දෙයක් කියන එක අපිට අමතක කරන්න බෑ තරංගා. පොඩි ගෑණූ ළමේක්නෙ කියලා ඔයා එයාව මේකෙන් ගලවන්න ඕන කියලා හිතන්නෙ ඔයාගෙ තියෙන මනුස්සකමට. ඒ උනාට ඔය මනුස්සකම කියන්නෙ හැමදාකම, හැම තැනකම, හැම කෙනෙක් වෙනුවෙන්ම දෙන්න පුලුවන් දෙයක් නෙවෙයි. සමහර වෙලාවට අපිට වැඩිපුරම කරදර කරන්නෙ අපේ ඒ මනුස්සකම තරංගා.

ඒ නිසා මනුස්සකම උනත් අපි එලියට අරගන්න ඕන හොඳට හිතලා බලලා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here