නිලැසි -30

නිලැසි තමන්ම පිසූ අහර රැගෙන එරන්දත් මානවීත් මුණ ගැසෙන්නට යද්දී තිසරුට ද යන්නට ගමනක් තිබිණ.ඔහු දිගැසි මුණ ගැසෙන්නට ගියේ අවන්හලක් වෙත ය.නිවසේ දී මුණ ගැසීම වෙනුවට පිටත තැනක් යෝජනා කළේ තිසරු ය.දිගැසි ඒ යෝජනාව පිළි ගත්තේ ද සරදමක් කරමිනි.

“රාජේන්ද්‍රගේ පොඩි දූටයි ලොකු බෑනටයි කතාවක් නැහැදුණොත් ඇති..”

වැරදිකරුවන් හිඳියදී නිවැරදි කරුවන්ට චෝදනා නැගෙන ලෝකයට දිගැසිගේ සරදම සරදමක් ම නොවන බව තිසරු සිතී ය.නමුත් තමන්ගේ අම්මා හෝ රසාදරී හිඳින තැනක මේ ගැන කතා කරන්නට ඔහු නොකැමති ය.

“දුලාජ් එක්කන් එනව.එයා හරි බිසී අයියේ..”

දිගැසි අසුන් ගත්තේ එසේ කියන අතර ය.වෙනදා තරමට පැහැදුල් නොවන සිනාවක් පෑ තිසරු ඇණවුම් කරන දේ ගැන විමසිලිමත්ව මඳ වෙලාව ගෙවා දැම්මේ ය.ඔහුගේ දෙතොල් අතර මතුවන්නේ අසරණ වූ සිනාවක් බව දිගැසි සිතුවා ය.

“රශී එක්කං එන්න හිතුනෙත් නෑ අයියේ..එයාගේ ඔළුවට මේවා දාන්න මට හිතෙන්නෙ නෑ.කිසිම ප්‍රශ්නයක් නැති ගෙදරක හැදුනු ළමයෙක් වෙච්ච එයා අපේ ගෙදර ඇවිල්ල මේ කුණු ප්‍රශ්න මොනවටද ඔලුවට දාගන්නේ..”

දිගැසි හිඳින්නේද තමන් තරමටම කලකිරීමකින් බව තිසරු වටහා ගත්තේ ය.

“මට ඇත්තටම ඩිවෝස් වෙන්න හිතයි..”

ඔහු එය කීවේ අතිශය වරදකාරී හැඟීමකින් ය.නමුත් දිගැසි කලබලයට පත් නොවූ බැල්මකින් මස්සිනා දෙස බලා සිටියා ය.

“සමාව දෙන්න බැරි වැරදි වලට සමාව නොදුන්න කියලා අපි ඔයත් එක්ක තරහ වෙන්නේ නෑ අයියේ.”

රැවටීම් නොකර වරදක් වූ තැන කතාබහ කොට විසඳා විසඳා ගත හැකි නම් නිලැසි සමඟ රැඳෙන්නට තමන්ගේ අකමැත්තක් නැති බව තිසරු පැවසුවේ ශෝකී ස්වරයකිනි.නමුත් ඇය එයට ද එකඟ නොවන බව ඔහු පැවසී ය.

“මනුෂ්‍ය සම්බන්ධතා කියන්නේ මහා පුදුම දෙයක්.මම හිතුවා එයා මට ළං උනේ ආදරෙන් කියල .ආදරයක් ඇති නොවුණානම් මාත් එක්ක ඉන්න කියලා මම එයාට බල කරන්නේ නෑ.මම ආදරේ කරා කියලා එයා මාව කසාද බැඳ ගත්තේ මට ආදරේ කරන බව පෙන්නුවෙ ඇයි කියලයි මම තවමත් හිතන්නේ.
සමහරවිට නිලූ මට ආදරේ කරන්න ඇති.එරන්ද ලඟදි ඒ ආදරේ වාෂ්ප වෙලා යන්න ඇති.”

තිසරුගේ ආවේගය දෑසෙහි තෙත් ගතියෙන් පළ වන බව දිගැසි නිරීක්ෂණය කළා ය.අක්කා තිසරු හා විවාහයට සැරසුණු දවස් ඇය රහසේ සිහි කළා ය. නිහඬ තැන්පත් ගති ඇති තිසරු කෙනෙකු සමඟ කතාබහ කරන්නේ අතිශය සමීප වීමෙන් පසු බව දිගැසි වටහා ගෙන සිටියා ය.ඕනෑම් කෙනෙකු සමඟ පැය ගණනක් තිස්සේ සංවාද කරන්නට මාතෘකා සොයා ගන්නා අක්කා තිසරු සමග කෙසේ ජීවත් වේ දැයි ඇය නොසිතුවා නොවේ.නමුත් නිලැසි සිටියේ එවැනි ධනවත් තරුණයෙකු විවාහ යෝජනාවක් කළ ප්‍රීතියෙනි.උගත් පවුලක උගත් යුවතියක වූ රශ්මිට ද සාමාන්‍ය පවුලක ඉපිද උත්සාහයෙන් උගතෙකු වූ දුලාජ්ට ද මහා ධනස්කන්ධයක් නොතිබිණ.නමුත් තමා තෝරා ගත් මිනිසා ධනවත් කඩවසම් උගත් තරුණයෙකු වීම ම නිලැසිගේ නොමඳ සන්තෘශ්ඨියට හේතු වී තිබූ අතීතය දිගැසිට අමතක නොවේ.

“අපි මේ රටේ ඉන්න ජනප්‍රියම කෙනෙක්ගෙ ළමයි අයියෙ.මට ඕනෙ වුණේ කිසිම ජනප්‍රිය කමක් නැති සැනසීමෙන් ජීවත් වෙන්න පුළුවන් කෙනෙක්.අයියා රශ්මි තෝරා ගන්නත් හේතු වෙන්න ඇත්තේ ඒවා.ඒත් අක්කගෙ බලාපොරොත්තු හැමදාම ඊට වඩා වෙනස් තැනක තිබ්බෙ.ඒ නිසා එයාට ඔයා ගැන ආපු හැඟීම් ටික ටික ඉවර වෙන්න ඇති..”

අක්කා තිසරුව විවාහයට තෝරා ගත්තේ ඔහු ධනවත් තරුණයකු වීම එකම සාධකය කරගෙන බව ලියන්නට නොහැකි නිසා දිගැසි එවැනි වචන කිහිපයක් පවසා නිහඬ වූවා ය.තමන්ගේ ම අක්කා ගැන දැනෙන හැඟෙන දෑ පවසන්නට ඇයට සත්‍ය වශයෙන්ම අසීරු ය.

“සම්මත අසම්මත භේද නෑ කියල කිව්වට ඇත්තටම එහෙම තියනවා.අපිට කෙනෙක් එක්ක ජීවත් වෙන්න බෑ කියලා තේරෙනවනම් එයාගෙන් අයින් වෙන එක අයිතියක්.ඒත් කෙනෙක්ව රවට්ටන එක නම් අයිතියක් නෙමෙයි නංගි.නිලූට මගෙන් අයින් වෙන්න ඕන නම් මම ඒකට ඉඩ නොදී ඉන්නේ නැහැ.එරන්දව මෙතනට පටලගෙන එහෙම සම්බන්ධයක් නෑ වගේ මාව රවට්ටන්න එයා වැඩ කළේ ඇයි කියලා මට තාමත් හිතාගන්න බෑ.එරන්ද මුණගැහෙන්න කලින් එයා මට දීපු ආදරේ ඇත්තක් කියලා මට හිතන්න තිබුණා එරන්ද මුනගැහුනට පස්සේ එයාගෙ හිත වෙනස් වුණු බව නිලූ මට කෙලින් කිව්වා නම්,මිනිස්සුන්ට එන්න වගේම යන්න පුළුවන්.එහෙම නම් එයාට යන්න දෙන්නේ මේකට ඔයාල කවුරුත් ම සම්බන්ධ කර ගන්නේ නැතුව.ඒත් නිලූ හිතාගෙන ඉන්නේ මගේ ගේ ඇතුලේ ඉඳගෙන මාව රවට්ටන ගමන් එරන්ද එක්ක සම්බන්ධය දිගටම අරගෙන යන්න.හිත හදාගන්න එකයි රැවටෙන එකයි දෙකක් නංගි.මට රැවටෙන්න බෑ..”

ආදරය යන විෂයෙහි කිසිවෙකුත් කිසිම අවස්ථාවක රැවටීමට ලක් විය යුතු නැති බව දිගැසි ද විශ්වාස කළා ය.තිසරුට වඩා අතිමහත් ප්‍රේමයක් එරන්ද වෙත ඇති වී ඇත්නම් අක්කා කළ යුතු වන්නේ තිසරුට ඒ බව පහදා දී එතැන නැවතීම බව ඇය ද පිළි ගත්තා ය.දැන් සියල්ල නැවත පිළිසකර කළ නොහැකි තරමට වියවුල් වී ගොස් අවසන් ය.තිසරු ඒ නූල් බෝලයේ පිළිවෙලකට ලෙහා ගන්නා බව දිගැසි විශ්වාස කළා ය.නමුත් ඒ ඔහුගේ කොටස ය.අක්කා සහ එරන්ද පැටලිල්ලෙන් පැටලිල් ට පත් පත්වේදැයි සිතද්දී දිගැසිට සැබෑවටම ඇතිවූයේ බියපත් හැඟීමකි.

“අයියට හොඳයි කියලා හිතෙන දෙයක් කරන්න..අක්කත් බබෙක් නෙමෙයිනේ එයා එතනින් පස්සේ එයා ගැන බලා ගනී..”

දිගැසි එසේ කියද්දී තමන් දැන සිටි තවත් කාරණයක් එලි කරන්නට තිසරුට සිත් විය.

“මානවී ඉන්නෙ.එයා ඔයාලට හුඟක් ක්ලෝස් නේද? මට ආරංචි වුනු හැටියට මේ සම්බන්දෙට මානවී හුඟක් උදව් කරනවා..”

මානවී තම නිවසට ඇති ඉමහත් ම තර්ජනය බව දිගැසි නොදන්නවා නොවේ.ඇය නිසා වික්‍රමාරච්චි පවුල ඉහිරි නොගියේ අම්මාගේ ඇති ඉවසිලිවන්ත ගුණය නිසා බව වැඩුණු තරුණියක වූ දිගැසි දැන සිටියා ය.මානවී සම්බන්ධ සත්‍ය කතාව තිසරු නොදන්නේදැයි දිගැසිට සැක ඇති විණ.කෙසේ හෝ මානවී කරමින් හිඳින විනාශය පලිගැනීමක ලකුණු විය හැකි බව ඇය සිතුවා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles