පෙමාතුර -17

යළි මා පොත් කිහිපයක් ද ගෙන පහළට එන විට විසල් නික්ම ගොස් තිබීම මගේ හිතට සැනසීමක් දැනවී ය. පොත් රාක්ක අතරේ හිතා මතා ම මා පමා වෙමින් සිටියේ ද ඔහු ට මුහුණ දී ගත නො හැකි බවක් දැනුණ නිසා ය. 

මගේ ජීවිතයෙහි මෙතෙක් උදා වූ සුන්දරතම නිමේශය එය කියා කියන්නට මම දෙවරක් නො සිතමි. එය ඔබ කෙසේ ගනු ඇත්ද කියා මා දන්නේ නැත. මා විශේෂයෙන් ඒ ගැන කියන්නේ පිරිමියෙකුගෙන් ලද ප්‍රථම හාදුව එය වන නිසාවෙන් නොවේ. ඒ මොහොත මා තුළ ඇති කළ දිව්‍යමය වූ හැඟීම නිසා ය. 

මා ඒ හැඟීම මා තුළ සඟවා ගෙන තනි ව රස විඳින්නට ඕනා වී තිබෙන්නට ඇත. පාර දිගේ අරමුණකින් තොර ව ටික දුරක් ඇවිද ගිය මම ඉන් පසු බස් රථයකට ගොඩ වීමි. පොත් ගැනීමට අමතර ව මා තව වැඩ දෙක තුනක් කර ගන්නට හිතා ගෙන ආව ද මේ මොහොතේ ඒ මොනවාද කියා හෝ සිහිපත් කර ගන්නට මම අපොහොසත් ව සිටියෙමි.

බස් රියේ වීදුරු කවුළුවෙන් පිටත පෙනෙනා අහස අළු පැහැති ඝණ වලා කුට්ටි  වලින් ගහන ව තිබිණ. ඒ මන්දාරම් බව මගේ හිතේ කැරලි ගසමින් තිබි පෙම් සිතිවිලි වලට නිදහසේ තටු පැළඳුවේ ය.

 කොහොමටත් මම ටිකක් වෙනස් විදිහට හිතන පතනා ගැහැනු ළමයෙකු වෙමි. අප කුඩා කල පටන් ම ගෙදර පැවති දැඩි නීති රීති සහිත පරිසරය, මගේ සිතිවිලි මා තුළට සීමා කොට තබන හේතුවක් වූයේ ය. රට වට කොට වැට බැන්දා ට හිත වට කොට වැට බැඳිය නො හැකි ය. තාත්තා ගෙදර නීති තද කරන්නට කරන්නට මගේ හිත ඉබාගාතේ සැරුවේ ය. එසේ කරමින් තෘප්තියක් ලැබුවේ ය. ඒ තාත්තා ට එරෙහි වන්නට මට තිබූ එක ම මාර්ගයයි. අප මොන දේකට අවසර8 ඉල්ලුවත් ඔහු කීවේ ගෙදරට වී පත පොතක් බලා ගන්නා ලෙසයි. පොත් හා කතන්දර අපට අසීමිත ලොවක් මවා දෙන බව තාත්තා අමතක කොට දමන්නට ඇත. 

සියල්ල හදවත තුළ හංගා ගෙන සිතිවිලි මාළිගා හදන ගෑනු ළමයෙකු ලෙස උස් මහත් වන්නට මේ කාරණය මට හේතු සදා ලන්නට ඇත. මේ මොහොතේත් මා වඩාත් රිසි වූයේ නැවත වතාවක් විසල් වෙත යන්නට නොව තනි ව ඒ සිහින මාළිගාවට වැදී දොරගුළු ලා ගන්නට ය.

බස් එකේ මේ විදිහට කෙළවර අසුනේ ගුලි වූ හුඟක් දුර යන්න තිබුණා නම් හොඳ ය. නමුත් ඉක්මනින් ම මා බැස ගත යුතු නැවතුමෙහි බසය නවතා ලන ලදී. 

කාමරයට ගොස් යහනට වැදී කල්පනා ලෝකයකට වීම මේ වගේ අවස්ථාවක බොහොමයක් ගෑනු ළමයින් ගේ කැමැත්ත වන්නට පුළුවන. නමුත් මම ඊට බිය වීමි. ඊට හේතුව අඩි කිහිපයකට එපිටින් විසල් මල්වැන්න සිටිනා බව ඉඳුරා දැන සිටීම ය. කුස්සියේ කුඩා රවුම් මේසය ළඟ පුටුවක් ඇද හිඳ ගෙන, නදීරා හා පුංචි කෑම පිසිමින් කතා කරනා හැටි බලා ගෙන සිටියෙමි. අම්මා අයියා හමු වන්නට ගිය බව මා දැන ගත්තේ ඔවුන් ගේ කතා බහිනි.

“බිස්නස් එක ඔහොම තියනකොට අක්කටයි මේ කෙල්ලටයි මොනා වුණත් කෞශාල් ප්‍රොෆිට් ශෙයා එකක් එවනවනෙ. හැබැයි කෞශාල් ගෙ නමටම ලියල දුන්නොත්නං නැති ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්”

අයියා තාත්තා ගේ ව්‍යාපාර පාලනය කරන්නට ගෙන දැන් දෙවසරක් ගෙවී ගොස් තිබේ. ඒවායේ නීත්‍යානුකූල හිමිකාරිත්වය ඔහු නමින් ලියා පවරන ලෙස අයියා අම්මා ට සිහිපත් කොට ඇත.

“වස්තුව දේපල නිසි කාලෙදි දරුවො නමින් පවරල දෙන්න ඕනයි කියල බුදු හාමුදුරුවොත් සිඟාලෝවාද සූත්‍රයෙ දේශනා කරල තියෙනව. ඒක හරි. ඒ වුණාට අක්ක මේ වෙලාවෙ දුර දිග බලල වැඩ කරන එක හොඳයි. මොකද කෞශාල් අක්කගෙ පුතා වුණාට දැන් නටන්නෙ නෝනගෙ පදේට. මේ කෙල්ලගෙ අනාගතේ ගැනත් බලන්න ඕනනෙ”

මම හෙමිහිට අසුනෙන් නැගිට ගතිමි. කවදත් මට වස්තුව දේපල ගැන වූ ඇල්ම හීන ය. අරමුණකින් තොර ව පා වෙවී හිඳිනු විනා වගකීමක් ගෙන ව්‍යාපාර කටයුතු කිරීම ගැන හිතන්නටවත් මට පුළුවන් කමක් නැත. ස්ථිර රැකියාවක් හෝ නො කොට පා වෙමින් හිඳිනා මේ ජීවිතය ට ද කෙළවරක් තිබිය යුතු බව ඉඳ හිට නො සිතෙනවා ද නොවේ. නමුත් අයියා ගේ බිරිඳ වාගේ හිතන්නට කිසි දා මට නො හැකි බව දනිමි.

“මුකුත් නැතුව ඉඳල එක පාරටම දේවල් ලැබෙන්න ගන්නකොට සමහර මිනිස්සුන්ට එහෙම වෙනව. ලැබෙන දේවල් වලට ඔරොත්තු දෙන්න බැරුව තන්හාව උතුරල යන්න ගන්නව. සුරනි ඉන්නෙ එහෙම තැනක. අනේ මන්දා. ඒ දෙන්නා ඉතින් ඕන විදිහකට කර ගත්තා වෙ. අපි අකමැති තැන් වලින් අපි දුරස් වෙලා හිටියහම ඉවරයි”

වතාවක් අම්මා පවසනු මා අසා ගෙන ය. නමුත් එහෙම කියා හෝ පසෙකට වන්නට අම්මා ට හැකි වී තිබෙන්නේ අයියා ට අත නොපා ජීවත් වන්නට තවම ඇය ට හැකියාව තිබෙනා නිසා ය. ඒ තත්වය අවසාන මොහොත තෙක් ඈ සතු විය යුතු යයි මේ මොහොතේ අලුත් සිතිවිල්ලක් මා තුළ ඇති විය. මෙතුවක් උදාසීන ව තිබි සිතේ අලුත් පණක් ගැහෙන්නට ගති.

වැස්ස යළි අලුත් වූයේ ය. මම කාමරයේ විදුලි පහන් නො දැල්වීමි. නමුත් ඝණ අන්ධකාරය තුළ මගේ හිත බබලනා හැටි මට පෙනිණ.

සඳැල්ලට යන්නට හිතේ එක පැත්තක් බල කොට සිටියේ ය. නමුත් හිතේ අනිත් පැත්ත කීවේ තවමත් මා ඔහු දෙස බලන්නට සූදානම් නැති බවයි. ඒ දුර්වල පැත්ත ගැන මම වැඩියෙන් සිතුවෙමි. 

“අයිය කියනව අපි දෙන්නගෙ ශෙයාස් අපිට එන විදිහට බිස්නස් එක එයාට පවරන්නලු. මං කිව්ව කිසාගෙන් අහල උත්තරයක් දෙන්නං කියල”

කෑම මේසයේ දී අයියා ගේ අදහස ගැන අම්මා කියා සිටියේ මගේ අදහස කුමක් වනු ඇත්දැයි සැකයෙනි. මම මඳහසක් නගා ගතිමි. යමක් වෙනුවෙන් විරුද්ධ වී ගිනි අවඅලවන්නට පුළුවන. අසීරු වන්නේ එගිනි නිවාලන්නටයි. 

“මට බිස්නස් කරන්න තේරුමක් ඇත්තෙත් නෑ බිස්නස් කරන්න මං ආසත් නෑ. මං ආස පොතක් කියෝගෙන මොනා හරි ලියා ගෙන ඉන්න. තන්හාවට මගෙ කොටස දෙන් බෑ කියන්න ඕන නෑනෙ. හැබැයි අම්ම මං මෝඩයෙක් නෙවෙයි කියන එකත් අයියයි එයාගෙ වයිෆුයි දෙන්නම දැන ගන්නත් ඕනෙ. අයිය බිස්නස් එක මැන්ඩ්ල් කළාට කමක් නෑ. හැබැයි ලීගලි ප්‍රොෆිට් ශෙයාස් අපිට එන්න ඕන. ඒ වගේ ම මට බිස්නස් එකේ මගේ කොටස ඕන කියල හිතෙන දවසක ඒ ටික මට දෙන්න අයිය ෆ්ලෙක්සිබල් වෙන්නත් ඕන. ඒ කන්ඩිශන් එක උඩ මගෙ අකමැත්තක් නෑ අයියට බිස්නස් පවරන්න”

පුංචි ගේ මූණේ සිනහවක් ඇඳිණ.

“නියමයි කිසා. ඉඳ හිටවත් පෙනේ පිප්පුවෙ නැති වුණාම නයාව වුණත් දර මිටි බඳින්න ගන්න පුළුවන් කියල කතාවක් තියනවනෙ. දෂ්ට කළේ නැතත් පෙණයක් තියෙන බව පෙන්නන එක හොඳයි”

“කිසා හැම දාම මෙහෙම ඉන්නෙ නෑනෙ. මැරි කරපු දාක ඔයාගෙ මහත්තය වුණත් කැමති වෙන්න පුළුවන් බිස්නස් එක හැන්ඩ්ල් කරන්න. මටයි කියල කොටසක් ඕන නෑ ළමයිනේ. ඒකත් ඔය දෙන්නගෙ නමට දෙකට බෙදල ලියන්නයි කියල මං ලෝයර්ට කියලයි ආවෙ. අපි හෙට අනිද්දට මැරිල යයි. ඒත් ඕගොල්ලො පහසුවෙන් ජීවත් වෙන්න ඕන. ඒකට මේ බිස්නස් එක රැකෙන්න ඕන. ඔය දෙන්න සමගියෙන් සමාදානෙන් ඒව කරන් යන්න ඕන. එහෙනං දිනයක් දාගෙන…ඒවයෙ පරිපාලන අයිතිය අයියට නීත්‍යානුකූලව බාර දෙමු”

අම්මා සැනසිලි දායක තීන්දුවක් දුන්නා ය. අත් හැරීමේ වන සැනසීම වෙන කිසිවක නොවන බව ඇය තරම් දන්නා කෙනෙකු නොවෙනවා වන්නට පුළුවන.

මාත් නින්ද සඳහා කාමරයට ගියේ ඒ සැනසීමෙන් ම ය. නමුත් සැනසීම අරගෙන නින්ද නම් ළඟ පාතකටවත් ආවේ නැත. දුක පමණක් නොව සතුට ද මිනිසුන් ට නින්ද අහිමි කරනා හේතුවක් බව මා තේරුම් ගත්තේ ඒ වෙලාවේ ය. 

මැදියම් රැය වන තුරු ම යහනේ ඒ මේ අත පෙරළෙමින් සිටියත් නින්ද හතර මායිමකට නො ආවෙන් මම යහනෙන් නැගිට ගතිමි. මගේ අරමුණ වූයේ වීදුරු පියන් පත හැර ගෙන සඳැල්ලට යාමයි. නමුත් ඊට අත තියත්දී ම මා දුටුවේ බැල්කනි වැටට බර වී ගෙන හිඳිනා විසල් මල්වැන්න ව ය. 

හදවත දඩස් ගා නතර වූවා සේ මට දැනිණ. එය ක්ෂණික දැවීමකි. කාමරයේ විදුලි පහන් නො දැල්වීම ගැන මම මට ම ස්තූතිවන්ත වීමි.

කුඩා බැල්කනියේ ලා එළියෙන් මම ඒ මුහුණෙහි අඩක් එළිය ව තිබෙනවා දුටිමි. මේ මහ රැයේත් අවදි ව බැල්කනියට වී ඔහු කුමක් කරන්නේ ද? ඔහු ට ද නින්ද නො යන්නේ හවස වූ සිදුවීම නිසා යයි නො සිතිය හැකි ද? වීදුරු තලාවට මූණ තියා ගෙන මම බලා ගෙන ම සිටියෙමි. ඔහු මහත් වූ සුන්දර වස්තුවක් ව හදවත පත්ල ට කිඳා බසිමින් සිටී. 

තවත් බෝ වෙලාවක් එහි කල්පනා කරමින් ද සුසුම් පිට කරමින් ද සිටි ඔහු දොර වසා ගෙන ඇතුළට ගියේ ය. මා යහනට ආවේ ඉනික්බිතියි. 

මගේ මුවග තෘප්තිමත් මඳහසක සෙවනැළි විය. 

ජීවත් වෙන බව දැනෙන්නට ගනිමින් තිබිණ. අළුයම අරුණැල්ල වීදුරු කවුළු වලින් එබිකම් කරනකොට ම අවදි ව මම පහළට ගියෙමි. කිසිවෙකු තව ම කුස්සියට පැමිණ තිබුණේ නැත. මම කේතලයට වතුර පුරවා ගෑස් උඳුන ක්‍රියාත්මක කළෙමි.  

අපේ ගෙදර කිසි වැඩක් කිසිවෙකු බෙදා ගෙන නැත. මුලින් ම ඇස ගැටෙනා කෙනා එය කිරීම සිරිත ය. මුලින් ම අවදි ව කුස්සියට එන කෙනා වතුර ලිප තබයි. ඇතැම් විට ඒ කෙනා ම හෝ පසුව එන කෙනෙකු තේ සාදයි. ඒ සියල්ල අප වෙනුවෙන් අප කරනා දේවල් ය. නමුත් සාමාන්‍යයෙන් මා ගෙදර වැඩට හොර ය. මා ගෙදර පොඩි එකා නිසාවෙන් කිසිවෙකු මගෙන් වැඩ පලක් කරතැයි බලාපොරොත්තු වන්නේ ද නැත. 

“ආ…අද ඉර අනිත් පැත්තෙන්ද පායල තියෙන්නෙ…”

සනෝජා පුංචි කුස්සියට ආවේ හයියෙන් කෑ ගසා ගෙන ය. ඒ සමග ම ආ නදීරා ද සිනහ වූවා ය. ඔවුන් විශ්මයට පත් ව තිබෙන්නේ මා උදෙන් ම අවදි ව කුස්සියට ඒම ගැන ය. මම මූණ නරක් කර ගතිමි.

“හොඳක් කළත් වැඩක් නෑ මේගොල්ලන්ට”

“නෑ නෑ හොඳයි හොඳයි. දැන් ඉතින් කොල්ලෙක් හිතට කරදර කරන වයස නිසා ගෙදර දොරේ වැඩ ටිකක් පුරුදු වෙන එකත් හොඳයිනෙ”

“අනේ මේ පුංචා….හරි නරකයි හොඳේ. අනිත් දවසෙ මොනාත් කරන්නෑ”

කුස්සියේ මේසය ළඟ සිට ම මම නදීරා තැනූ තේ එක බීවෙමි. පුංචි උදේ කෑම ට කඩල තැම්බෙන්න දැම්මා ය. ඇය උදේ ට පාසල් යන නිසා සතියේ දින වල උදේ කාලය ටිකක් කාර්ය බහුල ය.

මිදුලේ පැළ අතරේ ද ටික වෙලාවක් ගෙවා දැමූ මම ඉනික්බිති කාමරයට ගියේ තව දුරටත් විසල් ගෙන් වහන් වෙවී සිටිය නො හැකි බවක් හිත කෑ ගසා කියමින් තිබි නිසා ය. ඔහු පේන්නට නො හිටියත් මා දොර ඇරගෙන සඳැල්ලට එත්දී ම ඔහු ද කාර්යාලයට යාමට සූදානමින් පිටතට ආවේ ය. ඒ මොහොත හදවත ගැස්ම නතර වූ මොහොතක් ලෙස මගේ මතක ඉතිහාසයට එක් වනු ඇත. 

මට ඔහු පෙනුණේ මහා පෞරුෂයක් සේ ය. කාර්යාල ඇඳුම් කට්ටලයෙන් යුතු ව සිටි හෙතෙම දීප්තිමත් දෑසකින් මදෙස බලා ගෙන සිටියේ ය. අඩි කිහිපයක පරතරයක් බැල්කනි අතරේ වූවත් මට දැනුණේ කිසිදු පරතරයකින් තොර ව අප ඉතාමත් ලං ව ඇති බවකි.

“මං ගිහිං එන්නං”

මහා කල්පයක් බඳු නිහඬ තත්පර කිහිපයකට පසු  ඔහු මිමිණුවේ ය. ඒ හඬ මට ඇසුණා ද නැත්නම් ඒ දෙතොල් මිමිනුම මට දැනුණා ද කියා මා දන්නේ නැත. මම හා යයි හැඟවෙන සෙයින් හිස සැළුවෙමි. 

සිදු වෙන දෙයක් හෝ වෙන්න යන දෙයක් හෝ මට කිසි සේත් නො දැනුණ බව කිව යුතු ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

ශරදාකාසේ -34

"විකාර නැතුව ඒ මහත්තයව බැඳපං පංචලී. මොන දේ වුණත් නීතියෙන් බැඳගන්න එකේ වාසිය ගැනයි හිතන්න ඕනෙ. මන් දන්න සෑම්පලේ ගෑනුනං හිතන්නෙ ඒ...

එයා වගේ යාළුවෙක්

“හායි! අසේලා” “හායි! හායි! ශානා ….ඔයාගේ ලස්සන…..” “ආ,ඔයා විතරයි මට ලස්සනයි කිව්වෙ.මග දිගට දකින දකින අය...

හිමගිරි අරණ -19

"එකට වැඩ කරන නිසා අයියේ අක්කේ නංගි මල්ලි කියා ගත්තෙ නැතුවට මම අක්කා තමයි." හිමාෂා කියන්නේ හිනැහෙමිනි.කාර්යාලයේ හිඳින වයසින්...

(අ)හිමි සිහින -123

මම මගේ ක්ෂේත්‍රයේ මට හැකි උපරිමයෙන් ඉදිරියට එන්නට වෙනකොට කටයුතු කරමින් සිටියා.හැබෑවටම මම ඒ වෙනකොට රටේ බොහෝ පිරිසක් දන්නා චරිතයක් බවට පත්වෙමින්...

ශරදාකාසේ -33

පංචලී පුතෙකු බිහි කළා ය. පෞද්ගලික රෝහලක සුව පහසු ලෙස ඒ අත්දැකීම විඳ ගන්නට ශාරද ඇය ට අවස්ථාව උදා කර දී තිබුණේ...